ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාව ඉස්මතු කරයි.
අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් තුළින් ඒඩ්ස් බෝවීම සිදුවූවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට හෝ පරීක්‍ෂණ කර ගැනීමට බොහෝ පුද්ගලයන් විශාල මැලිකමක් දක්වන්නේ, ඔවුන්ට සමාජයෙන් ලැබෙන කොන් කිරීම සහ වෙනස් කොට සැලකීමේ තත්ත්වයන් මතය. කෝවිඩ් රෝගය ලොව පුරා පැතිරෙන කාලය තුළදීද ඔවුන්ට සමාජයෙන් ලැබුණු වෙනස්කම් නිසා කෝවිඩ් රෝගීන්ද රෝගය සඟවාගෙන ජීවත් වීමට ගත් උත්සාහයන් නිසා යම් මට්ටමකට තවත් පුද්ගලයන්ට කෝවිඩ් ආසාදනය වීම සිදුවිය. ඒ ආකාරයටම සමාජයෙන් ලැබෙන වෙනස්කම් නිසා දශක හතරකට ආසන්න කාලයක් පුරාවටම ලෝකයට ඒඩ්ස් ආසාදිතයන්ගේ ප්‍රමාණය අඩු කර ගැනීමට, ඒඩ්ස් ආශ්‍රිත මරණ අවම කර ගැනීමට නොහැකිවීම හේතුවක් ලෙස දැක්විය හැකිය.
අසමානතාවන් දුරු කිරීම සහ ඒඩ්ස් අවසන් කිරීම සඳහා දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රතිපත්තිවල පරිවර්තනීය වෙනසක් අවශ්‍ය වන බව නොපැවසිය යුතු කරුණක් නොවේ. සෑම කෙනෙකුගේම අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සහ කොන් කිරීමට හා වෙනස් කර සැලකීමට ලක් වූ ප්‍රජාවන්ගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඒඩ්ස් තුරන් කිරීමේ ඉලක්කය කරා ළඟාවීමට අසමානතාවන් අවම කිරීමට එක්ව කටයුතු කිරීම සෑම ප්‍රජාවකගේ වගකීමකි.
HIV සමග ජීවත් වන පුද්ගලයන්ට සහ HIV සඳහා අධිඅවදානම් ඇති කාණ්ඩ සඳහා සිදුවන වෙනස්කම් සමාජයේ HIV රෝගය බෝවීමේ අවදානම වැඩි කරන අතර, HIV සමග ජීවත් වන පුද්ගලයන් ඒඩ්ස් ආශ්‍රිත රෝග හේතුවෙන් මියයාමේ හැකියාවද වැඩි කරයි. එමෙන්ම ප්‍රමාණවත් ලෙස දේශපාලන අවධානය යොමු නොවීම, ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය ප්‍රතිපාදන නොමැති වීම, රටෙහි පවතින ඇතැම් නීති පද්ධතීන්, කොන් කරන ලද කණ්ඩායම්වලට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම වළක්වන අතර, රටේ HIV සත්කාර සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රධාන බාධකයක් ලෙස ක්‍රියා කරයි. කෝවිඩ්–19 වසංගතය හේතුවෙන් HIV ආසාදනයට අඩු ප්‍රමුඛතාවක් ලැබී ඇති අතර, කෝවිඩ් ආශ්‍රිත සංචරණ සීමා කිරීම් නිසා HIV පරීක්‍ෂණ සඳහා ඍණාත්මක බලපෑමක්ද ඇති කර තිබේ.
UNAIDSහි නිවේදනය
නායකයන් අසමානතාව පිළිබඳ සාකච්ඡා නොකළහොත් ඉදිරි වසර දහය තුළදී ලොව පුරා ඒඩ්ස් මරණ මිලියන 7.7කට වඩා වැඩියෙන් සිදුවිය හැකි බව UNAIDS ආයතනය මෙවර ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් නිකුත් කරන ලස නිවේදනයේ සඳහන් වේ. අද HIV වර්ධනය කරන අසමානතා මැඬලීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, ඒඩ්ස් වසංගතය අවසන් කිරීමට අප අපොහොසත් වන බව UNAIDS සම සභාපති හෙලන් ක්ලාක් එම නිවේදනය තුළ පවසා තිබේ.
තවද බෙදී ඇති සමාජ තුළ වසංගතය වර්ධනය වීමට ඉඩක් සොයාගන්නා අතර, ලෝක නායකයන් එය වැළැක්වීමට කටයුතු නොකළහොත් ඒඩ්ස් වසංගතය තුරන් කිරීමට කටයුතු කරන විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ ප්‍රජාවන්ට සාර්ථක විය නොහැකි බවද UNAIDS සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ගෝලීය HIV සංඛ්‍යා ලේඛන
HIV ආසාදිතයන් පිළිබඳ ගෝලීය වශයෙන් බැලුවහොත් ගෝලීය සංඛ්‍යා ලේඛනවලට අනුව වසංගතය ආරම්භයේ සිට ලොව පුරා මිලියන 79.3ක ජනතාවකට HIV ආසාදනය වී තිබේ. එමෙන්ම මිලියන 36.3ක් ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මිය ගොස් ඇත. 2020 වර්ෂය අවසන් වනවිට මිලියන 37.7න ජනතාවක් HIV සමග ජීවත් වන අතර, 2020 වසරේදී නව ආසාදන මිලියන 1.5ක් පමණ හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ HIV තත්ත්වය
ලෝකයේ අනෙක් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව HIV ව්‍යාප්තියෙන් අඩු රටක් වුවද, HIV ආසාදිත රෝගීන්ගේ නව හඳුනාගැනීම් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතියි. කෙසේ වෙතත්, 2020 වසරේදී HIV ආසාදන 363ක් වාර්තා වී ඇති අතර, එය 2019 වසරේදී වාර්තා වූ රෝගීන් 439ට වඩා විශාල පහත වැටීමකි. මෙම පහත වැටීමට හේතුව බොහෝ විට කෝවිඩ්-19 තත්ත්වය හේතුවෙන් රටේ පැවති සංචරණ සීමාවන් නිසා HIV පරීක්‍ෂණ කටයුතුවලට සිදු වූ බලපෑම විය හැකි බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි. ලංකාවේ HIV ආසාදිතයන්ගේ වාර්තාවීම්වලදී පිරිමි සමලිංගික සබඳතා පවත්වන්නන් අතර HIV වාර්තාවීමේ තත්ත්වය මෑත කාලයේ සිට සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. එමෙන්ම නව HIV රෝග විනිශ්චයන්ගෙන් බහුතරයක් පිරිමි වන අතර, එහි ස්ත්‍රී පුරුෂ අනුපාතය 1:5 වේ.
අනාරක්‍ෂත ලිංගික සම්බන්ධතා පවත්වන ඕනෑම අයෙකුට HIV වැලඳීමේ අවදානමක් පවතින අතර, ශ්‍රී ලංකාව තුළ HIV සම්ප්‍රේෂණයේ ප්‍රධාන ක්‍රමය වන්නේද මෙයයි. නමුත් පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින්ට, ලිංගික ශ්‍රමිකයන්ට, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයන්ට, වෙරළාශ්‍රිත ශ්‍රමිකයන්ට, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහ බන්ධනාගාරවල සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ විශේෂිත ඉහළ - අවදානම් හැසිරීම් රටාවන් නිසා HIV වැලඳීමේ අවදානම වැඩි විය හැකිය. HIVආසාදනයට ගොදුරු වීමට ඇති වැඩි අවදානම හේතුවෙන් ‘තරුණයන් සහ සංක්‍රමණික සේවකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
අනාරක්‍ෂිතව ලිංගිකව එක් වන ඕනෑම කෙනෙකුට HIV ආසාදනය විය හැකි බැවින් එය %වැරදි^ හැසිරීම් ඇති පුද්ගලයන්ට පමණක් ඇති වන රෝගයක් ලෙස නොසැලකිය යුතුය. HIV සම්බන්ධ අපකීර්තිය සහ වෙනස් කොට සැලකීම හේතුවෙන් පුද්ගලයන් HIV සඳහා පරීක්‍ෂණවලට පැමිණීමට විශාල මැලිකමක් දක්වයි. වැඩි අවදානම් ප්‍රජාව හා සම්බන්ධ සාමාජීය වෙනස් මතිමතාන්තර මෙම කණ්ඩායම් වෙත ළඟාවීමට ඇති ප්‍රධාන බාධකයක් වන අතර, මෙම බාධකය ජය ගැනීම සඳහා සැමට සමාන අයිතිවාසිකම් සහ සෞඛ්‍ය පහසුකම් සඳහා අවස්ථාවක් ලබාදීම අතිශයින්ම වැදගත් වේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ලංකාවේ තත්ත්වය පිළිබඳ ‘අද’ සමග දැක්වූ අදහස්,
“කෝවිඩ් ලොක්ඩවුන් එක නිසා 2021දී අපට හරියටම විනිශ්චය කරන්න බැරි වුණා. අපට හමුවුණ 363න් කියන්න බැහැ HIV රෝගීන් ඉන්නේ මෙච්චරයි කියලා. මොකද මිනිස්සු ආවේ නැහැනේ පර්යේෂණවලට. අපටත් යන්න බැරි වුණා රටේ පැවති තත්ත්වය නිසා. ඒ නිසා අඩුවෙන් තමයි හඳුනාගත්තේ.
HIV ආසාදනය 90෴ක්ම සිදුවෙන්නේ, අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලින්නේ. අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් වැඩියෙන්ම තියෙන්නේ, තරුණ අය අතරේ. ඒ කියන්නේ අවුරුදු 25ත්, 40ත් අතර වයස් කාණ්ඩයේ අයගේ. නමුත් පසුගිය අවුරුදු පහේදී අවුරුදු 15 – 25ත් අතර අයගේ HIV ආසාදනය හොයාගන්න ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ පාසල් පද්ධතිය තුළ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් HIV තිබෙනවා කියන එක. ඔය සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ කර ගෙන ලිංගික සබඳතා පැවැත්වෙනවා. පාසල්වල හරියට ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා තරුණ අයගේ HIV ආසාදනය වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ලංකාව 2004 වසරේ ඉඳලා නොකඩවාම HIV ප්‍රතිවෛරස් ලබාදෙන රටක්. ඒවා ගුණාත්මකභාවයෙන් හොඳ ඖෂධ. ඒවා හැමදාම නොකඩවා ලබාගන්නවා නම්, ඒ අයගේ ශරීරයේ තිබෙන HIV වෛරසයට තවත් කෙනෙකුට බෝ වෙන්නේ නැති තත්ත්වයටම අඩු වෙනවා. එතකොට එයාලටත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නත් පුළුවන්.
2019දී ලංකාව ‘මවගෙන් දරුවාට HIV වෛරසය බෝ වීම තුරන් කළ රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය අපව නම් කරනු ලැබුවා. ඒ ඉලක්කවලට ළඟා වෙලා අපි ඒවා සාර්ථක කර ගෙන තිබුණා. මේ වසරේ දෙසැම්බර් මාසයේදීත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ තත්ත්වය මැන බලන්න සූදානමින් ඉන්නවා. ඇත්තටම පසුගිය අවුරුදු තුන හතර තුළදී අපේ HIV මවකට, දැන් දරුවෙක් ලැබුණා. ඒ දරුවන්ට HIV තිබිලා නැහැ.
පාසල් සහ විශ්වවිද්‍යාල වයස්වල පසුවන දරුවන්ට ඒඩ්ස් ආසාදනය වීමේ තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා මම කිව්වානේ. ඇත්තටම මේකට ප්‍රධානම විසඳුමක් තමයි ලිංගික අධ්‍යාපනය. ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කියලා තිබෙනවා. ලිංගික අධ්‍යාපනය, HIV ආසාදනය පිළිබඳ අපි ඒ විෂය මාලාවන්ට ඇතුළත් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ නමුත් ගුරුවරුන්ට හැකියාවක් නැහැ ඒ විෂය මාලාවේ තිබෙන දේවල් ළමයින්ට හරි විදිහට උගන්වන්න. ඒ ගොල්ලන්ගේ තිබෙන සාමාජීය සහ සංස්කෘතික හේතු නිසා ඒ දේවල් උගන්වන්න ලැජ්ජයි. ඒ නිසා ළමයින්ට හරි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මීට වසර දෙකකට විතර කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හතේ පොත කියලා පොතක් ගැහුවා ළමයින්ට දෙන්න. ඒක දෙන්න දුන්නෙත් නැහැ අපේ ආගමික නායකයන්. ඒක හොඳ නැහැ කියනවා, සංස්කෘතියට හරි නැහැ කියනවා. ඒ ගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව කතා කරන එක තමයි අපට තියෙන ප්‍රශ්නේ. මොකද මේ ළමයින්ට තිබෙන ගැටලු, ළමයි ලිංගික රෝගවලට ගොදුරු වෙන එක ගැන දන්නේ අපිනේ. ආගමික නායකයෝ ඒවා ගැන දන්නේ නැහැනේ. හරි වයසට හරි ක්‍රමයට ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒකට දේශපාලන මැදිහත්වීමක් හෝ ලැබෙනවා නම් හොඳයි.”
HIV ආසාදිතයන්ට ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපාදන
ශ්‍රී ලංකාව තුළ HIV පරීක්‍ෂණ සහ සත්කාර සේවා රට පුරා ස්ථාපිත කරන ලද ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මගින් ප්‍රතිකාර සේවා සපයනු ලබයි. රෝග විනිශ්චය වැඩි දියුණු කිරීම සඳහා ජාතික වැඩසටහන මගින් ක්‍ෂණික HIV පරීක්‍ෂණය සහ ස්වයං HIV පරීක්‍ෂණ හඳුන්වා දීමෙන් HIV පරීක්‍ෂණ සඳහා වැඩි අවස්ථාවන් ලබාදෙන ලදී. පවතින ප්‍රතිකාර හේතුවෙන් HIV ආසාදනය, පාලනය කළ හැකි දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව තිබේ. HIV ප්‍රතිකාර සමග රුධිරුයේ ඇති වෛරස් ප්‍රමාණය හඳුනාගත නොහැකි මට්ටමට අඩු වූ පසු ආසාදිත පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි අතර, ඔවුන්ගෙන් තවදුරටත් රෝගය බෝ නොවේ.
HIV පරීක්‍ෂාවක් කර ගැනීමට
HIV පරීක්‍ෂා කර ගැනීමට කැමති සහ අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට www.know4sure.lk වෙඩ් අඩවිය හරහා හෝ 070-3633533/ 011-2667163 යන දුරකථන අංකය ඔස්සේ හමුවීමක් වෙන් කරවාගත හැකිය. ඔබගේ නිවසටම HIV ස්වයං පරීක්‍ෂණ කට්ටලයක් ලබාගැනීමට 071-6379192 දුරකථන අංකයට ඇමතිය හැකිය. එමෙන්ම ෆේස්බුක් හරහාද සම්බන්ධ විය හැකිය.
අසමානතාවන් දුරු කිරීම සහ ඒඩ්ස් අවසන් කිරීම සඳහා දේශපාලන, ආර්ථික සහ සාමාජීය ප්‍රතිපත්තිවල වෙනසක් අවශ්‍ය වන බව අප ඉහතදීද පැවසුවෙමු. එබැවින් ඒඩ්ස් තුරන් කිරීමේ ඉලක්කය කරා ළඟාවීමට නම් අසමානතාවන් අවම කිරීමට එක්ව කටයුතු කිරීම සැමගේම වගකීමක් බව නැවත නැවතත් මතක් කර සිටිමු.