දිස්ත්‍රික්ක 13කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පවුල්වල උදවියට ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතරම පීඩාවට පත්ව ඇති සියලුම ජනතාවට උපරිම ආකාරයෙන් සහන ලබාදීමට සියලු පියවර රජය මැදිහත් වී මෙම සටහන ලියන විටත් ගෙන තිබිණි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රධානව රජයේ සියලුම මැති ඇමතිවරුන් මේ සඳහා සක්‍රියව සිය දායකත්වය ලබාදෙමින් සිටියේය. ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරන මැති ඇමතිවරුන් තම දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහන ලබාදීමට පියවර ගනිමින් සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා පුද්ගලිකවම ඊයේ දිනයේදී අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙත ගොස් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ හා එහි පියවර පිළිබඳ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළ අතර, එම වැඩපිළිවෙළ වේගවත් කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස්ද ලබාදුන්නේය.
මෙම ලිපිය ලියන විට පුද්ගලයන් පස් දෙනෙකු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, පුද්ගලයන් 65,000කට අධික පිරිසකට එයින් බලපෑම් එල්ල වී තිබුණි. නිවාස පූර්ණ හානි හා අර්ධ හානි රාශියක් ඇතිව තිබිණි.
මේ සියල්ලම වෙනුවෙන් වන්දි ලබාදීමට රජය කටයුතු කරන අතරම, ඊයේ දිනය වනවිට වන්දි ලෙස මුදල් රුපියල් එක්කොට් 67ක් ලක්ෂයක් ගෙවා තිබිණි. අවතැන් වූ ජනතාවට සහන සැලසීම අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබේ.
ආපදා අවස්ථාවේදී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදාව පහව යෑමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ඊට අයත්ය. එසේම මේ වනවිට ආපදා තත්ත්වය පහව ගොස් ඇති ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබිණි.
මීට සමගාමීව ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ සොයා බැලීමටද උපදෙස් නිකුත් කර ඇති අතර, විනාශ වී ඇති වැව් අමුණු ප්‍රතිසංස්කරණ, මහාමාර්ග හා ඇළ මාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එසේම වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් වගාවන්ට හානි සිදුව තිබේ. ගොවියා පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන රජයක් ලෙස ඔවුන් වෙනුවෙන් කඩිනම් සහන සැලසීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමු.
ආපදා පිළිබඳ ඒ ආකාරයෙන් අවධානය යොමු කිරීමේදී මේ සතියේදී අපගේ තීරු ලිපියෙන් වැඩි අවධානයක් අලි මිනිස් ගැටුම පිළිබඳ යොමු කිරීමට අදහස් කරන්නෙමු.
අලි මිනිස් ගැටුම
වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම ඉදරියට එන මෙම ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් අවශ්‍යම තත්ත්වයට දැන් පත්ව තිබේ. මා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පවා මෙම ගැටලුව දැන් උපරිම තත්ත්වයට පත්ව තිබේ.
අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර වන්නේ නම් අපගේ අලි සම්පත දිනෙන් දිනම අපට අහිමි වනු ඇත. සාම්ප්‍රදායික ක්‍රම මෙන්ම නව ජීව විද්‍යාත්මක ක්‍රම යොදාගැනීම කාලෝචිත තත්ත්වයකි.
අනෙක් අතින් වනඅලින්ගේ එදිනෙදා චර්යාවට බාධා නොවන ආකාරයට ජනතාව කටයුතු කිරීමද වැදගත් වෙයි. මෙහිදී එක් උදාහරණයක් ඉදිරිපත් කිරීමට මම කටයුතු කරමි. පසුගිය රජයේ නිවාස අමාත්‍යාංශය හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ඉදිකිරීමේදී වන අලින් ගමන්ගන්නා මාර්ග අවහිර කර ඉදිකර තිබුණු අතර, එයද අලි මිනිස් ගැටුමක් ඇතිවීමට හේතුවක් බවට පත්ව තිබිණි. මෙසේ ඉදිකිරීම් ආරම්භ කළ ඇතැම් නිවාස පවා අලි විසින් විනාශ කර තිබුණ අතර, ඇතැම් නිවාස ව්‍යාපෘති භාගයක් පමණ දුරකට ඉදිකර නවතා දමා තිබිණි.
මේ අනුව තවදුරටත් අප පසුගිය ආණ්ඩුව විවේචනය කිරීම නවතා දමා අලි මිනිස් ගැටුම විසඳීම පිළිබඳ සාකච්ඡාවක් වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එහිදී විශේෂයෙන්ම අලිවැට ඉදිකිරීම හා එහි නඩත්තුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේය. අලි වැට නඩත්තු කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක බළකායට හා වනජීවී දෙපාර්තමේන්තුව වෙත තවත් සේවකයන් බඳවාගැනීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබේ.
මීට සමගාමීව විවිධ හේතූන් මත අවහිර වී ඇති අලිමංකඩ නිදහස් කිරීම පිළිබඳවද අවධානය යොමු කළේය. මෙම සාකච්ඡාවේදී අප යාල ජාතික වනෝද්‍යානයේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කිරීමට කටයුතු කළෙමු. මෙහිදී යාල පරිසරයටත් එහි ජීවත්වන ජීවීන්ටත් හානියක් නොවන ලෙස නවීන තාක්ෂණය භාවිත කරමින් එහි සංචාරක කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කළෙමු.
එසේම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අප දැනටමත් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරිමේදී අලිමංකඩවල් ආරක්ෂා වන ආකාරයෙන් ඉදිකිරීම් සිදුකිරීමට සැලසුම් කර තිබේ. එසේම අලිමංකඩ හරහා කොන්ක්‍රීට් කණු ඉදිවන්නේ නම් ඒවා හරිත සංකල්පය යටතේ ඉදිකිරීමටද අප විසින් සැලසුම් කර තිබේ.