කෝවිඩ් වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට අසල්වැසි ඉන්දියාවට එල්ලවෙමින් තිබේ. ඊට හේතුද ඔවුන් මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර, ජනතාව රජයටද රජය ජනතාවටද එහි වගකීම නමැති බෝලය පාස් කරන ආකාරය දැකගත හැකි විය. කෙසේ හෝ වේවා මේ වනවිට කෝවිඩ් මාරයා එරට ජනතාවගේ හුස්ම හිරකරමින් සිටී. අසල්වැසියාගේ ගෙදරට පැමිණි උවදුර තම නිවසටද පැමිණිය හැකිය යන්න වටහාගෙන ශ්‍රී ලංකාව පමණක් නොව කලාපයේ අනෙක් රටවල්ද බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍යව ඇත. නමුත් පසුගිය සති කිහිපය දෙස බලන විට ලංකාවේ එවැනි පෙරසූදානමක් තිබුණේද යන්න පිළිබඳව නැගෙන්නේ සැකයකි. ඉන්දියාව වර්තමානය වනවිට විශාලා නුවරක් වී ඇත. ලංකාව එවැනි තැනකට වැටෙන්නට පෙර නුවණින් දකින්නට කරන ආමන්ත්‍රණයකි මේ.
දේශපාලනය හා තීන්දු තීරණ
කෝවිඩ් වෛරසය පිළිබඳ ස්වභාවධර්මය ලෝකයට කිහිපවරක් අනතුරු ඇඟෙව්වද, ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම මත එය ගෝලීය වසංගතයක් බවට පත්වූ බව විද්‍යාඥයන් හා පර්යේෂකයන් පවසනු ලැබීය. මන්දයත් සමස්ත ලෝකයේම අවධානය ඒ වනවිට දිනාගෙන තිබුණේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසාවෙනි. කෙසේ හෝ අවධානයෙන් ගිලිහුණ කෝවිඩ් වෛරසය මේ වනවිට ලෝකය ගිලගෙන අවසානය. නමුත් දිනෙන් දින ලද අත්දැකීම් මත හා ලෝකයේ ඇතැම් රටවල තීන්දු තීරණ මත තමන්ගේ රටවැසියන් ආරක්ෂා විය. එයට හොඳම උදාහරණ දෙන රටක් ලෙස නවසීලන්තය දැක්විය හැකිය. ඇමෙරිකාව, බ්‍රසීලය හා යුරෝපා රටවල් ජනතාවගේ නිදහසට මුල්තැන දෙමින් කටයුතු කිරීම මත මේ වසංගත තත්ත්වයට අසීරුවෙන් මුහුණ දෙන ආකාරයද අපි දුටුවෙමු. කෙසේ හෝ වේවා අපගේ අද මාතෘකාව වන ඉන්දියාව දෙස බැලීමේදී ඉන්දියාවද පසුගිය අවුරුද්දේ ඔවුන් මුහුණ දුන් කෝවිඩ් 19 පළමු රැල්ල ඉතා හොඳින් පාලනය කරගත් ආකාරය දකින්නට ලැබිණ. නමුත් විවිධ හේතූන් නිසා පසුගිය වර්ෂයේ ජූනි හා නොවැම්බර් මාසවල විටින් විට ආසාදිතයන් වාර්තා වීම වැඩිවන බව පෙනී ගියේය. විශේෂයෙන් දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩු වනවිට ජනතාව රැස්වන බොහෝ ස්ථාන විවෘත විය. ඒ නිසාම ඉන්දියානු ජනතාව නිවෙස්වලින් බැහැරව සාප්පු සංකීර්ණ, සමාජ ශාලා ආදියේ රැස්වන්නට විය. මෙලෙස ජනතාව රැස්වන කටයුතුවලට දේශපාලන අධිකාරියෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට ඉන්දීය ජනතාව ඔවුන්ගේ ජනප්‍රිය උත්සවයන්ද රැස්ව සමරන්නට විය. විශේෂයෙන් හෝලි හා කුම්භමේලා උත්සව මේ වසරේ මුල් කාලයේ ඔවුන් ජයටම සැමරීය. ඔවුන්ට මුව ආවරණ, සමාජ දුරස්ථභාවය, අත් සේදීම ආදිය අමතක විය.
රටේ තත්ත්වය බරපතළ නොවන බවට චිත්‍රයක් ජනතාවගේ හිතේ ඇදෙන්නට අවස්ථාව ලබාදෙන ගමන් ඉන්දීය රජය එරට මැතිවරණයන්ද පවත්වනු ලැබීය. ජනතාව පොදි බඳින තැන්වල ඡන්ද රැස්වීම් පැවැත්විණ. අගමැති මෝදිද එම රැස්වීම්වලට සහභාගී වී සිටිනු දැකගත හැකි විය. ලොක් සභා මැතිවරණය මාර්තු මස අග සිට අප්‍රේල් මුල් සතිය දක්වා පැවැත්විණ. දේශපාලඥයන් මැතිවරණයේ ජය සැමරුවද ඒවායේ ඵල විපාක කර මතට ගන්නට එරට සෞඛ්‍ය අංශවලට සිදුවිය.
ප්‍රාන්ත රජයන් ලොක්ඩවුන් නීති ගෙන ආවද ඒ වනවිට ජනතාව පීඩාවන තරමටම තත්ත්වය දරුණු අඩියකට වැටී තිබිණ. ඒ නිසා දිනෙන් දින රජයට විරෝධය පාමින් ජනතාව ආවේගශීලී වන අයුරු දැකගන්නට ලැබිණ. වෙනදා දේශපාලඥයන්ගේ පින්තූරවලට මල්මාලා පලඳවන ජනතාව මෙදා සෙරෙප්පුවලින් සැකසූ මාලා පලඳන්නට විය. සමාජ මාධ්‍ය ඔස්සේ රජයට විරෝධය පළකරන දැන්වීම් පළවීම වර්ධනය විය. විශේෂයෙන් හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා ඔක්සිජන් වෙනුවෙන් ඔවුන් වඩාත් ප්‍රකෝපකාරී ලෙස රජය විවේචනය කරන්නට විය. ඉන්දීය රජය මෙහිදී සමාජ මාධ්‍ය හරහා පළකරන රජයට චෝදනා කරන ප්‍රකාශ ඉවත් කිරීමට පියවර ගනු ලැබීය. එහිදී ජනතාව තවදුරටත් චෝදනා කළේ ඔක්සිජන් හිඟය පියවන්නට පියවර ගන්නවාට වඩා රජයට විරෝධය දක්වන ප්‍රකාශ ඉවත් කිරීම රජයට වඩාත් පහසු කාරණාවක් බවට පත්වී ඇති බවයි. කෙසේ හෝ වේවා අවසානයේ කලාපීය බලවතා වන ඉන්දියාවේ රජය ලෝකයා හමුවේ තම ජනතාවගේ හුස්ම ආරක්ෂා කර දෙන මෙන් බැගෑපත්ව ආයාචනා කරන තැනට පත්වන්නට විය.
ඉන්දියාවේ තත්ත්වය එලෙස වනවිට ලංකාවේ තත්ත්වයද වෙනස් නොවන බව පෙනී යයි. විශේෂයෙන් පසුගිය වර්ෂයේ පැවැති මහමැතිවරණ සමයේ ශ්‍රී ලංකාවේ ආසාදිතයන් අඩු බවක් පෙන්නුම් විය. ඉන්පසුව ඔක්තෝබරයෙන් පසු ආසාදිතයන් ඉහළ ගිය අන්දම දැකගත හැකි විය. ඉන්පසු නැවත දෙසැම්බර් අග හා ජනවාරි මුල උත්සව සමයේ සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටියද, රජය ඒ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දක්වනු දකින්නට නොලැබිණ.
එහි ඵල විපාක මේ වර්ෂයේ මුල් මාස දෙකේ අත්විඳින්නට ලැබිණ. මාර්තු මාසය වනවිට මෙරට ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කළද, එයට හේතුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ අඩුවක් වීම බවත්, අහඹු පී.සී.ආර් පරීක්ෂණ අධෛර්යමත් කිරීම බවත් බොහෝ සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වා දෙනු ලැබීය. එසේම වගකිව යුතු නිලධාරීන් පුන පුනා පැවසුවේ සමාජ ව්‍යාප්තියක් සිදුවී නොමැති බවය. එසේම දේශපාලනික වශයෙන් තැන තැන පැවැත්වූ ජනරාශී හා ඒවාට සහභාගී වන පාලකයන් මුව ආවරණ පවා පැලඳ නොසිටින දසුන් දැකගත හැකි විය.
කෙසේ හෝ වේවා සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මෙරට දෛනික ආසාදිතයන් වාර්තා වීම වැඩි වන ආකාරය පෙන්නුම් කරන්නේ අප්‍රේල් මුල් සතියේ සිටය. මේ නිසාම අවුරුදු උත්සවය යෙදෙන සතියේ පළාත් අතර හෝ සංචරණ සීමා පැනවිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයට බල කරන්නට විය. නමුත් උපදෙස් මාලාවක් පමණක් නිකුත් වී සංචරණ සීමා පැනවීමක් සිදු නොවීය. ඒ නිසාම අවුරුද්දෙන් පසුව දෛනික ආසාදිතයන් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යන්නට විය. ඉන්පසුව අප්‍රේල් 26 පොහොය දිනයත් සමග යෙදුණ දීර්ඝ සතිඅන්තයේද සංචරණ සීමා පනවන ලෙස පෙර පරිදිම ඉල්ලීම් කළත්, ඒවාද ඉල්ලීමකට පමණක් සීමා විය.
මෙවැනි තීරණ තුළින් පෙනී යන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමේ ක්‍රමවේදයක් යැයි ඇතැමුන් රජයට චෝදනා කරයි. විශේෂයෙන් පසුගිය වසරේ මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර පැතිරෙන විට ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කිරීමට තීරණ ගැනීම ප්‍රමාද වීම තුළින් මෙරට දෙවන රැල්ලක් ඇතිවූ බවට බොහෝ දෙනා චෝදනා කර තිබුණහ. එවන් පසුබිමක මෙවරද රජය තීරණ ගැනීමට යම් ප්‍රමාදයක් ගත් බවට ඇතැම්හු චෝදනා කරති.
තරුණ තරුණියන්, ළමයින් අතර නව වෛරස ප්‍රභේදයේ පැතිරීම වැඩි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙද්දී පාසල් වැසීමේ තීරණය වුවද ගනු ලැබුවේ යම් ප්‍රමාදයකින් යැයි මැසිවිල්ලකි.
තවද නුවරඑළි වසන්තය ආදී සැණකෙළි නොනවත්වා පැවැත්වීමට බලධාරීන් කටයුතු කිරීම ගැනද මැසිවිල්ලකි.
අවුරුදු උත්සව, ආගමික උත්සව, දීර්ඝ සතිඅන්ත සංචාර ආදියේ ප්‍රතිඵල දැන් රටක් ලෙස අපිට අත්විඳින්නට සිදුව තිබේ. මේ වනවිට රෝහල් වල ධාරිතාවන් ඉක්මවා යන තත්ත්වයක් දිනෙන් දින වාර්තා වේ. එසේම ඔක්සිජන් හිඟ බවද වාර්තා වේ. නමුත් බලධාරීන් එම වාර්තා ප්‍රතික්ෂේප කරනුද දැකගත හැකිය. කෙසේ හෝ වේවා රටේ පවතින තත්ත්වය හා බලධාරීන් පෙන්වා දෙන තත්ත්වයේ පරස්පරතාවන් මතුවෙමින් පවතින බවට චෝදනා මතුව තිබේ.
එදා මෙන් නොව ජනතාවට තොරතුරු ලබාගැනීමට වර්තමානයේ පහසුකම් රැසක් පවතියි. රටේ ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ නිතරම මාධ්‍ය හරහාද පෙන්වා දෙයි. බුද්ධිමත් ජනතාවක් ලෙස මේවා දෙස නුවණින් නොබැලුවොත් හෙට දිනයේ විශාලා මහනුවරක ඛේද දසුන් අපගේ නෙත් ඉදිරිපිටද මැවෙනු නොඅනුමානය.
මිථ්‍යා මත සහ සාම්ප්‍රදායික චාරිත්‍ර මතින් නැවතත් හිස එස වූ කෝවිඩ් 19
කෝව්ඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට හෝ සුව වීමට මිථ්‍යා මත සහ අන්ධ විශ්වාස පසුපස දිවයන පුද්ගලයන් ලෝකයේ බොහෝ රටවලින් සොයාගැනීමට හැක. එයින් දකුණු ආසියාතික රටවල මිථ්‍යාවන්ට සහ අන්ධ විශ්වාසයන්ට වැඩි ඉඩක් ඇති බැවින්, එම රටවල කෝවිඩ් 19 තත්ත්වය තව තවත් වර්ධනය වීමට එයද යම් ආකාරයකින් බලපා තිබේ.
එමෙන්ම රටේ කොතරම් භයානක වසංගතයක් තිබුණද සාම්ප්‍රදායිකව සිදුකරමින් පැමිණි ආගමික, සංස්කෘතික උත්සව සහ චාරිත්‍රද මග නොහරිමින් සිදුකිරීම පසුගිය කාලය පුරාවට අපට දැකගත හැකි විය. නත්තල් උත්සවය, පාස්කු උත්සවය සහ මෑතකාලීනව ගතහොත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉතා ඉහළින් සැමරීම පසුගිය සතියේ සිදුවිය. එහි තරම කොතෙක්දැයි කිවහොත් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර තිබූ සෞඛ්‍ය උපදෙස්ද ජනතාවට අමතක විය. විශේෂයෙන් පමුණුව, පිටකොටුව සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවල මේ තත්ත්වය විශාල වශයෙන් දැකගත හැකි විය. එහි ප්‍රතිඵලය ලෙසින් මේ වනවිට යළිත් කෝවිඩ් රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිරයමින් ඇති අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ම තාවකාලික වසා දමා තිබේ. අවුරුදු නිවාඩුව හේතුවෙන් නුවරඑළිය, කතරගම ප්‍රදේශවල සංචාරයට සහ වන්දනාමානයන්ට ගිය පිරිස්ද මෙවර අතිවිශාලය. සැවොම සිතා සිටියේ ඒ වනවිට කෝවිඩ් 19 තත්ත්වය රටින් තුරන් වී ගොස් ඇති බවය. එබැවින් ඔවුන් සිතු සිතූ අයුරින් ජීවත් වීමට පටන්ගත්තේ පළමු සහ දෙවන රැලිවලින් ලැබූ පීඩාවද අමතක කර දමමිනි.
තවද අවුරුදු කාලයේදී ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන කිහිපයක් සහ බහුජාතික සමාගම් එකතු වෙමින් අවුරුදු සැමරීමට ජනතාවට දුන් ආදර්ශය පිළිබඳවද පැවසිය යුතුමය. විශේෂයෙන් ජනමාධ්‍ය මගින් අවුරුදු උත්සව පවත්වමින්, රටේ ජනප්‍රිය පුද්ගලයන් ඒවාට සම්බන්ධ කර ගනිමින්, කෝවිඩ් නැති බවත්, අවුරුදු සැමරිය හැකි බවත් ජනතාවට ගෙන ගිය පණිවුඩයකි. අවුරුදු දින දෙකෙන් පසුව කෝවිඩ් රෝගීන් නැවතත් වැඩි වන අතරවාරයේදීම යාපනය ප්‍රදේශයේ කෝවිලක සෞඛ්‍ය නීති නොතකමින් පැවැති හින්දු උත්සවයක්ද දැකගත හැකි විය.
ලංකාවේ අවුරුදු සමයේදී පැවැති මෙම තත්ත්වය ඊට දින කිහිපයකට පෙර ඉන්දියාවේද සිදුවිය. ලොව විශාලතම හින්දු උත්සවය ලෙස සැලකෙන කුම්භමේලා උත්සවය පසුගියදා ආරම්භ වුණේ ඉන්දියාවම පාගා දැමූ කෝවිඩ් 19 වෛරසයේ බැරෑරුම්කමද නොතකමිනි. මෙවර කුම්භමේලා උත්සවය සංකේතාත්මකව සමරන ලෙස ඉන්දීය සෞඛ්‍ය අංශ හින්දු භක්තිකයන්ට පවසා සිටියත්, කෝවිඩ් 19 වසංගතය නොතකමිනි. මිලියන තුනකට අධික පිරිසක් මේ සඳහා පැමිණ තිබෙන අතර, ඔවුන් ගංගානම් නදියේ ස්නානය කර තිබෙන්නේද සිය විශ්වාසයන් පදනම් කර ගනිමිනි. මෙවර කුම්භමේලා උත්සවය හෙක්ටයාර් 641ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බව ඉන්දීය zeenews වෙබ්අඩවිය සඳහන් කරයි. එම වෙබ්අඩවිය පසුගිය 24දා වාර්තා කර තිබුණේ කුම්භමේලා උත්සවයේ රාජකාරියට යොදවා සිටි සෞඛ්‍ය සේවකයන් 65දෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවයි. ඔවුන් මේ වනවිට හුදෙකලා වී ඇති බවද වෙබ්අඩවිය සඳහන් කරන අතර, කුම්භමේලා උත්සවයට සහභාගී වුණු පූජකවරුන් නවදෙනෙකු ඇතුළු උත්සවයට සහභාගී වුණු තවත් විශාල පිරිසක්ද මේ වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් බවට පත්ව තිබේ.
එමෙන්ම සෑම කුම්භමේලා උත්සවයක් අවසානයේදීම සිදුවන ජල දූෂණයද ඉතා ඉහළය. ඉන්දීය රජයට එම අපිරිසුදු ජලය පිරිපහදු කිරීමට අමතර මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ගත වේ. පිරිසුදු ජලය පරිභෝජනයට නොහැකි ජනතාවද විශාල වශයෙන් ඉන්දියාවේ සිටින අතර, ජලය අපිරිසුදු වීම ඉන්දියාවේ පැවැත්වෙන බොහෝ උත්සවවලදී දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි. කුම්භමේලා උත්සවයට සහභාගී වන පිරිස ඉතා විශාල බැවින් ජල දූෂණයද ඉතා ඉහළ මට්ටමක පවතී.
තවද මාර්තු මස අග පැවැති ඉන්දියාවේ හෝලි උත්සවයටද වෙනදා තරම්ම නොවුණත් සැලකිය යුතු ජනතාවක් එක් රැස්වූහ. විශේෂයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මෙම තත්ත්වය වැඩියෙන් දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. %නපුරට එරෙහිව යහපත ජය ගැනීම^ සංකේතවත් කරන හෝලි උත්සවය මෙවරද පැවතීමෙන් යහපත නොතකා නපුරට ඇදී ගියාක් බඳු විය.
ඊට අමතරව පසුගිය කාලය පුරාවට කෝවිඩ් 19 වසංගතයත් සමගම මිථ්‍යා මත රැසක් කරළියට පැමිණියහ. විශේෂයෙන් කෝවිඩ් පැණි වර්ග, මුට්ටි වර්ග නිර්මාණය කරමින් බොහෝ පුද්ගලයන් මාධ්‍ය ඉදිරියට පැමිණියේ ජනතාව තව තවත් ආගාධයට තල්ලු කර දමමිනි. ඒ අතරම මෙරට වගකිව යුතු දේශපාලඥයෝද මිථ්‍යාවන් පසුපස ඇදී ගියහ. මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද කෝවිඩ් ආසාදිතයන් වූ අතර, මිථ්‍යා මත විශ්වාස කළ දේශපාලඥයන් කිහිපදෙනෙකුද ඒ අතර වීම විශේෂත්වයකි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලින්ම පමණක් කෝවිඩ් පාලනය කළ හැකි යැයි සිතනා බොහෝ දෙනෙකු ඔබ අප අතර සිටිති. මුව ආවරණ දමාගෙන සහ එන්නත් ලබාගත් එවැනි පුද්ගලයන් තමන්ට සිතූ සිතූ අයුරින් කටයුතු කිරීමද කෝවිඩ් යම්තාක් දුරකට හෝ පැතිරීමට අවස්ථාව උදාකර දීමකි. මන්ද මේ වනවිට වාතයෙන් බෝ විය හැකි බව සහ ඉතා වේගයෙන් මෙම වෛරසය පැතිරෙන බව පර්යේෂකයන් සොයාගෙන ඇති බැවිනි.
ඉදිරියේදී වෙසක්, පොසොන්, රාමසාන් සහ අනෙකුත් ආගමික සහ සංස්කෘතික උත්සවද මෙවර ලාංකිකයන් සිංහල අලුත් අවුරුද්ද සැමරූ ආකාරයට හෝ ඉන්දියානුවන් කුම්භමේලා උත්සවය සැමරූ ආකාරයටම සැමරුවහොත් මේ වනවිට ඉන්දියාවට සිදු වී ඇති ව්‍යසනය නුදුරේදීම ලංකාවටද සිදුවිය හැකි බව අප මතක තබාගත යුතුය. ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් ජනයා තුළ තිබිය යුතු වුවත්, මෙවැනි දරුණු වසංගත තත්ත්වයකදී ආගමික විශ්වාස, මිථ්‍යා විශ්වාස වැනි දෑ යම් ආකාරයකට පසෙකින් තබා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස්වලට අනුගතව කටයුතු කළ යුතුය. එසේ කළහොත් ලෝකයටම බලපා තිබෙන මෙම කෝවිඩ් වසංගතය ඉතා ඉක්මනින් තුරන් කිරීමට හැකිවනු ඇත.
සෞඛ්‍ය අංශවල සූදානම
මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන්නේ කෝවිඩ් වෛරසයේ එංගලන්ත ප්‍රභේදය බව ඊයේ (28දා) දිනය වනවිට සම්පූර්ණයෙන්ම තහවුරු කරගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රභේදය කලින් කෝවිඩ් ප්‍රභේදයට වඩා අනතුරුදායක වැඩි බැවින් රට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 55෴කින් ඉහළ යා හැකි බවත්, වෛසරය පැතිරීමේ ශීඝ්‍රතාවයද 50෴කින් වැඩි විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
ඉන්දියාව තුළ මේ වනවිට කෝවිඩ් වෛරසයේ ඉන්දියානු ප්‍රභේදයක් නිර්මාණය වී ඇති අතර, එංගලන්ත ප්‍රභේදයද ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක පැතිර ඇත. ඉන්දියානු ප්‍රභේදයක් ලංකාවට පැමිණ නොතිබුණද, මේ වනවිට සමාජ ව්‍යාප්තිය සිදුවන එංගලන්ත ප්‍රභේදයෙන් සිදුවන හානිය අවම කර ගැනීමට අවම වශයෙන් ඉදිරි මාස 03 රට ආරක්ෂා කරගත යුතු බව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙම ප්‍රභේදය රට පුරා පැතිරෙන බව පසුගිය අප්‍රේල් 08දා වනවිට අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට මෙන්ම බලධාරීන්ට දැනුම් දී ඇති අතර, එසේ තිබියදීත් නිසි සැලසුම්සහගත වැඩපිළිවෙළකට නොයාම හේතුවෙන් රට තුළ යළිත් කෝව්ඩ් රැල්ලක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙවත් ඉන්දියාවේ තත්ත්වයට ශ්‍රී ලංකාව පත් නොවී සිටිමට නම් මේ අවස්ථාවේ සිට හෝ නිසි ක්‍රමවේදයක් අනුමගමනය කළ යුතු අතර, විශේෂයෙන් සෞඛ්‍ය අංශවල අදහස් යෝජනා හා දැනුම්වත් කිරීම්වලට බලධාරීන් අවධානය යොමුකිරීම වැදගත් වේ.
එමෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම අනිවාර්ය වී ඇත. ඒ මන්දයත් මේ වනවිටත් වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සැලකිය යුතු පිරිසක් කෝවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබේ. එහිදී රෝහල් පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යමණ්ඩල නිසි පරිදි නොමැති වීමෙන් දුෂ්කරතා රැසක් නිර්මාණය වෙමින් පවතී.
එමෙන්ම ආසාදිතයන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වනවිට ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීමේ අභියෝගය හමුවේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි ආතතියකට යොමුවීම සිදුවේ. ඉන්දියාවේ මේ වනවිට එය සිදුවෙමින් පවතින අතර, ලංකාවේ එය සිදුනොවීමට වගබලාගැනීම බලධාරීන් සතු යුතුකමකි.
මේ වනවිට රොහල්වල දැඩිසත්කාර ඒකකවලට රෝගීන් වැඩි වශයෙන් ඇතුළත් කරමින් පවතින අතර, රට තුළ දැඩිසත්කාර ඒකක ප්‍රමාණය සීමාසහිත බැවින් ඉදිරියේදී එයද අභියෝගයක් විය හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ සම්බන්ධයෙන් සඳහන් කළේ දැඩිසත්කාර ඒකකවල කටයුතු කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුකර ඇති බවය. එසේ වුවද අවශ්‍ය ඇඳන් සහ උපකරණ ප්‍රමාණයට වඩා රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් අවදානමක් මතුවන බව අනිකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
කෝව්ඩ් වසංගතය වැළැක්වීමට රජය යම් යම් පියවර ගෙන තිබුණද, මේ වනතෙක් සංචරණ සීමා පනවා නොමැති බැවින් රෝගය පැතිරීමේ වැඩි අවදානමක් ඇත. රජයේ කාර්යාලවලට කැඳවිය යුතු පිරිස සහ මහමග ගමන් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ රජය විසින් නිකුත්කර ඇත.
එසේ වුවද බස් රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා තුළ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, විෂබීජහරණය කිරීම ආදිය මෙතෙක් සිදුනොවේ. ගමනාගමනයේ යෙදෙන දුම්රිය විෂබීජහරණය කිරීමක් සිදුනොකරන බව දුම්රිය නිලධාරීන්ම සඳහන් කරයි. එමෙන්ම බස්රථද විෂබීජහරණයක් සිදුනොකරන අතර, මගීන් විශාල සංඛ්‍යාවක් එකවර ප්‍රවාහනය කිරීමද සිදුකරයි. මේ සම්බන්ධයෙන් අඩු අවදානමක් යොමුව තිබීමද කනගාටුවට කරුණකි.
කෝවිඩ් වෛරසය වාතය හරහා බෝ වන බව මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කිරීමක් කර නොතිබුණද, මේ වනවිට ලෝකයේ සිදුකර ඇති බොහෝ පර්යේෂණ මගින් එය වාතයෙන්ද බෝවන අනාවරණය කරගෙන තිබේ. ලෝකයේ පළවන පිළිගත් වෛද්‍ය සඟරා තුළ මෙම කාරණය සම්බන්ධ ලිපි පළකර ඇති අතර, මේ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතුය.
ඉදිරි සති 03
ඉදිරි සති 03 රටෙහි ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් කෝවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් මේ වන විට අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබේ. එහිදී විශේෂඥ වෛදවරුන් ඇතුළු කිහිප පාර්ශ්වයක් යොජනා කර ඇත්තේ මැයි 01 දා සිට සති තුනක කාලයක් රට වසා දැමීමට කටයුතු කරන ලෙසය. කෙසේ වෙතත් සම්පූර්ණයෙන් රට වසා දැමීමට එහි ඇතැමුන් විරුද්ධ වී ඇති බවද වාර්තා වේ. කෙසේවුවද මැයි 01දා සිට කෝවිඩ් ව්‍යාප්තිය අඩුකර ගැනීම සම්බන්ධයෙන් යම් යම් නීති ක්‍රියාත්මත කිරීමට සාකච්ඡා කරමින් පවතී.
මේ අතර සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම වෛරසයේ පැතිරීම වේගවත් බැවින්, නිතර අත් සේදීම, මුහුණු ආවරණ පැලඳීම මෙන්ම මීටර දෙකක පරතරයක් තබාගැනීම වැදගත් බවයි. කොතරම් ප්‍රබල වෛරසයක් වුවද එය පැතිරීම සිදුවන්නේ එයට අවශ්‍ය සාධක ඇතිනම් පමණි. වෛරසය පැතිරීමට අවශ්‍ය සාධකවලට ඉඩ නොතබා දැඩි ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමට ජනතාව පෙලඹෙන්නේ නම් මෙය පාලනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නදීශානි පතිරණ / කැලුම් දේවින්ද / චාමර සම්පත්