අසාර්ථක, අදූරදර්ශී වත්මන් ආණ්ඩුවේ පාලනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය කොළඹට දැවන්ත විරෝධතා පාගමන සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ.
අගෝස්තු මස 17 වැනිදා මෙම පාගමන පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, ඒ සඳහා අද සිට ඇත්තේ තවත් මාසයක පමණ කාලයකි. වත්මන් ආණ්ඩුවට වසර තුනක කාලය සම්පූර්ණ වීම එදිනට සිදුවෙයි.
2015 වසරේ ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රට බාරදෙන විට සමෘද්ධිමත් රටක් බාර දුන් අතර, මේ වන විට එම රට කනපිට පෙරළීමට වත්මන් ආණ්ඩුවට කටයුතු කර තිබේ.
එහි වේගය තීව්ර වූයේ 2015 වසරේ පැවැති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගිනි. එම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු ඉවත් කරමින් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුරු බාර නොදෙන බවට ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා කටයුතු නොකළේ නම්, එම පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව තිබිණි.
එසේ වී නම්, මෙරට සංවර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවස්ථාව තිබිණි. එසේ වී නම්, හම්බන්තොට වරාය තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුව යටතේ පවතිනු ඇත.
නොබෝ දිනකින් ඉන්දියාවට ලබා දීමට නියමිත මත්තල ගුවන්තොටුපළ ශ්‍රී ලංකා ජනතාවගේ සම්පතක් වශයෙන් තවදුරටත් පවතිනq ඇත. මේ ආණ්ඩුව විහිළු කරන ආණ්ඩුවක් බවට දිනෙන් දින පත්වෙමින් සිටියි.
ජනතා මුදල් වැය කරමින් සෑදූ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ ඉන්දියාවට අලෙවි කරන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඉදිකළ ගුවන්තොටුපළක් පාලනය කිරීමට නොහැකි ආණ්ඩුවක් තවත් ගුවන්තොටුපළක් ඉදිකිරීම විහිළුවකි.
මෙම ආණ්ඩුව උගුරට හොරා බෙහෙත් බොමින් සිටියි. ලංකාවේ දුම්රිය සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක්‍රමයෙන් පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරමින් සිටියි. මුලින්ම මෙම සේවා සමාගම් බවට පත්කිරීමට කටයුතු කරමින් පසුව පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත.
ලංගමය සඳහා විදේශීය පෞද්ගලික ආයෝජකයෙකු හරහා ආණ්ඩුව බස් රථ 2,000ක් යෙදවීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් පැහැදිලි තොරතුරක් ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැත. ජනාධිපතිවරයා එකක් කියා තවෙකක් ක්‍රියාත්මක කරයි. අග්‍රාමාත්‍යවරයාද එකක් කියා තවෙකක් ක්‍රියාත්මක කරයි. කෙසේ වෙතත් මේ නායකයන් දෙදෙනාට තවදුරටත් ජනතාව නොමග යැවීමට අවස්ථාවක් නොමැත. එක්වරක් බොරුවෙන් ජනතාව රැවටූ ආණ්ඩුවට තවත් වරක් බොරුවෙන් ජනතාව රැවටීමට අවස්ථාවක් නොමැත.
මේ අතර, ශ්‍රී ලංකා ආර්ථිකය හසුරවන ප්‍රධාන පුද්ගලයා බවට පත්ව ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අසාර්ථකත්වය පසුගියදා පිළිගත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුදල් සංසරණය අවම වී ඇති බව ප්‍රකාශ කරමිනි. මුදල් සංසරණය ඔබට තේරුම්ගත හැකි අයුරින් ප්‍රකාශ කරන්නේ නම්, එයින් කියැවෙනුයේ ජනතාවගේ අතේ මුදල් ගැවසීමය.
ජනතාව අතර මුදල් ගැවසෙන්නේ නැතිනම් එයින් කියැවෙන්නේ ඔවුන් ආර්ථික වශයෙන් කඩාවැටී ඇති බවයි. එසේ නම්, අග්‍රාමාත්‍යවරයා සිය පාලනය අසාර්ථක බවට පිළිගෙන ඇත. මුදල් සංසර්ණය ඉහළ දැමීමට ඔහු කටයුතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සම්පත් කුණුකොල්ලයට අලෙවි කිරීමට කටයුතු කරමිනි. නමුත් එය සාර්ථක පිළියමක් නොවේ. සැබැවින්ම කළ යුතු වන්නේ මුදල් උත්පාදනය කරන මාර්ග නිර්මාණය කිරීමය, විදේශ විනිමය රටට ගෙන ඒමට කටයුතු කිරීමය.
මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති ප්‍රධානව කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයයි.
වසර තුනහමාරක් ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළ ආණ්ඩුව මේ වන විට මිනිසුන් මරා හෝ ගොඩ යෑමට කටයුතු කරන බවක් මේ හරහා පෙනෙන්නට තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට මේ වන විට බටහිර රටවල්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවකින්ම සිය විරෝධය රජයට ප්‍රකාශ කර ඇත.
මෙම තීරු ලිපිය ලියන විටත් යුරෝපා සංගමය ප්‍රධාන බටහිර රටවල් කිහිපයක්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණය වෙනස් කරන ලෙස දන්වා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මත දෙකක් පවතී. එකක් නම්, එය ක්‍රියාත්මක කිරීම හරහා වැරදි අඩුකර ගත හැකි බවයි. අනෙක නම්, එවැනි ආකාරයක දඬුවමකින් අපරාධ අඩුකර ගැනීමට නොහැකි බවයි.
මරණ දඬුවම පිළිබඳ කතා කිරීමේදී මාගේ සීයා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාත් මෙයට විරුද්ධව කතා කළ පුද්ගලයෙක් බව පැවසිය යුතුය. වර්තමානයේ ලංකාවේ සිදුවන අපරාධ රැල්ල, මත්ද්‍රව්‍ය ජවාරමට ප්‍රධාන හේතුවක් වන්නේ පොලීසිය හරියාකාරව ක්‍රියාත්මක නොවීමය.
පාතාල සාමාජිකයන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන පොලිස්පතිවරයෙකු ඉන්නා පොලීසියකින් නීතිය හා සාමය ආරක්ෂා වේයැයි සිතිය නොහැකිය. ලංකාවේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙයි නම්, මෙවැනි අපරාධ සඳහා ඉඩක් නොලැබේ. අනෙක් අතින් ජනාධිපතිවරයාට මෙය නිමාවක් කිරීමට අවශ්‍ය නම්, බොහෝ පුද්ගලයන් ප්‍රමාණයක් එල්ලා මරා දැමීමට සිදුවනු ඇත. වසර හතරකට ආසන්න කාලයක් කිසිදු වැඩක් නොකළ ජනාධිපතිවරයා සිය ධුරයෙන් අවසන් කාලයේදී මිනිසුන් එල්ලපු ජනාධිපතිවරයෙකු ලෙස ප්‍රසිද්ධ වීමට මේ හරහා කටයුතු කරන්නේදැයි සැකයක් මතුව තිබේ.
මේ සඳහා කදිම උදාහරණය පිලිපීනයයි. පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්තේ එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙඩි තබා ඝාතනය කරමින් සිටියි. මේ වන විට පුද්ගලයන් 5,000කට අධික සංඛ්‍යාවක් ඝාතනය වී ඇතත්, එයින් එය නිමාවක් පෙනෙන්නට නොමැත. පිලිපීන ජනාධිපතිවරයා සිය ජනතාවට දුන් ඡන්ද පොරොන්දුවක් අනුව මෙලෙස කටයුතු කළද, එය කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි යන්න ගැටලුවකි.