ආගම සහ භීෂණය අතර ඇත්තේ විසංවාදී සම්බන්ධයකි. ලෝකයේ සෑම ආගමකින්ම පාහේ පතනු ලබන්නේ සාමයයි. එම ආගම්වල පරම ආත්ම ලාභයක් වන්නේද සාමයයි. එහෙත් ලෝක ඉතිහාසය ගත් විට මිනිසුන් අතර භීෂණය ව්‍යාප්ත වීම සඳහා ආගම් බලපා ඇත.
ආගම යුද්ධයක් සඳහා යොමු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ආගම ආයතනයක් වශයෙන් ගොඩනැගීමයි. ආයතන වශයෙන් ගොඩනැගෙන සෑම පද්ධතියක් තුළම ධූරාවලියක්ද, දේශපාලනයක්ද, බල ව්‍යුහයක්‍ද ගොඩනැගෙනු ඇත. එකල්හි ආගමක ඉගැන්වෙන පරමාර්ථ සාධනය සහ ප්‍රායෝගික උවමනාවන් අතර විශාල ඝට්ටනයක් ඇති වෙයි. එය විසංවාදී සම්බන්ධයක් දක්වා ඌණනය වෙයි.
ඕනෑම ආගමක් ගත් විට මුල් වක්තෘවරයා විසින් ඉදිරිපත් කෙරෙනු අදහස් පද්ධතියට පමණක් එය සීමා නොවේ. සියවස් ගණනාවක් මුළුල්ලේ එම ආගමික ධාරාවට එක්වන විවිධ වූ පුද්ගලයන්ගේ සම්ප්‍රදානයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් ආගම් නිර්මාණය වේ. ඒ නිසා ලෝකයේ තිබෙන ඕනෑම ආගමක පාහේ විරෝධාභාසයන් දැක ගැනීමට ඇත. මේ හේතුවෙන් එකම ආගම තුළ අහසට පොළොව මෙන් පරස්පර විරෝධතා දැක ගැනීමට හැකි වන අතර සාමය, ආදරය, කරුණාව මෙන්ම අවශ්‍ය නම් වෛරය, භීෂණය ආදියද ආගම මගින් තාර්කික ලෙස සාධාරණීකරණය කිරීමට අවශ්‍ය උපුටා දැක්වීම් ඕනෑම ආගමික සාහිත්‍යයකින් සොයාගත හැකි වේ.
එබැවින් ආගමික ග්‍රන්ථ මත යැපෙමින් තර්ක විතර්ක කිරීමට වඩා අවශ්‍ය වන්නේ භීෂණයෙන් ඉවත් වී සිටීමයි. භීෂණය හෝ වෛරය ආරම්භ කිරීම පහසුය. එහෙත් එය අහවර කිරීම අපහසුය. ශාරීරික තුවාල කැළැල් සුවපත් කිරීමට හැකිය. මානසික තුවාල කැළැල් පරම්පරා ගණනකට හෝ සුවපත් කිරීම පහසු නොවේ.
නැපෝලියන් බොනපාට් යනු ප්‍රංශයේ අධිරාජ්‍යයක් ගොඩනැංවූ දැඩි භීෂණයක් ලොවට ගෙන දුන් පුද්ගලයෙකි. අවසානයේදී ඔහු කියූ අදහසක් වේ. ලෝකයේ බලවේග දෙකක් ඇත. එකක් නම් කඩුවයි. අනෙක නම් ආධ්‍යාත්මයයි. නමුත්, ලෝකයේ අවසානයේදී දිනන්නේ කඩුව නොව ආධ්‍යාත්මයයි.
මහත්මා ගාන්ධිද වරක් පැවසුවේ ඔබට ඇතැම් විට භීෂණය ක්‍රියාත්මක කිරීමට සිතෙනු ඇත. එහෙත් එය ඔබට අවසානයේදී උරුම කරන්නේ සදාතනික දුෂ්ටත්වය පමණක් බවයි. නැපෝලියන් බොනපාට් කියූ පරිදි ලෝකයේ ජය ගනු ලබන්නේ මිනිසුන්ගේ ආදරය කරුණාව මෛත්‍රිය වැනි ආධ්‍යාත්මික ගුණාංග විනා භීෂණය නොවේ.
මැනුවෙල් කැස්ටෙල්ස් නම් සමාජ විද්‍යාඥයා පවසන පරිදි බලයේ ආකාර දෙකක් පවතී. එකක් භෞතික බලයයි. අනෙක මෘදු බලයයි. කඩුවෙන් කෙනෙකුට අත් කරගත හැක්කේ භෞතික බලයයි. එහෙත් එය තාවකාලික සහ දුෂ්ටත්වයට අත වනන්නකි. වඩාත් ශක්තිමත් වන්නේ ආදරය සහ කරුණාව මත පාදක වූ මෘදු බලයයි.
අවෛරයෙන්ම වෛරය සංසිඳේ බුදු වදනේ තත්කාලීන වලංගුභාවය සහ දියුණු බව පසක් වන්නේ එහිදීය. කඩු පොලු ගෙන අනෙකෙකු නසන්නට සැරසෙන බෞද්ධයා එම දහමේ ආදි කර්තෘවරයාට අපහාස කරන්නෙකි.