අසල්වාසී රටවල්හි විශ්වාසය අප යළිත් දිනාගත යුතුව තිබේ


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. ආරක්ෂක අංශයන්හි දැඩි කැපවීම මත යළිත් දිවයින පුරා ආරක්ෂාව ස්ථාපිත කර තිබේ. ඒ අනුව ජනතාවට පොසොන් උත්සවය ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සැමරීමට හැකියාවක් ලැබුණි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අප උගත් පාඩම් තවදුරටත් සිහියේ තබාගනිමින් කටයුතු කිරීම වැදගත් වෙයි. එසේම එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් නැවත ඇති නොවීමට වග බලාගත යුතුව තිබේ. එහිදී ජාතික ආරක්ෂාව අංක එකට තබා කටයුතු කළයුතු වෙයි. ඒ ගැන විවාදයක් නොමැත.

ශ්‍රී ලංකාව සුන්දර රටක් වන අතර, එය ඉන්දීය සාගරයේ උපායමාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබේ. මෙම පිහිටීමෙන් අප ප්‍රයෝජන ගත යුතුව තිබුණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය නිමා කර රට තුළ සාමය ස්ථාපිත කිරීමෙන් අනතුරුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේ මේ සුවිශේෂී පිහිටීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරමිනි. හම්බන්තොට වරාය ඉදිකරන්නේත්, මත්තල ගුවන් තොටුපොළ ඉදිකරන්නේත්, කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ආරම්භ කරන්නේත් මේ හේතුවෙනි. වත්මන් ආණ්ඩුවේ අසමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් අපට හම්බන්තොට වරාය අහිමි විය. මත්තල ගුවන්තොටුපොළට වී පුරවා එය අසාර්ථක කළේය. අප ආරම්භ කළ වරාය නගර ව්‍යාපෘතිය පමණක් ඔවුන් වසර හතර හමාරක කාලයක් තිස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යමින් සිටී. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ අප ක්‍රියාත්මක කළ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී ආයෝජන ලබාගැනීමට අවස්ථාව තිබුණි. එසේම එයට යුද ජයග්‍රහණයද හේතුවක් විය. අප ලබාගත් යුද ජයග්‍රහණය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූවක් නොවූයේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා පවා ඝාතනය කරමින් ඉන්දීය ආරක්ෂාවට තර්ජනය වී තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට කලාපයේ සෑම රටකම ආරක්ෂාවට වැදගත් විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇතිවූ ආරක්ෂක තත්ත්වය හා දේශපාලන වශයෙන් ඇතිවූ ස්ථාවරත්වය මාලදිවයිනේ හා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වීමටත් දෙරටේම සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබාගැනීමටත් වැදගත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට දරුණු බලපෑමක් ඇතිවුණත් ක්‍රමයෙන් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සංචාරකයන් අතර ශ්‍රී ලංකාවත්, මාලදිවයිනත් හුවමාරු ස්ථානයක් බවට පත්ව තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම සිදුවූයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද සංචාරක ව්‍යාපාරයද කඩා වැටී තිබුණි. පසුගියදා මම මාලදිවයිනේ කළ සංචාරයේදී ඒ බව දැක ගැනීමට අවස්ථාව ලැබුණි.

මෙම සංචාරයේ අරමුණ වූයේ අප විපක්ෂයේ සිටියත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාව යළිත් ආරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ඔවුන් වෙත පැහැදිලි කර දීමයි. මෙහිදී මාලදිවයිනේ නව ජනපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සමග පැවති සාකච්ඡාව වැදගත් වූ අතර, එහිදී කලාපයේත්, ආසියාවේත්, ලෝකයෙන්මත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ඔහු විශේෂයෙන් සිය අදහස් ඉදිරිපත් කරන්නට විය.

 මේ අතරම මාලදිවයිනේ කථානායක, හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා සමගද සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණි. මාලදිවයින සෞභාග්‍ය කරා රැගෙන ගිය නායකයෙක් ලෙස නෂීඩ් මහතාගෙන් ලබාගැනීමට ඇති ආදර්ශ බොහෝමයකි.

මේ අරතම මොහොමඩ් නෂීඩ් මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙන්ම මාලදිවයිනේ මෙම නියෝජිත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය ලංකාවේ ආරක්ෂාව යළිත් තහවුරු වී ඇති බවට සඳහන් කිරීමට හොඳ උදාහරණ වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප නැවත නැගී සිටීමේදී ජනතා - ජනතා සම්බන්ධතාව හා නායක - නායක සම්බන්ධතා රටවල් අතර ගොඩනැගීම වැදගත් කරුණකි. මේ ආකාරයෙන් අප ඉදිරියට යා යුතු වුවත් මේ වන විට රටේ නායකයන් දෙපළ අතර ඇතිව තිබෙන මතභේදාත්මක ගැටුම අපට ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට එය විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවටද පත්ව තිබේ.

මෙය පාස්ක ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවූවක් නොවන අතර, යහපාලන රජය ආරම්භ වී කෙටි කාලයක් තුළදී ඇතිවූ තත්ත්වයකි. ගතවූ වසර හතර හමාරක කාලය රට ආපස්සට ගෙන යෑමේ ප්‍රධානම කරුණ වූයේ මෙම ගැටුමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ආරක්ෂාවද බිඳවැටුණ අතර නැතිවූ ජීවිත 270 වෙනුවෙන් මේ ආණ්ඩුව වග කිව යුතුවෙයි. එවැනි තත්ත්වයක් යටතේ පවා මේ ආණ්ඩුව තවමත් වගකීම් භාර ගැනීමකින් තොරව එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයට පත්ව තිබේ. ජනතාව මෙම වගකීමෙන් තොර පාලනය පිළිබඳව දැන් කලකිරී ඇති අතර, ඔවුන්ට දැන් අවශ්‍යව ඇත්තේ ප්‍රතිඵලයන්ය.

අපේ රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව අසල්වාසී රටවල් දැනුවත් කිරිමේ වැඩසටහන අප ආරම්භ කර තිබේ. අප රටේ සෑම අංශයකම වැඩකටයුතු නැවත ආරම්භ කළ යුතුව තිබේ. ජනතාව එදිනෙදා ජීවිකාවන් ආරම්භ කළ යුතුය. තම ව්‍යාපාර නැවත යථා පරිදි කරගෙන යා යුතුයි.
මේ වන විට ජනතාවට දේශපාලකයන් අවශ්‍යම තත්ත්වයට පත්ව තිබේ. මේ අවස්ථාවේදීවත් අපට ඔවුන් වෙනුවෙන් සේවය කළ නොහැකි නම් හොඳම දේ අප පාර්ලිමේන්තුවෙන් පිටව යෑමය.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්! 



Recommended Articles