ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි


මේ සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භයේදීම අප අතරින් වියෝ වූ චන්ද්‍ර ටියුඩර් රාජපක්‍ෂ බාප්පාගේ වියෝව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. රාජපක්‍ෂ පවුල හරහා ඔහු දේශපාලනයට නොපිවිසියද, රට වෙනුවෙන් මෙන්ම රටේ ජනතාව වෙනුවෙන් ඔහු සිය මෙහෙවර ඉටු කළේය. එසේම දේශපාලනයට සම්බන්ධ නොවුණද, ඔහුගේ ඔවදන් මාගේ දේශපාලන දිවිය වෙනුවෙන් මහෝපකාරී විය.

අප සමග එම අවස්ථාවේදී දුක බෙදා ගැනීමට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන්ටත්, විපක්‍ෂ දේශපාලනඥයන්ටත් කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම උතුරු, දකුණ භේදයකින් තොරව අතිවිශාල ජනකායක් මාගේ බාප්පාගේ දේහයට ගෞරව දැක්වීමට කටයුතු කළහ. මේ හරහා රාජපක්‍ෂ පවුලට ජනතාවගේ ඇති ළැදියාව පැහැදිලි වන අතර, අප මෙන්ම ඔවුහුද මේ අවස්ථාවේදී ශෝක වූහ.

බාප්පාගේ අවසන් කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම පාංශුකූලය වෙනුවෙන් අප ගමේ සෑම විහාරස්ථානයකම පාහේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට අධික පිරිසක් වැඩම කළ අතර, මෙයින් පැහැදිලි වන්නේ චන්ද්‍රා රාජපක්‍ෂ මහතා ගමට දැක්වූ ළැදියාවයි. ඔහු ගමේ ජීවත් වූ පුද්ගලයෙකි. 

එසේම අවසන් කටයුතු වෙනුවෙන් අනෙකුත් ආගමික නායකන්ද එක් වූ අතර, හින්දු පූජකතුමා මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්නේ ඔහු යාපනයේ සිට මැදමුලනට පැමිණි හෙයිනි. මිනිසාගේ දුකකට පිහිට වීම ශ්‍රී ලාංකිකයන්ට අමුතු දෙයක් නොවේ. දේශපාලන පිටියේ අපට කොතෙකුත් වාදවිවාද පැවැතියද, ඒ සියලු දෑ අමතක කර අපත් සමග ඔවුන් එක් වූයේ ජීවිතයේ යථාර්ථය මෙය බැවිනි.

මේ අතරම ශ්‍රී ලංකාවේ යුද හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති (විශ්‍රාමික) ජනරාල් රොහාන් දළුවත්ත මහතාගේ වියෝදවද %කුරහන් සුවඳ^ තීරු ලිපිය ලියන අවස්ථාවේදී දැනගැනීමට ලැබිණි. 30 වසරක ශාප ලත් යුද්ධයේදී 1996 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති ධුරයට පත්වූ රොහාන් දළුවත්ත මහතා, එම යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයෙකු බව මෙහිදී මතක් කළ යුතුය. අද අප නිදහසේ හුස්ම ගන්නේ එවන් නායකයන් කළ කැපවීමක ප්‍රතිඵලයක් ලෙසිනි. ඔහුගේ අභාවය වෙනුවෙන් කනගාටු වන අයත් සමග මා ද එක්වන අතර, ඔහුටද නිවන් සුවය ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මේ අතර, සතුටුදායක පුවතක්ද අසන්නට ලැබිණි. එනම් අප කැරම් කණ්ඩායම කැරම් ලෝක කුසලානය ජය ගැනීමට සමත් වීමය. දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී පිරිමි කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාවට පසුව අප ලෝක කුසලානයක් දිනාගෙන ඇත්තේ කැරම් ක්‍රීඩාවෙන් පමණක් හෙයින් මෙය ලත්මාතාව ලෝකයේ ඉහළට ඔසවා තැබූ අවස්ථාවක් ලෙස දකිමි. එසේම ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැරම් අනුශූරතාවට හිමිකම් කියූ අතර, ඔවුන්ටද සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම  ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු තරගාවලියට ක්‍රීඩා කරන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සුබපැතුම් එක්කර ගැනීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

බාප්පාගේ අවමංගල්‍ය උත්සවයට එක්වුවද, සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට විරෝධතාවේ සංවිධාන කටයුතු කිරීමට රට වටා යෑමට මාහට සිදු විය.  එහිදී පැවැත්වූ සියලුම සාකච්ඡා සාර්ථක වූ අතර, වත්මන් ආණ්ඩුවේ පාලනය කෙරෙහි ජනතාවගේ පවතින විරෝධය එහිදී හොඳාකාරවම පැහැදිලි විය.
අප ඔවුන් වෙනුවෙන් සකස් කරන වේදිකාවට විශාල ජන සහභාගිත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. මෙය හුදෙක්ම ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතාවක් වන අතර, එහිදී ජනතාවට තරමක අපහසුතාවක් ඇතිවන්නේ නම්, අනාගත පරපුර වෙනුවෙන් එය ඉවසා සිටින්නැයිද මෙහිදී පවසමි.

මෙම විරෝධතාවේ අවසන් ඉලක්කය වත්මන් අදූරදර්ශී ආණ්ඩුව පෙරළීමය. එයින් මහමැතිවරණයකට මෙන්ම ජනාධිපතිවරණයකට පිවිස ජනතා හිතැති, ජනතාව කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.

මේ අතර, ජනතා මුදල් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් වියදම් කරමින් සකස් කළ පළාත් පාලන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. ආණ්ඩුව ගෙනා පනතක් පරාජයට පත්වීම හරහා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු වුවද, එය සිදු වූයේ නැත. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ෆයිසර් මුස්තාපා මහතාද විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. මේ හරහා පෙනෙන කරුණක් වන්නේ වත්මන් ආණ්ඩුව තවදුරටත් ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම හකුළා දැමීමට කටයුතු කරන බවයි. 
ලබන ඔක්තෝබර් මාසයේදී තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වීමට නියමිතය. ඒ අනුව කාලය අවසන් වන පළාත් සභා සංඛ්‍යාව හයක් බවට වැඩිවෙනු ඇත. නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානමක් නොමැත. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නා යැයි පවසන ආණ්ඩුව මැතිවරණ සිතියම හකුළා දැමීම කනගාටුවට කරුණකි. අනෙක් අතින් එයින් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව මැතිවරණයට දක්වන බියය.

මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ අලුතින් ඡන්ද වරම් ඉල්ලන ප්‍රමාණය අඩකින් අඩුව ඇති බවත්, මැදි වයසේ පුද්ගලයන් ඡන්දය ඉල්ලීමේ උනන්දුව අඩුව ඇති බවත්ය. මේ අතර මාහට තවත් යමක් ප්‍රකාශ කළ යුතුය. එනම් දේශපාලනයේ ඇති කුහකත්වය නිසා තරුණයන් ඡන්ද ව්‍යාපාරයට පැමිණීමද අධෛර්යවත් කර තිබේ.

දේශපාලනය තුළ පෞද්ගලික චරිත ඝාතනය කිරීම් මෙන්ම මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශපාලනය එසෙත් නොමැති නම්, ඡන්දය පිළිබඳ ජනතාව අතර නොසැලකිල්ලක් දිනෙන්දින වැඩි වීමට අලුතෙන් ඡන්ද වරම් ඉල්ලන ප්‍රමාණය අඩු වීමට හේතුවක්ද විය හැකිය.

මේ අතර, සෑම දේශපාලකයෙකුම හොරෙකු බවට ජනතාව සිතීම හේතුවෙන් ඔවුන් ඡන්දය භාවිත කිරීම අධෛර්යවත් වීමට බලපා තිබේ. එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ඡන්ද අයිතිය ලබා ගැනීමට හෝ ඡන්ය ප්‍රකාශ කිරීමටත් ඉදිරිපත් නොවෙනු ඇත. අනෙක් අතින් මේ සඳහා ආණ්ඩුව ඍජුව වගකිව යුතු වෙයි. සෑම දේශපාලකයෙකුම %හොරෙකු^ යන කෝණයෙන් බැලීමට ජනතාව පටන් ගත්තේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දිගට හරහට පදනමකින් තොරව දේශපාලනඥයන් හොරුන් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් දේශපාලනය කෙරහි ජනතා විශ්වාසය බිඳවැටීම නිසාවෙනි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles