ආදරය කියන්නේ පෙළීමෙන් නිදහස් වෙන්න හදාගත්ත මායාවක්, අපි ඒ මායාව පිටුපස ඇති දුක අවබෝධ කරගත යුතුයි


මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිෂ්චිතතාවත්, රෝග පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය. එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සා‍පේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්‍ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්‍රමණයන් වහන්සේලාය. 


?කොහොමද ඔබවහන්සේට ධර්මය හමුවෙන්නේ 

ව්‍යාපාරයේ නියැළෙමින් ඉන්නකොට තමයි මට අන්තර්ජාලයෙන් මේ ශ්‍රී සද්ධර්මය හම්බවෙන්නේ. මොකද මට ඕනි වුණා විවේකයෙන් ඉන්න වෙලාවක බණ පදයක් අහන්න. එතකොටයි මට යථාර්ථය අවබෝධ වෙන්න පටන් ගත්තේ. අනික මගේ ගෙදර අයටවත්, මගේ ආච්චිලා සීයාලටවත් නොලැබිච්ච සතුටක් මට ලැබෙන්න වෙන කිසිම විදිහක් නැහැ. ඒක මගේ අක්කලා අයියලා දිහා බැලුවමත් පැහැදිලියි. ඉන්පස්සේ තමයි දහම ගැන ගවේෂණය කරන්න පටන් ගත්තේ.“නමෝතස්ස” කියන්නවත් බැරිවුණු සුනීත සෝපාකලා කොහොමද සෝතාපන්න වුණේ කියල මට හොයන්න ඕනි වුණා. කඩුවක් අරන් බුදුරජාණන් වහන්සේගේ පස්සේ පන්නපු අංගුලිමාල කොහොමද අරහත් ඵලය පූර්ණය කරගත්තේ කියල මට හොයන්න ඕනි වුණා. ආලවක යක්ෂයා කොහොමද සෝතාපන්න වුණේ කියල මට හොයන්න ඕනි වුණා. ඒ නිසයි තමන්ට අවබෝධ වෙන්නේ නැත්නම් උන්වහන්සේ කිව්ව නිසාවත්, ත්‍රිපිටකයේ තියෙන නිසාවත් පිළිගන්න එපා කියල බුදුරජාණන් වහන්සේ පවා කිව්වේ. මමත් ඒකයි මම අහපු දහම තවදුරටත් පරීක්ෂා කරල බැලුවේ. එතකොටයි මට තේරුණේ මම ගෙදර අයට ඕනි විදිහට ජීවත් වෙච්ච කෙනෙක් කියලා. යාළුවන්ට ඕනි විදිහට ජීවත් වෙච්ච කෙනෙක් කියලා. පාරිභෝගිකයන්ට ඕනි විදිහට ජීවත් වෙච්ච කෙනෙක් කියලා. ඒ නිසයි අලුත් විදිහකට ලෝකේ දිහා බලන්න පටන් ගත්තේ. එතකොටයි සැබෑ සතුට තියෙන්නේ දහම් අවබෝධය තුළ කියලා වැටහෙන්න පටන් ගත්තේ. යුතුකම් යන බැම්මෙන් හෙමිහිට මිදිලා, මගෙන් සිදුවිය යුත්ත ඉෂ්ට කරල එතැනින් ගැලවුණේ ඒ හින්දා. අනික මම කිසිවක් අතහැරියේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ ඔක්කොම අතහරින්න කියලා. රාග,ද්වේෂ,මෝහ විතරයි අතහරින්න කියලා කිව්වේ. මොකද එහෙම නැත්නම් හිඟන්නත් හැමදේම අතහැරපු කෙනෙක්. ඒත් හිඟන්නා සතුටින්ද ඉන්නේ ? නිවන් දැකලද ඉන්නේ ? ඒ නිසා මම කළේ අතහැරෙන්න ඉඩ දීපු එක. මොකද මේකත් එක්තරා විදිහක රැකියාවක්. හැබැයි අපේ ඉලක්කය නිවන. රාග, ද්වේෂ, මෝහ. ඒවා තමයි අපි මෙතැනදී අතහරිමින් ඉදිරියට ගමන් කරන්නේ.

?ඒත් අඩු වයසින් ව්‍යාපාරිකයකු වුණු ඔබවහන්සේ ඒ ව්‍යාපාරයත් අතඇරලයි පැවිද්දට එළඹෙන්නේ 

පොඩි ළමයෙක් පොඩි කාලේ අසූචි පවා කනවා. නොකා ඉන්නේ අම්මා ගහයි බණියි කියන බයට. පසුව මේ ළමයාට තේරෙන දවසක් එනකොට අම්මා කියල දෙනවා අසූචි කෑවොත් ලෙඩ වෙනවා කියලා. ඒක හරියට මේ ළමයා තේරුම් ගත්තොත් ආයෙත් අසූචි කයිද ? ඒ වගේම තමයි දහම. ඒ දහම තමයි මගේ කල්‍යාණ මිත්‍රයා වුණේ. ඒ නිසා ඒ යථාර්ථය අවබෝධයට වැටුණාට පස්සේ මම මොකටද ඒ අසූචි ගොඩේ තවදුරටත් ළඟින්නේ? 

?හැබැයි ඔබවහන්සේටත් ඒ කාලේ මුදුනට යාමේ ආශාව තිබුණා

ඔව්. ලංකාවට වගේම ලෝකෙටම හඳුන්වාදෙන අලුත්ම මාදිලියේ තාක්ෂණික උපකරණ සහ මෙවලම් එක්ක වැඩ කරන්න ලැබෙද්දී තව කවුරුහරි නොකරපු දෙයක් කරලා %මුදුනා^ වීමේ ආශාව මට තදින්ම තිබුණා. ඒ තාක්ෂණය හඳුනාගෙන ඒ වැරැද්ද හරියටම නිවැරදි කිරීමේ ආශාව මටත් තිබුණා. ඒක මගේ පිස්සුවක් කිව්වොත් වඩා නිවැරදියි. මමම හිතින් හදාගත්ත මුදුනෙක් මමම නඩත්තු කෙරුවා. දැන් තමයි එතන තියෙන බොරුව අවබෝධ වෙලා තියෙන්නේ. ඒත් ඒක නිවැරදිව අවබෝධ කරගෙන එයින් අත්මිදෙන්නේ අද කීයෙන් කීදෙනාද?

?කොහොම වුණත් ඔබවහන්සේට නම් පැවිදි වෙද්දී පෙම්වතියකුත් හිටියා

ඔව්. එයා මේ තීරණයට කැමැති වුණේම නැහැ. ඒත් එයා ලෝක සම්මතයට අහුවෙච්ච කෙනෙක් නිසා අපි වෙන් වුණා. අනික පැවිදි වෙන්න තීරණය කරද්දිත් මගෙන් ගොඩක් අය ඇහුවේ ගෑනු ළමයා තරහ වෙලාද පැවිදි වෙන්නේ කියලයි. එහෙම නැත්නම් පවුලේ වෙන මොකක්හරි ප්‍රශ්නයක්ද කියලයි. මොකද එයාලා ඒ ගැන හිතන්නේ ලෝක සම්මතය ඇතුළෙන්. ඒත් මම ඒ තීරණය ගත්තේ එහෙම නෙමෙයි. අවබෝධයෙන්. මොකද මම තවදුරටත් පමා වෙන එකේ තේරුමක් නැහැ. ඒක මට අවබෝධ වුණා. හෙට මට පිළිකාවක් හැදුණොත් මම මොකද කරන්නේ ? හෙට මම මැරුණොත් මොකද කරන්නේ ? එහෙම වෙන්න බැරිද ? අනික මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. නැවත ඉපදෙන එකයි. ගත්තු ජීවිත රක්ෂණයෙන් වැඩක් තියෙනවද?

?එතකොට දැන් මොනවද ආදරේ ගැන හිතෙන්නේ 

ආදරය කියන්නේ පෙළීමෙන් නිදහස් වෙන්න හදාගත්ත මායාවක්. දුක් විඳල විඳල හේතු ගළපගෙන, දුක් විඳින එක තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒත් වඩා වැදගත් වෙන්නේ ඒ ආශ්වාද මායාව පිටුපස ඇති දුක අවබෝධ කර ගැනීමයි. මුලින්ම සිදුවිය යුත්තේ ඒකයි. එහෙම නැතුව දුක විඳින එක නෙමෙයි අවබෝධය කියලා කියන්නේ. ඉන් පස්සෙයි මේ දහම් මාර්ගයේ ප්‍රවේශ වෙන්න අවශ්‍යතාවය එන්නේ. ඒ නිසා ආදරය කියන්නේ හේතු රාශියක ඵලයක් කියලා මම අවබෝධ කරගෙන ඉන්නේ. අනික මම උත්සාහ කරන්න ඕනිද, ආදරය වෙනුවෙන් ගෑනු ළමයා නමැති හේතුව උදා කර ගන්න? ඒ හේතුව පවත්වාගෙන යන්නත් ඕනි. ඒකේ ඉවරයක් වෙන්නෙත් නැහැ. හැබැයි අවසානයේ උදා වෙන්නෙත් දුකක් නම් ඒ උදාකර ගැනීමෙන් ඇති වැඩේ මොකක්ද?

?පෙනෙන යථාර්ථය මිසක් නොපෙනෙන බලවේග,නැකැත්,කේන්දර ආදිය අපි විශ්වාස කළ යුතු නැහැ නේද 

ඕනෑම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ධර්මයේ නිවන් දැකිය හැකි ලෝකෝත්තර අර්ථය පසුකාලීනව යට යනවා. ලෞකික අර්ථය තමයි ඉස්මතු වුණේ. ඒ අනුව ලෝකයේ පැවැත්ම උදෙසා දේශනා කළ දහම තමයි බහුලව සමාජගත වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කේන්දර,නැකැත් බැලීම ආදිය ගිහියාට ප්‍රතික්ෂේප කළේ නැහැ. ජනපද නිරුක්තියට පවා ගරු කරන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ.

?ඒත් ඉරණම් පත්‍රයේ ආකාරයට සියලු දේ සිදුවීමට නියමිතයි නම් මොකක්ද අනියතයි යනුවෙන් අදහස් කෙරෙන්නේ

කෙනෙක් කාවහරි යට කරල මැරුවොත් ඒ කෙනාට ඒ කර්මය විපාක දෙන්න පාරෙම යන්න වෙනවා. ඒ වගේම කර්මය විපාක දෙන්න නම් ඒ හේතු ටික ගැළපෙන්නම ඕනි. ඒ වගේම හේතු ගැළපුනොත් බේරුමක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට පවා තමන්ගේ කර්ම විපාකවලින් ගැළවෙන්න බැරි වුණේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකටද දෙව්දත් තෙරුන් ගල පෙරළන වෙලාවේ කකුල තුවාල කරගන්නේ? උන්වහන්සේ කල් තියා දැනන් හිටියා තමන්ට ඒ කර්මය පඩිසන් දෙනවා කියල. ඒ නිසා නක්ෂත්‍රකරුවන්ට පුළුවන් වෙන්නේ ඒ කර්මය පඩිසන් දීමට බලපෑ හැකි හේතු විපරම් කරලා අවශ්‍ය හේතු ටික එහා මෙහා කිරීම පමණයි. ඒ මොහොත තාවකාලිකව මගහැර යාමට උදව් කිරීම පමණයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ කේන්දර විශ්වාස කිරීම හෝ නොකිරීම නෙමෙයි. කර්ම විපාක අහෝසි කර දැමීමයි. දහම් මාර්ගයේ නියැළීමයි. කොහොම නමුත් නොපෙනෙන බලවේග නොපෙනීම අපේ ප්‍රශ්නයක් මිසක් ලෝකවල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ලෝකයට තියෙන්න ඕනි විදිහට තියෙන්න ඇරලා තමන් මේ ලෝකයෙන් මිදෙන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ.

?බුදු දහමේ එන පරිදි නිවැරදි පෙරහරක ස්වභාවය,වත්මන් ස්වභාවයට වඩා වෙනස් නේද

පෙරහරක ඉදිරියෙන්ම යන්නේ ධාතූන් වහන්සේලා. ඉන්පස්සේ අරිහතුන් වහන්සේලා. ඉන්පස්සේ ස්වාමීන් වහන්සේලා. ඉන්පස්සේ උපාසක, උපාසිකාවෝ. ඉන්පස්සේ මල් වට්ටියක් අතින් අරන් යන අය. ඉන්පස්සේ මල් බයිසිකල්. ඉන්පස්සේ මහබඹා. ඉන්පස්සේ කෙළි සෙල්ලම් කරන අය. ඉන්පස්සේ බේබද්දෝ වගේ අය. ඉන්පස්සේ සතර මහා අපායේ යන අය. උදාහරණයක් විදිහට සතර මහා අපායේ යන අය තමයි කවදාහරි බේබද්දෝ වෙන්නේ. බේබද්දෝ තමයි කෙළි සෙල්ලම් කරන අය වෙන්නේ. කෙළි සෙල්ලම් කරන අය තමයි මහබඹා වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි පෙරහරකින් දහම් මාර්ගයේ හැසිරෙන ආකාරය සංකේතවත් කරන්නේ. ඒකයි පෙරහර යන්න නිවන් මාර්ගයේ සංකේතයක් වෙන්නේ. නො‍ෙයකුත් ආගමික සහ සංස්කෘතික හේතු මත වත්මන් පෙරහර මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඒවාට අපි ගරු කළ යුතුයි. ඒ තුළත් නිවන දැකගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ.

?අතීත මතකයන් හිතට එද්දී කොහොමද මේ මොහොත සුවපත් කරගන්නේ

ඒක විපාකයක්.කෙළින්ම විපාකයක්.මනස ඉන්ද්‍රීය සමග බැඳෙන අරමුණක්. ඒ අරමුණ සහ මනස ගැටෙන තැන මනෝ විඥානය හැදෙනවා. එය සිදුවෙන්නේ විපාක වශයෙන්. විපාකය කියන්නේ අපේ උරුමය. එහෙනම් ඇයි අපේ උරුමයට ආයෙත් කරුම කරන්නේ? මතක් වෙන්න පුළුවන්. ඒත් එතැනින් එහාට ඒවා රමණය කිරීම නොකළ යුතුයි. දහම් අවබෝධය එක්ක තමයි ඒ පුහුණුව ලැබෙන්නේ. එදාට ඇහෙන් දකින රූපය පවා රූපය යන මට්ටමට හිත නවත්වාගන්න පුළුවන්. එදාට මට පෙළීමක් නැතිවෙයි.

?ඇත්තටම යථාර්ථය අවබෝධය කර ගැනීම කියලා කියන්නේ මොකක්ද

අපට තථාගතයන් වහන්සේ කියලා දුන්නේ ඇස් දෙක පාදවා ගන්න ක්‍රමය. ඒ තමයි දහම. ඒ දහම අහලා හොඳින් ධාරණය කරගෙන හැසිරෙද්දී තමයි යථාර්ථය පෙනෙන්න ගන්නේ. ඒක කොයි ස්වාමීන් වහන්සේ දේශනා කළත් එකයි. වෙනස තියෙන්නේ එක් එක් ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අවබෝධ වුණු මට්ටමට. උදාහරණයකට ගුරුවරියක් අපිට වර්ගඵලය උගන්වනවා. අපිට ඉන්පස්සේ ලෝකේ තියෙන ඕනිම දෙයක් වර්ගඵලයෙන් විසඳන්න පුළුවන්. හැබැයි ඉන්පස්සේ ගුරුතුමිය දෙන පරිමිතිය සම්බන්ධ ගාණ විසඳන්න අපිට බැහැ. මොකද අපි පුරුදු වෙලා හිටියේ වර්ගඵලයෙන් හැමදේම විසඳන්න. හැබැයි එකතු කරන්නයි, අඩු කරන්නයි, බෙදන්නයි, ගුණ කරන්නයි අපි හරියට ඉගෙන ගත්තා නම් මේ ලෝකේ ඕනෙම ගාණක් හදාගන්න අවශ්‍ය මූලික ඥානය අපට දැන් තියෙනවා. ඔන්න ඔය වගේ දහමේ මූලික අවබෝධය ලබාගත්ත කෙනාට යථාර්ථය දැක ගන්න පුළුවන්.

?හැබැයි පැවිද්දෙකුටත් ශීලය පවත්වාගෙන යන්න සිදුවෙනවා. එතකොට මෙතැනත් යම් පවත්වාගෙන යෑමක් තියෙනවානේ

සියලුම ආකාරයේ පවත්වාගෙන යෑම් අපවත් කරන්නයි අපි පැවිද්දට ආවේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දේශනා කළේ. ඒ වෙනුවෙන් තමයි අපි ඒ ශීලය පවත්වාගෙන යන්නේ. එතකොට තමයි මගේ දේවල් අපවත් වෙන්නේ. එතකොට කවදාහරි මම යන්නත් අපවත් වේවි. 

?ඒත් අරහත් භාවය ලබාගැනීම කියන්නෙත් කැමැත්තක්ම තමයිනේ? කැමැත්ත කියන්නේ අල්ලාගැනීමක් 

නිවන ළඟා කර ගන්න නම් සතර සෘද්ධි පාද සම්පූර්ණ වෙන්න ඕනි. එයින් එකක් තමයි නිවනට ඇති කැමැත්ත. ඒ කැමැත්ත නැත්නම් ඒ මඟට එළඹෙන්නේ කොහොමද ? ඉන් පස්සෙයි ඒ වෙනුවෙන් හිතක් සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉන්පස්සෙයි විමර්ශනය කරන්නේ. විමර්ශනය කරනකොට තමයි ඒ මග ගැන සැක හැර දැන ගන්නේ. ඉන්පස්සේ මොකටද ආයෙත් අහන්නේ ඒ මග හරිද කියලා ? ඒ මග වඩන කෙනා යම් දවසක මග පූර්ණය කර ගන්නවා. ඒ ප්‍රයත්නය තුළ බිහිවන අරහතුන් වහන්සේ ආයෙත් මොකටද අරහත් භාවය ලබා ගැනීම සඳහා කැමැත්තක් සකස් කර ගන්නේ?

?බුදුරජාණන් වහන්සේ කියන්නේ විමුක්තිය දේශනා කළ සමාජවාදියෙක්ද

සම්මතයේ පවතින සමාජවාදී යන අදහසින් නම් උන්වහන්සේ සමාජවාදියෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ සමාජය ඉක්මවා ගිය සමාජය සමග ගැවසුණු උත්තමයෙක්. සමාජය කියන්නේ ලෝකයට. අරිහතුන් වහන්සේලා ජීවත් වෙන්නෙත් සමාජයේම තමයි. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පවත්වාගෙන කර්ම විපාක වෙනස් කරන්න ගියේ නැහැ. අඩුම තරමේ උන්වහන්සේට පවා විපාක දුන් කර්ම විපාක පවා වෙනස් කරන්න ගියේ නැහැ. ඒ තරම් උන්වහන්සේ ඒ යථාර්ථය අවබෝධ කරගෙන හිටියේ. මොකද උන්වහන්සේ තමයි ඒ යථාර්ථය හොයාගත්තේ. ඒ නිසා කාගෙවත් කර්ම විපාක නවත්වනවා වෙනුවට උන්වහන්සේ කළේ නිර්වාණය කරා මග පෙන්වීමක්. කොටින්ම කිව්වොත් අපි මේ උත්සාහ කරන්නේ දුගතියට හේතුවන සසර ගනුදෙනු නවත්තගන්න. සසරින් පැන යන්න. මොකද එහෙම නැත්නම් අපි අනාදිමත් සංසාරෙක ඉඳන් කරපුවා පඩිසන් දෙනවා. ඉපදෙන සත්ත්වයාට ඒ ඉරණම අත්වෙනවා. ඒ නිසයි ඉපදීම නවත්වා ගන්න උත්සාහ කරන්නේ.

?එහෙනම් ඇයි පැවිද්දන් තමාගේ නිවන උදෙසා පමණක් මහන්සි නොවී පරාර්ථකාමයේ යෙදෙන්නේ

දෙන්නෙක් එක්ක නිවන් යන්න බැහැ. මේක තනිවම යන ගමනක්. තමන්ගේ අර්ථය පිණිස වැඩ කර ගැනීමේ හැඟීම ආත්මාර්ථකාමිත්වය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. හැබැයි උන්වහන්සේ අපට දේශනා කළේ අපට අපේ ඉලක්කයට යන ගමන් පරාර්ථයේ යෙදෙන්න කියලයි. ඒකයි පැවිද්ද කියල කියන්නේ. අනික් අයගේ හිත සුව පිණිස අපි වැඩ කරන්නේ ඒකයි. හැබැයි ඒක අපි කරන්නෙත් නිවන උදෙසා. එහෙම නැතුව ලෝක සම්මතයේ තියෙන දේවල් රකින්න නෙමෙයි. ඒ නිසයි උන්වහන්සේ තමාව වැඳ පුද පුද ඉන්නවට වඩා වහ වහා අවබෝධය ලබාගන්න කියලා දේශනා කළේ. මොකද උන්වහන්සේ බුද්ධත්වය ලැබුවේ ශීලය හෝ වතක් ගැන දේශනා කර කර ඉන්න නෙමෙයි. අවබෝධය ලබාදෙන්න. ඒ නිසා මල්,පහන් පූජා කරනවා නම් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින්, ඒ ගුණ තමන් තුළත් ඇති වේවා යන ප්‍රාර්ථනය ඇතුව අර්ථාන්විත කටයුතු කිරීමයි වඩා වටින්නේ. එහෙම නැතුව කරන්නන් වාලේ පිච්ච මල් අසූ හාර දාහක් පූජා කළත් එයින් නිසි ආනිසංස ගන්න බැහැ. අට පිරිකර කීයක් පූජා කළත් අවබෝධයක් නැතුව කරන එකෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න බැහැ. තථාගතයන් වහන්සේ පහළ වුණේ උන්වහන්සේට වැඳ වැඳ ඉන්න කියන්න නෙමෙයි. ඒ නිසා ධර්මාවබෝධය ලබා ගන්නේ නැතුව තවදුරටත් වැඳුම් පිදුම් කර කර ඉන්නවද කියල නැවත හිතන්න ඕනි.

?ඒත් ප්‍රාර්ථනාව කියල කියන්නෙත් එක්තරා විදිහක අල්ලා ගැනීමක් නේද 

ප්‍රාර්ථනා කළා කියලා ලැබෙන දෙයක් නැහැ. ඒත් නිවන උදෙසා කටයුතු කරන කෙනෙකුට ආයේ නිවනක් ප්‍රාර්ථනා කරන්න ඉඩක් නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙළේ නියැළීමයි වඩා වැදගත් වෙන්නේ. හැසිරීමයි වැදගත් වෙන්නේ. හැබැයි “ආයේ දහම් අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය නොවන්නම දහම් අවබෝධය ලැබේවා ” කියලා අධිෂ්ඨානයක් කරන්න පුළුවන්. ඒකයි වඩා උතුම්.
?එදා ගත්තු තීරණේ ගැන දැන් මොකද හිතෙන්නේ

තාත්තගේ උපන් දිනය දවසේ ගත්තු ඒ තීරණේ ගැන දැන් මට වචනයෙන් විස්තර කරන්න බැහැ. ලෝකයෙන් මිදෙන්න අවශ්‍ය අඩිතාලම වැටුණා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඒ දහමට අනුව හැසිරිලා, කල්‍යාණ මිත්‍ර සේවනයෙන් නිවන සාක්ෂාත් කර ගැනීම පමණයි දැන් මගේ අරමුණ.

මාලන් විදානපතිරණ

(අවංකව නිවන උපනිශ්චයව ඉන්නා උන්වහන්සේලාගේ පැවිදි රුව මෙහි ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න, මෙහි පළවන සියලු ඡායාරූප ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව පළවන එ්වායි. උන්වහන්සේලා අත්විඳින ඒ නිරාමිස සුවය උදාකර දුන් නිර්මල සද්ධර්මය පරිශීලනයට පහත සඳහන් විස්තර උපයෝගී කරගන්න.) 
සම්බන්ධීකරණය - 077 279 0013 (සනත්), ධර්මයයි ඔබයි ආරාමය, කීනගහවිල, කලටුවාව, රත්නපුරය

වෙබ් අඩවිය: http://www.dharmayaiobai.org
Facebook: http://www.facebook.com/dharmayaiobai/
YouTube: http://www.youtube.com/c/dharmayaiobai/



Recommended Articles