2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.
පසුගිය වසරවල අපට නිරන්තරයෙන් කතා කරන්නට, අවධානය ලබාදෙන්නට සිදුවූයේ ස්වාභාවික පරිසර පද්ධතීන්වලට සිදුවුණු හානිය පිළිබඳවය. විශේෂයෙන් වනාන්තර විනාශය, වනජීවි කලාප විනාශය, තෙත්බිම් ගොඩ කිරීම, මුහුදු තීර විනාශ කිරීම වැනි දෑ පිළිබඳවය. පාරිසරික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒවා එක් පැත්තක තිබෙන ගැටලු පමණි. සැබැවින්ම ස්වාභාවික පරිසර පද්ධතීන් විනාශ වුවහොත් නුදුරු අනාගතයේදී පරිසරයේ තිරසරභාවය ගිලිහී යනු ඇත. එමෙන්ම වසර ගණනාවක් පුරාවට විශාල වශයෙන් කතාබහට ලක්වූ, තීන්දු තීරණ නොගත් ගැටලු කිහිපයක්ද රැගෙන එළඹෙන 2021 වසරට අපි ගමන් කරන්නෙමු.
කිසිවෙකු නොදකින පාරිසරික ගැටලු
ලංකාවේ දේශගුණික විපර්යාසයන් පිළිබඳව, රසායනික දූෂණය පිළිබඳව, කැළිකසළ පිළිබඳව, විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව, කෘමිනාශක සහ වල්නාශක භාවිතය වැනි පාරිසරික ගැටලු පිළිබඳව මාධ්‍යයේ පවා කතා කෙරෙන්නේ ඉතා අඩුවෙනි. එබැවින් ජනතාවට මෙවැනි දේ පිළිබඳව ඇති දැනීම සහ සංවේදීභාවය ඉතා අඩුය. වන විනාශය, ජල පද්ධති විනාශය වැනි දේ කෙටිකාලීන ගැටලු ලෙස මතුව දිගුකාලීනව බලපෑම් කරන ගැටලුය. කෘත්‍රිම රසායනික ද්‍රව්‍යවලින් ආහාර විනාශ කිරීම, පොහොරවලට රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් කෘෂිකර්මාන්තය විනාශ කිරීම වැනි ගැටලු කෙටිකාලීනව සිදුවන සෞඛ්‍යමය ගැටලු වේ. එමෙන්ම වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබවඳව සොයා බැලීමට නොහැකි වී තිබේ. විශේෂයෙන් මෙම කෝවිඩ් සමයත් සමග සිදුකළ විමර්ශනවලදී වතු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පවා සුභදායී තත්ත්වයක නොමැති බව හෙළිදරව් විය. ඔවුන් තවමත් එකම වැසිකිළිය භාවිත කරයි. දශක ගණනාවක් පුරාවට ඔවුන් මුහුණ දෙන ගැටලු තවමත් එලෙසින්ම පවතී. එමෙන්ම කොළඹ නගරයේ කැළිකසළ එකතු කරන සේවකයන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව සොයා බලා නොමැත. ඔවුන්ගෙන් වැඩි පිරිසකට සෞඛ්‍යාරක්ෂිත උපකරණ, මුහුණු ආවරණ, පිරිසුදු කිරීමේ ද්‍රාවණ ලබාගැනීමට හැකියාවක් නොමැත. ඒවා සෘජුව බැලූ විට හරිත ප්‍රශ්න ලෙස පෙනී නොගියද වක්‍රාකාරයෙන් ඒවා හරිත ගැටලුවලටද හේතු වේ. මෙහිදී විශේෂයෙන් රට ආර්ථික අවපාතයකට ගමන් කිරීමේදී, ණය බරින් මිරිකෙන විට රටේ පොදු ජනතාවගේ පොදු පහසුකම් වෙනුවෙන් වැය කෙරෙන මුදල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටෙන බව දක්නට ලැබේ.
එමෙන්ම මෙවැනි ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේ හෝ කතා නොවීම කණගාටුවට කරුණකි. ජනමාධ්‍යයෙන් හෝ සමාජ මාධ්‍යයෙන් කතාබහට ලක්වන පාරිසරික හානි පිළිබඳව ඒ අවදියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා විනා, වක්‍රාකාරයෙන් ඇතිවන පරිසර ගැටලු පිළිබඳව ඔවුන් නොදනී.
වක්‍ර පරිසර ගැටලුවක් වන රසායනික දූෂණය
ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලුම වර්ගයේ පළිබෝධනාශක, වල්නාශක සියල්ලම ගෙන්වන්නේ විදේශ රටවලිනි. ලංකාවේ නිෂ්පාදනය වන කාබනිකනාශක වර්ග භාවිත කිරීම දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. කාබනික පොහොර භාවිතයද දක්නට ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. වගාවන් සඳහා පැමිණෙන ලෙඩ රෝගවලට හොඳම වල්නාශකය කුමක්ද යන්න තීරණය කරන්නේ වෙළෙඳ සැල් හිමියාය. ඔහු සිදුකරන්නේ ඔහුගේ ව්‍යාපාර වැඩි කර ගැනීම මිස, වෙන කිසිවක් නොවේ. සාමාන්‍යයෙන් වගාවට අවශ්‍ය කෘෂි පොහොර හෝ වල්නාශක පිළිබඳව උපදෙස් ලබාදිය යුත්තේ කෘෂි උපදේශකවරුන්ය. නමුත් වර්තමානයේ එලෙස උපදෙස් දිය හැකි කෘෂි උපදේශකවරු සිටින්නේ අතළොස්සකි. එම ව්‍යුහයම අද වන විට සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙනු දක්නට ලැබේ. එලෙස වූ විට ගොවියා අසරණ වී වෙළෙඳ මහතුන් ලබාදෙන පොහොර කිසිදු සොයා බැලීමකින් තොරව වගාවන්ට එකතු කරයි. ඇතැම්විට වෙළෙඳ මහතුන්ගේ කීම අසා බෙහෙත් වර්ග කිහිපයක් කවලම් කර වගාවන්ට එකතු කර වගා හානි වූ අවස්ථාද වියළි කලාපය තුළ දැකිය හැක. එමෙන්ම නැවතත් වගාවන් සඳහා හානි ගෙන එන සේනා දළඹු ගැටලුව මේ වනවිට ගොවියාට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් දක්වා ඔඩු දුවා ඇත. එවැනි තත්ත්වයකදී ගොවීහු තවත් වනාන්තර විනාශකොට සේනා දළඹුවා හානිකරන එවැනිම වගාවන් සිදුකරති. සේනා දළඹුවාගෙන් සිදුවන හානිය වළක්වා වෙනත් වගාවක් සඳහා උපදෙස් දීමට හැකි කෘෂි උපදේශකවරුන් නැත.
පසුගිය කාලය පුරාවට විශාල පිරිවැයක් දරා කාබනික වගාවන් නිර්මාණය කරනු දක්නට ලැබිණි. නමුත් එම වගාවන් ඉන්පසුව තිරසාර ලෙස පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට නිලධාරීන් සමත් වී නොමැත. එබැවින් එම කාබනික වගාවන්ද මේ වනවිට ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබේ. එමෙන්ම එය පෞද්ගලික ආයතන අතට පත්ව තිබේ. නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නොමැති වීම ඉහත ගැටලු සියල්ලටම ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක.
වගාවකට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙන් සිව් ගුණයක් වැඩියෙන් පොළොවට පොහොර එකතු කරන එකම රට ලංකාවය. එමෙන්ම අක්කරයකට ටොන් පනහක් වැනි ප්‍රමාණයක් යොදන අතර, වර්ෂා කාලයට සෝදාපාළු වී යයි. තවද ඵලදාව නොමැති තේ ඉඩම්වලට කිසිදු විකල්පයක් නොමැත. කඳුකර පද්ධති විනාශකොට වගා කිරීම තවදුරටත් දරාගත හැකිද? එවැනි දෑ වළක්වා ගැනීමට ක්‍රමවේදයක් අවශ්‍යය.
කිසිදා වෙනස් නොවන ප්ලාස්ටික්, පොලිතින් තහනම
ජනවාරි මස සිට පොලිතින් වර්ග සහ ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කිරීමට ගත් යෝජනාව වසර පහළොවක් පමණ තිස්සේ පරිසර සංවිධාන සාකච්ඡා කළ ගැටලුවකි. නව රජයේ පරිසර අමාත්‍යවරයා පත් වූ වහාම පැවසුවේ එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් වර්ග සියල්ල ඉක්මනින්ම තහනම් කරන බවයි. නමුත් එය මේ වනවිට සෙල්ලම් භාණ්ඩ, පුම්බන බැලුම්, සැෂේ පැකට් වර්ග ඇතුළු ප්ලාස්ටික්, පොලිතින් වර්ග හයකට පමණක් සීමා වී ඇත. ජනවාරි වලදී ඒවා තහනම් කිරීමට පියවර ගන්නවා යැයි පැවසුවද මේ වන තෙක් එය ගැසට්කර නොමැත. ගැසට් කළ විට පෞද්ගලික ආයතන ප්‍රධානීන් වෙළෙඳ පොළේ තිබෙන නිෂ්පාදන අවසන් කරගන්නාතුරු කාලය ඉල්ලා තීරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙනු ඇත. 2017 වසරේදීද එවැනිම ගැටලුවක් පැන නැගිණි. එවරද වෙළෙඳ ආයතන සිය නිෂ්පාදන අවසන් වනතුරු කාලය ඉල්ලා සිටියේය. එවැනි ක්‍රියා හේතුවෙන් එම ගැසට් අදටත් නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙයි. එම ගැටලුවම ජනවාරි මාසයේදී තහනම් කිරීමට බලාපොරොත්තු වන ප්ලාස්ටික්, පොලිතින් තීරණයටද බලපාන බව අපට සිතිය හැක.
දේශපාලඥයන්ට හිඟන්නාගේ තුවාලයක් වුණු කැළිකසළ ගැටලුව
කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත ශාලා 7000කට අධික ප්‍රමාණයක් තිබේ. නමුත් 2018 වසරේ විගණකාධිපති වාර්තාව දක්වන පරිදි කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත ශාලා 10,511ක් තිබේ. ඉන් බොහෝමයකට බලපත්‍ර පවා නොමැත. එම කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍ය කළමනාකරණයට නිසි සැලැස්මක් නොමැත. එම අපද්‍රව්‍ය සෘජුවම කැලණි ගඟට එකතු වේ. එමෙන්ම මළ අපද්‍රව්‍ය, අපජලය මුහුදට පොම්ප කිරීම කිසිදු කළමනාකරණයකින් තොරව සිදුවේ. ඒවාට නීති මාර්ගයෙන් හෝ කටයුතු කිරීමට පාලනාධිකාරිය අපොහොසත් වී ඇත. සැබැවින්ම නීති පද්ධතිය සාධාරණ ලෙස සකස්කොට තිබුණත්, එම නීතීන් බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු පරිසර නිලධාරීන් විසින් සිදුකිරීම ප්‍රමාණවත් නැත.
රටට විද්‍යාත්මක කසළ ප්‍රතිපත්තියක් සකස් විය යුතු බවට 2017 වසරේ සිටම පරිසර යුක්ති කේන්ද්‍රය සහ පරිසරවේදීන් හඬ නැගූහ. එය සිදුවූයේ 2017 වසරේ සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමගය. ඉන් අනතුරුව විද්‍යාත්මක කසළ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට පරිසර අමාත්‍යාංශයේ කැමැත්ත හිමි වූ අතර, වසර දෙකක් පමණ මහන්සි වී නිර්මාණය කළ පරිසර ප්‍රතිපත්තිය එකල රජයෙන් කැබිනට් අනුමැතිය ලබාගැනීමට යැවූ පසු බොහෝ අමාත්‍යවරු ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. එවකට මහනගර සංවර්ධන අමාත්‍යවරයා වූ පාඨලී චම්පික අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා වෙනමම කසළ කළමණාකරණ අධිකාරියක් පිහිටුවිය යුතු බවය. අද වන විට කසළ කළමනාකරණය පිළිබඳව වගකීම ආයතන රැසකට පැවරී තිබෙන අතර, ඉහත යෝජනාව තුළින් කසළ කළමනාකරණය තනි පාලනයක් යටතට ගෙන එනු ඇත. සැබැවින්ම එය ඉතා හොඳ සංකල්පයකි. නමුත් නව රජය පැමිණි පසු එම ප්‍රතිපත්ති සියල්ලම කුණු කූඩයට දමා ඇති බව දැකිය හැක. කුමන ආණ්ඩුවක් පැමිණියද කසළ යනු කාලයක් තිස්සේ පොදු ජනතාව මුහුණ දෙන විශාල ගැටලුවකි. මන්ද කැළිකසළ යනු ඕනෑම ආණ්ඩුවක දේශපාලඥයන්ට පොහොසත් වීමට හැකි විශාල ඉල්ලමකි. විශාල ව්‍යාපාරයකි. කැළිකසළ ගැටලුව රටේ දේශපාලඥයන්ට හිඟන්නාගේ තුවාලයක් සේය. එම නිසා නව වසරකට පිවිසීමේදී එවැනි දේ පිළිබඳවත් අප දෙවරක් සිතා බැලිය යුතුය.
(විශේෂ ස්තූතිය - පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, පරිසරවේදී හේමන්ත විතානගේ මහතාට)