අවසන් සටන ආරම්භ වුණු මාවිල්ආරු වැසියන්


දශක තුනක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. යුද්ධය නිමා කර අදට (18දා) වසර එකොළහක් ගතවී හමාරය. මේ වනවිට උතුර නැගෙනහිර වැසියෝ සියල්ලෝම සාමකාමීව ජීවත් වෙති. ඒ බිහිසුණු කාලවකවානුවට ජාති බේදයකින් තොරව මුහුණ දුන් ජනතාවගේ සිත් තුළ ඒ මතකයන් සදාකාලිකවම තැන්පත් වී තිබේ. "මාවිල්ආරු අමුණ වසා දැමීම" යුද්ධය අවසන් කිරීමට මූලික වූ ප්‍රබල හේතුවකි. මාවිල්ආරුවෙන් ජලය ලබාගත් කුඹුරු අක්කර තිස්දහසක් මේ නිසා විනාශ විය. මේ එකල මාවිල්ආරු අමුණ ආශ්‍රිතව ජීවත් වූ සහ අදටත් ජීවත් වන මිනිසුන්ගේ යුද මතකයන්ගෙන් බිඳකි. 

"සේරුනුවර" මාවිල්ආරු අමුණට ළඟම ගමයි. සේරුනුවර ගොවි සංවිධානයේ සභාපති රත්නසිරි මහතා ඔහුගේ යුද මතකයන් අවදි කළේ මෙලෙසිනි.

"මාවිල්ආරු කියන්නේ යුද්ධය අවසාන කරන්නම පටන්ගත්තු මෙහෙයුමනේ. යුද්ධය බලපෑම අපිට එන්නේ මාවිල්ආරු මෙහෙයුමටත් කලින්මයි. මෙහේ යුද්ධෙ පටන් ගන්නේ 1985දියි. 1987දී අපි මෙහෙ ගම්බිම් අත්ඇරලත් ගියා. ඒ වෙනකොට අපේ පැහෙන කුඹුරුත් දාලා තමයි ගියේ. ඒ කාලෙදී අල්ල, සේරුනුවර පැත්තට හමුදාව හිටියෙ නැහැ. පොලීසිය විතරයි හිටියෙ. ඉතිං ආරක්ෂාව සම්බන්ධව වැඩි විශ්වාසයක් තිබුණෙ නැති නිසා හැමෝම ගම්බිම් අත්ඇරලා ගියා. අපි මාස හයක් අනාථ කඳවුරුවල හිටියා. ඊට පස්සෙ හමුදාව යෙදවූවාට පස්සෙ තමයි අපි ආයෙත් ආවේ. අපි ආයෙමත් ගමට එද්දි අල්ල පාරේ තිබුණ බිම්බෝම්බ නිසා මිනිස්සු 1160ක් විතර මැරුණා.

ඒ කාලෙදි සේරුවිල ඉඳලා කන්තලේට යන්න පැය තුනහමාරක් යනවා. මිනිස්සු වැඩි හරියක් ගියේ පයින්. මුල් කාලෙදි කොටි බිම්බෝම්බ වළලා වයර් ඇදලා බැටරියකින් පිපිරෙව්වා. ඊටපස්සේ තමයි රිමෝට් වලින් පිපිරෙව්වේ. මිනිස්සු තුනපහ ටික ගන්න වුණත් යන්නේ පයින්. ඒ කාලෙ සේරුනුවර ඉඳලා කන්තලේට බස් එකක් ගියා. ඒ බස් එකේ හිටියේ ඩ්‍රැයිවරුයි කොන්දොස්තරයි විතරයි. බස් එකට කන්තලේ ඉඳලා මිනිස්සු බඩු පටවනවා. ඒ බස් එක ගමට ඇවිත් බඩු බානවා. ඒ මිනිස්සු කන්තලේ රෑ නැවතිලා පහුවෙනිදාට ගෙදර එනවා. එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. ඔය අතරේදී දෙහිවත්තේ කුඩා දරුවන්ව පොල් උලක ගහලා මරලා තිබුණා. ඒ කාලෙදී කාන්තාවන්ගේ අවයව කපලා ගෙදර ඉස්තෝප්පුවෙ දාල යනවා. මුල් කාලෙදි එල්.ටී.ටී.ඊය බොහෝ ම්ලේච්ඡ වැඩ කළා. පස්සේ සාම සාකච්ඡා, සාම ගිවිසුම්වලින් පස්සේ ගොඩක් ම්ලේච්ඡ ක්‍රියා අඩුවුණා.

මාවිල්ආරුවල ඉඳලා යුද්ධෙ පටන් ගනිද්දි දවසක් රෑ ආටි ගහන්න පටන් ගත්තා. පහුවෙනිදා උදේ අටහමාර වෙද්දි අපේ ගමට ආටි හැත්තෑ දෙකක් ගහලා තිබුණා. එතකොට හැම ගෙදරකම පිටිපස්සේ බංකර් හදලා තිබුණා. අපේ ගෙදරත් පොළොව යටට හාරපු විශාල බංකරයක් තිබුණා. ඒකෙ ගමේ මිනිස්සු තිහක් විතර හැංගිලා හිටියා. ඉපදිලා මාසෙ, දෙකේ දරුවන්ව ආරක්ෂා කළෙත් ඒ බංකරේ තියාගෙන. ළමයින්ට කන්න නැහැ. ළමයි කෑ ගහනවා බඩගින්නේ. මම බංකරෙන් රිංගලා ගෙදරට ඇවිත් හාල් ටිකක් ළිපේ තියලා සම්බෝලයක් හදලා ඒ හැමෝටම කන්න දුන්නා. පහුවැනිදා උදේම ඒ අයව කන්තලේ කඳවුරට යැව්වා. එදා දවසෙම මම කළේ බංකරේ හිටපු හැමෝටම උයලා කන්න දීපු එක තමයි. යුද්ධය අවසන් කරන්න ප්‍රධාන හේතුවක් වුණේ මේ සේරුවිල ගමේ මිනිස්සුන්ගේ උත්සාහය තමයි. අපිට යුද්ධය ගැන නම් පොතක් ලියන්න අත්දැකීම් කියන්න පුළුවන්."

මේ යුද මතකයන් සොයා ගිය ගමනේදී පිට පළාතකින් සේරුනුවර පාසලකට පැමිණ යුද වාතාවරණය තුළ එහි ළමුන්ට අකුරු කළ ගුරුවරුයෙකු හමුවිය. ඔහු ජයග්‍රාහී රණසිංහ නම් ඉංග්‍රීසි ගුරුවරයාය. යුද්ධය පිළිබඳ මතකය ඔහුගේ වචනයෙන් මෙලෙස පැවසීය.

"මම 2002 වසරේදී (සාම ගිවිසුම ක්‍රියාත්මක වන අවධියේ) තමයි සේරුනුවර ගමට යන්නේ. මම අවුරුදු හයක් මහවැලිගම නවෝද්‍යා පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා ලෙස සේවය කළා. මම යද්දි එහේ සාම ගිවිසුම තිබුණත් හමුදා කඳවුරු ළඟට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇවිත් ගල් ගහලා, හූ කියලා යනවා. මහින්දපුර තමයි අපේ මායිමේ අවසාන කඳවුර තිබුණේ. 2006 මාවිල්ආරු අමුණ වහන්නට පෙර සාමාන්‍ය විදිහට පාසල්වල අධ්‍යයන කටයුතු කළා. නමුත් විටින් විට ගම ඇතුළට ඇවිත් පහරදීම්, මිනීමැරීම්, අතපය කැපීම් වගේ කලබල තිබුණා. එකවරක් අපේ ගමම කපලා කොටලා විනාශ කරන්න පැමිණි අවස්ථාවකදී ග‍මේ කෙනෙක් කලින් දැකලා ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. මේ දේවල් නිසා ළමුන්ගේ ගෙදර වෙලා තිබුණේ පාසලයි. හවස් වෙනකල් අපි පාසලේ අමතර පන්ති කළා. යුද්ධය නිසා ගොඩක් ගුරුවරු එන්න බය වුණා. නමුත් මේ අවට තිබුණ පාසල් හය හතම හිටපු ගුරුවරු ළමයින්ට උගන්වන්න අපි වගේම ගොඩක් මහන්සි වුණා. යුද්ධයේ භයංකාරකම තිබියදී ඒ පාසලේ පළමු වතාවට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට "A" සාමාර්ථයක් අරගෙන දුන්නෙත් මමයි.

එක අවස්ථාවකදී අසල්වැසි සෝමාදේවී පාසලේ සේවා සැසියක් පැවැත්වෙද්දී එතනට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වුණා. එයින් අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත් වුණා. ඒ සේවා සැසියට යන්න හිටියේ මමයි. නමුත් සාමාන්‍ය පෙළ පන්තියක් භාරව සිටි නිසා එදා මම වෙනුවට තමයි නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගියේ. ඒ කාලේ කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණාට අපි පාසල් වැහුවේ නැහැ. යුද්ධය දරුණුවටම යද්දි නම් ගොඩක් අය කන්තලේ අග්‍රබෝධි පාසල, අග්‍රබෝධි පන්සල වැනි ස්ථානවල තිබුණු අනාථ කඳවුරුවලට ආවා. ඒ කාලේදී අපි පාසල පැවැත්වූයේ ඒ අනාථ කඳවුරුවල ඉඳලයි. 2006දී ළමුන් සාමාන්‍ය පෙළ ලිව්වේ අනාථ කඳවුරුවල ඉඳලා. එහෙම ලියලා අපේ පාසලේ හොඳම ප්‍රතිඵලය ලෙස A8යි, B1ක් ලබාගත් ශිෂ්‍යයෙක් හිටියා.

අපි සමහර වෙලාවට රෑ දහය එකොළහ වෙනකල් ඉගැන්වීම් කළා. සමහර කාලවලදී එකදිගට මාසයක් විතර විදුලිය නැති වෙලාවල් තිබුණා. මොකද ඒ කාලේ එල්.ටී.ටී.ඊ. ප්‍රදේශ හරහා තමයි විදුලිය ලබාදුන්නේ. එතකොට අපි ලාම්පු, පෙට්‍රෝල් මැක්ස් වගේ දේවල් තමයි පාවිච්චි කළේ. දෙමාපියෝ අපිටත් එක්ක කෑම හදාගෙන එනවා. රෑට එහෙම උගන්වද්දි අපි ළඟ තිබෙන පිහි, කැති වගේ ආයුධ අරගෙන තියා ගන්නවා. මොනයම් විදිහකින් හරි අපිට අනතුරක් කරන්න ආවොත් අපිත් සටනක් කරනවා කියලා හිතාගෙන තමයි හිටියේ. ඒ කාලේදී ගමේ පිරිස, ළමයි, පන්සල හැමෝම පාසල එක්ක ගොඩක් සම්බන්ධයි. ඉගැන්වීම්වලට අමතරව අපි විවිධ කලා උළෙලවල් පැවැත්වූවා. සාම්පූර් මෙහෙයුමේදී හමුදාවේ එක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණේ අපේ පාසල පිටිපස්සේ. එතකොට පාසල පිටිපස්සේ හමුදාවෙන් බංකර් හදලා තිබුණා. ඉතින් එහෙන් කාලතුවක්කු, මල්ටි බැරල් ගහද්දි අපි ළමයි සමග ගිහිල්ලා ඒ බංකර්වල හැංගෙනවා. බිම දිගා වෙලා ඉන්නවා. ඊට පස්සේ ආයෙත් ඇවිත් පන්ති කාමරවල උගන්වනවා. මම ඉගෙන ගන්නා කාලයේදී මට හමුදාවට බැඳෙන්න උවමනාවක් තිබුණා. නමුත් ඒකට ගෙදරින් අවසරයක් ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතාගත්තා ගුරුවරයෙක් වෙලා දුෂ්කර පළාතක උගන්වන්න ඕනේ කියලා. ඒ නිසා මාව විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණත් ඒක ප්‍රතික්ෂේප කරලා විද්‍යාපීඨයට ඇතුළත් වුණා. මගේ පළමු පත්වීම ලැබුණේ මහවැලිගම පාසලට. මගේ තාත්තාත් ගුරුවරයෙක් වුණු නිසා ඔහුත් මට කිව්වා ඒ පාසලට ගිහිල්ලා වැඩ කරන්න කියලා. නමුත් යුද්ධය දරුණුවටම යනකොට අපි සමහර වෙලාවට ගෙදර ගිහිල්ලා දින තුන හතර ඉන්නවා. එතකොට තාත්තා කිව්වා "මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒ ළමයි පවු ගිහිල්ලා වැඩ කරන්න" කියලා. ඒ දේවල් නිසා අපි යුද්ධය එක්ක ජීවත් වෙන්න හුරු වුණා. සමහර දවස්වල මම රෑට පන්සලේ ග්‍රාමාරක්ෂක මුරපොළට වෙලා ඉන්නවා. මැරෙනවා නම් සටනක් කරලා මැරෙනවා කියන පරමාර්ථය තමයි එතකොට අපි තුළ තිබුණේ. මම අදටත් සතුටු වෙනවා මගේ ජීවිතයේ හොඳම කාලේ එවැනි පාසලකට වැඩ කරන්න ලැබුණු එක ගැන. මොකද එහෙම කාලයකදී අපේ පාසල්වලින් ඉගෙනගෙන අද රටේ පිළිගත් තැන්වල රැකියා කරන ළමයි ගොඩක් ඉන්නවා. මම 2008 වසරේදී තමයි එහෙන් ආයෙත් එන්නේ. මම එද්දි ඒ පැත්තේ යුද්ධෙ අවසන් වෙලා නැගෙනහිරත් මුදාගෙනයි තිබුණේ."

එකල සේරුවිල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති නන්දන ප්‍රියංකර මහතා මේ කාලයේ ගමට විශාල සේවයක් කළ අයෙකු බව අපට දැනගන්නට ලැබිණි. මේ ඔහුගේ යුද මතකයන්ය.

"2006දී මාවිල්ආරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් වහනවා. එතකොට සේරුවිල නායක හාමුදුරුවෝ, ප්‍රදේශයේ හිටපු හාමුදුරුවරු සහ ගමේ මිනිස්සු එකතු වෙලා අමුණ අරින්න කියලා කල්ලාර් හන්දියේ උපවාසයක් කරනවා. ඒ වෙලාවේදී මම සේරුවිල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විදිහටයි කටයුතු කළේ. මේ උපවාසය දවස් හතරක් විතර පැවැත්වුණා. ඊට පස්සේ ඒ කාලේදී හිටපු ආරක්ෂක ලේකම්, වර්තමාන ජනාධිපතිතුමා කල්ලාර් කඳවුරේ හිටිය අණදෙන නිලධාරීතුමාට දුරකථන ඇමතුමක් දීලා කිව්වා හාමුදුරුවන්ට උපවාසය නවත්වන්න කියන්නේ අපි සටන ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඒ වචනය විශ්වාස කරලා නායක හාමුදුරුවෝ ඇතුළු පිරිස විසිරිලා ගියා. ඊට පස්සේ දවස් හතරක් විතර යනකල් කිසිම දෙයක් සිදුවුණේ නැහැ. එතකොට සමාජය තුළ රාවයක් ගියා හමුදාව බොරුවක් කළේ, මේක පටන් ගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදි අතුරලියේ රතන හාමුදුරුවෝ, උදය ගම්මන්පිල, පාඨලී චම්පික මහතා ඇතුළු පිරිසක් කල්ලාර් හන්දියට ආවා. එතනට ගමේ මිනිස්සුත් එකවරම එකතු වෙලා හැමෝම මාවිල්ආරු අමුණට යන පාරේ මීටර් දෙසීයක් පමණ දුරට ගියා. මේ සිදුවීම ඉක්මනට නිලධාරීන් ඉහළට දැන්වූවා. ඒ වෙලාවේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ස්ථානගත වෙලා හිටියේ. අමුණ ළඟටම ගියා නම් එයාලා අපිට ගහනවා. ඒ වෙලාවේදී කමාන්ඩෝ බළකායක් අමුණට කිට්ටු කරලා හිටියේ. ඔවුන් සැලසුම් කරලා තිබුණේ ප්‍රහාර එල්ල කරන්න. නමුත් රතන හාමුරුවෝ සහ ගමේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය නිසා එල්.ටී.ටී.ඊ.ය ඒ පැත්තේ ඉඳලා මෙහෙට ලොකු ප්‍රහාරයක් එල්ල කළා. ඒ වෙලාවේදී අපේ කට්ටිය විසිරුණා. ඊටපස්සේ යුද්ධය පටන් ගත්තා. මට හොඳට මතකයි එදා කමාන්ඩෝ නිලධාරීන් තිස් ගාණකට ආසන්න ප්‍රමාණයක් ඒ ප්‍රහාරවලින් මිය ගියා. සේරුනුවර රෝහලේ මිනී ගොඩ ගහලා තිබුණා.

එතකොට දේශපාලන අධිකාරිය විදිහට අපිට සිද්ධ වුණා ඒ වෙලාවේදී සාමාන්‍ය ජනතාව කඳවුරුගත කරන්න. අපි ක්ෂණිකව අනාථ කඳවුරු පටන්ගත්තා. සේරුනුවර සමූපකාරයේ තිබුණු බඩු සියල්ලම අනාථ කඳවුරුවලට ගෙනාවා. දවසක් දෙකක් ගතවෙද්දි රජයෙන් නියෝගයක් ලැබුණා අනාථ කඳවුරු සියල්ලම කන්තලේට ගේන්න කියලා.

කන්තලේට අනාථ කඳවුරු ගෙනයද්දි මමයි, තවත් පුද්ගලයෙකුයි සේරුනුවර නැවතුණා. ඒ තමයි සේරුනුවර රෝහලේ ගිලන්රථය පැදවූ උපනන්ද මහතා. සේරුනුවර රෝහලත් එතනින් ඉවත් කරන්න සිදුවුණා. ඒ වෙලාවේදී උපනන්ද රෝහලේ ගිලන්රථය බලහත්කාරයෙන් තියාගෙන හමුදාවේ සොල්දාදුවන්ගේ මිය ගිය දේහයන් සියල්ලම රෝහලට ගෙන එනවා, හමුදාවේ අයට කෑම බීම ගෙනිහින් දෙනවා. ඒ වගේ වැඩකටයුතු රැසක් සිදුකළා. ඔහු ඇත්තටම විශේෂ පුද්ගලයෙක් විදිහට මතක් කළ යුතුයි. ඒ විදිහට දින දහයක් පමණ යුද්ධය සිදුවුණා. එක දවසක පාන්දර මාවිල්ආරු අමුණේ සිට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. ඒ වෙලාවේදී මම මගේ යතුරුපැදියෙන් කල්ලාර් පන්සලට ආවා. මාවිල්ආරු ඒ ප්‍රහාරයෙන් මිය ගිය සෙබළුන් රැසකගේ දේහයන් ඒ වෙලාවේදි පන්සලට ගෙනාවා. ඒ සමගම මාවිල්ආරු අමුණ ඇරලා වතුර ලබාදෙන්න හැකිවුණා.

මාවිල්ආරු සටන ගැන බොහෝ අය නොදන්න කරුණක් තිබෙනවා. ඒ මාවිල්ආරු සටනේ යුද මෙහෙයුම සැලසුම් කළේ මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා. ඒ වෙද්දි සරත් ෆොන්සේකා මහතාට ප්‍රහාරයක් එල්ලවෙලා රෝහල්ගත කරලා තිබුණ අවධිය. නන්ද මල්ලවආරච්චි මහතා තමයි ඒ වෙලාවේදී යුද හමුදාව මෙහෙයෙව්වේ. ඊට පස්සේ තමයි මූතූර් මෙහෙයුම සිදුකළේ.

මාවිල්ආරු මුදා ගැනීමෙන් පස්සේ ක්‍රමයෙන් සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්වුණා. මිනිස්සු ඇවිත් නැවත ගම්බිම්වල පදිංචි වුණා. ඒ වෙලාවේදී රජයත් ප්‍රබල විදිහට මිනිස්සුන්ට උපකාර කළා. මහින්දපුර කියන්නේ යුද්ධය නිසා අතහැර දාපු ගම්මානයක්. ඒක සම්පූර්ණයෙන්ම ගොඩනගන්න අපට හැකිවුණා. යුද්ධෙන් පස්සේ පාරවල් හදන්න, මිනිස්සුන්ට විදුලිය ලබාදෙන්න, ගෙවල් හදන්න සියලුදේටම රජය ලොකු සහයෝගයක් දුන්නා. එතකොට නැගෙනහිර උදානය, පුරනැගුම, ජයිකා වැනි ව්‍යාපෘතිවලින් යුද්ධෙන් හානි වුණු ගම්මාන දියුණු කළා."

ගොවියෙකු මෙන්ම සමාජ සේවකයෙකු ලෙස සේරුනුවර ගමේ ජීවත් වන ප්‍රියන්ත මහතාගේ මතකයන්,

"මෙහේ දෙමළ, මුස්ලිම්, සිංහල මිනිස්සු එකතු වෙලානේ කුඹුරු කරන්නේ. දෙමළ ගොවියෝ ඒ කාලේදී යල කන්නයේදී කුඹුරු අත්හැරියා. එතකොට අපි කුඹුරු කරද්දි පොඩි පොඩි ප්‍රශ්න මතුවුණා. මාවිල්ආරු වහයි කියලා අපි නිලධාරීන් දැනුවත් කළත්, ඔවුන් ඒක විශ්වාස කළේ නැහැ. ඒ කාලේදී අපි සේරුවිල උගත් බුද්ධිමත් පුද්ගලයන් සමග එකතු වෙලා "සේරුවිල ප්‍රජා සංවර්ධන සහ පුනරුත්ථාපන" කියලා සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒකෙ ගොවි සංවිධානවල අයයි, රජයේ නිලධාරීනුයි හිටියේ. ඒ කාලේදී මට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම සම්බන්ධතා තිබුණා. ඒවායෙන් ලැබෙන ඔත්තු, තොරතුරු මම අපේ සංවිධානයට පවසනවා. ඒ වෙද්දි අපේ ආරක්ෂක අංශවල පොඩි පොඩි දුර්වලකම් පවා තිබුණා. ඒ නිසා අපි කියපු දේවල් ඔවුන් පිළිගත්තෙ නැති මට්ටමක තිබුණේ.

ඔය රාජ්‍ය නොවන සංවිධානවල දෙමළ අයට බඩුමුට්ටු ලබාදීමේ අපි නොදන්න රහසිගත මෙහෙයුමක් තිබුණා. එල්.ටී.ටී.ඊ.ය ලොකුවට ගොඩනැගුණේ ඒ රාජ්‍ය නොවන සංවිධානවල රහසිගත මෙහෙයුම් නිසයි. ඒ අතරේදී තමයි අපිට කුඹුරු ප්‍රශ්නෙ මතුවු‍ණේ. එතකොට එල්.ටී.ටී.ඊ.ය බංකර් ගහලා, තුවක්කු ස්ථානගත කරලා තිබුණා. ඔවුන්ට පැහැදිලි හමුදාවක් හිටියා. මාවිල්ආරු අමුණ කියන්නේ සේරුවිල මිනිස්සුන්ගේ හදවත. ඒක වැහුවට පස්සේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවුණා. එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ හිටියා "එලිඩන්" කියලා නායකයෙක්. සන්නද්ධ අංශයේ හිටියා "ස්වර්ණම්" කියලා කෙනෙක්. මාවිල්ආරු වැහුවට පස්සේ අපි ඒ අය සමග සාකච්ඡාවක් පැවැත්වූවා. එතනදි එයාලා කැමති වුණේ නැහැ මාවිල්ආරු අරින්න. එයාලා කිව්වා පුළුවන් නම් මාවිල්ආරු ඇරගන්න කියලා.

මේ වෙද්දි අපේ කුඹුරු ඔක්කොම මැරෙනවා. මිනිස්සුන්ගේ කණකර ආභරණ හැමදෙයක්ම කුඹුරුවලට උගස් කරලා. මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. ඒ නිසා අපි පිහිටුවා ගත් සංවිධානය ගිහිල්ලා හමුදාව සමග පොඩි පොඩි ප්‍රශ්න ඇති කරගත්තා. එතකොට තමයි මාවිල්ආරු අරින්න කියලා උපවාසය පටන්ගන්නේ. ඊට පස්සේ යුද්ධය පටන් ගත්තට පස්සේ අපි හමුදාවට විශාල වශයෙන් සහයෝගය ලබාදුන්නා. යුද්ධෙ පටන් ගත්තට පස්සේ ගෙවල්වල හිටපු පොඩි ළමයි පවා හමුදාවට උදව් කළා. කුරුම්බා, තැඹිලි, බොන්න වතුර හැමදෙයක්ම අපි හමුදාවට සපයලා දුන්නා. ගමේ මිනිස්සු එතකොට යුද හමුදාව සමග හිටියා. එකපාරක් මම අඳුනන කෙනෙක්ගේ මාර්ගයෙන් හමුදාවට දෙන්න බිස්කට් තොගයක් ගෙන්වා ගත්තා. ඒක අරගෙන යද්දි කල්ලාර් හන්දියේ පාරේ අයිනට ආටියක් වැටුණා. ඒ වෙලාවේ අපිත් එක්ක ගිය කෙනෙකුගේ සරම උඩට ආටියක කෑල්ලක් වැටුණා. මගේ බයික් එක උඩටත් කෑල්ලක් වැටුණා. මට පැනගන්නත් බැරි වුණා.

ඔය කාලෙදී ගමේ මිනිස්සු සමහර වෙලාවට කැලෑවල්වල නුග ගස් යට හැංගිලා හිටියා. බංකර් හදාගෙන හිටියා. මුල් කාලෙදි කුඹුරු කරද්දි එහෙම කොටි ඇවිත් අපෙන් රුපියල් පන්සීයකුයි වී මිටියකුයි කප්පම් විදිහට අරගන්නවා. අපි බයට ඒවා දුන්නා. ඊට පස්සේ අපි එල්.ටී.ටී.ඊ අයට උදව් කරනවා කියලා හමුදාවෙන් ප්‍රශ්න ආවා. කප්පම් දීපු නැති මිනිස්සුන්ව කුඹුරට ඇවිත් පැහැරගෙන යනවා. ගෙනිහින් ලක්ෂ පහක විතර මුදලක් ඉල්ලනවා. සල්ලි තිබුණු අය කප්පම් දීලා බේරාගත්තා. එහෙම බැරි අයව මරලා දාලත් තිබුණා. පත්තරවලට කියන්න බැරි සිද්ධි ගොඩක් තිබෙනවා. ඒ වෙලාවෙදි මිනිස්සු ළඟ අපේ කියන හැඟීම තිබුණා. ඒ මත තමයි මාවිල්ආරු දිනාගන්න පුළුවන් වුණේ. නැගෙනහිර මානුෂීය මෙහෙයුම ඔය විදිහට ගොඩනගන්න ආණ්ඩුවට හැකිවුණේ සේරුවිල ජනතාවගෙන් ලැබුණු සහය නිසයි."

මෙකී නොකී කතා රැසක් සේරුනුවර, උතුර, නැගෙනහිර සහ ලංකාව පුරාම ඇත. ඒවා කාලයාගේ ඇවෑමෙන් සමාජ කතාබහෙන් ඈත් වුවත් ඒවාට මුහුණ දුන් පුද්ගලයන් තුළ ඒ මතකයන් සදාකල් රැඳී පවතිනු ඇත.



Recommended Articles