ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙදහස් දහඅටේ නොවැම්බර් මස නව වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. 2019 ජනවාරි මස 05 වැනිදා මහමැතිවරණයක් සඳහා දින නියම කර ඇත. ජනාධිපතිවරයාගේ හදිසි තීරණය අද වනවිට මුළු රටේම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරීමට බලපෑ හේතු කවරේද? පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම නීත්‍යනුකූල වන්නේද? ජනාධිපතිවරයාගේ මෙම තීරණය අභියෝගයට ලක්කළ හැකිද? සහ උඩුදුවන වණයක් බවට පත්ව ඇති බල අරගලය ඉන් සංසිඳේද? යනාදී ප්‍රශ්න රැසක් මේ වනවිට එම තීරණය වටා ගොනු වෙමින් ඇත. මේ කාරණා පිළිබඳ නෛතික විග්‍රහය නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා ගෙන එනුයේ මේ අයුරිනි.
අවසන් විකල්පයට යොමුවීම
මේ වෙද්දි නිර්මාණය වී තිබෙන අර්බුදකාරී වාතාවරණය මත ආණ්ඩුව විසුරුවා හැරීම හැර වෙනත් සාධාරණ විකල්පයක් ජනාධිපතිවරයා සතුව නැති බව මේ ප්‍රශ්නය ගැන මතුපිටින් බලන කෙනෙකුට පෙනී යයි. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් වෙත යෑම වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී තේරීම බවට ජනමතයක්ද හටගෙන තිබෙනවා. මෙතනදී අපි සලකා බැලිය යුතු ප්‍රධානතම ගැටලුව වෙන්නේ මේ අර්බුදකාරී වාතාවරණය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් ජනාධිපතිවරයාට තිබෙනවාද යන්නයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවධානය යොමු කළොත්, 19 වැනි සංශෝධනයෙන් ප්‍රතිස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 62 (2) වන වගන්තිය මුල් බැල්මටම මේ සඳහා අදාළ වෙනවා.
‘‘62(2) සෑම පාර්ලිමේන්තුවක්ම පළමු වරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවතින්නේය. එහෙත් නියමිත කාලසීමාව ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම පාර්ලිමේන්තුව විසිර ගියාක් සේ සැලකෙන්නේය.
62 (2) වගන්තියේ සරල පැහැදිලි කිරීම අනුව සෑම පාර්ලිමේන්තුවක්ම වසර පහක කාලයකට තෝරා පත්කර ගත්තත්, පස් අවුරුදු කාලය ගතවීමට පෙර එය විසුරුවා හැර මහමැතිවරණයකට යෑම නීත්‍යනුකූලයි. දැන් 19 වැනි සංශෝධනයෙන් ප්‍රතිස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වැනි වගන්තිය ඉහත 62 (2) වගන්තිය සමග සන්සන්දනය කළොත්,
‘‘70 (1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.
එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.
70(1) වගන්තියෙන් ප්‍රකට වන අර්ථය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරාගේ ප්‍රකාශයක් ප්‍රමාණවත්. අනිත් අතට පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමට නියම කරගනු ලබන දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වීමට පෙර එම ප්‍රකාශය කරන්න නම්, තුනෙන් දෙකක බහුතරයකින් සමන්විත යෝජනා සම්මතයක් මගින් ජනාධිපතිවරයාගෙන් ඒ වගට ඉල්ලා සිටිය යුතු වෙනවා.
අපි දැන් 70(3) වැනි වගන්තියට අවධානය යොමු කරමු.
‘‘70(3) පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන්නා වූ ප්‍රකාශනයෙන් ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුත්තේය.
එසේ වුවද, පාර්ලිමේන්තුවේ වාරයක් අවසන් කොට ඇති කවර වූ හෝ අවස්ථාවක,
(i) ප්‍රකාශනයක් මගින්, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු නියමිත කලින් දිනයක රැස්වන ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට හෝ
(ii) මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හෝ ජනාධිපතිවරයාට බලය ඇත්තේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ 2018-11-09 දිනැති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(3)(ii) වන වගන්තිය යටතේ එතුමාට ලැබී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද එකක් බව පැහැදිලියි. ඒ නිසා 70(3)(ii) වැනි වගන්තියේ එන ‘‘මේ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව’ යන කොටස කිසිසේත්ම අමතක කරන්න බැහැ. එයින් ගම්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර 70 වැනි වගන්තියේ සෙසු විධිවිධාන තෘප්ත කිරීම අනිවාර්ය කාරණයක් බවයි. එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය වෙන්නේ, 70(1) වගන්තියේ එන කාලසීමා නියමය ඒ විදිහටම අදාළ වන බවයි. නමුත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තියේ ප්‍රතිපාදනයන්ද වැදගත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් විස්තර කරනවා. එහි 33 (2)(ඇ) වගන්තිය මෙසේ සඳහන් වෙනවා.
‘‘33 (2) (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා හෝ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට,
(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(3)(ii) වැනි වගන්තිය සහ 33(2)(ඇ) වගන්තිය පැහැදිලවම එකිනෙකට පටහැණි වගන්ති දෙකක්. මොකද, මෙතනදි %ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා හෝ බලතලවලට සහ කාර්යන්ට අමතරව’ යනුවෙන් කොටසක් ඊට එක් කිරීම නිසා 70(3)(ii) වැනි වගන්තිය ඉක්මවා යෑමේ අවස්ථාවක් එයින් නිර්මාණය වෙලා තිබෙනවා.
මේ 33(2)(ඇ) වගන්තිය හඳුන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි සංශෝධනය තුළිනුයි. 70(3)(ii) වැනි වගන්තිය 19 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන්නක්. ඇත්තටම එකිනෙකට එකක් පටහැණි වගන්ති දෙකක් එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබීම අපේක්‍ෂා කළ නොහැකි දෙයක්. නමුත් දැන් එය සිදුවෙලා අවසන්. ජනාධිපතිවරයා ස්වකීය තනි කැමැත්ත අනුව 33(2)(ඇ) වගන්තිය මත පිහිටා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. ඒ නිසා දැන් වඩා විස්තරාත්මක 70(3)(ii) වැනි වගන්තියෙන් කළ හැකි කිසිවක් ඉතිරි වෙලා නැහැ.
වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව සාධාරණීකරණට ලක්කළ හැකි බවට සමහර නීතිවේදීන් තර්ක කරනවා. නමුත් පැහැදිලිවම වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය මේ ප්‍රශ්නයට ඍජුව අදාළ වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය ක්‍රමය හෙවත් වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව ව්‍යවස්ථාදායකය අකර්මණ්‍ය වීමේ සංසිද්ධිය %ඩෙඩ්-ලොක්^ යනුවෙන් හඳුන්වනවා. බොහෝ විට ඩෙඩ්ලොක් අවස්ථාවන් මතුවෙන්නේ කිසිම පක්‍ෂයකට බහුතරයක් ලබා ගැනීමට නොහැකිව කිසිදු පනතක් සම්මත කර ගැනීමට නොහැකි විටයි. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර ප්‍රශ්නය නිරාකරණය කරගත හැකියි.
නමුත් මෙය ව්‍යවස්ථාකරණය අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක් නොවෙයි, හුදෙක්ම බල අරගලයක් සිදුවෙමින් පවතින අවස්ථාවක්. ඒ නිසා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කිරීමෙන් මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න බැහැ. ශ්‍රී ලංකාව වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙන් ඉවත් වෙලා සෑහෙන කලක් වෙනවා. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය ගෙනයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙනයි. ඒ නිසා ලිඛිත නොවූ ආණ්ඩුක්‍රමයක් ඇති එංගලන්ත පාර්ලිමේන්තු ක්‍රමය අපේ රටට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ.
ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක්කළ හැකිද?
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා. අපි දැන් මේ හා සම්බන්ධ නීතිරීති ගැන අවධානය යොමු කළොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 118 වැනි වගන්තියෙන් මේ ආකාරයෙන් විස්තර කර දෙනවා.
‘‘118. ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනරජයේ උත්තරීතරතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේය. එනම්,
(අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන්වූ අධිකරණ බලය
(ආ) මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය
(ඇ) උපදේශක අධිකරණ බලය
(ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය
(ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය, සහ
(උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය අනුව මෙවැනි අවස්ථාවක උපදේශන අධිකරණ බලය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඇති එකම පුද්ගලයා ජනාධිපතිවරයා පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කාරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ උපදේශනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට පැහැදිලිවම වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නැහැ. 129 (1) වැනි වගන්තියේ ඊට අදාළ කොටස මෙසේයි.
‘‘129 (1) ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවකදී වුවද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැක්කේය.
මෙවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) වගන්තිය ප්‍රකාර ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ හැකි බවට මතවාදයක් තිබුණත් 125(1) වගන්තියේ ප්‍රකට භාවිතය වෙන්නේ අධිකරණමය හා අර්ධ අධිකරණමය කාර්යන්හිදී පැනනගින ගැටලුවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ විධායක කාර්යක් වෙන නිසා 125(1) වගන්තිය මෙවැනි ගැටලුවලදී යොදාගත හැකිද යන්න ගැටලු සහගතයි.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(2) වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුව කල්පිරීමට පෙර විසුරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක්. ඊට හේතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මූලික අයිතිවාසිකම් විෂය ක්‍ෂේත්‍රයෙන් පරිබාහිර ක්‍රියාවක් වන නිසා.
ඒ අනුව කථානායකවරයා විසින් හෝ වෙනයම් අයෙක් විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව නඩු පැවරීම අල්ප ඵල ගෙන දෙන උත්සාහයක් බව සඳහන් කළ යුතුයි.
ජනාධිපතිවරයාගේ තීරණය අවසන් තීරණයයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල වුණත්, නීත්‍යනුකූල නොවුණත් ජනාධිපතිවරයාගේ තීරණය තමයි අවසානාත්මක බවට පත්වෙන්නේ. ජනාධිපතිවරයාගේ එම ක්‍රියාවට එරෙහිව ගත හැකි නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක්ද නොමැති බව සාධාරණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එහි සමුච්චිත ප්‍රතිඵලය වෙන්නේ තම තීරණය ක්‍රියාවට නැංවීමේ බලය ජනාධිපතිවරයා අතට ලැබීමයි. උදාහරණයක් විදිහට මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට හෝ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැහැ. ඔහු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104(ආ)(2) වගන්තියට අනුව ඔහුට පැවරී ඇති බලතල හා යුතුකම් ක්‍රියාවට නංවමින් නියම කළ දිනට මැතිවරණයක් පැවැත්වීමයි.
සටහන - සමස්තයක් වශයෙන් සලකා බලන කල 2018 ඔක්තෝබර් මස 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළිය තවමත් අවසන්ව නැත. මහමැතිවරණය, ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණ යන ප්‍රධාන මැතිවරණ තුනකට මුහුණ දීමට ඉදිරි කාලවකවානුවේ රජයට සිදුවනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක පෙරමුණක සිට තරගවදින ආකාරයක් පසුගිය දිනෙක පවත්වන ලද ඒකාබද්ධ ජනරැලිය අනුව පෙනුණද, මේ වනවිට හදිසියේම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පනස්දෙනෙකු පමණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ඇතැයි වාර්තා වේ. එසේම එක්සත් ජාතික පක්‍ෂය සුපුරුදු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පෙරටු කොටගෙන හෝ මේ වනවිට ඉල්ලීමක් පවතින සජිත් ප්‍රේමදාස මහතා පෙරටු කොටගෙන මැතිවරණ තරග බිමට පිවිසෙනු ඇත.
ශ්‍රී ලංකා දේශපාලනයේ පසුගිය අවුරුදු තුනහමාරක කාලය පුරා පැවැති රනිල්-මෛත්‍රී-මහින්ද තුන්කොන් අරගලය දැන් අවසන්ව ඇත. දැන් හටගෙන ඇත්තේ ඊට වඩා අර්බුදකාරී තත්ත්වයකි. රාජපක්‍ෂ - සිරිසේන දීගය තව කෙතෙක්කල් පවතීද යන්න අනුමාන වශයෙන් කිව නොහැකි වුවත් මහින්ද - මෛත්‍රී සුසංයෝගය ඉදිරි මහමැතිවරණයට සාර්ථකව මුහුණ දෙනු ඇත. අනිත් අතට සිරිකොත පැත්තේ බල අරගලය කාගේ වාසියට තීන්දු වුවත්, එක්සත් ජාතික පක්‍ෂයේ නොසෙල්වෙන ඡන්ද පදනම සාම්ප්‍රදායික ක්‍රමයට භාවිත කෙරෙනු ඇත. එක්සත් ජාතික පක්‍ෂයට මේ මොහොතේ පාවෙන ඡන්ද තීරණාත්මක සාධකයකි. එය දිනා ගැනීමේදී නම් පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ වාචාල මුඛයන් වසා තැබීම නම් ඔවුන්ට වැදගත්ය.
කෙසේ නමුත් පැවැති තත්ත්වයන් සහ වර්තමානය සලකන විට ඉදිරි මැතිවරණයේදී පාවෙන ඡන්ද පැහැදිලිවම තීරණාත්මක සාධකයක් නොව නිහඬ සාධකයක් වන බවට නිගමනය කළ හැකිය. මන්දයත් පැවැති පාලනයේ අඩුපාඩු නිසාම 2015 දී වෙනසක් බලාපොරොත්තුවෙන් පාවෙන ඡන්දවල වාසිය පොදු අපේක්‍ෂකයා වෙත ලැබුණු බව නොරහසකි.
නමුත් ඉන් පත්වූ යහපාලන රජය ජනතාවගේ සැබෑ අපේක්‍ෂාවන් නොසලකා හැරීම, මහ බැංකු බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපොළ විකිණීම සහ ත්‍රස්තවාදීන්ට වන්දි ලබාදීමට යෑම ආදී සිද්ධි නිසාම කෙටි කලක් තුළ ජනතාවගේ අප්‍රසාදයට පත්විය. එම අප්‍රසාදයේ පළමු සහ දරුණුතම අනතුරු ඇඟවීම පළාත් පාලන ඡන්දයේදී ජනතාව විසින් නිකුත් කළද යහපාලනය එය තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා තම පරම සතුරා ලෙස දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති පුටුවේ හිඳුවා නැවතත් පාවෙන ඡන්දදායකයන් වෙත දැවැන්ත කනේ පහරක් එල්ල කළේය. මේ නිසාම මෙවර මැතිවරණයේදී පාවෙන ඡන්ද නිහඬ සාධකයක් වන අතරම සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේද සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි නිගමනය කළ හැකිය.
ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ලම කැණහිලුන්ට නාමයෝජනා ලබාදී සිංහයන් පත්කර එවන ලෙස ජනතාවට කියයි. අපක්‍ෂපාතීව සලකන කල දැන් සමස්ත වැඩ කරන ජනතාව දේශපාලන නායකයන් ගැන සිටිනුයේ ඉමහත් කලකිරීමෙනි
ඔවුන්ට වෙනසක් අවශ්‍යය. තට්ටුමාරු ක්‍රමයට සොරකම් කිරීම නවතනු අවශ්‍යය. ප්‍රදර්ශනාත්මක සටන්වලින් ජනතාව මුළා කිරීම අවසන් වනු දැකීම අවශ්‍යය. ජනතා ගැටලු හුදෙක් විහිළුවකට ගනිමින් සුරසැප විඳින දේශපාලකයන්ට සමුදීමට ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.
එනමුත් මෙවරත් වැඩි වාසිය ඇත්තේ උගතුන්ට, වංචාවට, දූෂණයට එරෙහි වන අපේක්‍ෂකයන්ට නොවේ. කවදත් වැඩි වාසිය හිමිවනුයේ බෙදුම්වාදී අවස්ථාවාදීන්ටය. පවත්නා මැතිවරණ ක්‍රමයෙන් ජයපිට ජය ලබන්නේ ඔවුන්ය. ප්‍රධාන පක්‍ෂවලට හේත්තු වී වැඩිම වාසිය ගැනීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන බැවිනි. මේ අනුව බලන කල අප රටට අද බලපා ඇති තුන්බිය එදා බුද්ධ කාලයේ විශාලා නුවර තුළ පැනනැගි තුන්බියටත් වඩා විනාශකාරී එකකි.