ආගමට ධර්මය අහිමි වූ කල


පසුගිය සියවසේ ලෝකය පුරා ඇති වූ සමාජ ගැටුම්වල මූලාශ්‍රය වූයේ පන්තිය නැත්නම් ජාතියයි. සමාජ විප්ලව, සමාජ කැරැලි, බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය ආදී වශයෙන් විවිධ මුහුණුවරින් මතු වූ එම සමාජ ගැටුම්වලට අප රටද විශාල වශයෙන් ගොදුරු විය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ඇතිවූ තරුණ කැරැලි දෙක ප්‍රකාශ වූයේ පන්ති අරගලයක් වශයෙනි. එක් පන්තියකට පමණක් වරප්‍රසාද ලබා දෙන අසාධාරණ සමාජ ක්‍රමයක් අරගලයක් ඔස්සේ සාධාරණ සමාජ ක්‍රමයක් බවට පත් කිරීම තරුණ කැරැලිවලට ග්‍රාමීය පීඩිත තරුණ තරුණියන්ගේ අරමුණ විය. ජාතිය මුලික කර ගත් ගැටුමක් බෙදුම්වාදයක් වී, එය සාධනය කර ගැනීමේ මාර්ගය ත්‍රස්තවාදයක් බවට පෙරළීමේ හේතුවෙන් අප රට තිස් අවුරුදු යුද්ධයකට ගොදුරු විය. ලෝකයත්, අප රටත් මුහුණ දෙන නවතම සමාජ ගැටුම් බෙදුම් රේඛාව වී ඇත්තේ ආගමයි.

ලෝකයේ අද පවතින ප්‍රධාන පෙළේ ආගම් බිහි වී ඇත්තේ සමහර ජාතීන් සහ පන්තීන් බිහිවීමටත් පෙරය. ජාතියට සහ පන්තියට නොමැති, ආගමට පමණක් විශේෂ වන ලක්ෂණයක් වන්නේ මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික පක්ෂයට ඇමැතීමට ඊට ඇති හැකියාවයි. එසේම ජාතියට සහ පන්තිය වඩා ආදරය දයාව, කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව වැනි උත්තරීතර මනුෂ්‍ය ගුණාංග වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ආගමට ඇත. එසේ නම් එවැනි වූ ආගම් සමාජ ගැටුම්වල උල්පතක් වෙමින් තිබෙන්නේ කෙසේද යන්න අපගේ අවධානය යොමු විය යුතු ප්‍රශ්නයකි. ආගම දේශපාලන වැඩබිමට කඩා වැදීම මීට එක් හේතුවකි. තවත් හේතුවක් වන්නේ සාමාජික මිනිසා නිරන්තරව පෙළෙන ව්‍යාධියක් තරම් දරුණු වූ අනන්‍යතා අර්බුදයයි. ආගම දේශපාලන වැඩබිමට කඩාවැදීම අද, ඊයේ සිදුවූවක් නොවේ. 

ඉස්ලාම් ආගම දේශනා කළ මහමත්තුමා රාජ්‍යයක් ගොඩනැගූ පාලකයෙකි. යුද්ධ සටන් මෙහෙයවූ සේනාපතියෙකි. ක්‍රිස්තියානියටද මධ්‍යතන යුගයේ දේශපාලන අධිරාජ්‍යයක් ගොඩනැගිය හැකි විය. හින්දුත්වය අද වන විට ඉන්දියාවේ ප්‍රබල දේශපාලන සංකල්පයකි. සිංහල භික්ෂූන් වහන්සේ ලාංකික සමාජය තුළ සමාජ අධිපති බලයක් හෙබවීම නිවන් මග සාධනය කරගත් මහරහතුන් වහන්සේ වැඩ සිටියේ යැයි අප විශ්වාස කරන අනුරාධපුර රාජධානි කාලයේ පටන් දක්නට ලැබූ සිදුවීමකි. බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉඩකඩම් සහිත භෞතික දේපල පාලනය කරන්නා වූ දේපල භාරකරුවකු මෙන්ම රජුන් තැනීම, රජුන් බලයෙන් පහ කිරීම ඇතුළු දේශපාලන කටයුතුවලට බෞද්ධ භික්ෂූන් වහන්සේ මැදිහත් වන්නට පටන් ගත්තේ අනුරාධපුර යුගයේ සිටම බව ලංකාවේ රාජ්‍ය හා ආගමික ගැටුම් ගැන පර්යේෂණයක් කළ ඉතිහාසඥ  මහාචාර්ය අමරදාස ලියනගම පෙන්වා දී ඇත.

නිරාගමිකයකු කෙතරම් කැමැති වුවද ආගම මනුෂ්‍යයාගේ ඉතිහාසයේ වේදිකාවෙන් බැස යන්නේ නැත. ආධ්‍යාත්මිකත්වය පිළිබඳ අවශ්‍යතාව මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්ථයකි. එය සපුරාලීමට විද්‍යාවට, දර්ශනයට, තාක්ෂණයට, වෙළඳපොළට, ලෞකිකවාදී දේශපාලනයට හෝ කලාවට සහමුලින්ම කළ නොහැකිය. එහෙයින් ආගම් යනු ජීවිතය පිළිබඳ යථාර්ථයකි. 

අධ්‍යාත්මික අවශ්‍යතාවට අමතරව මිනිසුන්ට තම අනන්‍යතා අවශ්‍යතාව සඳහාද ආගම් අවශ්‍ය වී ඇත. මා කවුද? අප කවුද? යන ප්‍රශ්නය සාමාජික මිනිසාට සදාතනිකව වධ දෙන ප්‍රශ්නයකි. %අප සියල්ලෝම මනුෂ්‍යයෝය^ යන පිළිගැනීමෙන් සෑහීමකට පත්වීමට මිනිසාට නොහැකිය.  විශේෂයෙන්ම නූතන යුගය මිනිසාට දරුණු අනන්‍යතා අර්බුද හඳුන්වා දී ඇති යුගයකි. සිය රූප කාමය හෙවත් තමාව දැකීමට තමා තුළම ඇති කැමැත්ත අද යුගයේ මිනිසා මෙහෙයවන ප්‍රධාන ධාවක ශක්තිය බවට පත්ව ඇත. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල  මනෝවිද්‍යාත්මක පදනම ස්වරූපකාමයයි. නූතන ආගම සාමාජික ස්වරූප කාමය පතුරුවන්නා වූ ප්‍රධාන වාහකයෙකි. ප්‍රදර්ශනාත්මක ආගම සහ ආගමික තරගය තුළ පෙන්නුම් කෙරෙන්නේද නූතන මිනිසාගේ අනන්‍යතා අර්බුදයයි.

ආගමික තරගය, අනන්‍යතා අර්බුදය හා ස්වරූප කාමය නිසා නූතන සමාජය පූර්ව නූතන සමාජයන්ට වඩා ආගමික වී ඇත. බැලූ බැලූ තැන ඇත්තේ ආගමය. කන්නේ, බොන්නේ, අඳින්නේ ආගමට අනුවය. ජනමාධ්‍ය ආගමික වැඩසටහන්වලින් පිරී ඇත. පුද පූජා, වන්දනාමාන වැඩසටහන් එන්න එන්නම වැඩි වෙයි. මෙසේ ආගමිකභාව වැඩිවන සමාජයක හිංසාව හා ප්‍රචණ්ඩත්වයේ මූලාශ්‍රය බවට ආගම පත්වීම ආගම තුළම මතුවන විරුද්ධාභාෂයකි. මෙය අපට ආගමෙන් ධර්මය විතැන් වීම ලෙස හැඳින්විය හැකිය. ධර්මය නැති කර ගත් ආගමකින් ඇති කවර ඵලයක්ද? එවැනි ආගමකට සලසා දිය හැකි අධ්‍යාත්මික සැපත කුමක්ද?

ජාතියට හෝ පන්තියට ගැටුම් සහමුලින්ම නවතා දැමිය නොහැකිය. පන්ති ගැටුම් වෙනුවට පන්ති සහයෝගිතාව ජාතික ගැටුම් වෙනුවට ජාතික සහජීවනය වනාහි ශිෂ්ට සම්පන්න නිර්ප්‍රචණ්ඩ විකල්පයන්ය. එහෙත් අද අපට ආගමික සහජීවනයක් පිළිබඳවද කතා කරන්නට සිදුව තිබීම ආගමේම සරදමකි. ආගම තිබිය යුත්තේම ගැටුම් නිවීමටය. ධර්මය සහිත කිසිම ආගමකට කිසිදු අාකාරයේ ප්‍රචණ්ඩ ගැටුමක කොටස්කාරයන් විය නොහැකිය. ආගම ප්‍රචණ්ඩත්වයේ කොටස්කරුවන් වන විට එතැන බිහි වන්නේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වයකි.

ජොආන් ගල්තුන් නම් සමාජ විද්‍යාඥයා පෙන්වා දුන් ආකාරයට සමාජයක ප්‍රචණ්ඩත්වයේ ආකාර තුනකි. පළමුවැන්න සෘජු ප්‍රචණ්ඩත්වයයි. මිනිසුන්ගේ ජීවිත දේපළ හානි කරමින් යුද්ධ කළ කෝලාහල අපරාධ ආදිය ඒ ගණයේ ලා ගැනේ. දෙවැන්න අසාධාරණය අසමානතාව සහිත සමාජ ආර්ථික ව්‍යුහයන් පවත්වාගෙන යාමත් ප්‍රචණ්ඩත්වයේ ස්වරූපයකි. ගල්තුන් එය නම් කරන්නේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය ලෙසිනි. මේ වර්ග දෙකේම ප්‍රචණ්ඩත්වයන් නිවා දැමීමට කටයුතු නොකර ආගමේ නාමයෙන් ඒවා යුක්තිසහගත කරන්නේ නම් එතැන ඇත්තේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වයකි. ප්‍රචණ්ඩත්වයේ භයානකම ස්වරූපය වන්නේ මෙකී සංස්කෘතික ප්‍රචණ්ඩත්වයයි. හිංසාව අපගේ සංස්කෘතික ජානයක් බවට පත් වූ කළ එයින් මිදීම පහසු වන්නේ නැත. එහෙයින් ආගම් වෙත නැවතත් ධර්මය කැඳවාගෙන ඒමට ආගමිකයන් වන අප අපම %‘හිස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස’ කටයුතු කරන්නා සේ යුහුසුලු විය යුතු කාලය එළැඹ තිබේ.



Recommended Articles