අසරණ වූ වැඩිහිටියන් වෙනුවෙන් නිවෙස් තනා දුන් අපූරු දියණියක්


අනුන් වෙනුවෙන් රුපියලක්, දෙකක් වියදම් කර මාධ්‍යයෙන් පිම්බීමට වෙරදරන ඇත්තන් සිටින මේ කාලයේදී ‍අගුපිලක, පැල්පතක සිය දිවියේ සැඳෑ සමය ගතකරන වියපත් මාපියන්ට සිය අවසන් කාලය සතුටින් දිවි ගෙවීම උදෙසා ස්ථීර නිවාස ඉදිකරදෙන කාන්තාවක් පිළිබඳව අපිට අහම්බයෙන් දැනගන්නට හැකි විය.

නමින් ලක්මිණී පෙරේරා වන ඇය, දරුවන් වෙනුවෙන් සිය ජීවිතයේ හොඳම කාලය කැප කොට ඔවුන්ගේ සැලකීමට ලක් නොවන, මාපියන්ට සැලකීමට වත්කමක් නොමැති දරුවන් සිටින වියපත් මාපියන් වෙනුවෙන් ඇය මේ සත්කාර්‍ය්‍ය සඳහා ඉදිරිපත් වනුයේ ඔවුන්ගේම දරුවෙකු මෙන් ඔවුන් කෙරෙහි ඇති සැබෑම සෙනෙහසිනි. ඇය එසේ සිදුකරනුයේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවය. ඒ සඳහා කාගෙන් හෝ ස්තූතියක්වත් ඇය බලාපොරොත්තු නොවේ.

මහරගම පදිංචිකාරියක වන ඇය කරන්දෙණිය ඌරගස්මන්හන්දිය කැරෑකැටිය  ප්‍රදේශයේ පැල්පතක ජීවත්වන හැත්තෑහත් හැවිරිදි සුදු හකුරු මහතුන් නමැති පියෙකුට හා ඔහුගේ භාර්‍යාව වන  හැත්තෑ හැවිරිදි පිටිගල කංකානම්ගේ කරුණාවතී නමැති මවකට ප්‍රදේශවාසී තරුණයෙකු වන පැතුම් රණසිංහගේ සම්බන්ධීකරණයෙන් නිවසක් තැනීමට මුල්ගල් තැබීමට පැමිණ සිටියදී, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් ගුණරත්න මහතාගේ දැනුම් දීමකට අනුව අප ඒ අවස්ථාවට සහභාගි වීමට ගිය අවස්ථාවේදී ඇයව හමුවිය.

ඌරගහ වියපත් මාපිය යුවළ වෙනුවෙන් ලක්මිණී ඉදිකර දෙන මේ නිවසත් සමගම ඇය විසින් වියපත් මාපියන් වෙනුවෙන් මෙසේ ඉදිකර දෙනු ලබනුයේ හයවැනි නිවසය. වියපත් මාපියන් වෙනුවෙන් නිවෙස් ඉදි කරදෙන ඇය පිළිබඳව රටටම තතු හෙළි කරලීමට ඇය එකඟ කරවා ගැනීමට අප හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර, ඒ තමා මේ කරනුයේ රටට අණ බෙර ගසා කළ යුතු කාර්‍යයක් නොවන බවට ඇය දැරූ නොවෙනස් වන මතය හේතුවෙනි.

ඒ වෙනුවෙන් ඇය සමග පැයකට වැඩි කාලයක් වචන සටනක යෙදීමට අප හට සිදුවීම කිව යුත්තේ ලක්මිණී මේ සත් කාර්‍යයන් කරනුයේ කිසිදු ආකාරයේ ප්‍රසිද්ධියක්, අබමල් රේණුවක තරමින්වත් බලාපොරොත්තු නොවූ බව පාඨක ඔබට පසක් කිරීමටය.

මෙම කටයුත්ත සඳහා ලක්මිණී වැය කරනුයේ තමන්ටම අයිති මුදල්ය. ඒවා පිට කාගෙන්වත් සම්මාදම් නොකළ මුදල්වීම මෙහි ඇති විශේෂීත්වයකි. මේ සඳහා ඇයට සිය මව හා සැමියා වන ශාන්ත කුලරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් මහත් සහයෝගයක් හිමිවේ.

තමන් කවදාවත්ම දැක නැති, කවදාවත්ම ආශ්‍රය කර නැති තමාට නැදෑකමක් ගෑවී හෝ නොමැති තනිවී, අසරණ වී අගුපිල්වල, පැල්පත්වල සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවන අහිංසක මාපිය යුවළවල් වෙනුවෙන් නිවෙස් ඉදිකර දෙන මෙවන් කාන්තාවක් පිළිබඳව හෝ පිරිමියෙකු පිළිබඳව අපි කවදාවත්ම අසා නොමැත්තෙමු. සිය අවසන් ගමන පෙනි පෙනී සිටින මේ මාපිය යුවළවලට සහනයක් ලබාදීමට කෙනෙකු ඉදිරිපත් නොවනුයේ ඔවුන්ගෙන් ඔවුනට ලබාගත හැකි දෙයක් නොමැති බැවිණි. 

එවන් වටපිටාවක් තිබෙන මේ සමාජයේ ලක්මිණීගේ මේ සත් ක්‍රියාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත් ක්‍රියාවක් නොවන්නේ යයි කාටනම් කිව හැකිදැයි අපි නොදනිමු. තමන්ගේම මුදල් ලක්ෂ ගණනක් වැයකර ඇය ලබාගනුයේ වෙන කිසිවක් නොව සතුටය. හරිහමන් නිවසක් නොමැතිව ජීවිතයේ අතොරක් නැති කටුක වූත්, කර්කෂ වූත් සැඳෑ සමය ගෙවන වියපත් මාපියන්ට මෙසේ නිවසක් තනාදී ඔවුන්ගේ කඳුළු නැති කර එයින් තමන්ගේ නෙතට සතුටු කඳුළු වගුරුවා ගැනීම සඳහා තමා මේ සත් ක්‍රියාව කරන බව ලක්මිණී සිය කටහඬ අවදිකරමින් අප සමග පැවසූවාය.

මේ නිවස ඉදිකිරීමට පෙර තමන් කුරුණෑගල, බිංගිරිය, දඹුල්ල ගලේවෙල, මහනුවර නිල්හින්දණ්ඩාව සහ කළුතර යන ප්‍රදේශවල මෙවැනිම  නිවාස පහක් ඉදිකරදුන් බවද ලක්මිණී අප සමග පැවසූවාය. 
ඌරගහ, කැරෑකැටිය ප්‍රදේශයේ නිවස ඉදිකර දීමෙන් අනතුරුව වියපත් මාපියන් වෙනුවෙන් තවත් නිවාස ඉදිකිරීමට තමා අපේක්ෂා කරන බවද ඇය පැවසූවාය. මේ සත් ක්‍රියාව සිය දිවිය තිබෙන තෙක්ම සිදුකිරීම සිය එකම අපේක්ෂාව බවද ලක්මිණී පැවසූවාය.

 කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත

 



Recommended Articles