ආණ්ඩුව රටවිරුවො එක්ක තරහකින්ද ඉන්නේ?


මෙරට ආර්ථිකය නගාසිටුවීමට විදෙස්ගත ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ලැබෙන මාර්ග අතර දෙවැනි ස්ථානය විදෙස්ගත ග්‍රමිකයන්ගේ දායකත්වය බවට පත්ව ඇත්තේ ඒ නිසාය. කෙසේවෙතත් වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකික මෙම පිරිසට මේ වන විට යළි සිය රටට පැමිණීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් අපි හිටපු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමග සාකච්ඡා කළෙමු.

විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මේ වන විට මතුවී ඇති තත්ත්වය ගැන මුලින්ම කතා කළොත්?

පසුගිය වසරේ පෙබරවාරි මාර්තු මාසය වන විට කෝවිඩ් වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වන බව දැනගන්නට ලැබුණා. එය දැනගත්ත ගමන් විපක්ෂයේ අපි ඇතුළු බොහෝ දෙනා කිව්වා මේකට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ අතරවාරයේදී ලෝකයේ අනිකුත් රටවල් වලටත් මේ වසංගතය පැතිරෙමින් යද්දී ඔවුන් අනිත් රටවල් වල ඉන්න ඔවුන්ගේ විදෙස්ගත ශ්‍රමිකයෝ ඉතාම ඉක්මනින් තමන්ගේ රටට ගෙන්වා ගත්තා. උදාහරණයක් විදිහට ඉන්දියාව දිනකට විශේෂ ගුවන් යානා කිහිපයක් මේ වෙනුවෙන් යෙදෙව්වා. නේපාලය, භූතානය, පිලිපීනය වගේ හැම රටක්ම ඉදිරි අර්බුදය දැකලා තමන්ගේ ශ්‍රමිකයෝ පුළුවන් ඉක්මනින් ගෙන්වා ගන්න කටයුතු කළා. නමුත් මේ අර්බුදය ගැන අපේ ආණ්ඩුවට දැනුම් දුන්නට, මේ ගැන සිහිගැන්නුවාට කිසිම දෙයක් කළේ නැහැ. ආණ්ඩුවට මැතිවරණවල තිබුණු අවශ්‍යතාවය නිසා විදෙස්ගත ශ්‍රමිකයෝ ගැන හිතන්න වෙලාවක් තිබු‍ණෙ නැහැ.

මැතිවරණයෙන් පසුව විදෙස්ගත ශ්‍රමිකයෝ ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ඇතිවුණත්, ඒ වන විට අපේ ගුවන්තොටුපළ වහලා. එවැනි අවස්ථාවක ඔවුන්ව වෙනම ගෙන්වා ගැනීම තමයි සිදුකළ යුතු ක්‍රමවේදය වන්නේ.  දැන් මේ වන විට වෙන වෙන සංචාරකයෝ ගෙන්වන්න මේ ක්‍රමය භාවිත කරනවා වගේම එදා ඉඳලා මේ දේ ක්‍රියාත්මක කරන්න තිබුණා.

විදෙස්ගත ශ්‍රමිකයෝ ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා බොහෝදෙනා ඉල්ලීම් කරද්දි ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා මේ අය ගෙන්වා ගැනීම බෝම්බයක් ගෙන්වා ගන්නවා වගේ කියලා. තවත් මන්ත්‍රීවරයෙක් ඇහුවා පිටරට ඉන්න අය ගෙනත් කොහෙ දාන්නද කියලා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන රට වගේම තිබෙනවා. ඒ මධ්‍යස්ථානවල නවාතැන් ගන්න පවා ඉඩ තිබෙනවා. ඒ වගේම හම්බන්තොට හදලා තියෙන සම්මන්ත්‍රණ ශාලාව වගේ ප්‍රයෝජනයට ගන්නෙ නැති ඕනෑතරම් ගොඩනැගිලි තිබෙනවා. එවැනි ගොඩනැගිලි වල මොවුන් නොමිලේම නිරෝධායනය කරන්න ඇතිතරම් හැකියාව තිබෙනවා. එහෙම නැතිව ලොකු මුදලක් වියදම් කරන්න හෝටල්වල නවත්වන්න අවශ්‍ය නැහැ. නමුත් මේ වන විට මේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතිව ආණ්ඩුව විසින් විදේශගත ශ්‍රමිකයන්ට යෝජනා කරලා තියෙනවා ඔවුන්ට තමන් කැමති නම් ආණ්ඩුව කියලා තියෙන ක්‍රමවේදයට අනුව එන්න පුළුවන් කියලා.

ඒ ක්‍රමවේදය තමයි මේ ශ්‍රමිකයන් එනවා නම් ඔවුන් ලංකාවේ හෝටලයක නිරෝධානය වීම සඳහා ගාස්තුවක් නම් කරලා තියෙනවා. රුපියල් 14,000 සිට 18,000 දක්වා විවිධ විවිධ ගණන්වල කාමර නම්කරලා තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන් ලංකාවට එන්න කලින් මේ මුදල තැන්පත් කළ යුතුයි කියලා ආණ්ඩුව දැනුම් දීලා තියෙනවා. එහෙම තැන්පත් කළොත් තමයි ගුවන් යානයක් වෙන් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සාමාන්‍ය මුදලකට ලංකාවට එන්න තිබුණු ගුවන් ටිකට්පත් දැන් ආණ්ඩුවේ හිතවතෙකුගේ ගුවන් ටිකට් ඒජන්සියකට ලබාදීලා  තියෙනවා. මේ මාෆියාව හරහා ටිකට්පත් මිලදී ගන්න විට සෑම ගුවන් ටිකට්පතක්ම සාමාන්‍ය මුදලට වඩා සීයට තුන්සීයක් වගේ මිල වැඩි වෙලා. මේ අය සාමාන්‍ය ගුවන් යානවලින් එන්න හැදුවත්, ආණ්ඩුව ඒකට අවස්ථාව ලබාදීලත් නැහැ. ඒ කියන්නේ විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ගෙන ඒමේ සහ නිරෝධායනය කිරීමේ මාෆියාවට අනුව තමයි මේ සියලු දේවල් සිදුවෙන්නේ.

සාමාන්‍ය හෝටලයක දෙදෙනෙකු සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් 8,000ක් හෝ ඒ ආසන්නයේ ගණනකට ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ දිනවල සංචාරකයෝ නැති නිසා ඕනෑතරම් හෝටල් කාමර තිබෙනවා. නමුත් මේ අයට හෝටල් කාමර ලබාදෙන්නේ රුපියල් 18,000ක් වගේ මුදලකට. එම මුදලිනුත් හෝටලයට ලැබෙන්නේ රුපියල් 5000ක් වගේ මුදලක් කියලා අපිට දැන් දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ හෝටල්වල නිරෝධායනයට වෙන අයට ලැබෙන කෑම දිහා බලපුවාම ඔවුන්ට ලබාදීලා තියෙන්නේ කෑම පැකට් එකයි, කෙසෙල් ගෙඩියයි, යෝගට් එකක් පමණයි. එහෙම දීලා තමයි රුපියල් 18,000ක් වගේ අධික මුදලක් ගන්නේ. ඒ කියන්නේ මේ ගන්න සල්ලි අතරමැදියන්ට යනවා කියන එක දැන් පැහැදිලියි. මේ අවස්ථාව අපේ රටට ව්‍යසනයක් වෙච්චි අවස්ථාවක්. එවැනි අවස්ථාවක රජය මැදිහත් වෙන්න ඕන මේ මිනිස්සුන්ට සහන සැපයීමට මිසක් මේ මිනිසුන්ව හූරාකන්න නෙවෙයි.

මේ වන විට ඔවුන් එම රටවල දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් විවිධ මාර්ග ඔස්සේ නිතරම දැනුම්වත් කරවනවා නේද?

විදෙස්ගත ශ්‍රමිකයන්ට පෙබරවාරි මාසයේ ඉඳන් රස්සාවල් නැතිවෙලා තිබෙනවා. මේ අයට කෑම බීම දෙන්න කියලා තානාපති කාර්යාල වලට ලක්ෂ 05 බැගින් දුන්නා. නමුත් ඉන්න පිරිසේ විශාලත්වය අනුව ලක්ෂ 05න් සබන් කැටයක්වත් අරන් දෙන්න විදිහක් නැහැ. ඇතැම් අය කුණුබක්කි අවුස්සලා කෑම කාපු සිදුවීම් අපිට වාර්තා වුණා. පාරවල්වල නිදාගත්ත අවස්ථා අපිට වාර්තා වුණා. එහෙම තත්ත්වයක් තුළ මේ අය ලංකවට ගෙන්වා ගන්න ලක්ෂ හතරක් පහක් අයකිරීම සාධාරණද? මේ මිනිස්සු කොහෙන්ද ඒ සල්ලි දෙන්නේ. මේ වගේ ව්‍යවසන අවස්ථාවක නොමිලේම මේ පිරිස ගෙන්වාගත යුතුයි. මේ ගජමිතුරෝ තමයි මේ සුරාකෑම සිදුකරන්නේ. හෙට අනිද්දට ලංකාව අසල  නැවක් නවත්තලා නිරෝධායනය කරන්න සූදානම් වෙන බවත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කොහොම උනත් විදේශිකයන්ට ලංකාවට එන්න කිසිම අවුලක් නැහැ. අපේ ශ්‍රමිකයන්ට තමයි මේ කරදර සියල්ලම. ආණ්ඩුව රටවිරුවො එක්ක තරහකින්ද ඉන්නේ කියලා අපි අහනවා.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

අපි ළඟ ප්‍රායෝගික යෝජනා තිබෙනවා. විදේශගත ග්‍රමිකයෝ විදේශගත වෙද්දි රුපියල් 18,000ක් වගේ මුදලක් ගෙවලා රක්ෂණය වෙලා තිබෙනවා. මේ වගේ ව්‍යසන අවස්ථාවක ඒ රක්ෂණ මුදල් යොදවාගන්න පුළුවන්. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුළ රුපියල් බිලියන 08කට වඩා වැඩි කුවේට් වන්දි අරමුදල තිබෙනවා. මේ අවස්ථාවේදී අපහසුවට පත්වෙලා ඉන්න සියලුදෙනා ඒ අරමුදල භාවිත කරලා ගෙන්වාගන්න පුළුවන්.

මේ මතුව ඇති තත්ත්වය නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයට  අනාගතයේ සිදුවන බලපෑම කෙබඳු වේවිද?

ආණ්ඩුව කරන මේ දේවල් දිහා බලාගෙන මේ අය  නැවත වතාවක් විදෙස් ශ්‍රමිකයන් ලෙස රට යන්න පෙළඹෙයි කියලා හිතන්න අමාරුයි. මොකද රටකට ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් උනොත් ඒ අය බේරාගන්න මේ රටේ ආණ්ඩුව ඉදිරිපත් වෙන්නෙ නැතිනම් තවත් වතාවක් රට යන්නේ නැති වෙයි. අනිත් එක පවුලේ උදවිය ඒකට කැමති වෙන්නෙ නැති වේවි. ලංකාවට විදේශ විනිමය ලැබෙන දෙවැනි ආදායම් මාර්ගය තමයි විගමනික ශ්‍රමිකයෝ. නමුත් දැන් මේ සිදුවෙන දේවල් එක්ක ඒ අය අහිමි වෙයි. එහි අතුරුඵලය වෙන්නේ අපේ ආර්ථිකයට බරපතළ හානියක් සිදුවීමයි. රට බරපතළ මූල්‍ය අර්බුදයකට ඇදලා දාන්න මේක හේතු වෙයි. නමුත් ආණ්ඩුවට ඒ ගැන කිසිම ගානක් නැහැ. විදේශ ශ්‍රමිකයන් ගැන කතාකරන එක මේ ආණ්ඩුවට බිහිරි අලීන්ට වීණා වාදනය කරනවා වගේ වැඩක් වෙලා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රමිකයන්ට පෙබරවාරි ඉඳලා පඩි ලැබුණේ නැති උනාම ඔවුන් ලංකාවට සල්ලි එව්වෙ නැහැ. එහෙම උනාම ලංකාවේ ඉන්න ඔවුන්ගේ පවුල්වල අය දැන් කබලෙන් ළිපට වැටිලා ඉන්නවා. ඔවුන්ට කන්න බොන්න නැතිව අසරණ වෙලා ඉන්නවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල අය හිඟා නොකා හිඟා කන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මිනිසුන්ට කරන මේ මහා හානිය ආණ්ඩුවට සාපයක් බවට පත්වේවි.

මේ තත්ත්වය හමුවේ ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නාමයට කැළලක් ඇතිවේවිද?

ලෝකය ඉදිරියේ අපේ රට සම්බන්ධයෙන් තිබෙන මතවාදය දුර්වලයි. මොකද විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මුදල් හම්බ කිරීම පමණයි මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. ඔවුන්ගේ  සුබසාධනය ගැන බලන්නේ නැහැ. විදෙස්ගත ශ්‍රමිකයන්ට ආණ්ඩුව කරන අසාධාරණය ජාත්‍යන්තර සංවිධානවලත් අවධානය යොමුවෙලා තිබෙනවා.

මෙතැනින් පස්සේ මේක ආර්ථික අර්බුදයකට යොමු වෙනවා. ඒක වළක්වන්න බැහැ. මොකද විදෙස් ශ්‍රමිකයන්ට සලකන්නේ නැතිනම් ඔවුන් රට යන්න පෙළඹෙන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත්කරන්න කැපවුණ ජනතාවට නොසලකන, නමුත් තමන්ට බලයට පත්වෙන්න උදව් කරපු ගජමිතුරන්ට, ඥාතීන්ට උදව් කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගත්තු ආණ්ඩුවක්. බුදුදහම රැක ගන්නවා, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කියලා පැමිණි ආණ්ඩුව ඒ සියල්ල අමතක කරලා ගජමිතුරන් ආරක්ෂා කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව ජනතාව සූරාකන ආණ්ඩුවක් බවට පත්වෙලා. මේ පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් ඉන්න කියලා ජනතාවට අපි කියනවා.



Recommended Articles