අසීමිත මිනිස් අවශ්‍යතාවන්ගෙන් දැවෙන හරිත පෙණහලු


ලෝකයේ හරිත පෙනහළු යැයි හැඳින්වෙන ඇමසෝනියානු වනාන්තර කලාපය ලෝකයේ ඉතා ඉහළ වනාන්තර හරණ සහ හායන වේගයක් ඇති කලාපයක් ලෙසට හඳුන්වාදිය හැකිය. 60%ක ප්‍රමාණයක් බ්‍රසීලයටත්, 13%ක් පේරු රාජ්‍යයටත්, 10%ක්  කොලොම්බියාවටත් අයත් ඇමසෝනියානු වනාන්තර කලාපය අමතරව වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයානාව ආදී දේශපාලන මායිම්වලටද ව්‍යාප්තව පවතී. 


බහුජාතික සමාගම් විසින්  පර්යන්ත සීමාවන් ගිනි තැබීම හේතුවෙන් සහ දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵලයක් ලෙස දැවෙමින් පවතින  මෙම  ඇමසෝනියානු වනාන්තර පෙදෙස් සෑම මොහොතකම විශාල පාපන්දු පිට්ටනි ගණනාවක ප්‍රමාණයකට සමාන වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ඉතා පුළුල් අවකාශයක ව්‍යාප්ත වී ඇති බවට පසක් වනුයේ පසුගිය සතියේ පමණක් ලැව්ගිනි නවදාහක් පමණ වාර්තා වී තිබීමෙනි. ඒ අනුව මෙම වනාන්තර දැවීමේ ප්‍රතිඵලයක් ලෙස කාබන් ජලමූලාශ්‍ර සමග මුසුවීම හේතුවෙන් බ්‍රසීලයේ සාවෝ පාවුළු නගරය දිවා කල වුවද අඳුරුව ඇති බවක් දක්නට ලැබෙයි. විශේෂඥයින් පෙන්වා දෙන පරිදි වර්ෂාව සමග ඒවා තවත් දේශපාලන සීමා මායිම් ඉක්මවා පැතිර යාමේ ප්‍රවණතාවක් ඇති අතර, කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් ප්‍රතිශතයද වායුගෝලයේ ඉහළ ගොස් ඇති බවට මේ වනවිට  හඳුනාගෙන තිබේ. එසේම  වනාන්තර විනාශය හේතුවෙන් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ්  පිරිපහදු කිරීමේ  ක්‍රියාවලියද අඩපණ වෙමින් පවතින බව සඳහන්ය.

බහුජාතික සමාගම්වල හා දූෂිත දේශපාලනයේ ප්‍රතිඵල

දේශගුණික විපර්යාස සහ ඒ සඳහා වන මානව දායකත්වය සෘජුවම මෙම වනාන්තර විනාශය සමග බැඳී ඇති අතර, එය එක් අතකින් මානවකාරක දේශගුණික විපර්යාසයන්හි සෘජු ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකිය. විශේෂයෙන් කලාපය තුළ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය සහ දූෂිත දේශපාලනය හා ඒවායේ ඇති සබැඳියාව ඇමසෝනියානු ගින්නත් සමග පිළිඹිබු වූ බ්‍රසීලයේ ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් මනාව තේරුම්ගත හැකිය. 

මෙය එක් අතකට හඳුන්වාදිය හැක්කේ මිනිසාගේ අන්තගාමී ජීවන රටාවල  තවත් ප්‍රතිඵලයක් ලෙසය. මාංස සඳහා ගව පාලනය සිදුකිරීමට ඇමසෝනියානු කලාපය විශාල වශයෙන් යෙදවී ඇති අතර, යුරෝපයේ සහ ඇමරිකාවේ මාංස අවශ්‍යතා තෘප්ත කිරීමට එම මාංස සෘජුවම අපනයනය කෙරෙයි.  ඒ අනුව මෙම වනාන්තර විනාශ කිරීමේ උත්තේජනය සිදුවනුයේ වැඩි වන මාංස ඉල්ලුමට සාපේක්ෂවය. මෙය එම මාංස ලබාගන්නා රටවල් නොදන්නා කරුණක් නොවේ.   

ඊට අමතරව දැව හෙළීම් සඳහාද මෙම කලාපය මහා පරිමාණයෙන් යොදාගැනෙන අතර, දැව හෙළීම් සඳහා යොදාගන්නා මාර්ග ඔස්සේ වනාන්තර අභ්‍යන්තරයට පිවිසෙන පිරිස් විසින් එම වනාන්තර ප්‍රදේශයන්හි ඇති වනබිම් අත්පත් කර කරගැනීමද සිදුවේ. 'Grileiros' ලෙසට කලාපය තුළ හැඳින්වෙන මෙම ක්‍රියාවලිය පළඟැටි ආක්‍රමණයක් ලෙස සරලව දැක්විය හැකිය. එය

කාලයක සිට සාමාන්‍යකරණය වී ඇති කරුණකි. 

එසේම සෝයා බෝංචි නිෂ්පාදනයද මෙම කලාපයේ ඉහළ මට්ටමින් සිදුකෙරෙන අතර, එම සියල්ලට අවශ්‍ය භූමිය ලබාගන්නේද අදාළ වනාන්තර හෙළි කිරීමෙනි. ඒ අනුව අවසාන නිෂ්පාදනවල අයිතිකරුවන් වන්නේ කවුරුන්ද, ඔවුන් සියල්ලන්ම මෙම වනාන්තර විනාශය සමග සෘජුව සහ වක්‍රව බැඳී ඇත්තා සේම සත්‍ය වශයෙන්ම වගකිවයුත්තෝද වෙති.  

ජීවී විශේෂවලට එල්ලවන බලපෑම

මේ අතර පවතින සමාජ, ආර්ථික සහ දේශපාලනික යාන්ත්‍රණය විසින් මෙම වනාන්තර ගිනි තබන බවට සහ එහි සිටින විදේශීය ජනකොටස් අනාථ කර දමන බව දීර්ඝ කලක සිට හඳුනාගෙන ඇති කරුණකි. එහිදී සංවර්ධනයේ නාමයෙන් සිදුකරන විනාශය කිසිදු අයුරකින් මුලිනුපුටා දැමීමට එහි ස්වදේශීය ජනතාවටව හෝ පරිසර සංරක්ෂණයේ නියැළෙන  සංවිධානවලට හෝ පුද්ගලයන්ට හැකියාවක් ලැබී නොමැත. ඒ අනුව පසුගිය සමය තුළ ලබාගන්නා ලද එවැනි නෛතික ජයග්‍රහණ කිහිපයක් ඇමසන් ද්‍රෝණියේ ස්වදේශීය ප්‍රජාවන් ලබාගෙන සිටියද, ඒ වෙනුවෙන් මරණයෙන් වන්දි ගෙවීමට එහි නායකයන්ට අවසානයේ සිදුවිය.

ලෝකයේ සෑම විශේෂ 10කින්ම එකකට නේවාසිකත්වය සපයන්නේ ඇමසෝන් කලාපය බවට පර්යේෂකයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම ගිනි හේතුවෙන් විශේෂයෙන් කඩිනමින් චලනය විය නොහැකි කෘමි විශේෂ, උරගයන් සහ උභයජීවී විශේෂවලට දැඩි හානියක් සිදුවන බව ඉතා පැහැදිලිය. එසේම මෙම පරිසර පද්ධතිවල ආහාර දාම, ජාල සහ ශක්ති ගලනය ආදියේද දීර්ඝකාලීන වෙනස්කම් සිදුවිය හැකි බවට පර්යේෂකයන් මේ වනවිට හඳුනාගෙත තිබේ.

ගිනි තැබීම හේතුවෙන් සිදුව ඇති විනාශය කිසිදු ලෙසකින් මුදලින් තක්සේරු කළ නොහැකි වන්නා සේම ඇතැම් විට අප හඳුනාගත් මෙන්ම හඳුනා නොගත් ඇතැම් ජීවී විශේෂද මිහිතලයෙන් තුරන්ව ගොස් තිබිය හැකිය. එසේ නොමැතිනම් ඔවුන්ගේ පැවැත්ම අතිශයින් අවදානමකට පත්ව තිබීමටත් වැඩි ඉඩකඩක් පවතී.  

වනාන්තරවල පැවැත්මට ගින්න අවශ්‍යද?

මෙහිදී දැක්විය යුතු වැදගත් කරුණක් නම් ඇතැම් වනාන්තරයන්හි පැවැත්මට ගින්න අවශ්‍ය සාධකයක් ලෙස සඳහන් වීමයි. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව හා අප්‍රිකානු කලාපයේ ඇතැම් පරිසර පද්ධතිවලට සහ ඒවායේ ක්‍රියාකාරීත්වයට ගින්න අවශ්‍ය සාධකයක් වන අතර, ඒවායේ ශාක හා සත්ත්ව විශේෂ එම තත්ත්වයන්ට දීර්ඝ කාලයක සිට අනුවර්තනය වී තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ඒවායේ පැවැත්මට ගින්න අවශ්‍ය සාධකයක් ලෙස හඳුනාගෙන ඇති නමුත්, මෙලෙස ගිනි ගැනීම්වලට ලක්වන ඇමසෝනියානු වනාන්තර කලාපය ලෝකයේ නිවර්තන වැසි වනාන්තර පද්ධතියට ඇතුළත් වෙයි. ඒ අනුව එහි සත්ත්ව හා ශාක විශේෂ ගින්නට අනුවර්තනය වීම සඳහා හැඩ ගැසී නොතිබෙන අතර, ඒවායේ  ඇති පාරිසරික සංරචක ඉහත කී පරිසර පද්ධතීන්ට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වෙනස් වූ ස්වභාවයක් ගනු ලබයි. එසේම එම ජීව රූපයන්ට වෙනස් වීම සඳහා සැලකිය යුතු කාලයක් උදා නොවන අතර, කෙටි සහ දීර්ඝකාලීන විශාල විනාශයක් පමණක් සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීම

වනාන්තර ගිනි තැබීම සම්බන්ධයෙන් ලොව හරිත පෙණහැල්ලේ තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීමද මේ වනවිට අතිශය ඛේදනීය තත්ත්වයකට පත්ව තිබේ. පසුගිය කාලය තුළදී එහි තීව්‍රතාව සහ ව්‍යාප්තිය වඩා පුළුල් වී තිබෙනුයේ ඒ සියල්ලම මිනිසා විසින් ඇතිකරනු ලබන ඒවා වීමෙනි. වාර්ෂිකව ඇල්ල ප්‍රදේශයේ වනාන්තර ගිනි ගැනීමට අමතරව නිල්ගල වනාන්තර ප්‍රදේශවලත්, මොනරාගල මරගල ප්‍රදේශයේ, බලන්ගොඩ සහ බෙලිහුල්ඔය ආශ්‍රිතවත් මෙවැනි ගිනි තැබීම් පසුගිය සමය තුළ අඛණ්ඩව වාර්තා විය.
එහිදී අලුත් තණකොළ බලාපොරොත්තුවෙන් මෙන්ම සතුන් දඩයම වෙනුවෙන්ද භූමිය අත්පත් කරගැනීම සඳහා මෙන්ම අපරීක්ෂාකාරී ගිනි තැබීම් හේතුවෙන්ද, විනෝදයට ගිනි තබන පුද්ගලයන්ද නැතුවා නොවේ. ජල පෝෂක වියළී ජල උල්පත් සිඳීයාම තුළ භූගත ජලය අවම වීමද සිදුවනුයේ භූගත ජලධරයන් පෝෂණය කරවන වන ආවරණ විනාශ වීමෙනි. එසේම එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද ඍජුව බලපානු ඇත.

විශේෂයෙන් අලි ඇතුන්ට සිය ජල අවශ්‍යතාව පිරිමසා ගැනීමට නොහැකි වීම තුළ ඔවුන් ගම් වැදීමේ ප්‍රවණතාව වැඩි වීමද මේ හරහා සිදුවේ. ඒ අනුව මෙම සියල්ල එකිනෙක හා බැඳී පවතින විනාශයන් වන බව දැක්විය හැකිය.  

මිනිසුන් තමන් වෙතම සිදු කර ගන්නා විනාශය 

කෙසේවුවද කෙතරම් දැනුවත් කිරීම් සිදුකළද, දැනුවත් පුවරු සවි කළද වනාන්තර ගිනි ගැනීම සුලබව සිදුවන්නක් බවට ගතවූ වර්ෂ පිළිබඳ අවධානය යොමු කිරීමේදී දක්නට ලැබේ. උදාහරණයක් ලෙස නිල්ගල වනාන්තරයේ මොනරාගල දිසාවට වන්නට පිහිටි පරිවාර වනාන්තරයක් වන තඹාන යෝජිත රක්ෂිතය කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබූ අතර, ඒ හේතුවෙන්  එම යෝජිත රක්ෂිත වනාන්තරයේ අක්කර සියයකට අධික ප්‍රමාණයක් පූර්ණ ලෙස දැවී ගොස් තිබිණි. මෙම ප්‍රදේශය දික්ඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශයට අයත්   ප්‍රධානතම ජල මූලාශ්‍රයක් වන අතර, සෙල්ලක්කා ඔයට එක්වන දික්ඔය අවසානයේ සේනානායක සමුද්‍රය පෝෂණය කරනු ලබන ප්‍රදේශය බවට පත්වේ. ඒ අනුව ආශ්‍රිත ප්‍රදේශයන්හි ගොවි බිම් වෙත ජලය සපයන හීතලාවල අමුණ ආශ්‍රිත තෙත් පරිසරය වෙතද ඉන් දැඩි බලපෑමක් එල්ලව තිබිණි. එපමණකිදු නොනැවතී සෙල්ලක්කා ඔයෙහි අඛණ්ඩව සිදුවන අනවසර වැලි ජාවාරමද මෙම ප්‍රදේශයේ ගොවිබිම් රාශියකට ජලය ලබාගැනීම සඳහා දැඩි අභියෝගයක්ව පවතිනු දක්නට ලැබේ. ඒ අනුව වසර ගණනාවක් පුරා සිය දෙවැනි කන්නය වගා කරන්නට ගොවීන්ට හැකියාව ලැබී නොමැති බවද සඳහන් කළ යුතුමය.
දැනුවත්වම මිනිසුන් විසින් පරිසරයට සිදුකරනු ලබන විනාශය තමන් වෙතම සිදු කර ගන්නා විනාශයක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත්, මෙවැනි සිද්ධීන් තේරුම් ගත යුත්තේ සහ තේරුම් කළ යුත්තේ කෙසේදැයි නැවත නැවතත් සිතා බලන්නට සිදුවනු ඇත.  

කළමනාකරණය සහ සූදානම

රාජ්‍ය ආයතනයන්ට මිනිසුන් හා එක්ව ගිනි පටි වැනි ක්‍රම ක්‍රියාත්මක කිරීමත්, ඒවා අඛණ්ඩව නඩත්තු කිරීමත් සිදුකළ හැකිය. එවැනි වැඩසටහන් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කලකට ඉහතදී ක්‍රියාත්මකව තිබිණි.  ඒ අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් වනාන්තර ප්‍රදේශ සඳහාද ඒවා ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ තිබේ. දේශගුණික විපර්යාසයන්හි බලපෑම් හේතුවෙන් මෙම ගිනි තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් ඒ සඳහා පෙර සූදානම සහ ඊට අදාළ ක්‍රියාමාර්ගයන්ද ගත යුතු වේ. 

වනාන්තර සහ වනජීවී කළමනාකරණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්  තම පාලනය යටතේ ඇති ආරක්ෂිත භූමීන්හි මෙවැනි ගිනි ගැනීමක් සිදුවූ විට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම අතිශයින්ම වැදගත්ය. ඒ අනුව ඒ සඳහා වන පහසුකම් වැනි දේ  සැපයීමටද හැකියාව තිබේ.  

කෙසේවුවද අප දන්නා කරුණ නම් මෙම රාජ්‍ය ආයතනයන්හි පවතින උග්‍ර කාර්යමණ්ඩල හිඟයයි. සීමිත වුවද අදාළ නිලධාරීන්ට ඉතා විශාල භූමි කලාපයක් අධීක්ෂණය කිරීමට සිදුවනු ඇත. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ අතපසුවීම් සහ මඟහැරීම් අඛණ්ඩව සිදුවීමයි. ඒ අනුව මෙම කාර්යමණ්ඩල පුළුල් කිරීම  අතිශය වැදගත් වන අතර, ඒවාට නිසි පුද්ගලයන් බඳවාගැනීම්  කළ යුතු වන්නේ දේශපාලන මැදිහත්වීම් හෝ වෙනත් බලපෑම් නොමැතිව බවද සඳහන් කළ යුතුමය. 

මීට අමතරව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටත් ඒ සඳහා මැදිහත් වීමක් සිදුකළ හැකි අතර, අවශ්‍ය අවස්ථාවලදී හමුදා සහය ලබාගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීමද වැදගත්ය. ඒ සඳහා ලැව්ගිනි පාලනය පිළිබඳ විශේෂ දැනුමක් සහ අත්දැකීම් ඇති ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. සැබැවින්ම කළ යුත්තේ ගින්නක් ඇති වූ පසු ඊට එය නිවන්නට කටයුතු කරනවා වෙනුවට එවැන්නක් ඇති නොවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. 

එය වඩා විධිමත්ව සිදුකිරීම කළ හැක්කේ අදාළ කලාපයන්හි මිනිසුන් දැනුවත් කිරීම් හරහා මෙන්ම රටේ සියලු වැසියන්ගේ හදවත්වලින් නැඟෙන දැඩි අවශ්‍යතාව මත පමණකි.

 

 



Recommended Articles