අවිධිමත් සංවර්ධනය නිසා දියාරු වන ’ඩෙස්ෆෝඩ් මාර්ගය’


“කිලෝමීටර් 10 තියෙන මේ පාර හදා ගන්න අපි අවුරුදු ගානක් සෑහෙන්න දුක්වින්දා. මේ පාරේ හරියට බස් දුවන්නේ නැතිකොට අපි පිකටින් කළා. අබලන් පාර හදා දෙන්න කියලා පිකටින් කළා. අපිට හැමදේම කරගන්න වෙලා තියෙන්නේ පාරට බැහැලා බලධාරීන්ට බලපෑම් කරලයි. මේ මාර්ගය ගැනත් කොළඹ ගිහින් අමාත්‍යවරු හම්බවෙලා අනුමැතිය අරගෙන, නුවරඑළියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දාලා දේශපාලන අධිකාරිය හරහා හැමදෙයක්ම කතා කරලා පාර හදන තැනට කටයුතු කළා. නමුත් අද ඒකේ වැඩ හරි ප්‍රමිතියට සිදුවන්නේ නෑ.”

දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම මත අප ඩෙස්ෆෝඩ් ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හමුවූ කිරිමැටිය වසමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඩී. චන්ද්‍රමෝහන් තම දුක්ගැනවිල්ල ආරම්භ කළේ ඒ අයුරිනි. ඔහු මේ පැහැදිලි කරන්නේ අවිස්සාවේල්ල, හැටන් හරහා නුවරඑළිය දක්වා දිවෙන ඒ-7 ප්‍රධාන මාර්ගයේ 98වෙනි කිලෝමීටරයේ සිට 108 කිලෝමීටරයට දක්වා වන කිලෝමීටර් 10ක් පමණ වූ මාර්ග කොටසේ අලුත්වැඩියාවන් සම්බන්ධයෙනි. අපි නැවතත් ඔහුගේ කතාවට

සවන් දෙමු.

“වතු පාරකට කොන්ක්‍රීට් දානවා වගේ තමයි මේ අය පාර හදන්නේ. අද මේ පාරට කාපට් කියලා තාර දාලා තියෙනවා. පාරට ඇත්තටම කාපට් දාන්නේ කවදද කියලයි මිනිස්සු අහන්නේ. මේ දාලා තියෙන කාපට් එක අඟල් දෙකක්වත් නෑ. තව අවුරුදු දෙක තුනක් යනකොට පාර කැඩිලා යයි. ඊට අමතරව ගහපු කොන්ක්‍රීට් බැමි දැන්මම පුපුරලා. සමහර බැමි ඇද වෙලා. ඒ ගැන පාර හදන අයට කිව්වම කියන්නේ බැම්ම යන්නෙ නෑ, හයියට තියෙනවා කියලයි. දැන්මම පුපුරලා තියෙනවා නම් පස්සෙ හයියට තියෙයි කියලා අපි කොහොමද පිළිගන්නේ. පාලමට කොන්ක්‍රීට් දානවා කියලා කලින් තිබුණු කළුගල් පාලම් කණුවට සිමෙන්ති කපරාරු කරලයි තියෙන්නේ. සුද්දා හදපු පැති බැමි උඩින් අඟල් දෙක තුනක කොන්ක්‍රීට් එකක් දාලා මේ ගොල්ලෝ පාර අලුතින් හැදුවා කියලා පෙන්නනවා. ඒ අතරේ ගේන කොන්ක්‍රීට් මිශ්‍රණ වෙන අයට විකුණනවා. අලුත් කොන්ක්‍රීට් බැමි හැදුවා කියලා පේන තැන්වල අඩි දෙක තුනක් හාරලා බැලුවොත් යට පරණ පස් බැමි, ගල් බැමි දැකගන්න පුළුවන්.

මේ කොටසේ පාලම් 6ක් තියෙනවා. ඒකෙන් පාලම් 4යි හදන්නේ. තව පාලම් දෙකක් බෝක්කු විදිහටයි හදලා තියෙන්නේ. පාරේ ඉඳලා නිවාස පේළිවලට යන පඩිපෙල් කඩලා දාලා. අද ඒවා හදලා තියෙන්නේ බාගෙට. කිසිම ආරක්ෂිත වැටක් නෑ. මේ පඩිපෙල්වල උදේ හවස දරුවො යනවා. ඔවුන් වැටිලා තුවාලයක් වුණොත් කවුද වග කියන්නේ. කාලෙකට කලින් 104වෙනි කිලෝමීටර් කණුව ගාව එහෙම කපපු පඩිපෙළකින් වැටිලා මනුස්සයෙක් මැරුණා. නමුත් ඉදිකිරීම් සමාගම හෝ මාර්ග සංවර්ධන අධිකාරිය ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. මේ ප්‍රදේශයෙන් ගලා බසින ඩෙස්ෆෝඩ් ඇළට තමයි කපන පස් ඔක්කොම දාලා තියෙන්නේ. ඒ ඇළ තමයි ඉහළ කොත්මලේ ජලාශයට වතුර සපයන ප්‍රධාන ඇළ. ඇත්තෙන්ම හරිම කනගාටුයි, වැස්සට මේ පස් ඔක්කොම හෝදාගෙන ගිහින් ඉහළ කොත්මලේ ජලාශය ගොඩ වෙනවා. ඒ ගැන අපි දිස්ත්‍රික් ලේකම්තුමාටත්, ප්‍රාදේශීය ලේකම්තුමාටත් දැනුම් දීලයි තියෙන්නේ. කවදා හෝ ඉහළ කොත්මලේ ජලාශය ගොඩ වුණොත් ඒකට මේ මාර්ගය හදන ඉදිකිරීම් සමාගම සෟජුවම වග කියන්න ඕනේ. ඒවා ජලාශයෙන් අයින් කරන්න යන්නෙත් අපේ මුදල්ම තමයි. මේ හැමදෙයක්ම නිවැරදි කරන්න කියලයි අපි ඉල්ලන්නේ.”

අප හා කතාබහට එක්වූ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. ඇන්ටනී පවතින ගැටලු පිළිබඳව දැනුම්වත් කළේ මේ අයුරිනි.

අවිස්සාවේල්ල, නුවරඑළිය ප්‍රධාන මාර්ගය අලුත්වැඩියා කරන්න 2011 වසරේදි වගේ කටයුතු සූදානම් වුණා. නමුත් ඒ අවස්ථාවේදී මේ මාර්ග කොටස අතඇරලා රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑළිය දක්වා පාර සකස් කළා. මේක අපිට බරපතළ ප්‍රශ්නයක් වුණා. ඒ වෙනකොටත් මේ මාර්ගයේ වාහන ගමනාගමනය අපහසු වෙලයි තිබුණේ. මේ ආසන්නයේ ජීවත් වෙන 27,000ක පමණ පිරිසක් මාර්ගය භාවිතයට ගන්නවා. පැරකුම්පුර, කැල්සි, මහඑළිය, ඇල්ජින්, මෙරායා, තංගකැලේ, කිරිමැටිය, ඩෙස්ෆෝඩ්, ක්ලැරැන්ඩන්, එවෝකා වගේ වතු හා ගම්මානවල වෙසෙන ජනතාව තම ගමන්බිමන් සඳහා භාවිත කරන්නේ මේ මාර්ගය තමයි.

මේ කොටස අතඇරලා රදැල්ල කෙටි මාර්ගය හැදුවට පස්සේ ඒ පාරේ සාමාන්‍ය වාහන විතරක් නෙමෙයි බස් රථත් ගමන් කරන්න පටන් ගත්තා. මේ කොටසේ මාර්ගය අබලන්ව තිබීම ඒකට තවත් හේතුවක් වුණා. බස් රථ මේ පාරේ යන්නෙ නැතිකොට පාසල් ළමයින් වගේම රැකියා සඳහාත්, වෙනත් අවශ්‍යතාවලටත් තලවකැලේට හා නුවරඑළියට යන අය දැඩි දුෂ්කරතාවයට පත්වුණා. මේ මාර්ගයේ බස් රථ ධාවනය කරන්න කියලත්, මාර්ගය හදා දෙන්න කියලත් මිනිස්සුන්ට උද්ඝෝෂණය කරන්න සිද්ධ වුණා. අවසානයේ 2014 වර්ෂයේදි මාර්ගය හදා දෙන්න මාර්ග සංවර්ධන අධිකාරිය භාරගත්තා. ඇත්තටම ඒක රජය පිනට දුන්න දෙයක් නෙමෙයි, ජනතාව සටන් කරලා දිනාගත්ත දෙයක්. හැබැයි අද ගොඩක් ආයතන හිතන්නේ අපිට මේ පාර පිනට හදලා දෙනවා කියලයි. අපි මේක දිනාගත්ත දෙයක් නිසයි අදටත් පාර හරියට හදාගන්න මේ තරම් මහන්සි වෙන්නේ.

සමහර තැන්වල පාර පටුයි. පයින් යන අයට යන්නත් ඉඩ මදි. හන්දිවල ත්‍රීවිල් පාර්ක් කරන්න ඉඩ නෑ. ත්‍රීවිල් පාර්ක් කළාම පාර ඉඩ මදි. අපි ත්‍රීවිල් පාර්ක් ටිකක් හදලා දෙන්න කිව්වම කියන්නේ ඒවා හදන්න බෑ පාඩුයි කියලයි. මේ තත්ත්වය යටතේ කාණු ටික හරියට හදන්නේ නැහැ. කොන්ක්‍රීට් දාන්න ඕනේ තැන්වලට පස් දානවා. ඒ දානවා නම් හොඳ පස් දාන්න ඕනනේ. එහෙමත් නෑ. ඒ ළඟින් කොහෙන් හරි කපලා ගෙනත් දානවා. සමහර තැන්වල පාරට දාපු ඒ-බී-සී මඩත් එක්ක ආයෙත් හාරලා, අරන් ඇවිත් ඒ පාරෙම වෙන තැනකට දානවා. ඉතින් පාරේ ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

සමහර තැන්වල තිබුණු බස් හෝල්ට් කඩල දාලා ඒවා හදා දෙන්නෙත් නෑ.  ගෙයක්දොරක්, කඩයක් වත් නැති තැන්වල බස් හෝල්ට් තිබුණා. අද ඒවා කඩා දාලා තියෙන නිසා පුංචි දරුවන්ට වැස්සෙ තෙමි තෙමි පාරේ ඉන්නයි වෙලා තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ රට දියුණු කරන්න මහන්සි ගන්නවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙමයි. ඒ අයට විෂන් එකක් තිබුණට මාර්ග සංවර්ධන අධිකාරියත්, කොන්ත්‍රාත් සමාගමුත් මේ කරන වැඩවලින් අපහසුතාවයට පත්වෙන්නේ රජයයි. මිනිස්සු බනින්නේ රජයටයි. මම ප්‍රාදේශීය සභාව තුළත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභාපතිතුමා අඩුපාඩු හදා දෙන්න කියලා මාර්ග සංවර්ධන අධිකාරියට දන්වලා තියෙනවා. නමුත් තවමත් ඒවා හදලා දීලා නැහැ.”

අඩුපාඩු නිරීක්ෂණය කරමින් අප මාර්ගයේ ඉදිරියට ගමන් කළ අතර, කිරිමැටිය කඩ වීදියේදී හමුවූ ව්‍යාපාරික එස්. මුරුගේසු මාර්ගයේ ඇති අඩුපාඩු හෙළි කළේ මේ අයුරිනි.

“කිරිමැටිය හන්දියේ කානු පද්ධතිය හදලා කොන්ක්‍රීට් පියන් දාලා වහලයි තියෙන්නේ. නමුත් කානුවේ තිබ්බ කුණු රොඩු, පස් ගල් ආදිය අයින් කරලා වහලා දාන්න ඒ අය කටයුතු කළේ නෑ. දැන් වතුර බහින්නේ නෑ කානුව ඇතුළෙ හිරවෙලා. පල්වෙලා ගද ගහනවා. මේ අයගේ වැඩ කිසි පිළිවෙළක් නෑ. ඔහේ කරනවා. පාර අයිනේ ගෙවල් දාන්න ඕන තැන්වලට පස් දානවා. ඒක ඉතාම අවදානම් වැඩක්. මේ පාරේ අවදානම් තැන් ගොඩක් තියෙනවා. ඒ වගේ තැනක වාහනයක් අයිනට ගත්තොත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. පාර අයිනේ පස් බැමි එක කෙලින් කපලා. වැස්ස කාලෙට ඒවා නාය යාමේ අවදානමක් තියෙනවා. සමහර තැන්වල ගෙවල් ළඟටම පස් කපලා පැති බැම්මක් වත් ගහලා නෑ.  කවදාහරි දවසක නායට ගෙවල් පාරට ඇවිත් තියෙයි. ඇයි මේවා ගැන හිතන්නේ නැත්තේ කියලා අපිටත් ප්‍රශ්නයක්. අපි සාමාන්‍ය මිනිස්සු වෙලත් අපිට තේරෙන දේ දැන උගත් ඉංජිනේරු මහත්වරුන්ට නොතේරෙන එක හරිම ගැටලුවක්.”

ඩෙස්ෆෝඩ් කිරිමැටිය ප්‍රදේශයේ ජනතාව මේ මාර්ගය සාදවා ගැනීම සඳහා ඉමහත් වෙහෙසක් ගෙන ඇති බව ඔවුන්ගේ කතාබහෙන් අපට වැටහුණද, මාර්ගය අලුත්වැඩියා කරන සමාගම‍ෙවලට මෙය තවත් එක පාරක් පමණි. මෙම මාර්ගය ඉදිකරවා ගැනීම සඳහා වෙහෙස මහන්සි වූ කණ්ඩායමේ සාමාජිකයෙක් වන

එන්. ඉන්බනාදන් තමන් දැරූ උත්සාහය අප හමුවේ ගෙනහැර පෑවේ මේ ආකාරයෙනි.

“ඒ කාලේ මහාමාර්ග ඇමති හැටියට හිටියේ ටී. බී. ඒකනායක මැතිතුමා. අපි කණ්ඩායමක් හැටියට අමාත්‍යාංශයට ගිහින් එතුමා හමුවුණා. එවකට හිටපු ලේකම් තමයි ප්‍රේමසිරි මහත්තයා. මේ හැමෝටම අපි කරුණු පැහැදිලි කරලා, සමහර අවස්ථාවල බැගෑපත් වෙලා අපේ ඉල්ලීම කළාම ඔවුන් පාර හදා දෙන්න පොරොන්දු වුණා. එහෙම කරලයි අපි මේ පාරට අනුමැතිය ගත්තේ. ගනේෂන් කියන මහත්තයා කණ්ඩායමක් එක්ක ඇවිත් පාර ඩිසයින් කළා. අපි ඒ ඩිසයින් එක දැක්කා. ඇත්තටම ලස්සන ඩිසයින් එකක්. ඒකෙ වංගු අඩු කරලා තිබුණා. ඒක නිසා කිලෝමීටර් 10.5ක් තිබෙන පාරේ මුළු දුරින් කිලෝමීටර් 1.7ක් අඩුවෙලයි තිබුණේ. නමුත් දැන් පාර හදන්නේ ඒ ඩිසයින් එකට නෙමෙයි. තියෙන පාරම තමයි කාපට් කරන්නේ. අඩුපාඩු හදන්නේ නැතුව පාර කාපට් කරන එක තේරුමක් නෑ.  ඒ නිසයි අපි කියන්නේ හරියට සැලැස්මක් ඇතුව පාර හදන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් 103 කණුව ගාවදි, බස් එකක් වංගු ටික අරන් එන්න කලින්, මිනිස්සු මේ පාරෙන් ඒ පාරට යනවා. පාර කෙලින් ගන්න පුළුවන් ඉතාම පටු තැන් තියෙනවා. ඉතාම පහසුවෙන් ඒවා හදන්න පුළුවන්කම තියෙද්දි එහෙම කරන්නේ නැත්තේ ඇයි කියලා හිතාගන්න බෑ. මේ ගොල්ලො පාඩුයි පාඩුයි කියනවා. ඉතින් පාරේ දුර අඩු කළා නම් වියදමත් අඩු වෙනවා. පාරත් හොඳට හැදෙනවා. මේක සුද්දන්ගේ කාලේ හදපු කරත්ත පාරක්. ඒ පාරට තමයි පස්සෙ කාලෙකදි තාර දාලා බස් පාරක් විදිහට හදන්නේ. නමුත් අද තාක්ෂණය දියුණුයි. පාර අදට ගැළපෙන විදිහට හදන එකයි කරන්න ඕනේ.

හැබැයි වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. පාර පටන් ගත්ත දවසේ ඉඳලා කොන්ත්‍රාත්කාරයෝ මාරු වෙනවා. අද එක්කෙනෙක් කරනවා. හෙට තව එක්කෙනෙක් කරනවා. අනිද්දට තව එක්කෙනෙක්. ඉතින් කොහොමද පාරක ප්‍රමිතිය තියා ගන්නේ. අද මේ කොන්ත්‍රාත්තුව කරන්නේ කවුද කියලා කවුරුවත් දන්නෙ නෑ. කොන්ත්‍රාත් කරන අයට යන්ත්‍ර සූත්‍ර නෑ. එක මැෂින් එකක් කැඩුණොත් සති දෙක තුනකට වැඩ නෑ. පාරේ වැඩකරන මිනිස්සුන්ට හරියට පඩි ගෙවන්නේ නෑ. වෙලාවකට ඒ අයත් ස්ට්‍රයික් කරනවා. ඔන්න අපි අමාරුවෙන් කරගන්න හදන පාරේ තත්ත්වය.”

සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යාපෘතියක වැය ඇස්තමේන්තුව, කොන්ත්‍රාත්කරු, අධීක්ෂණය ආදී විස්තර ඇතුළත් පුවරුවක් අදාළ ප්‍රදේශයේ සවිකරන මුත් අප මෙහි සිදුකළ සංචාරයේදී එවැනි පුවරුවක් දක්නට නොලැබීමද විශේෂත්වයකි. කෙසේ වුවත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම මාර්ග ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු ප්‍රභාත් කුමාරසිරිගෙන් විමසීමේදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“චීන එක්ස්සීම් බැංකුවෙන් ලබාගන්නා ණය ආධාරයක් මත තමයි මෙම මාර්ගය ඉදිවෙන්නේ. මාර්ගය ඉදිකිරීමේදී තියෙන පාරම තමයි අලුත්වැඩියා කරලා කාපට් අතුරන්නේ. එහිදී වංගු අඩු කිරීමක් හෝ මාර්ගය කෙටි කිරීමක් කරන්නේ නෑ. මීට පෙර  එවැනි සැලසුමක් තිබුණද කියල මම දන්නෙ නෑ.  පාරේ ඉදිකිරීම් ප්‍රමිතිය පිළිබඳව කිසිම ගැටලුවක් නෑ. අපි නිතරන්තරයෙන් පරික්ෂා කරනවා. මම 100%ක් සහතික වෙනවා අපේ අඩුපාඩුවක් නෑ කියලා. මේ පාරේ අඩුපාඩු තියෙනවා නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දෙන්න පුළුවන්. එතැනට දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිලධාරීනුත් සම්බන්ධ වෙනවා. ඔවුන් අපේ අඩුපාඩු පෙන්වා දෙයි. මේකෙ කොන්ත්‍රාත්කරුවන් මාරුවීමක් සිදුවෙලා නෑ. චීන හුනාන් සමාගම තමයි කොන්ත්‍රාත්තුව කරන්නේ. එහි වැඩකටයුතු අවසන් කරන්නත් අප්‍රේල් 30 දක්වා කල් තියෙනවා. තියෙන පාලම්, බෝක්කු, පැති බැමි ශක්තිමත්ව තියෙනවා නම් ඒවා වෙනස් කරන්නේ නෑ. අපි පරික්ෂා කරලා බලලා අවශ්‍ය ඒවා පමණයි අලුතින් ඉදිකරන්නේ. මේ පාරේ ප්‍රතිසංස්කරණවල කිසිම ගැටලුවක් නෑ. ඉතාම හොඳ විදිහට තමයි ඒවා සිදුකරගෙන යන්නේ.”

ඉදිකිරීම් සමාගම විසින් ඩෙස්ෆෝඩ් ඇළට පස් දැමීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශය ගොඩ වීමට ඇති අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතාගෙන් විමසීමේදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“මාර්ග ඉදිකිරීම් සමාගම ලබාදී ඇති කොන්දේසි හා නිර්දේශයන් නොතකා හැරලා ඩෙස්ෆෝඩ් ඇළට පස් දානවා නම් ඒ තුළින් ඉහළ කොත්මලේ ජලාශය ගොඩ වීමේ දැඩි අවදානමක් පවතිනවා. මෙම කාරණය දැනගත් වහාම මම සියලුම ආයතනවලට කතා කරලා විස්තර ලබාගත්තා. ඒ වගේම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් පරිසර නිලධාරී හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු යන තිදෙනාටම මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂාවක් සිදුකරලා වාර්තාවන් ලබාදෙන්න කියලත් දැනුම් දුන්නා. මේ ඉදිකිරීම් සමාගම නීතිවිරෝධී දෙයක් කරලා තියෙනවා නම් අපි ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අදාළ අංශ හරහා මෙම වැරැද්ද කඩිනමින් නිවැරදි කරන්නත් පියවර ගන්නා බව කියන්න කැමතියි.”

සටහන හා ඡායාරූප - නුවරඑළිය සම්පත් ජයලාල්



Recommended Articles