සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ඉදිරියට ගෙනියනවාද? පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේත් මෙම සන්ධානයෙන්මද?
සමගි ජන බලවේගය ලෙස අපි ඉදිරියට යනවා. නමුත් එය අපි කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. අකමැත්තෙන් කරපු දෙයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන්න අපි ලොකු වෑයමක් ගත්තා. නමුත් එය අසාර්ථක වුණා. පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී කරන්නයි අපි උත්සාහ ගත්තේ. නමුත් එය සාර්ථක නොවුණ නිසා අපිට අකමැත්තෙන් එළියට එන්න සිදුවුණා.
මහජනතාවගේ ඉල්ලීම තිබුණේ වෙනසක් ඇති කරන්න. එය පක්ෂය තුළ වෙනසක් ඇති කරනවා වගේම අලුත් ගමනක් යාම පිළිබඳව වෙනසක් . කොහොම වුණත් සමාජ වෙනස්වීම්වලට අනුව නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණ ඇතිව සමගි ජන බලවේගය ඉදිරියට යනවා. දැන් සමගි ජන බලවේගය පක්ෂයක්. අපි මහ මැතිවරණය තරග කළේ ඒ ආකාරයටමයි. ඒ වගේම අපේ වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ආපු අය ඉන්නේ. 1946 දී ඩී.එස්. සේනානායක මහත්තායාගේ ප්‍රධානත්වයෙන් සියලුම ජාතීන් නියෝජනය වන පරිදි නායකයන්ගෙන් සැදුම්ලත් පිරිසකගෙන් එක්සත් ජාතික පක්ෂය බිහි වුණා. මේ පිරිස් හැමෝම එකතුවෙලා ආරම්භ කළ මේ දේශපාලන ව්‍යාපාරයේ යම් චින්තනයක් තිබුණා. රටේ තිබුණු සෑම ජනකොටසක්ම එකමුතු කරලා ශ්‍රී ලංකා අනන්‍යතාවක් ගොඩනගලා රට විදේශිකයන්ගෙන් මුදවාගෙන ස්වාධීන රටක් ලෙස එය සංවර්ධනය කිරීමේ අරමුණ ඔවුන්ට තිබුණා. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ ඒ දේශපාලන ගමන් මගේ උරුමක්කාරයන් වන්නේ සමගි ජන බලවේගයයි. ඒ දර්ශනය අපිට තිබෙනවා. අපි එය ඉදිරියට ගෙනියනවා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඔබ කණ්ඩායම එයට සහාය දෙනවාද?
19 වැනි සංශෝධනය අපි ඔක්කොම එකතුවෙලා රැකගනිමු. ඒ වෙනුවෙන් අපි හැමෝම එකතුවෙන්න අවශ්‍යයි. මේ රටේ තිබුණු යම් අඩුපාඩු දැකලා ඒවාට විසඳුම් ඉදිරිපත් කරමින් රට දියුණු කිරීම ගැන වගේම පුරවැසියාගේ අයිතිය ශක්තිමත් කරන්න පරමාධිපත්‍ය ශක්තිමත් කිරීමට අවශ්‍ය කතාබහක් දීර්ඝ කාලයන් පුරාවට තිබුණා. ඒ අදහස් සියල්ල එක තැනකට ගෙනැවිත් එය නීතියක් බවට පත්කිරීම තමයි 19 වැනි සංශෝධනය හරහා කරන්නේ. රටේ මූලික නීතිය ව්‍යවස්ථාව. ඒ නිසා මේ කාරණා ව්‍යවස්ථාව තුළට ඇතුළත් කළා. 19 වැනි සංශෝධනයේ ප්‍රධාන ලක්ෂණ බැලුවොත් ප්‍රධාන වශයෙන්ම 18 වැනි සංශෝධනය හරහා ජනතා පරමාධිපත්‍යයට විශාල පහරක් වැදුනා. 19 හරහා ඒවා වෙනස් කළා. ඒක කළේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව මතයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක සිට 05 දක්වා අඩු කළා. ඒ වගේම සෑම ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටකම ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණනක් තිබෙනවා. එය සාමාන්‍යයෙන් වාර දෙකක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එවකට ජනාධිපතිවරයාගේ වාර ගණන අහෝසි කරලා තිබුණා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති වාර ගණන 02ක් බවට යළි පත් කළා. 18න් ගෙනාපු වැරදි දේවල් 19න් නිවැරදි කළා. ඒ වගේම ද්විත්ව පුරවැසියන්ට අපේ රටේ තනතුරු ගන්න තිබුණු හැකියාව නීතියෙන්ම නැති කළා. මේ නිසා දැන් විදේශිකයෙකුට රටේ ජනාධිපති වෙන්න හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙන්න හෝ හැකියාවක් නැහැ.
විදේශ රටවල වැඩකරන අපේ රටේ විශාල පිරිසක් ඉන්න බව අපි දන්නවා. ඒ අයට අපේ රට සමග විවිධ සම්බන්ධතා තිබෙනවා. ඒක අපි අගය කරනවා. ඔවුන්ගේ දැනුම තාක්ෂණය ආයෝජනය මේ සියල්ල මේ රටට අවශ්‍යයි. නමුත් විධායකයට ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට පැමිණි පසුව ඒ කියන්නේ ජනාධිපති ධුරය ඇමති ධුරය හා විනිසුරු ධුර සඳහා වගකීම ගන්න පුළුවන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණයි. පිටරැටියෙකුට ඒක ගන්න බැහැ. ද්විත්ව පුරවැසියෙක් නම් ඔවුන්ට ඒ පුරවැසිභාවයෙන් ඉවත්වෙලා ලංකික පුරවැසි බව ලබාගැනීම තුළින් මේ තනතුරුවලට එන්න බාධාවක් නැහැ. මොකද ද්විත්ව පුරවැසියෙක් මෙවැනි තනතුරක් ගත්තොත් රටවල් දෙකක් අතර කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුණ අවස්ථාවක ඔවුන්ගේ ලැදියාව තිබෙන්නේ කුමන රටටද කියන ප්‍රශ්නය එනවා. මේ රටේ යම් තනතුරක් ගන්නවා නම් මේ රටට ලැදියාව තිබිය යුතුයි. මේ ගැන අපි වාද විවාද කළ යුතු නැහැ. පුද්ගලයෙක් දිහා බලලා, නමක් දිහා බලලා, පවුලක් දිහා බලලා, රටක නීති වෙනස් කරන්න බැහැ. රටක නීති හදන්න ඕන ප්‍රතිපත්ති අනුව. වර්තමානය වනවිට කතාබහක් තිබෙනවා බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගේන්න නීති වෙනස් කරන්න හදනවා කියලා. එහෙම කරන්න බැහැ. බැසිල් රාජපක්ෂටත් ඕනේ නම් එන්න පුළුවන් අදාළ නීතියට අනුව.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙක් වූ පමණින්වත් එහි ජනාධිපති වෙන්න බැහැ. ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න නම් ඇමෙරිකාවේ උපත ලබන්න අවශ්‍යයි. මේ කතා කරන්නේ ලෝකයේ ලිබරල් රටක් ගැන. හෙන්රි කීසින්ගර් (Henry Kissinger) කියලා ඇමෙරිකාවේ විදේශ ලේකම්වරයෙක් හිටියා. ඔහු රටේ ජනාධිපති වෙනවට ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ කැමැත්තක් තිබුණා කියලා කියනවා. නමුත් ඔහු ඇමෙරිකාවේ උපත ලැබූ පුද්ගලයෙකු නොවන බැවින් ඔහුට ඒ අවස්ථාව අහිමි වුණා. අපි ඒතරම් දුර යන්නේ නැහැ. අපි කියන්නේ මේ රටේ පුරවැසියෙක් වෙන්න අවශ්‍යයි කියලා පමණයි. ඒ වගේම 19 හරහා හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා තියෙනවා. ඒවා ආරක්ෂා කළ යුතුයි. මේ රටේ බොහොමයක් තීරණ ගන්නේ දේශපාලනඥයෝ. ඒ වගේම රටේ මතයක් හදලා තියෙනවා යම් පක්ෂයකට ඡන්දෙ දීලා ඔවුන්ව බලයට පත්කළොත් ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ජනාධිපතිට ඡන්දෙ දුන්නත්, එරාන් වික්‍රමරත්නට ඡන්දෙ දුන්නත් කාට ඡන්දෙ දුන්නත් ඔහු ක්‍රියා කළ යුත්තේ නීත්‍යනුකූලවයි. නීතියෙන් පිට ක්‍රියා කරන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. හිතන්න මම ක්‍රිකට් කණ්ඩායමට තේරුණා කියලා. එහෙම වුණොත් මට ඒ කණ්ඩායමට ගිහින් බෝල් කරන්න, බැට් කරන්න පුළුවන්. කණ්ඩායමේ නායකයා වෙන්න පුළුවන්. නමුත් මට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කරන්න බැහැ. ඒක කරන්න වෙනම කවුන්සිලයක් තියෙනවා. ක්‍රීඩකයට ඒක කරන්න බැහැ. හැමදෙනාම එය තේරුම් ගත යුතුයි. ජනවරමක් ලැබුණා කියලා එක එක්කෙනටා අවශ්‍ය විදිහට නීති වෙනස් කරන්න බැහැ. බොහෝ දෙනෙක් එය තේරුම් අරගෙන නැහැ.
ස්වාධීන කොමිෂන් සභාවලින් කරන්න යන දේ ගැන මම කියන්නම්. ජනාධිපතිතුමාට බලතල ගොඩක් තියෙනවා. ඒ බලතල තමයි ජනාධිපතිතුමාට ඇතැම් පත්වීම් සිදුකරන්න පුළුවන්. ඒ අනුව ජනාධිපතිතුමා ලේකම්වරු පත්කරනවා විනිසුරුවරු පත්කරනවා, ජනාධිපතිතුමාට ඒ පත්වීම් කරන්න තියෙන බලයවත් ඒ සඳහා නාම යෝජනා කරන්න තියෙන බලයවත් 19 වැනි සංශෝධනයෙන් අරගෙන නැහැ. එමගින් කරලා තියෙන්නේ ජනාධිපතිවරයා යම් පත්කිරීමක් කළ විට ස්වාධීන කොමිසමක් මගින් හොයලා බලනවා ඔහු ඒ පත්කිරීමට සුදුසුදු නැද්ද කියලා. මේ ගැන බොරු බිල්ලෙක් හදන්න හදනවා. විධායක බලය අත්තනෝමතිකව භාවිත කිරීම මෙමගින් සීමා කරලා තියෙනවා. ඇත්තටම එය රටට හොඳයි. කොමිෂන් සභාවල දේශපාලනඥයෝ වගේම සිවිල් සාමාජිකයනුත් සිටිනවා. මේ කොමිෂන් සභා කියන්නේ ඒන්.ජී.ඕ. නාඩගම් කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ජී.එල්. පීරීස් මහත්මා කියනවා. නීතිය පිළිබඳව ඉන්න මහාචාර්යවරයෙක් එහෙම කතාකරන එක ගැන ලැජ්ජයි. එතුමා පහර ගහන්නේ සිවිල් සමාජයේ ඉන්න අයට.
ඒක වැරදියි. අපිට ඡන්දෙ දුන්නා කියලා හැම තීරණයක්ම අපි ගන්න ඕන කියල නීතියක් නැහැ. සිවිල් සමාජයෙන් මොකක් හරි යෝජනාවක් ආවොත් ඔවුන් එන්.ජී.ඕ. කාරයෝ කියනවා. කොහොමත් සිවිල් සමාජය එන්.ජී(N.G) තමයි. ඒ කියන්නේ රාජ්‍ය නොවන. මේ රටේ බහුතරය රාජ්‍ය නොවන පුරවැසියෝ. ඔවුන්ගේ අදහස්වලට තැනක් දෙන්න බැරි ඇයි. මගේ පෞද්ගලික මතය නම් කොමිෂන් සභාවල බහුතර බලයක් දේශපාලනඥයන් වෙනුවට සිවිල් සමාජයට ලබාදිය යුතුයි. අපි ප්‍රතිපත්ති සෑදිය යුත්තේ පුද්ගලයා දිහා බලලා නෙවෙයි. රට වෙනුවෙනුයි ප්‍රතිපත්ති සෑදිය යුත්තේ. මේ නිසා 19 අහෝසි කරනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා. 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම නම් ඔවුන්ට ඒවා ශක්තිමත් කරන්න පුළුවන්. නමුත් 19යේ මූලධර්මවලින් පිට අපි යන්නේ නැහැ.
13 වැනි සංශෝධනය මගින් ඇති කළ ඇතැම් නීතීන්ද මෙවර නව සංශෝධනය හරහා වෙනස් විය යුතු බව ආණ්ඩු පාර්ශ්වයේ ඇතැමුන් සඳහන් කරනවා. මේ අතර උතුරේ දේශපාලන පක්ෂ ඉන්දීය දේශපාලනඥයන් හමුවේද මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ අදහස කුමක්ද?
ඉන්දියාවද චීනයද කියන කාරණය අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රටේ පුරවැසියෝ පමණයි. ඒ පුරවැසියා විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන අය වෙන්න පුළුවන්. දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිපලයක් විදිහට තමයි 13 වැනි සංශෝධනය කරලා තියෙන්නේ. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු තියෙනවාමයි. ඒකේ අඩුපාඩු මටත් පෙනෙනවා. ඒක කාර්යක්ෂම නැහැ. ලයිස්තු 03ක් හඳුන්වලා දීලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට තියෙන බලය ගැන පළමු ලැයිස්තුවේ කියනවා. පළාත් සභාවට තියෙන බලය ගැන තුන්වැනි ලැයිස්තුවේ කියනවා. දෙගොල්ලන්ටම තියෙන බලය ගැන සමගාමී ලැයිස්තුවක කියනවා. සමගාමී බලතල නැතිව මේ බලතල එක්කෝ පළාත් සභාවට දෙන්න නැතිනම් මධ්‍යම ආණ්ඩුවට දෙන්න කියලයි අපි කියන්නේ. එහෙම වුණොත් මීට වඩා කාර්යක්ෂම වෙයි. ඒ වගේම ඒ ඒ පළාත් සභාවල ඉන්න පුරවැසියන්ට පළාත් සභා අයිතිවාසිකම දීලා තියෙන්නේ. ඉතින් පළාත් සභා එපා කියලා මේ පළාත්වල පුරවැසියෝ එකතු වෙලා තීරණය කළොත් එය හකුලා ගන්න එක වෙනම වැඩක්. කොහොම වුණත් නැති ප්‍රශ්න ඇති කරන එකෙන් රජය වැළකිය යුතුයි. නැතිනම් රජය ආයෙත් පස්සට යනවා.
විශාල කතා බහක් ඇතිවුණ එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ මතය මේ වනතුරු ප්‍රකාශ කර නැහැ.ඒ සම්බන්ධයෙන් කතා කළොත්?
එම්.සී.සී ගිවිසුම ගැන විශාල වශයෙන් අදහස් ප්‍රකාශ වෙලා තිබෙනවා. ආණ්ඩුව ඡන්දයක් දිනා ගන්න එම්.සී.සී ගැන බොරු බිල්ලෙක් මැව්වා. සිතියමක් ඇන්දා. සමහර ටියුෂන් ගුරුවරු පාවිච්චි කරලා ළමයින්ගේ මනස විකෘති කළා. දැන් පාර්ලිමේන්තු ඇවිත් ඉන්න වෘත්තීයවේදීන් පවා එදා මේ ගැන කිව්වේ රට විකුණන ගිවිසුමක් කියලයි. කිසිම ප්‍රායෝගික අත්දැකීම් නැතිව මේ ගැන විවිධ බොරු කිව්වා. එම්.සී.සී එහෙම නැතිනම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එක ආවේ 2000 අවුරුද්දෙදී. එතැනදී බොහෝ රටවල්වලට මේ අවස්ථාව දුන්නා. 2002 - 2004 අපේ ආණ්ඩු කාලයේදී මේක අපේ රටට ගන්න පුළුවන්ද කියලා අපි හොයලා බැලුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මංගල සමරවීර ඇමතිතුමාව ඇමෙරිකාවට යවනවා එම්.සී.සී ගිවිසුම අත්සන් කරලා මුදල් ලබාගන්න පුළුවන්ද කියලා බලන්න. යුද්ධය නිසා සහ ඒ ආණ්ඩුවට ඇතිවුණ විවිධ ප්‍රශ්න නිසා ඒක හරි ගියේ නැහැ. මේ නිසා 2015 න් පසුව අපේ ආණ්ඩුව පත්වුණාට පසුව අපි නැවත සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවන්වලට අවුරුදු 02ක් විතර ගියා. මෙ හැමදේම හරි ගියාට පසුව කැබිනට් අනුමැතිය ගත්තා. ඒ මොකද ලංකාව මධ්‍යම ආදායම් රටක්. ඒ කියන්නේ ඩොලර් 4000 ට වඩා අඩු ආදායම් රටක්. ලංකාව ඒ සීමාවෙන් ඉහළට ගියොත් මේ ආධාරය ලැබෙන්නේ නැහැ. මේ අවුරුද්දේ ඒ සීමාවෙන් ඉහළට යයි කියලා පුරෝකථනය කළ නිසා තමයි අපි කැබිනට් අනුමැතිය ගත්තේ.
ඒ වගේම එම්.සී.සී. ගිවිසුමේ තව දෙයක් තියෙනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුයි. ආණ්ඩුවකට පමණක් මේ ගිවිසුම අත්සන් කරන්න බැහැ. පාර්ලිමේන්තුව අනුමත කළ යුතුයි. අනෙක් ගිවිසුම් වගේ එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න බැහැ. එහෙම වුණත් එම්.සී.සී ගැන ලොකු බිල්ලෙක් මැව්වා. රට බෙදනවා කිව්වා, අනුරාධපුරේ යන්න ඇමෙරිකාවෙන් වීසා ගන්න ඕන කිව්වා. මේ වගේ එක එක කතා හැදුවා.
එම්.සී.සී. එකේ ප්‍රධාන කරුණු තුනයි තිබෙන්නේ. ප්‍රධාන එකක් තමයි විද්‍යුත් ප්‍රවාහනය සඳහා ඩොලර් මිලියන 350ක් ලබාදෙනවා. ඒ කියන්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. ඩොලර් මිලියන 67ක් පමණ ලබාදෙනවා ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට. ඒ කියන්නේ ඉඩමක අයිතිය පෙන්වන්න ඔප්පුවක් තියෙනන් ඕන. දැන් අයිතිය තිබෙන්නේ කොළ කෑල්ලක්. ඇතැම් වෙලාවට ඒවා අස්ථානගත වෙලා. මේවා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට ගත්තොත් ඒ හොරකම් කිරීමේ අවස්ථාව නැති වෙනවා. එහෙම වුණාම නිලධාරීන්ටවත් අල්ලස් ගන්න බැහැ. ඒ වගේම තාක්ෂණික කරුණු සඳහා ඩොලර් මිලියන 60ක් පමණ වෙන්කර තිබෙනවා. කොහොම වුණත් එම්.සී.සී ගැන දැන් අපෙන් අහලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවෙන් තමයි අහන්න වෙන්නේ. රජය තමයි තීරණය කළ යුත්තේ කරනවාද නැද්ද කියලා. මේ මුදල් ලබාගන්න කාල පරාසයක් තිබුණා. තවදුරටත් ඒක සිදුවෙනවද නැද්ද කියන එක අනුමානයක් විතරයි.