ආණ්ඩුවට විකුණන්න හරි ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හදපු දේවල් විතරයි


තෙල් මිල වැඩිකරලා, ඔබතුමා දන්නවද?

තෙල් මිල වැඩි කළ පසුව අඩුකර නැවත වැඩි කිරීම ගැන රටම කතා කරන්නට විය. රටම උණුසුම් කළ තෙල් මිල කතාව ආරම්භ වූයේ පස්වැනිදා මහා භාණ්ඩාගාරයේ පැවැති තෙල් මිල සූත්‍ර කමිටු රැස්වීමෙනි.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් එම කමිටුව රැස්විය. එම රැස්වීමේදී තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග දැනගන්නේ එදින රාත්‍රි 10.30ට පමණය. ඒ වන විට අර්ජුන සිටියේ සිය නිවසේය. තෙල් මිල වැඩි වීමේ පුවත ඇසීමෙන් අර්ජුන රණතුංග විස්මයට පත් වූ අතර, ඔහු වහාම ජනාධිපති මෛත්‍රීට දුරකථනයෙන් කතා කර තෙල් මිල වැඩි කිරීම ගැන දන්නේදැයි අසා තිබිණි.

ඒ වන විට අවදියෙන් සිටි ජනාධිපති මෛත්‍රී පවසා ඇත්තේ  ඒ ගැන තමන් නොදන්නා බවයි. දුරකථන සංවාදයේදීම පසුදින උදෑසන ජනාධිපති මෛත්‍රී හමුවීමට වෙලාවක් ඉල්ලා ගත් අර්ජුන රණතුංග ජනාධිපති සමග තෙල් මිල හදිසියේම වැඩි කිරීම ගැන අවස්ථාව කිහිපයකදීම සාකච්ඡා කළේය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමේ නිවේදනය සිය පිරවුම්හල් වෙත ලිඛිතව නොදැන්වූ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේ තමන් ලිඛිතව දැනුම් දෙන තුරු ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් නොකරන ලෙසයි.

මේ අතර, එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තෙල් මිල වැඩි කිරීම ගැන දීර්ඝව සාකච්ඡා කිරීමටද සියලු පාර්ශ්ව එකඟ විය.

අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට දෙපාර්ශ්වයකින් තෙල් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් විය. ඒ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් සහ මුදල් අමාත්‍යාංශයෙනි. මෙහිදී මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වුණේ 2018 ජුනි 22 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි තීරණයකට අනුව ඉන්ධන මිල මිල සූත්‍රයක් පදනම් කොට සංශෝධනය කිරීම සඳහා කමිටුවක් ස්ථාපිත කෙරුණු බවයි. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සභාපති ධුරය දරන එම කමිටුවේ සාමාජිකයන් ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෙකු, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු වේ. එම කමිටුවට ඉන්ධන මිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දෙන්නැයිද එම ප්‍රත්‍රිකාවෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්වුණු කරුණු අනුව පෙනී යන්නේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යෝජනා කරන ක්‍රමවේදය නිවැරදි නොවන බවයි.

1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය පරිදි ඉන්ධන මිල සංශෝධනයකදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව ඇතිව ඉන්ධන මිල සංශෝධන නියෝගය නිකුත් කළ යුත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසිනි. ඒ අනුව මිල සූත්‍ර කමිටුවට ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගත නොහැකිය. මිල සූත්‍ර කමිටුව එසේ මිල තීරණය කරන්නේ නම්, එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනත බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්විණි. ඇමති අර්ජුනද මේ ගැන කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නට විය.

අර්ජුන කියනකම් තෙල් වැඩි වෙලා කියලා මම දන්නේ නැහැ

පසුගිය කැබිනට් මණ්ඩලයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව නම් කර තිබුණේ ‘මිල සූත්‍රය මත පදනම් වූ ඉන්ධන මිල සංශෝධනය කිරීම’ යනුවෙනි. අර්ජුන රණතුංග අත්සන් තබා තිබූ එම පත්‍රිකාවෙන් පළමුව පෙන්වා දී ඇත්තේ මිල සූත්‍ර කමිටුවේ සභාපති ධුරය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ට ලබා දීම ප්‍රායෝගික නොවන බවයි. එම කමිටුවේ සභාපති ධුරය හිමි විය යුත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බව ඔහු සඳහන් කර තිබිණි.

කමිටුවේ සාමාජිකයන් ලෙස භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, ජාතික ආර්ථික සභාවේ මහලේකම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හෝ නියෝජිතයෙකු, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති හෝ නියෝජිතයෙකු ඇතුළත් කළ යුතු බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යෝජනා කර තිබිණි. එම යෝජනාව වඩාත් ඵලාදායී වන්නේ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති හෝ නියෝජිතයෙකු එම කමිටුව ඇතුළත් කිරීමට කළ යෝජනාවෙනි. කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශය යෝජනා කළ කමිටුවේදී ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අත්හැර තිබේ. එය අඩුපාඩුවක් ලෙස දකින ඛනිජ‍ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් යෝජනා කරන්නේ මිල සූත්‍ර කමිටුව සෑම මසකම අවසන් සතියේ රැස්ව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවයි. එම සංශෝධනයේදී සලකා බැලිය යුතු කරුණු වන්නේ ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන්, බදු, අනෙකුත් මෙහෙයුම් පිරිවැය, සුදුසු ලාභතීරු වේ. එම කරුණු සලකා බැලීමෙන් පසුව තීරණය කෙ‍ෙරන සංශෝධිත ඉන්ධන මිල පිළිබඳ සිය නිර්දේශ මිල සූත්‍ර කමිටුව ඛනිජ තෙල් විෂය භාර අමත්‍යාවරයාට ඉදිරිපත් කළ යුතු අතර, ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව ලබා ගැනීමෙන් පසුව එය කැබිනට් යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතියෙන් පසුව සංශෝධිත ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම කළ යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දැක්විණි.

කෙසේ නමුත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව දීර්ඝව සලකා නොබැලූ අතර, ඒ වෙනුවට සිදු වූයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීම සඳහා එදින සවස 4.00ට විශේෂ රැස්වීමක් කැඳවීමට ජනාධිපති මෛත්‍රී තීරණය කිරීමය.

ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීම පැවැතියේ ජනාධිපති කාර්යාලයේදීය. එම රැස්වීමේදී පළමුවෙන් කතා කළේ ජනාධිපති මෛත්‍රීය. 

“එදා රෑ අර්ජුන දුරකථනයෙන් කතා කරලා කියනකම් ඉන්ධන මිල වැඩි වෙන බව මම දන්නේ නැහැ. මට කිව්වේ රුපියල් හතරකින් පහකින් වැඩි කරනවා කියලා. එදා ඊටත් වඩා වැඩි කරලා....” කියමින් මෛත්‍රී තරමක දොස්මුරයක් මුදා හැරියේය. 

මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ.

සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කියා සිටියේ ඉන්ධන මිල මිල සූත්‍රයක් පදනම් කරගෙන වෙනස් කළ යුතු   

බවයි. එය එකහෙළීාම පිළිනොගත් අර්ජුන රණතුංග මීළඟට අදහස් දැක්වීය.

“මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපට පනත් උල්ලංඝනය කරලා අපේ හිතුමනාපෙට එවැන්නක් කරන්න බැහැ. ඉන්ධන මිල කියන්නේ අපේ ජන ජීවිතයට සමීප දෙයක්. ඉන්ධන මිල වැඩි කිරීමෙන් අපේ ජන ජීවිතයේ සෑම අංශයකට බලපානවා. ජීවන වියදම වැඩි වෙනවා. මිල සංශෝධනයේදී ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්යය කරුණක්. ඒ වගේම රටේ සංවර්ධනය සඳහා මුදල් අවශ්‍යයි. ආයතනය පවත්වා‍ගෙන යන්නත්, ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනයටත් මුදල් අවශ්‍යයි. ඒ ගැනත් අපි මිල සංශෝධනයේදී සලකා බැලිය යුතු වෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බොහෝ රාජ්‍ය ආයතනවලින් විශාල මුදල් ප්‍රමාණයක් එන්න තියෙනවා. ඒ මුදල් ලැබුණොත් තවත් ‍හොඳට සිය සේවාව ලබා දෙන්න පුළුවන්. මේ සියලු දෙයම සලකා බලා ජනතාවට බරක් නොවන විදියටත්, පනත උල්ලංඝනය නොවන විදියටත් මිල සංශෝධනය කිරීම වැදගත් ‍ෙවනවා” යැයි අර්ජුන රණතුංග දිගටම කියා සිටියේය.

කෙසේ නමුත් සාකච්ඡාව අවසන් වූයේ, මිල සූත්‍ර කමිටුව හරහා ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය වීමෙනි. එයින් කෝපයටත්, කනගාටුවටත් පත් ස්වරූපයක් අර්ජුනගේ මුහුණින් දිස් විය. සාකච්ඡාව අවසානයේදී ඔහු සිය නිල රථයට නැගී ජනාධිපති මන්දිරයෙන් පිටව ගියේ විදුලි වේගයෙනි. 

තෙවරප්පෙරුම හොට පටලවා ගත්දා

ජනාධිපති මෛත්‍රීට අයත් අමාත්‍යාංශයක ලේකම්වරයෙකු හා එම අමාත්‍යාංශයටම අදාළ කාර්යාංශයක සභාපතිවරයෙකු පසුගියදා හමුවූයේ එම අමාත්‍යාංශයේ ඉදිරි සැලසුමක් පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමටය. 

ඉහළ ගණයේ ‘බ්ලැක් කොෆී’ කෝප්පයක් තොල ගාමින් සිටි ඔවුන්ගේ සාකච්ඡාව මාතෘකාවෙන් පිට පැන දේශපාලනයට අවතීර්ණ වූයේ සුළු මොහොතකිනි.

‘කොහොමද වැඩේ.... තෙවරප්පෙරුම වැලි කේස් එකක් දා ගත්තා විතරයි ටිපර්වලට දැන් GPS දාන්නනේ යන්නේ’ ලේකම්වරයා කීය.

‘මොකක්..?’

‘නෑ... නෑ.. භූ විද්‍යා එකයි, මොබිටෙල් එකයි ඇග්‍රිමන්ට් ගහන්න යන්නේ. වැලිටිපර් වලට GPS දාලා මොනිටර් කරන්න’

‘නෑ..?’

‘ප්‍රසිඩන්ට් උපදෙස් දීලා තියෙන්නේ’

‘ඕක කලින් ඉඳලා ප්ලෑන් කරලා හිටපු එකක් නෙවේද එතකොට? සහෝදරයොනේ ඉතිං. කොයි වෙලාවේ තීරණය කර ගන්න බැරිද?’ සභාපති සිනාසුණේය.

‘ වෙන්න ඇති. වෙන්න ඇති. තෙවරප්පෙරුම නිකන් නාගන්නවා. හිත හොඳ මිනිහා එක පැත්තකින්. මං මිනිහාව ඒ කාලෙ ඉඳන් ටිකක් දන්නවා. පොඩි පිස්සුවකුත් නැතිව නෙවෙයි. හැබැයි ඒකටම තමයි මිනිස්සු කැමති’

‘අකමැති නම් පෝලිමට ඡන්දෙ දායිද ලේකම්තුමා....’

‘ඔව් ඔව්. නොකිව්වට මිනිස්සු කැමතියිනේ මැරකමට’

‘නැත්නම්, නැත්නම්.... හැබැයි මිනිහා සූරියවැව කේස් එකේදී නම් නූලෙන් බේරුණේ’ සභාපතිවරයා මුල පිරුවේ වැඩි දෙනෙකු නොදත් කතාවකටය.

‘එදා සූරියවැව වැලි කේස් එකට එස්.ටී.එෆ්. එකෙන් ගිහින් දෙන්නෙක් අතටම අල්ලපු වෙලාවේ එස්.ටී.එෆ්. එකෙන් උන්ගේ ෆෝන් 02කුත් අරගෙන තිබුණා. කොහොම හරි තෙවරප්පෙරුමව කන්ටැක්ට් කරලා වැලිකාරයො එතන්ට ගෙන්නුවනේ මිනිහව’

‘ඔව්, ඔව්.... එස්.ටී.එෆ්. එක සිවිල් පිටනේ හිටියා. තෙවරප්පෙරුම ඇහුවලු නේද තමුසේලා මේවාද ඇඳන් ආවේ කියලත්.... ‘ සභාපතිවරයා සිනාසෙන අතරේ ලේකම්වරයා කතාවේ ඉතිරිය දිග හැරීය.

‘පස්සේ මිනිහා එස්.ටී.එෆ්. ලොක්කෙකුට ඒ වෙලාවෙම කෝල් කරලා සද්දයක් දාන්න හැදුවනේ. හොඳ වෙලාවට මීඩියා එක්ක මිනිහා ආවේ. 

එස්.ටී.එෆ්. ලොක්කා කිව්වලු ‘නිකන් සවුත්තු නොවී ඇමතිතුමා ඇමතිතුමාගේ අලි ටික බලාගන්න, මං මගේ කොල්ලො ටික බලා ගන්නම්’ කියලා. පස්සෙ තෙවරප්පෙරුමට කටඋත්තර නැතුව ෆෝන් එක කට් කළාලු’

‘ හැම එකටම කොටන්න ගිහින් හොට පැටලෙන තැනුත් තියෙනවානෙ ලේකම්තුමා. අනික දේශපාලනඥයො දැනගන්නත් එපැයි කශේරුකාව තියෙන ෆෝසස් ඔෆිසර්ස්ලා තාමත් ඉන්නවා කියලා.’

‘අනිවාර්යයෙන්ම..... හැබැයි මිනිහා ගුටි නොකා බේරුණ එක ආණ්ඩුවට හොඳයි’

ලේකම්ගේ හා සභාපතිගේ කතාව කෙතරම් ඇදී ගියේද කියතොත් ඒ වන විට ‘බ්ලැක් කොෆී’ ඉතිරිය නිවී ගොස් තිබීමෙන් තවත් ‘බ්ලැක් කොෆී’ කෝප්ප දෙකක් ගෙන තැබීමට සහායිකාවට සිදු විය. 

කථානායකට කථානායකවරුන්ගෙන් ප්‍රසාදය

ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයට අනුබද්ධිත දකුණු ආසියානු කථානායක සමුළුව මේ සතියේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරටට වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිඵල රැසක් උදාකර දුන් අවස්ථාවක් විය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධානතම වගකීම උසුලනු ලද්දේ ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සහ ලෝක කථානායකවරුන්ගේ සමුළුවේ ජ්‍යෙෂ්ඨයෙකු වන කථානායක කරු ජයසූරියයි. 

2020 තිරසර සංවර්ධනය තේමා කර ගනිමින් පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති අතර, මෙහිදී කථානායකවරයාගේ උපදෙස් පරිදි විශේෂයෙන් ලක ලෑස්ති වූ පාර්ලිමේන්තුව, කලාපීය රටවල කථානායකවරුන් ප්‍රමුක රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත විචිත්‍රවත් ගෞරවණීය පිළිගැනීමක් ලබා දෙනු දක්නට ලැබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සහ කීර්තිමත් මෙක්සිකානු සෙනෙට් සභිකවරියක වන ග්‍රේබියෙලා බැරන්, කථානායක කරු ජයසූරිය යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙහි සමාරම්භක උළෙලට සහභාගි වූ  නියෝජිතයන් අතර ඉන්දීය ලෝක් සභාවේ කථානායිකා සුමිත්‍රා මහජන්, ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ කථානායක රවුෆ් ඉබ්‍රහීම්, භූතාන ජාතික කොංග්‍රස් සභාවේ කථානායක ටාෂි ඩොර්ගි මාලදිවයින් කථානායක අබ්දුල්ලා ටශීෂ් මොහොමඩ් යන අය ප්‍රධාන වූහ. එමෙන්ම විපක්ෂ නායක ‍ආර්. සම්බන්ධන් ඇතුළු ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන පෙළේ මැති ඇමතිවරු ගණනාවක්ද මෙම සමුළුවට එක්වීම සුබවාදී ප්‍රවේශයක් විය.

සමාරම්භක සැසියෙන් අනතුරුව කොළඹ හිල්ටන් හෝටලයේදී දෙදිනක් පූරා පැවැති සමුළුව කලාපීය වශයෙන් බලපාන වැදගත් ප්‍රස්තූතයන් ගණනාවක් පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ අතර, සමුළුව ඇමතූ කරු ජයසූරිය ස්වකීය දේශනයේදී තිරසාර සංවර්ධනයක් අත්පත් කර ගැනීමේදී ආර්ථීක, සමාජීය, මෙන්ම ආදයම් විෂමතාව අඩු කිරීමේ වැදගත්කමද, විරැකියාව අවම කිරීම සහ පරිසර හිතකාමී හරිත ආර්ථිකයක කාලීන අවශ්‍යතාව පිළිබඳවද අවධාරණය කළේය.

මෙහිදී හෙතෙම සඳහන් කළේ, තිරසර සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු නියෝජිතයන්ට පුළුල් වගකීමක් පැවරෙන අතර, අවබෝධයෙන් යුතුව එය ඉටු කිරීම ජනතාවට යහපත් අනාගතයක් උදා කර දීමේ පදනම වනු ඇති බවයි. මෙහිදී කලාපය මුහුණදෙන සංවර්ධන අභියෝගතා මෙන්ම ස්වාභාවික විපත් වැනි දේ අතරද පවතින සමාන ස්වරූපය පෙන්වා දුන් කරු ජයසූරිය අවධාරණය කළේ, මෙම සියලු අභියෝගයනට තනි තනිව මුහුණදීමට වඩා කලාපීය එක්සත් බව තුළින් වඩාත් ශක්තිමත් සහ සාර්ථක ජයග්‍රහණ වෙත යා හැකි බවයි.

සමුළු නියේජිතයන් වෙනුවෙන් කථානක නිල නිවසෙහි රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමුණු අතර, ඊට සමගාමීව විශේෂ සංස්කෘතික සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි. සමුළුව ඉතා මැනවින් ඉහළ මට්ටමේ ජාත්‍යාන්තර සමුළුවක් ලෙස සංවිධානය කිරීමට පූරෝගාමීව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරයන් හා රාජතාන්ත්‍රික ප්‍රශස්ථභාවය මැනවින් පිළිබිඹු කිරීම පිළිබඳව කලාපීය ප්‍රධානින්ගෙන් මෙහිදී කථානායක කරු ජයසූරිය මහතාට පළවුයේ උණුසුම් ප්‍රසාදයකි.

ආණ්ඩුවේ අයත් දැන් වෙන දේවල් දන්නේ නැහැ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත වී.කේ. ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද ගියේ චමල් ද සමගිනි. මහින්ද යන විට දකුණු පළාත් ඇමැති යූ.ඩී.ජී. ආරියතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ද එහි සිටියහ. 

‘කොහොමද ආරි? මොකද වෙන්නේ?’ මහින්ද ඇසුවේ ආරියතිලකගෙනි.

‘ ඉන්නවා සර්. වෙන දේ නම් දන්නේ සර්ලම තමයි’ ආරියතිලක පැවසීය.

‘ බලන්නකෝ නිහාල් මම ආරිගෙන් ඇහුවා මොකද වෙන්නේ කියලා. එයා කියනවා වෙන දේ දන්නේ අපිලු. මෙයාලා ආණ්ඩුවේ අය හැටියට වෙන දේවල් දැනගෙන ඉන්න එපැයි. මට පේන විදියට ආණ්ඩුවේ අයත් දැන් වෙන දේවල් දන්නේ නැහැ වගෙයි’ මහින්ද නිහාල් සමග පැවසීය. 

ආණ්ඩුවේ ලොක්කො පොල් ගැහිල්ලට බය වෙන කාරණය

සීනිගම දේවාලයේ පොල් ගැසීම සහ දේව කන්නලව්ව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන රෝහිත, මොහාන් සහ ෂෙහාන් පසුගිය සෙනසුරාදා රමේෂ් පතිරණගේ නිවසට එක්ව සිටියහ. මන්ත්‍රීවරුන් සමග ප්‍රදේශයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

පොල් ගැසීමේ කටයුත්ත ගැන කතා කරමින් සිටින අතරතුර ප්‍රදේශයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වූ 16 කණ්ඩායම ගැනය. විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චන්දිම වීරක්කොඩි සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 

‘හබරාදූව ආසනයේ අපිත් එක්ක වැඩ කරපු පක්‍ෂ ක්‍රියාකාරීන් මේ වන විට අක්‍රී වෙලා තියෙනවා චන්දිමගේ පැමිණීම නිසා. අපේ මිනිස්සු චන්දිම ආපු එකට පෞද්ගලිකවම කැමැති නැහැ’ හබරාදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.

‘සභාපතිතුමාගේ කතාවටට මමත් එකඟයි. උපක්‍රමශීලීව ඒ අය ගන්න එක ගැන අපේ විරෝධයක් නැහැ. නමුත් එයාලා සමග එන්න මේ දිස්ත්‍රික්කවල කවුරුත් ඉතුරු වෙලා නැහැ’ රත්ගම සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘අපි ඉවසාගෙන ඉන්නේ පක්‍ෂය නිසයි. අපට මහින්ද මහත්තයා එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එතුමා එක්ක දේශපාලනය එදත් කළා, අදත් කරනවා. හෙටත් ඒකේ වෙනසක් නැහැ. ඒත් මේ වගේ වැඩවලින් අපේ පාක්‍ෂිකයෝ කලකිරිලා ඉන්නවා කියලා පක්‍ෂයට දැනුම් දෙන්න’ පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු ඉල්ලා සිටියේය. 

‘මෙතැන ඉන්න ෂෙහාන්, රමේෂ්, මොහාන් සහ මම ඉන්නෙත් ඔබතුමා‍ලගේ මතයේම තමයි. නමුත් අපට ඉවසාගෙන ඉන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ තත්ත්වය නිසයි. අපි හැමෝම ඒ වගේ ඉවසීමෙන් කටයුතු කරමු’ රෝහිත පිරිස අස්වසමින් පැවසීය. 

සාකච්ඡාවේදී එකඟ වූ පරිදි සීනිගම දෙවොලේදී පොල් ගැසීමේ කටයුත්ත පසුගිය බදාදා පැවැති අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන වෙල්ගම, ලොකුගේ, රෝහිත, රමේෂ් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. 

‘ගියපාර පොල් ගහපු වෙලාවේ ආණ්ඩුව හොඳටම බය වුණා. තමන් කරපු වැරදි දන්න නිසා තමයි ආණ්ඩුවේ ලොක්කෝ පොල් ගැහිල්ලට බය වෙලා ඉන්නේ’ වෙල්ගම පැවසීය. 

‘අපි විතරක් නෙමෙයි මේ රටේ සියලු ජනතාව උදේහවා ආණ්ඩුවට එරෙහිව හිතින් හරි පොල් ගහලා සාප කරනවා. ඒ තරමට මිනිසුන්ට දැන් ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ’ රෝහිත කීවේය. 

‘හරියට වැඩක් කර ගන්න බැරි මේ වගේ ආණ්ඩු තියෙනවාට වඩා හොඳයි කොහොමහරි පෙරළලා දාන එක. ඒක රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් පින්කමක්’ ලොකුගේ පැවසීය. 

එයා හැමදේම කරන්නේ අගමැතිගෙන් අහලා

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය 10 වැනිදා සවස විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් මෙහිදී දිනේෂ් කරුණු දැක්වීය. 

‘ 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වන්න ඉඩ ලබාදිය යුතුයි’  දිනේෂ් පැවසීය. 

‘ ඒ අය අපිත් එක්ක එකතු වුණ හින්දා දෙන්නෙකුට විතර පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙන්න ඉඩ දෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඒ අයගේ නියෝජනයක් තියෙන එකත් හොඳයි’ මහින්ද පැවසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහභාගී වන්නට ඉඩ ලබාදීමට තීරණය කෙරිණි. අනතුරුව සාකච්ඡා කෙරුණේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීම සම්බන්ධයෙනි.

‘ විපක්ෂයේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේයි. හැබැයි විපක්ෂ නායක ධුරය වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබී තියෙන්නෙත් පාර්ලිමේන්තුවේ සුළුතර විපක්ෂයට. ඒක හරිම අසාධාරණයි’  රෝහිත පැවසීය.

‘ ආණ්ඩුව බලයට ආපු ගමන් කළේ තමන්ට කීකරු කණ්ඩායම් දෙකට විපක්ෂයේ තනතුරු බෙදලා දීපු එකයි. ලෝකයේ කොහේවත් ආණ්ඩුවට ඕනේ විදියට විපක්ෂයේ තනතුරු දෙන සිරිතක් නැහැ’ ප්‍රසන්න කීවේය.

‘කථානායකවරයා ස්වාධීනයි කියන්නේ නමට විතරයි. එයා හැමදේම කරන්නේ අගමැතිගෙන් අහලා. එහෙම කථානායක කෙනෙකුගෙන් ඒකාබද්ධ විපක්ෂයට සාධාරණයක් වෙයි කියලා හිතන්න බැහැ’ මහින්දානන්ද පැවසීය.

‘විපක්ෂ නායක ධුරය ලබාගැනීමේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරලා පාර්ලිමේන්තුවට ආවා කියන කාරණය නීතිමය ගැටලුවක් වෙන්නත් පුළුවන්’ අයෙක් පෙන්වා දුන්නේය.

‘ ඒ සියලු කාරණාවල නීතිමය තත්ත්වය සොයා බලා විපක්ෂ නායක ධුරය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ’ මහින්ද පැවසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි. එම ලියවිල්ලට ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගන්නා ලෙස මහින්ද උපදෙස් දුන්නේය. නීතිමය තත්ත්වය සලකා බලා එම ලියවිල්ල සකස් කිරීම ජී.එල්. වෙත පැවරිණි. 

එසේම සහෝදර දේශපාලන පක්ෂවල අනන්‍යතාව රැකෙන පරිදි ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමේ වැදගත්කම වාසු පෙන්වා දුන්නේය. පසුගිය පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය තරග කළේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙසිනි. 

මැතිවරණයෙන් පසු දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් පක්ෂ සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළ පසුගාමී වී ඇති බවත් වාසු කීවේය. ඒ අනුව තීන්දු කෙරුණේ ඉදිරි ජාතික වැඩසටහන්වලදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමටය. අනතුරුව අවධානය යොමු වුණේ දිනෙන් දින ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් ගැනය. 

‘දැන් පාතාලය ශීඝ්‍රයෙන් හිස ඔසවාගෙන යනවා. හැබැයි පොලීසිය පාතාලය ඉස්සරහා අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියක්’ කෙහෙළිය පෙන්වා දුන්නේය.

‘අපේ කාලයේ පාතාලය සියයට සියයක්ම මර්දනය වුණා. ගොඩක් පාතාල නායකයෝ රට පැනලා තමයි බේරුණේ. මේ ආණ්ඩුව ආවා විතරයි දැන් ඒ සේරම පාතාලයෝ ලංකාවට ඇවිත් ආණ්ඩුවේ ඇමැතිවරුනුත් අල්ලගෙන පාතාල සෙල්ලම් දානවා’ මහින්ද පැවසීය.

‘පාතාලයයි ආණ්ඩුවයි දැන් ගහට පොත්ත වගේ සම්බන්ධ වෙලා ඉවරයි. පොල් ගෙඩියක් කඩපු මිනිහා අල්ලලා උසාවි දාන පොලීසිය පාතාලය ඉස්සරහා හුරතල් පූස් පැටවු වගෙයි හැසිරෙන්නේ’ ‍ප්‍රසන්න කීවේය.

‘ පොලීසිය සැකකරුවන් නිර්දෝෂ කරන තැනට ඇවිත් ඉවරයි. කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඝාතනය වුණ වෙලාවේ වගේම අනුරාධපුරයේ සිද්ධියෙදිත් පොලීසිය ඒවා සාධාරණීකරණය කරන්න උත්සාහ ගත්තා. අනුරාධපුර සිද්ධිය පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කෙනෙක්’ කෙහෙළිය පැවසීය. 

‘ ආණ්ඩුව හැදුවේ මත්තල විකුණන වැඩේ හොරෙන් කරන්නයි. හැබැයි අපි ඒ ගැන හෙළිකළාට පස්සේ සමාජයේ ඒ ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා’ ඩලස් පෙන්වා දුන්නේය.

‘ මේ ආණ්ඩුව දන්නේ තියෙන සම්පත් විකුණලා දාන්න විතරයි. පහුගිය අවුරුදු තුනටම රටට මොනවත් නොකරපු ආණ්ඩුව පහුගිය කාලයේ අපි හදපු දේවල් විකුණන එක නම් ජයටම කරගෙන යනවා’ මහින්ද පැවසීය. 

‘ ආණ්ඩුවට විකුණන්න හරි ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තයා හදපු දේවල් විතරයි. පහුගිය කාලයේ ආණ්ඩුවේ ඇමැතිවරු මත්තල ගැන කියපු කතා ජනතාවට තාම මතකයි. මොනරු, වල්අලි එන ගුවන්තොටුපොළ කියලා සමච්චල් කළා. රනිල්ලා මත්තල වී ගබඩා කළා. වැඩකට නැති එකක් නම් ඉන්දියාව සල්ලි දීලා ගනියිද? ප්‍රසන්න ඇසුවේය.  

‘ මේ ආණ්ඩුවේ බංකොළාත් දේශපාලනයේ තරම තමයි ඔය. ඕනෑම ආයෝජනයක ප්‍රතිඵල එන්න කාලයක් යනවා. ගුවන්තොටුපොළක් හදපු ගමන් ප්ලේන් එන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. අපි ඒ අමාරු කාලය ඉවසගෙන ඉඳලා වාසි කාලය ළං වෙනකොට ඒක විකුණලා දානවා. වරායට වුණෙත් ඕකම තමයි’  ඩලස් පැහැදිලි කළේය.

 



Recommended Articles