අවිසින්නා හෙවත් ඉබින් සීනා


ඉබ්න් සීනා හෙවත් ‘’අබුඅලි සිනා’, ‘’පූර් සිනා’ එසේත් නොමැතිනම් බටහිර ලෝකයේදී අවිසින්නා වශයෙන් හැඳින්වෙන දාර්ශනිකයා සම්බන්ධයෙන් සාමාන්‍ය පාඨකයන් දන්නේ ඉතා මද වශයෙනි. ඉස්ලාමීය දර්ශනයේ සහ විද්‍යාවේ ස්වර්ණමය යුගයේ බිහි වූ අවිසින්නා මුල් නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසද සැලකේ. 

‘’පූර්ව - නූතන යුගයේ වඩාත්ම බලගතු දාර්ශනිකයා’ යන විරුදාවලියෙන්ද අවිසින්නා හඳුන්වන අතර, ඔහු ඇරිස්ටෝටලියානු දර්ශනයෙන් ආභාසය ලැබූ පර්යන්ත දාර්ශනිකයෙකු (Peripatetic philosopher) විය. ඇරිස්ටෝටල් ලයිසියමේ උගන්වන යුගයේ සිට බිහි වූ ශිෂ්‍යයන්ගෙන් මෙම පර්යන්ත දාර්ශනික ගුරු කුලය නිර්මාණය වූ අතර, ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා එය සක්‍රීය වශයෙන් පැවතිණි.

බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් අනතුරුව, පර්යන්ත ගුරු කුලයේ කෘති ග්‍රීක රෝම ශිෂ්ටාචාරයට අයත් වූ ලතින් බටහිර වෙතින් ගිලිහී ගිය අතර, පසුව බයිසැන්තියම් ඒවා සංරක්ෂණය විය. මුල් ඉස්ලාමීය දර්ශනයටද මෙම කෘති බලපෑ අතර බටහිර ග්‍රීක ශිෂ්ටාචාරයේ දැනුම මධ්‍යකාලීන යුගයේදී සංරක්ෂණය වූයේ සහ පෝෂණය වූයේ ඉස්ලාමීය උගතුන් අතය. 

මේ අතරින් අවිසින්නා ඉතා වැදගත් ඓතිහාසික කාර්යක් ඉටුකළ අයෙකි.  ඔහු විසින් ලියන ලද කෘති 450න් 240ක් පමණ මේ වනවිට ශේෂ වී ඇති අතර, දර්ශනය පිළිබඳ කෘති 150ක් සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ 40ක්ද ඊට ඇතුළත් වේ.

ග්‍රීක - රෝම, පර්සියානු සහ ඉන්දියානු ග්‍රන්ථවල පරිවර්තන පුළුල් ලෙස අධ්‍යයනය කළ අවිසින්නා ‘’කින්ඩි’ ගුරුකුලය විසින් පරිවර්තනය කරන ලද ග්‍රීකෝ - රෝමානු (මධ්‍යකාලීනහානව-ප්ලැටෝනියානු සහ ඇරිස්ටෝටලියානු) ග්‍රන්ථ ප්‍රතිඅර්ථ කථනය කිරීමේදී මෙන්ම සංස්කරණය කිරීමේදී විශාල දායකත්වයක් දැක්වීය.

´කින්ඩි’ ගුරුකුලයද පර්සියානු හා ඉන්දියානු ගණිතමය පද්ධති, තාරකා විද්‍යාව, වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය සහ වෛද්‍ය විද්‍යාව මත මහා දැනුම් පද්ධතියක් ගොඩනගා තිබේ. නූතන බටහිර ලෝකය නිර්මාණය කිරීම සඳහා මෙම දැනුම් පද්ධතිය විශාල වශයෙන් උපකාර වුවද බටහිර ලෝකය ඊට දෙන ප්‍රශංසාව ප්‍රමාණවත් නොවේ. 

අරාබි ලෝකය යනු තර්කයෙන් වියුක්ත වූ භක්තිය මත පාදක වූ සංස්කෘතික ලෝකයක් වශයෙන් දැක්වීමට උත්සහ කරන පින්තූරය කිසිසේත් සාධාරණ නොවන අතර, පැරණි ලෝකය සහ නූතන ලෝකය අතර පාලම සකස් වනුයේ අවිසින්නා වැනි දාර්ශනිකයන් අතිනි. 

සුව කිරීමේ ග්‍රන්ථයෙහි (The Book of Healing) අල්-බුර්හාන් නම් පරිච්ඡේදයේදී අවිසින්නා විද්‍යාවේ දර්ශනය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක නිරත වන අතර, තර්කය පාදක කරගත් විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමයක් පිළිබඳ නූතන විද්‍යාවට ලබාදුන් විශාල සම්ප්‍රදානයක් එහි විය. 

ඔහු ඇරිස්ටෝටල්ගේ පශ්චාත් විශ්ලේෂණ පිළිබඳව විශාල සාකච්ඡා කරන අතර, කරුණු කිහිපයක් මත එයින් සැලකිය යුතු ලෙස වෙනස් වෙමින් දර්ශනය මෙන්ම විද්‍යාව සඳහා අලුත් මාවතක් හෙළි කළේය.

දර්ශන අශෝක කුමාර 



Recommended Articles