කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භයේ පසුගිය සතියේදී උපන්දිනයන් සැමරූ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සුපුරුදු පරිදි මෙවරද කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ ජනතාවට අනේකවිධ දුක්කම්කටොලු සඳහා මුහුණ දීමට සිදුව ඇති අවස්ථාවකය. බදු බර, ඉන්ධන මිල ඉහළ යෑම ඒ අතරින් කිහිපයක් පමණි.
ඉන්ධන මිල සූත්‍රය අනුව පසුගිය 10 වැනිදා නැවත වරක් තෙල් මිල ඉහළ ගියේය. බස් හිමියන්ගෙන් හා ධීවර කර්මාන්තකරුවන්ගෙන් ආණ්ඩුවට එල්ල විය හැකි විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව %ඔටෝ ඩීසල්^ මිල පමණක් ඉහළ නොදැමීමට කටයුතු කළේය.
මේ අතර, ලබන මාසය වන විට ඇමෙරිකාව ඉරානයට දැමූ සම්බාධක ක්‍රියාත්මක වීමත් සමග ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල ඉහළ යෑමට වැඩි අවස්ථාවක් ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය අනුව නොවැම්බර් මස 10 වැනිදාත් බොහෝ විට ඉන්ධන මිල වැඩිවීමක් සිදු වීමට ඉඩ තිබේ.
කෙසේ වෙතත් වත්මන් රජයේ තවත් තීරණාත්මක අයවැයක් නොවැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති අප්රසන්නතාව මගහරවා ගැනීම වෙනුවෙන් සහන පොරොන්දු ලබා දීමට කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබේ. මීට අමතරව කෙටි කාලයකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට ඉඩක් ඇතැයි වාර්තා වෙයි.
අනෙක් අතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල සූත්‍රය සතියකට වරක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඔහු ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවේද ඉන්ධන මිල සූත්‍රයන් ක්‍රියාත්මක බව සඳහන් කළේය. ඉන්දියාවේ හා සිංගප්පූරුවේ ආර්ථිකය සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය සන්සන්දනය නොකළ යුතු අතර, එම ආර්ථිකයන් අප මෙන් කිහිප ගුණයකින් විශාල ආර්ථිකයන්ය.
අනෙක් අතින් ඉන්දියාවම උදාහරණයකට ගන්නේ නම්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියද, එයින් ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් තෙල් මත පැනවූ බදු අඩු කිරීමටත්, තෙල් මිල ඉන්දීය රුපියලකින් අඩු කිරීමටත් කටයුතු කරනු ලැබීය.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරියක් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවකට සම්බන්ධ වීමට මා හට අවස්ථාව ලැබුණු අතර, එහිදී ඔවුහු තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දීර්ඝ විස්තරයක් කළහ. වර්තමානයේ පවතින අධික බදු බර හේතුවෙන් තමන් මුහුණදී ඇති ගැටලු පිළිබඳ ඔවුහු විස්තරාත්මක පැහැදිලි කිරීමක් කළහ.
ශ්‍රී ලංකා ආර්ථිකය නව පිම්මකින් ඉදිරියට යෑමට නම්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගත යුතුය. ඒ වෙනුවෙන් පසුගිය ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහතා සෑම පියවරක්ම ගත්තේය. ක්‍රමයෙන් ආනයනය සීමා කරමින් ඒ සඳහා වන ආදේශකයන් නිෂ්පාදනය කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පෙළඹවීමට අපි කටයුතු කළෙමු. අපෙන් ආණ්ඩුව භාරගත් වත්මන් පාලකයන් එම වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙනු ඇත.
රුපියල මෙතරම් අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද සීමාවකින් තොරව සිදු කරන ආනයනයයි. ජනපතිවරයාම සඳහන් කරන්නේ සරුංගලයේ සිට සෑම දෙයක්ම ශ්‍රී ලංකාව ආනයනය කරමින් සිටින බවයි. එයට වගකිව යුත්තේද ජනපතිවරයා ප්රමුඛ වත්මන් ආණ්ඩුවයි. ජනපතිවරයා හා අගමැතිවරයා ගැලරියට කතා කිරීම පසෙකලා පවතින මාස කිහිපය තුළ හෝ ජනතාවට සේවය කිරීමට කටයුතු කළ යුතුය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආනයන සීමා කිරීමට කටයුතු කළේ ශීතකරණ, රූපවාහිනී ඇතුළු විද්‍යුත් උපකරණ ලංකාවට ගෙන ඒම සීමා කිරීමෙනි. නමුත් සිදු විය යුත්තේ එය නොවේ, මුලින්ම විකල්ප හඳුන්වා දෙමින් ජනතාව එයට පොලඹවා ක්‍රමයෙන් ආනයනය සීමා කිරීමට කටයුතු කිරීමය. එහිදී ජනතාවට ගැටලු සඳහා මුහුණ දීමට සිදු නොවේ.
එමෙන්ම සභාග ආණ්ඩුවක් පිළිබඳ වන මාතෘකාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ හෙයින් පසුගිය දින කිහිපයේදී අයපහත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුව කටයුතු නොකළ අතර, එහිදී එම ජනතාව වෙනුවෙන් හැකි අයුරින් උදවු, උපකාර කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අපි මැදිහත් වීමු.
පසුගිය සතියේදී අප ඔබට සඳහන් කළේ, සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පවත්වන සාකච්ඡාවේ ප්‍රතිඵලය ඔබට මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය හරහා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී සියලු මන්ත්‍රීවරුන් එකඟ වූ කරුණ වූයේ, සභාග ආණ්ඩුව පිළිබඳ අවසන් තීරණය ගැනීම මගේ පියාට ලබාදීමටය.
සභාග ආණ්ඩුව යෝජනාවක් පමණි. අනෙක් අතින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ නම්, මුලින්ම %ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින අතර, මාගේ අදහස වන්නේ යම් හෙයකින් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එය %ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් දීමට වැඩපිළිවෙළක් සමග පිහිටුවිය යුතුය යන්නය. එය කිසිසේත් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් කියාත්මක නොවිය යුතුය යන මතයේ මම සිටිමි. මේ අතර, පසුගිය සතියේදී ව්‍යවස්ථාදායක සභාවත්, නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා මහතාත් පත්විය. මෙම දෙපාර්ශ්වයටම සිය කටයුතු අපක්ෂපාතී ලෙස කරගෙන යෑමට හැකිවේවායි යන්න අපගේ පැතුමයි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!