ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා රාජ්‍ය බැංකු අනතුරට ලක්වෙලා


ආණ්ඩුවේ වැරදි ආර්ථික උපායන් හේතුවෙන් රට දිනෙන් දිනම ආර්ථික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව බොහෝ වෘත්තීය සමිති සඳහන් කරන කාරණයකි. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එම සඳහා ජනතාව මත අධික ලෙස බදු බර පැටවීම හා රාජ්‍ය සම්පත් විකුණා දැමීම හෝ බදු ලබාදීම මෙන්ම රාජ්‍ය බැංකු කොටස් වෙළෙඳ පොළට විවෘත කරන බවටත් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම ක්‍රියාවන්ට එරෙහිව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන අතර, සමහර වෘත්තීය සමිති ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග විරෝධතා ව්‍යාපාර පැවැත්වීමටත් සැලසුම් කර ඇත. මේ පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා සමග අද කථා බහක නිරත විය. 

 
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීම
 
ආණ්ඩුවේ සියලුම සැලසුම් සකස් වෙන්නේ රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට. ඒත් ආණ්ඩුව ජනතාවට සුන්දර වචන ටිකක් කියලා ජනතා අවධානය වෙනතකට යොමු කරමින් ඉන්නේ. 
ආණ්ඩුව කියන්නේ රාජ්‍ය බැංකු කාර්යක්ෂම කිරීමට ප්‍රතිසංස්කරණය කරනවා කියලා. එහෙම කියලා මුලින්ම රාජ්‍ය බැංකුවලින් ප්‍රධාන බැංකු හතරක කොටස් 10෴ බැගින් ගනුදෙනුකරුවන්ට හා සේවකයන්ට පැවරීමට යෝජනා කරලා තියෙන්නේ. මෙහෙම කරන්නේ රාජ්‍ය බැංකු පෞද්ගලිකරණය කිරීමේදී නැගෙන ජනතා විරෝධය අවම කිරීමේ උපක්‍රමයක් ලෙස 
සැබෑ ලෙසම මේ හරහා සිදුවන්නේ ගනුදෙනුකරුවන්ට සේවකයන්ට කොටස් ලබාදෙන මුවාවෙන් ව්‍යාපාරිකයන්ට කොටස් මිලදී ගැනීමට සැලැස්වීමයි
 
රටේ බැංකු ප්‍රමාණය
 
ලංකාවේ වාණිජ බැංකු 26ක් තියෙනවා. මෙම ප්‍රමාණයෙන් 08ක් රජය සතු බැංකු. මෙහිදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා අායෝජන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව. සියට සියක් රජය සතුයි. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ 51%ක කොටස් රජය සතුව පවතිනවා.
මෙම බැංකු සියල්ලම ලාභ ලබනවා. මීට අමතරව ජනතා විශ්වාසය පවතින බැංකු මෙහි කොටස් වෙළෙඳ පොළේ විකුණා දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. එහෙම තියෙද්දී 10%ක කොටස් වෙළෙඳ පොළට නිකුත් කරන්න සැලසුම් කරනවා. 10% කොටස ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් අවසානයට රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය වෙන්න පුළුවන්. මේ සඳහා උදාහරණයක් තියෙනවා. 1979 වසරෙදී රජය සතුව බැංකුවක් තිබුණා. 1994දී ඒ බැංකුවේ කොටස්වලින් 61%ක් පෞද්ගලික අංශයට පැවරුවා. 1997 වසරේදී ඒ කොටස් ප්‍රමාණය 87.5% දක්වා ඉහළ දැම්මා. අවසානයේ රාජ්‍යය සතු වුණේ සුළු කොටස් ප්‍රමාණයක්. 10%ක් පෞද්ගලික අංශයට පැවරීමේ කටයුත්තත් ඔය විදිහට අවසන් වෙන්න පුළුවන්.
 
රාජ්‍ය බැංකුවල කොටස්  කොටස් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ මූලික ගැළපීම
 
ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි කරලා තියෙනවා. මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රා‘දේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල පාර්ලිමේන්තු පනත් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
 
මීට අමතරව බැංකු ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. මීට අමතරව බැංකු පවරා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ බැංකුවක් තවත් බැංකුවකට පවරාගෙන ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය කටයුතුත් සිදු වෙමින් තිබෙනවා.
 
ගනුදෙනුකරුවන් හා බැංකු මත බදු පැනවීම
 
මුලින්ම ගනුදෙනුකරුවන් බැංකුවේ මුදල් තැන්පත් කරනකොට හා මුදල් නැවත ලබා ගැනීමේදී බද්දක් අය කරන්න සැලසුම් කළා. ඒත් අප සංගමය සිදු කළ විරෝධතා නිසා ආණ්ඩුව එය හකුලා ගත්තා.
ඒත් නැවත වටයකින් ඒ ක්‍රමය යළිත් ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. මෙතැනදී මුල් අවස්ථාවේදී ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කර ගැනීමට උත්සාහ කළා‍‍. ඒත් දැන් සැලසුම් කරලා තියෙන්නේ සෘජුවම බැංකුවෙන් එම බදු ක්‍රමය අය කර ගන්න. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණත් බැංකු ඔය දේ කරාවිද කියලා කියන්න බැහැ. ඒක නිසා අවසානයට වෙන්නේ ගනුදෙනුකරුවන්ගෙන් අදාළ මුදල අය කර ගැනීම. මේ හරහා වන්නේ ජනතාව බැංකු ගනුදෙනුවලින් ඉවත් වීමයි.
 
ඉතුරු කිරීම
 
මෙතැනදී කාණ්ඩ දෙකක් යටතේ කතා කළ යුතු වෙනවා. එනම් සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන කාණ්ඩ දෙකක් යටතේ
 
සංවර්ධිත රටවල ජනතාවට පවතින ආර්ථික ක්‍රමවේදවලට අනුව ඉතිරි කිරීමක් සිදු වන්නේ යම් ප්‍රමාණයකට. බොහෝ විට සිදුවන්නේ මුදල් ආයෝජනය කිරීම. එත් අපි වගේ සංවර්ධනය වන රටවල ඉතුරු කිරීම කියන්නේ ඉතාමත් වැදගත් කොටසක්. ජනතාව ඉතුරු කිරීමෙන් තමයි ජීවිතය ගොඩ නගා ගන්නේ. ජනතාව ඉතුරු කිරීම නිසා රටටත් විශාල වාසියක් සිදුවෙනවා. මොකද අපේ රට ණය ලබා ගන්නවා. එහිදී විදේශ ණය ලබා ගන්නවට වඩා දේශීය වශයෙන් බැංකුවලින් ණය ලබා ගැනීම රටට වාසියක්. මේ නිසා ජනතාව බැංකුවල ඉතුරු කරනවා කියන්නේ රටට ශක්තියක්්. මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තත් අපේ රටේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරනවට වඩා බැංකුවල මුදල් තැන්පත් කිරීම ශක්තිමත් දෙයක්.
 
සෑම පුද්ගලයෙකුටම බදු ලිපි ගොනුවක් සකස් කිරීම
 
ආණ්ඩුවේ සැලැස්ම තිබු‍ණේ හැම කෙනෙකුටම බදු ලිපි ගොනුවක් සකස් කරලා බදු අය කර ගන්නයි‍. මේ හරහා ළමා ඉතුරු කිරීම්වලටත් බදු පැවරුවා. කොහොම හරි අප සංගමයේ හා ජනතා විරෝධය නිසා එම ක්‍රමය ආණ්ඩුව හකුලා ගත්තා. ඒත් බැංකු මත අතිවිශාල බදු මුදලක් පටවලා තියෙනවා. 
මේ නිසා බැංකුවල ආදායම, වියදම පිරිමසා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අයකර ගැනීමට සිදුවෙනවා. උදාහරණ ලෙස කියනවා නම් ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමේදී අය කළ මුදල පවා ඉහළ ගියා. මේ දේවල් කරන්න ගිහිල්ලා බැංකුවක් දෙකක් කඩන් වැටුණොත් ඒක අතිශය බරපතළ කාරණයක් වෙනවා. මොකද මේ රට ගත්තම සීමිත මූල්‍ය වෙළෙඳ පොළක තමයි මේ බැංකු ගනුදෙනු කරන්නේ
 
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ බලපෑම
 
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා රටට විශාල බලපෑමක් සිදු වෙනවා. බැංකු ක්ෂේත්‍රය ගත්තම ඒ හරහා තවත් බැංකුවක් රට තුළ ස්ථාපිත කිරීමට නියමිතයි. මේ හරහා මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගැටලු නිර්මාණය වෙනවා. මෙම ගිවිසුමට අනුව ලංකාවේ කාටවත් ඒ රටේ මූල්‍ය කටයුතු වෙනුවෙන් තරග කරන්න බැහැ. මෙතැනදී තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි අපි ගනුදෙනු කරන්නේ සීමිත මූල්‍ය වෙළෙඳ පොළක වීම. එවැනි තත්ත්වයක් තුළ දැනට තියෙන බැංකු 26ක ප්‍රමාණය 27ක් බවට පත්වීම හරහා සිදු වන්නේ ගනුදෙනු බෙදී යෑමයි‍.
 
බදු පිට බදු පැනවීම
 
අප සංගමයේ නම ලංකා බැංකු සේවක සංගමය වුණාට මේ සංගමය තුළ ලංකාවේ බැංකු 26ම නියෝජනය කරන පිරිස් සිටිනවා. මේ අනුව සමස්ත බැංකු නියෝජනය ජනතාව මත බදු පිට බදු පැටවීමට විරෝධය දක්වනවා. ඉදිරියේදී බදුවලට එරෙහිව හා ජනතාවට, රටට බලපාන කාරණා 05ක් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් සැලසුම් කරලා තියෙන්නේ
 
පොදුවේ බදු අය කර ගැනීම සලකා බැලුවොත් 2014 වසරේ රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 1,050ක්, 2015 වසරේදී රුපියල් බිලියන 1,355ක්, 2016 වසරේදී රුපියල් බිලියන 1,463ක්, 2017 වසරේදී රුපියල් බිලියන 1,670ක්, මේ වසර ගත්තොත් රුපියල් බිලියන 2,034ක්. මෙම බදු මුදල සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක් පුද්ගලයෙකු වර්ෂය තුළදී රුපියල් 93,732ක් ගෙවන්න ඕන. මාසයකට ගණනය කළොත් බදු වශයෙන් රුපියල් 7,811.00 ගෙවන්න ඕන.
 
බදු අය කරන ක්‍රමවේදය
 
බදු ගෙවන්නෝ ඉහළම ආදායම් ඇති පිරිස් ලෙස තමයි පොදුවේ සලකන්නේ. ඒත් ලංකාවේ බදු අයකරන ක්‍රමය සලකා බැලිමේදී මේ වසරේ රටේ සමස්ත බදු ආදායම වෙන්නේ රුපියල් බිලියන 2,034ක්. මෙම මුදල මිලියන 22ක ජනගහණයක් ගෙවිය යුතු වෙනවා. (වෙනස්විය හැකිය) මෙහිදී මෙම බදු මුදල්වලින් රුපියල් බිලියන 1,729ක් ගෙවන්න සිදුවෙලා තියෙන්නේ සමාජයේ සිටින අඩු ආදායම් ලබන පිරිස්වලට. ඒකට හේතුවෙලා තියෙන්නේ මෙම මුදල් ප්‍රමාණය වක්‍ර බදු හරහා උපයා ගැනීමට කටයුතු කිරීමයි. මෙම තත්ත්වය නිසා ප්‍රෙට්රල් ලීටරයකට අයකරන මුදලින් රුපියල් 70ක් බදු බවට පත්වෙලා තියෙනවා. මෙය උදාහරණයක් පමණයි.
 
උපයන විට බදු අය කිරීම
 
උපයනවිට ගෙවන බදු නැතහොත් Paye Tax පනත ක්‍රියාත්මක වීමට පෙර බදු අය කිරීමක් සිදු කළා. එහිදී මාසිකව රුපියල් 62,500ක් දක්වා ආදායම් ලබන සේවකයන් බදුවලින් නිදහස් වුණා. වර්තමාන ආණ්ඩුව එම මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට ගෙන ගියා. එය සේවකයාට ලැබෙන සහනයක් ලෙසටත් ආණ්ඩුව පෙන්නා දුන්නා. ඒත් ඇත්ත තත්ත්වය සැලකීමේදී ඒක බොරුවක්. මොකද බදු අය කිරීමට ගණනය කිරීමේදී මෙච්චර කලක් සේවක සහන ණය, ප්‍රවාහන දීමනා, ආහාර දීමනා, නිල ඇඳුම් දීමනා, නිවාඩු නිකේතන ගාස්තුවලට බදු අයකිරීමක් හෝ වැටුපට එකතු කරලා බදු අයකිරීමක් සිදු කළේ නැහැ. එ්ත් නව බදු ක්‍රමය යටතේ මේ සියලුම දේවල්වල මූල්‍ය වටිනාකම ගණනය කරලා බදු අය කරනවා. එතකොට බදු සහනය රුපියල් ලක්ෂයක් කිරීම තුළින් වැඩ කරන ජනතාවට සහනයක් වුණේ නැහැ.
 
අර්ථසාධක අරමුදල අස්ථාවර කිරීමේ සැලැස්ම
 
රජයට ණය ලබාදෙන ජාත්‍යන්තර ආයතන දිගින් දිගටම අප රටේ බලධාරීන්ට කියන්නේ මෙම අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න කියලා. මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබාදීමේ කොන්දේසියක් ලෙසටත් මෙම යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මෙම අරමුදල ගොඩනැගිලා තියෙන්නේ මේ රටේ වැඩකරන ජනතාව උපයා ගන්නා වැටුපෙන් කොටසක් හා අදාළ ආයතනවලින් ලබාදෙන කොටස් මුදල්වලින්. මෙම අරමුදල ගැන කතා කිරීමේදී එහි වර්තමාන වත්කම රුපියල් බිලියන 2020ක්. මෙම අරමුදල කොතරම් විශාලද කියනවා නම් 2017 වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,839යි. ඒත් අර්ථසාධක අරමුදලේ වත්කම රුපියල් බිලියන 2,000 ඉක්මවුවා
 
සේවක අර්ථ සාධක අරමුදලේ සමාජ සත්කාරක දේවල් ලෙස රජයේ ණය අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගන්නවා. මේ හරහා රටේ ණය පොලී අනුපාතය පාලනය වෙනවා. මීට අමතරව බැංකුවලට වඩා තම සාමාජිකයන්ට අර්ථ සාධක අරමුදල ප්‍රතිලාභ ලබාදෙනවා. (වාර්ෂික පොලිය සහ ලාභාංශ) මේ තරම් ශක්තිමත් අරමුදල විනාශ කර දැමීමට ජාත්‍යන්තර ණය දෙන ආයතන කටයුතු කරන්නේ රටේ ශක්තිය අඩපණ කිරීමටයි. 
 
රාජ්‍ය දේපොළවලට මිලක් නියම කිරීම
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩු අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති නිසා දිනෙන් දිනම රට ණය කන්දකට යට වෙමින් තියෙනවා. මේ නිසා ජනතා සුබසාධනය කප්පාදු කරනවා. මීට අමතරව බදු පිට බදු පනවනවා. මේ අතර තුර රාජ්‍ය සම්පත් විකුණා දැමීමට හෝ දිර්ඝ කාලීන වශයෙන් බදු ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. මේ සෑම දෙයකින්ම සිදු වන්නේ මේ රටේ ජනතාව පීඩාවට පත්වීම. මේ නිසා ජනතාව තලා පෙළා දමන කටයුතු වළක්වා ගැනීමට සමස්ත රටේ බැංකු පද්ධතිය නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය පෙරමුණ අරගෙන තියෙන්නේ. මේ අනුව ජනතාව මූලික කර ගනිමින් කරුණු 05ක් මුල් කර ගනිමින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. එම කරුණු පහ වෙන්නේ,
 
1. රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම
2. රජයේ නව බදු ප්‍රතිපත්තිය
3. විශ්‍රාම වැටුප් කප්පාදුව
4. රට වනසන සිංගප්පුරු  වෙළෙඳ ගිවිසුම
5. ජනතාව ආර්ථික උගුලකට තල්ලු කර දැමීම හා කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් වැඩ කරන ජනතාව තළා පෙළා දැමීමට එරෙහිව මෙම ක්‍රියා මාර්ග දියත් කරනවා. මුලින්ම පළාත් මට්ටමින් රැස්වීම තියලා අපේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. ඉන් පසුව ජාතික මධ්‍යස්ථානයක් ලෙස ජාතික මට්ටමේ ක්‍රියාමාර්ග දියත් කරනවා. මොකද ආණ්ඩුව මේ හැම දෙයක්ම කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශක්තිමත් කරන්නයි. මේ නිසා රට දවසින් දවස අගාධයට වැටෙමින් තියෙන්නේ.


Recommended Articles