ගිනි ගැනීමකට ලක්ව, ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රවාහනය කළ බහාලුම්වල අඩංගු වූ විෂ රසායන හා ප්ලාස්ටික් නර්ඩ්ස් නිසා මේ වනවිට දැවැන්ත පරිසර හානියක් සිදුව අැත. මෙම තත්ත්වය මත මුහුදු ආහාර පරිභෝජනය සම්බන්ධයෙන්ද යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇතිවේ යැයි මත පළවේ. ශ්‍රී ලංකා ආහාර විද්‍යා හා තාක්ෂණ ආයතන මගින් සංවිධානය කළ %ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා ආහාර ආරක්ෂිතතාව^ නමින් වූ සූම් සංවාදයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සම්මානිත මහාචාර්ය උපාලි සමරජීව මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.
නැවෙන් මුහුදට එකතු වූ ද්‍රව්‍ය
නැවෙන් මුහුදට වැටුණා යැයි සැලකෙන ද්‍රව්‍ය අතර ද්‍රව්‍ය වර්ග 200ක් පමණ තිබෙන බව සඳහන්. ඒ අතර කන්ටේනර 81ක අන්තරාකාරී ද්‍රව්‍ය තිබුණු බව පෙන්වා දී තිබෙනවා. මේ ද්‍රව්‍ය ලැයිස්තුව කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි.
1. ද්‍රාව්‍ය (ජලයේ මිශ්‍ර වන)
l නයිට්‍රික් අම්ලය
l කොස්ටික් සෝඩා අධික
l මෙතනෝල්
l සෝඩියම් මෙතොක්සයිඩ්
l දහන තෙල් (මිශ්‍ර වේ)
l යූරියා
l මොලිබ්ඩික් අම්ලය
l Vinyl acetate දියර
මෙම ජලයේ මිශ්‍ර වන ද්‍රව්‍ය පැයකින් දෙකකින් හෝ දින කිහිපයකින් ජලයට මිශ්‍ර වී තනුක වී බෙදී යයි. සිදුවීම සිදුවූ මොහොතේ යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුවද මේවායෙන් අනාගතයේ ප්‍රශ්න ඇති නොකරයි. ඒ අනුව අවධානය යොමු කළ යුත්තේ අද්‍රාව්‍ය ඒවා ගැනය.
2. අද්‍රාව්‍ය (පාවෙන, ගිලෙන)
l සුවඳ විලවුන් (Cd?, Cr?)
l විවිධ හැඩ හා පරිමා ප්ලාස්ටික් වර්ග
( HDPE,LDPE) ප්‍රාථමික
l බාල කෘත්‍රිම රබර්
l ඊයම්, සල්ෆර්, තඹ, ඇලුමිනියම්
l සනීපාරක්ෂක භාණ්ඩ වර්ණක
l අකාබනික රසායන
l Vinyl copolymer resin
මෙහි සුවඳ විලවුන්වල කැඩ්මියම්, ක්‍රෝමියම් වැනි විෂ රසායන අඩංගු විය හැකිය. ඒවායෙන් මත්ස්‍යයන්ට බලපෑම් සිදුවී, මත්ස්‍යයන් ආහාරයට ගන්නා මිනිසුන්ටද බලපෑම් සිදුවිය හැකිය. ඒ අනුව මේ නැවේ තිබුණු විලවුන් ද්‍රව්‍යවල කැඩ්මියම්, ක්‍රෝමියම් වැනි දේවල් අඩංගු වෙලා තිබුණාද? ඒවා නැව ගිලුණු ප්‍රදේශය ආශ්‍රිත ජලයේ මිශ්‍ර වී තිබෙනවාද? යන්න පරික්ෂා කර බැලිය යුතු වේ. අදාළ පරීක්ෂණවලින් එවැනි රසායන මිශ්‍ර වී නැති බවට තහවුරු වේ නම් අපට සතුටු විය හැකිය. මීළඟට ප්ලාස්ටික් වර්ග ද්විත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒවා ප්‍රාථමික තත්ත්වයේ පවතින ප්ලාස්ටික් බව කිව යුතුයි. ඒවා කිසිදු ආකාරයකට භාවිතයට නොගත් ඒවා වේ. සාමාන්‍යයෙන් ගංගාවලින් මුහුදට එකතුවන ප්ලාස්ටික් හා මෙම ප්ලාස්ටික් අතර විශාල වෙනසක් පවතී. විශේෂයෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය හා මුහුදට, මත්ස්‍යයන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් වෙනස්කම් දැකගත හැකිය. මීළඟට නැවේ තිබුණු රබර් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බව පෙනී යයි. ඊයම්, සල්ෆර්, තඹ, ඇලුමිනියම් තොග යම් ප්‍රමාණයක් තිබුණා යැයි සඳහන් වේ. මෙහිදී ඊයම් පිළිබඳ අවධානය යොමුකරන විට මුහුදු ජලයට හා මුහුදු ජීවින්ට ඒවායෙන් හානිදායක තත්ත්වයන් ඇතිවිය හැකිය. මීළඟට සනීපාරක්ෂක වර්ණක පිළිබඳ අවධානය යොමු කළහොත් මේවා ආහාරයට නුසුදුසු බව කිව හැක. මේවායේ විවිධ ලෝහ වර්ග, විවිධ බැරලෝහ, විවිධ හානිකර ලෝහ අඩංගු විය හැකියි. මේවා සුළු ප්‍රමාණයකින් මිශ්‍ර වුණොත් යම් දරා ගැනීමක් සිදුකළ හැක. නමුත් අධික ප්‍රමාණයක් මිශ්‍රව ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. නැවේ අඩංගු වූ අකාබනික රසායන සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු නොමැත. මේ අනුව අද්‍රාව්‍ය දේවල් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
ජලයේ දියවන නැත්නම් මිශ්‍ර වන ද්‍රව්‍ය තනුක වී විසිරී ගියද, ජලයේ දිය නොවන රසායනික මුහුදු පතුලේ, මුහුදු ජීවීන් මත තැන්පත් විය හැකියි. එසේ නැතහොත් පාවීම සිදුවේ. ඒ කුමන ආකාරයකින් වුවත් අපේ ආහාර දාමයට මෙම ද්‍රව්‍ය ඇතුළු වීමේ හැකියාවක් ඇත. මේ නිසා ලෝහමය රසායනික ආහාර දාමයට ඇතුළු වීම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම ඉතාම වැදගත්.
ප්ලාස්ටික් බීඩ්ස් හා මයිෙක්‍රා ප්ලාස්ටික්
මයික්‍රො ප්ලාස්ටික් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය භාවිත නොකළ අලුත් මයික්‍රො ප්ලාස්ටික් නිසාම %නව මයික්‍රො ප්ලාස්ටික්^ ලෙස එය නම් කිරීමට කැමතියි. මෙහිදී භාවිත නොකළ හා භාවිතයට ගත් ප්ලාස්ටික් අතර ගතිගුණ වෙනස් බව දැකගත හැකියි. විශේෂයෙන් පරිසරය හා ගැටීමේදී වගේම පරිසරයේ තිබෙන දේවල් එකතු කර ගැනීමේදී පැහැදිලි වෙනසක් මේ දෙක තුළ තිබේ. මේ ප්ලාස්ටික්වල ඉතා කුඩා කැබලි එක්තරා ප්‍රමාණයක් මසුන් තුළට ඇතුල් විය හැකියි. නමුත් වඩා භයානක වන්නේ මේ කුඩා ප්ලාස්ටික් කැබැලිවලට යම් යම් දේවල් උරාගෙන මත්ස්‍යයන්ගේ ශරීරයට ඇතුල් වී ඒවා උන්ගේ ශරීරයට නිදහස් වෙන්න හැකියාවක් තිබීම. එලෙස නිදහස් වන දේවල් මාළුවාගේ ශරීරයට උරා ගන්නා නමුත් ප්ලාස්ටික් උරා ගැනීමට ලක් නොවේ. මේ සඳහා තිබෙන පර්යේෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී විවිධ ක්ෂේත්‍රවල සිදුකළ පර්යේෂණ තොරතුරු අනුසාර කර ගැනීමට සිදුවේ.
නැව සම්බන්ධ ගැටලුවේදී ලංකාව මුහුණ දෙන්නේ මේ නව ප්ලාස්ටික් නැත්නම් භාවිත නොකළ ප්ලාස්ටික් සාගරයට එකතු වීම සම්බන්ධයෙනි. සඳහන් වන කරුණු අනුව ප්ලාස්ටික් කැටිති නැත්නම් නව මයික්‍රො ප්ලාස්ටික් බුබුළු මෙට්‍රික් ටොන් 78ක් නැවේ අඩංගු වී තිබේ. මයික්‍රො ප්ලාස්ටික් යනු ඇසට නොපෙනෙන මයික්‍රො මීටර 1ක ප්‍රමාණයේ සිට මිලිමීටර 5ක් දක්වා වන ප්‍රමාණයි. පසුගිය දිනවල වෙරළට ගොඩ ගැසූ නැත්නම් ඇසට පෙනෙන ප්ලාස්ටික් කැට එකතු කරනු දැකගත හැකි විය. නමුත් ඇසට නොපෙනෙන ඒවා එකතු නොකෙරේ. එමෙන්ම මේ ඇසට පෙනෙන ඒවායෙන් ඇසට නොපෙනෙන ඒවා කොපමණ නිපදවේද යන්නද අවිනිශ්චිතය.
නැවේ අඩංගු වූ මයික්‍රෝ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 78 පිළිබඳ මූලාශ්‍ර දෙස අවධානය යොමු කිරීමේදී
HDPE මලු (කෝට්ට) = 2940
LDPE මලු (කොට්ට) = 4760ක් ලෙස මලු 7700ක් තිබී ඇත. මේ මලු 7700ක මෙට්‍රික් ටොන් 78ක් අඩංගු වී තිබුණේ නම් එක් මල්ලක අඩංගු වන ප්‍රමාණ ගණනය කිරීමට හැකිය. ඒ අනුව ගණනය කිරීම් අනුව බෑගයක අඩංගු කිලෝග්‍රෑම් ප්‍රමාණයත් සමග තොරතුරු නිවැරදිද යන්න පිරික්සිය හැකිය.
තවද කාපට් රෝල් (කෘත්‍රිම?) -1089ක් අඩංගු වූ බව පැවසේ. මෙවැනි කාපට් බොහෝවිට නිෂ්පාදනය කරන්නේ නයිලෝන් ආශ්‍රිත සංයෝගවලිනි. ඒ අනුව නයිලෝන්ද පරිසරයට එකතු විය හැකිය.
සාගරයට එකතු වන පොලිතින් මලු, ප්ලාස්ටික් බෝතල් හා ප්ලාස්ටික් කැබලි, නයිලෝන් මාළු දැල්, සෝදන ඇඳුම් ආදියෙන් නයිලෝන් සාගරයට එකතු වේ. එලෙස නයිලෝන් සාගරයට එකතුවීමට කොපමණ කාලයක් ගතවනවාද යන්න අවිනිශ්චිතය. මේවා හිරුකිරණ, පාරජම්බුල කිරණ හා එකිනෙක ගැටීම නිසා දිරාපත් වී මයික්‍රො ප්ලාස්ටික් බවට පත්වීම සිදුවේ. ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා ඇතිවූ තත්ත්වය තවදුරටත් නරක අතට හරවා ඇත.
ඇති විය හැකි භයානක තත්ත්වය
පරිසරයට එකතු කරන ප්ලාස්ටික්වලට වැඩි හැකියාවක් තිබෙන්නේ අයනික දෑ උරා ගැනීමටය. නැවෙන් එකතු වූ භාවිතයට නොගත් ප්ලාස්ටික්වලට අයනික නොවන කාබනික ඝනයට අයත් සංයෝග, විෂ සංයෝග උරාගන්නට ඇති හැකියාව ඉහළය. ඒ අනුව මෙහි චක්‍රයක් දකින්නට හැකිය. එනම් අපි පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ක්‍රමයෙන් මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත්ව, මාළුන්ගේ ශරීරයට එකතුවී මිනිසුන්ෙග් ශරීරගත වෙනවා කියන මතය ගත්ෙතාත්.
මයික්‍රෝ ප්ලාස්ටික් විවිධ ආකාරයෙන් මුහුදු ජලයේ අඩංගු විය හැකියි. තන්තු ආකාරයෙන්, කුඩා කැටිති ආකාරයෙන් හෝ විවිධ හැඩයන්ගෙන් තිබිය හැකියි. මේවා විවිධ ජීවීන් විසින් ආහාරයට ගනී. ඒ අනුව මේවා ජීවීන් සමග සම්බන්ධ වීමෙන් පසු පරිසරයට එකතුවන්නේ ගොඩවල් ලෙසය. එලෙස මයික්‍රෝ ප්ලාස්ටික් පරිසරයට එකතු වූ විට ප්‍රශ්නකාරී තත්ත්ව ඇතිවිය හැකියි. ඒ අනුව පවතින තත්ත්ව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව මතුවෙයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට හා තවත් ආයතන කිහිපයකට මේ පිළිබඳ පර්යේෂණ පවත්වන්නට හැකියාව පවතී. පරිසරයට එකතුවෙන මේ ක්ෂුද්‍ර මයික්‍රෝ ප්ලාස්ටික්වලට විවිධ දේවල් රැගෙන යා හැකිය. ඒ අනුව මේ ප්ලාස්ටික් වාහකයන් බවට පත්වෙන්න පුළුවන්. ඒවාට මුහුදේ තිබෙන විෂකාරී බැක්ටීරියාවන් වාහනය කළ හැකියි. විවිධ දූෂක ද්‍රව්‍යයන්, රසායනික වාහනය කළ හැකියි. ක්ෂුද්‍රජීවීන් මේවායේ වැවෙන්න පුළුවන්. ඒ අනුවක් ක්ෂුද්‍රජීවීන්ට ජීවත් වෙන්න අලුත් පරිසරයක් බවට මේ මයික්‍රෝ ප්ලාස්ටික් පත්වේ.
මේ හේතූන් නිසා නැවෙන් මුහුදට එක්වූ සියලුම මයික්‍රෝ ප්ලාස්ටික් ඉවත් කළාද? යන්න පිළිබඳ සැලකිලිමත් වීම වටී. වෙරළට ගොඩගැසූ ප්ලාස්ටික් කොපමණ ඉවත් කළාද? තව කොපමණ මුහුදේ තිබෙනවාද? ගිලුණු නැවේ කොපමණ ප්‍රමාණයක් ඉතිරි වී ගිලුණාද? ප්ලාස්ටික් අඩංගු බෑග් ගිලී ඇත්නම් ඒවා ක්‍රමයෙන් කැඩී නැවත නැවත එළියට ආ හැකිය. ඒ අනුව මෙලෙස එකතු වෙන ප්ලාස්ටික් කැටිති දෛනිකව එකතු කරනවාද? යන ගැටලු මතුවේ.
ඉහත හේතු නිසා ඇහැට නොපෙනෙන මයික්‍රෝ ප්ලාස්ටික් තව තවත් සාගරයට එකතු විය හැකියි. එය ගැටලුකාරී විය හැක. මේ නිසාම මේ පිළිබඳව සූක්ෂම දැනුම ඇති අය සමග සාකච්ඡා කර අලුතෙන් ඇතිවිය හැකි ගැටලු පිළිබඳ දැනුම්වත් වීම වටී.
ප්ලාස්ටික් කැටිති මුහුදේ තිබෙන ප්‍රමාණය, මුහුදේ තිබෙන අනෙකුත් ද්‍රව්‍යවල ප්‍රමාණය අනුව, හිරුඑළිය ලැබෙන ප්‍රමාණය අනුව මේ කැටිතිවලින් වන බලපෑම අවුරුද්දක් හෝ දෙකක් පමණ විය හැකි බව කිව හැකියි.
ඇතැම් ජීවීන් ප්ලාස්ටික් කැටිති ගිල දැමිය හැකියි. ඒ හරහා ආහාර දාමයට එකතු වී මනුෂ්‍ය ශරීරයට මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු විය හැක. එමගින් එක්තරා අයුරෙන් ජීවීන් විනාශ වීමට, ජීවීන්ට හානිකර තත්ත්ව ඇති වීමට, ආහාර දාමයට හානි වීමට වගේම එමගින් මනුෂ්‍යයන්ට හානි වීමට ප්‍රවණතාවක් තිබේ. මෙම කරුණු යමෙකු බියවැද්දීමට ඉදිරිපත් නොකරන අතර, මේ පිළිබඳ අවධානය යොමු කර කල් ඇතිව පියවර ගෙන භයානක තත්ත්ව ඇතිනොවෙන්නට පියවර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන්නකි.
ෂොපින් බෑගයක් කැබලිවලට වෙන් වී දිරාපත් වීමට ගතවන කාලය අවුරුදු දෙකක් පමණ වේ. ප්ලාස්ටික් තන්තු දිරාපත් වීමට අවුරුදු 200කට වැඩි කාලයක් ගත වේ. නැවෙන් එකතුවූ ප්ලාස්ටික් තිබුණේ කැටිති ලෙසය. මේ කැටති දිරාපත් වෙන්න ගතවන කාලය ඉතා වැඩියි. ඒ සඳහා අවුරුදු 100ත් 1000ත් අතර කාලයක් වුවද ගත විය හැකියි. ඒ අනුව මේ කැටිති මුහුදෙන් ඉවත්කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයකි.
මුහුදු ජීවීන්ගේ ශරීරගත වන මයික්‍රෝ ප්ලාස්ටික්
මොලෙස්කාවන් ලෙස හැඳින්වෙන සත්ත්වයන්, විශේෂයෙන් බෙල්ලන් වැනි සත්ත්වයන් විශාල වශයෙන් මුහුදු ජලයේ තිබෙන දෑ උරාගනු ලබයි. මෙලෙස බෙල්ලන් උරාගන්නා දේවල්වලින් 95෴ක් උන්ගේ ශරීර අභ්‍යන්තර මෘදු පටක තුළ තැන්පත් වේ. ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්වයන්ද ආහාර ගන්නා ආකාරය වෙනස් නිසා උන්ගේත් මේවා තැන්පත් විය හැකියි. ඒ නිසා උන්ගේ සිරුරු තුළ මේ මයික්‍රෝ ප්ලාස්ටික් තැන්පත් වීමට ඇති ප්‍රවණතාව ඉතා ඉහළයි. මෙම මයික්‍රො ප්ලාස්ටික් කැබලි වසරකට කොපමණ ප්‍රමාණයක් උන්ගේ ශරීරයට ඇතුළු වෙනවාද යන්න සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ වාර්තා පවතී. එම වාර්තා අනුව බලන විට බෙල්ලන්, ඉස්සන්, කකුළුවන්ගේ සත්ත්ව මාංසවල මයික්‍රෝ ප්ලාස්ටික් කොටස් අඩංගු විය හැකියි. ඒ අනුව බෙල්ලන්, කකුළුවන් ඉස්සන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතුය. මෙය මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බලන විට වෙනස් වේ.
මුහුදේ තිබෙන බැරලෝහ උරාගැනීමට ඇතැම් මුහුදු පැළෑටි හා මත්ස්‍යයන්ට හැකියාවක් ඇත. මුහුදු පැළෑටිවලින් උරාගන්නා බැරලෝහ මත්ස්‍යයන්ගේ ශරීර තුළට ඇතුළු වේ. ලෝකයේ සෑම මුහුදකම මෙවැනි දේ සිදුවේ. ඉන්දියන් සාගරයේ පමණක් නොව අත්ලාන්තික් සාගරයේ, පැසිෆික් සාගරයේ සිටින තලපත් හා සප්පරා මසුන් වර්ගවල අඩංගු කැඩ්මියම් ප්‍රමාණයන් පසුගිය වර්ෂ 10ක කාලය තුළ ක්‍රමයෙන් ඉහළ ගොස් තිබීම ප්‍රශ්නයක් බවට පත්ව ඇත. යුරෝපා හවුලට අයත් රටවලින් සප්පරා මසුන් බොහෝ අවස්ථාවල භාර නොගන්නා තත්ත්වයක් මතු වී තිබේ. පැවැති තත්ත්වය මෙසේ නම් ප්ලාස්ටික් වැනි දෑ සාගරයට එකතු කරද්දී ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වටී.
නැව සම්බන්ධයෙන් යළි අවධානය යොමු කළහොත් එහි ඊයම්, ඇලුමිනියම්, තඹ අඩංගු බව සඳහන්ය. මේවා කොපමණ ප්‍රමාණයක් ජලයට එකතු වුණාද? ඒවා ජලයට මිශ්‍ර වුණා නම් මුහුදු ජලයේ කොපමණ අඩංගුද? මුහුදු ජීවීන්ට මේවා ඇතුළු වුණා නම් ඒ කොපමණද? ආදිය පිළිබඳ විද්‍යාත්මකව විශ්ලේෂණය කළ යුතුය. ඒ අනුව අද මුහුදු ජීවීන්ව විශ්ලේෂණය කළේ නම් තව මාසයකින්, යළි මාස දෙකකින් ලෙස මුහුදු ජීවීන්ව විශ්ලේෂණය කළ යුතු වේ. ඒ අනුව යම් වෙනසක් සිදුවී ඇත්ද යන්න නිරීක්ෂණය කළ හැකියි. ඒ පර්යේෂණ ප්‍රතිඵල අනුව යම් පිළියම් යොදන්නට හැකියාවක් ලැබේ.
මයික්‍රො ප්ලාස්ටික්වලට විවිධ රසායන උරාගන්න හැකියාවක් තිබේ. මේවා පිළිබඳවත් පරීක්ෂණ සිදුකර ඒවාට උරා ඇති රසායනික සාන්ද්‍රණ මට්ටම් පරික්ෂා කිරීම සිදුකළ යුතුයි. මේ හරහා අපි නරක තත්ත්වයකට ගමන් කරනවාද යන්න සොයා බැලිය හැකියි. මෙවැනි නැව් අනතුරට ලක්වීමේ සිද්ධින් අතීතයේ ලෝකයේ විවිධ අවස්ථාවල වාර්තා වුණත් මෙලෙස රටක් ආසන්නයේ අනතුරකට ලක්වීම් සිදුවී නැති නිසා මෙය අලුත් තත්ත්වයක් ලෙස දැක්විය හැකියි.
කාබනික ද්‍රව්‍ය මයික්‍රෝ ප්ලාස්ටික්වලට එකතු වී ආහාර හරහා මත්ස්‍යයන්ගේ ශරීරයට එකතුවීම සිදුවෙයි. එලෙස දිගින් දිගටම ආහාරවලින් ශරීරගත වන මයික්‍රෝ ප්ලාස්ටික් මත්ස්‍ය ශරීරයේ එකතු වන්නේ (තැන්පත්වීම) යැයි යමෙකුට සිතිය හැකියි. නමුත් එසේ සිදුනොවේ. පර්යේෂණ වාර්තා අනුව මෙලෙස මත්ස්‍ය ශරීරගත වන මයික්‍රෝ ප්ලාස්ටික් එකම මට්ටමක පවතින බව සොයාගෙන තිෙබ්. ඒ අනුව මාළුන් ආහාරයට ගන්නා අද්‍රාව්‍ය සංඝටක දින තුනකින් එළියට දමන බව සොයාගෙන ඇත. නමුත් මාළුවන්ගේ හම තුළ, වරල් අස්සේ, කරමල් අස්සේ මෙම මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි රැඳී තිබිය හැක. මාළුන්ගේ කරමල්වල හා බඩවැල්වල මේවා රැඳී තිබෙනවාද යන්න පරීක්ෂා කළ හැකියි. ඒ නිසාම විද්‍යාඥයන් මේ පිළිබඳ නිරන්තර පරීක්ෂණ සිදු කළ යුතුයි. මත්ස්‍යයන්ගේ බඩවැල් ඉවත්කර ආහාරයට ගන්නවා නම් මේ ප්‍රශ්නය ගොඩාක් දුරට මඟහරවාගත හැකියි. නමුත් මතක තියා ගතයුතු දේ වන්නේ ඉස්සන්, කකුළුවන්, බෙල්ලන්ගේ මයික්‍රෝ ප්ලාස්ටික් තැන්පත් වීම අනෙකුත් විශාල මාළුන්ට සාපේක්ෂව ඉහළ බවයි. මීළඟට හාල්මැස්සෝ වැනි කුඩා මාළුන්ගෙන් බඩවැල් ඉවත් නොකර ආහාරයට ගන්නේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වටී. මන්දයත් ඇසට පෙනෙන මයික්‍රෝ ප්ලාස්ටික්වල සිට ඇසට නොපෙනෙන මයික්‍රො ප්ලාස්ටික්ද පැවතිය හැකි බැවිනි.
තවද මුහුදු ජලයේ විබ්‍රියෝ නමින් හඳුන්වන විෂ බැක්ටීරියාවක් තිබෙනවා. මේවා බෙල්ලන් වැනි සතුන්ගේ ශරීරයට ඇතුළු වී තිබෙන්න පුළුවන්. මේවා ආහාරයට ගත්තොත් හානි වෙන්න පුළුවන්. මේ බැක්ටීරියාව මයික්‍රෝ ප්ලාස්ටික්වලට එකතු වී මත්ස්‍යයන්ගේ හා මුහුදු ජීවින්ගේ ශරීරගත විය හැකියි.
නැවේ තිබුණා යැයි සැලකෙන බඩු ලැයිස්තුවේ ගිනි ඇතිවීම පාලනය කරන උපකරණයක් තිබුණ බව සඳහන්. ඒ අනුව ගිනි නිවීම සඳහා භාවිතකරන සංයෝගත් තිබිය හැකියි. ඒවා තිබුණේ නම් මුහුදට එකතු වුණාද? ඒවා ප්ලාස්ටික් කැටිතිවලට එකතු වුණාද? ඒ අනුව ආහාර දාමයට එකතු වීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවාද? යන්න නොදනී. මේවා පිළිබඳවද විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකිරීම කළ යුතුයි.
ලුණු වලට ඇති මයික්‍රෝ ප්ලාස්ටික් බලපෑම
මුහුදු ජලයට එක්වන මයික්‍රෝ ප්ලාස්ටික් ලුණු හරහා මනුෂ්‍ය ශරීරගත වෙනවාද යන්න පිළිබඳ සැකයක් පවතී. මේ මයික්‍රෝ ප්ලාස්ටික් ඇසට නොපෙනෙන මට්ටමෙත් පැවතිය හැකි නිසා ලුණු ලේවායන්වලට ඇතුළු වුණොත්, ලුණු කැටිතිවලට ඇතුළු විය හැකියි. එසේ ඇතුළු වී න්‍යෂ්ටියක් ලෙස ක්‍රියා කළ හැකිය. මෙය දැන්ම ඇතිවන තත්ත්වයක් නොවේ. තිබෙන වාර්තා අනුව ඉදිරි අවුරුද්දක කාලයකට සෑහෙන්න නිෂ්පාදිත ලුණු ලේවායන්වල පවතින බව සඳහන් වේ. ඒ නිසා මේ පිළිබඳ කලබල විය යුතු නොවේ. නමුත් අනාගතය ගැන කල්පනාකර බැලීම අවශ්‍යය. ඒ අනුව මේ ලේවායන් තිබෙන ප්‍රදේශවල මුහුදු ජලයේ මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගුද යන්න වරින් වර පරික්ෂා කර බැලීම නුවණට හුරුය. එම තොරතුරු අනුව නිවසේ ලුණු භාවිතයේදීත් ලුණු කැටිති වෙනුවට ලුණු දියකර භාවිත කරන්න යොමු වෙනවාද යන කාරණයත් සලකා බලන්න සිදුවේවි. ඒ පිළිබඳව යමක් සඳහන් කළ හැකි වන්නේ ලුණු ලේවායන් ආශ්‍රිත ජලයේ අඩංගු මයික්‍රෝ ප්ලාස්ටික් සාන්ද්‍රණය පිළිබඳ පර්යේෂණ සිදුකිරීමෙන් පසුවය.
මිනිසාට ඇති බලපෑම
මිනිසෙකු දිනකට මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි 60,000ක් දක්වා ආහාර සමග ශරීරගත කරගන්නා බව සඳහන් වේ.
මේවායෙන් මයික්‍රෝ මීටර 150ට අඩු ඒවා බඩවැල හරහා සිරුරට ඇතුළු විය හැකියි.(මත්ස්‍යයෙකුගේ බඩවැල්වලට ඇතුළු වන මයික්‍රො මීටර 438ට වඩා අඩු මයික්‍රෝ ප්ලාස්ටික් මත්ස්‍ය ශරීරගත විය හැකිය)
මිනිස් බඩවැලට ඇතුල් වන මයික්‍රෝ ප්ලාස්ටික්වලින් බඩවැල හරහා ශරීරයට උරාගන්නේ 0.3෴ක් තරම් කුඩා අගයක් බව සොයාගෙන ඇත. නමුත් මේවායෙන් සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිතව සඳහන් පර්යේෂණ ප්‍රතිඵල නොමැත.
මිනිස් සෛල විනාශ වීමක් හෝ හානි වීමක් මයික්‍රෝ ප්ලාස්ටික් මගින් සිදුවන බව තවම සොයාගෙන නැත. නමුත් අධික සාන්ද්‍රණයන්හීදී සක්‍රීය ඔක්සිජන් නිපදවන බව සොයාගෙන ඇත. මේ හේතුව නිසා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.
වැඩි අවධානය යොමු කළ යුතු කරුණු
මයික්‍රෝ ප්ලාස්ටික් අධික ප්‍රමාණයක් මත්ස්‍යය සිරුරට ඇතුළු වෙන්නේ ඇල්ගි හරහාය. මේ ඇල්ගිවල විෂ සහිත තත්ත්ව ඇති විය හැකිය. මේ විෂ සහිත ඇල්ගි තිබෙන ප්‍රදේශයකට මයික්‍රෝ ප්ලාස්ටික් ගමන් කළොත් ඒවාට මේ විෂ එකතු විය හැකියි. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මීළඟට මාළුවන්ගේ වරල් , සම, කරමල්වල මේවා රැඳී තිබිය හැකිය. ලෝකයේ කිසිම රටක මත්ස්‍ය ආහාරවලට සිදුවිය හැකි මෙවැනි ගැටලු සම්බන්ධව ප්‍රමිති සකස් කර නැත. මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳ සැලකීමේදී ආහාර ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් තවම ලෝකයේ සකස් වී නැත. ඒ නිසා කලබල විය යුතුද නැත. එසේම ප්ලාස්ටික් කැටිතිවල සිදුරු සෑදෙමින් ඒවා කැඩී ජලයට එකතු වීමට මාස 6ක් වැනි කාලයක් ගත විය හැකියි. ඒවායෙන් බිහිවන නැනෝ ප්ලාස්ටික් පිළිබඳවද තොරතුරු නොමැත. ඒ අනුව මේ අලුත් ප්‍රශ්නය දෙස අලුත් මුහුණුවරකින් බැලීම සිදුකළ යුතුයි. විශේෂයෙන් ලංකාව මේ මුහුණ දෙන්නේ වෙනත් රටවල් මුහුණ දුන් ප්‍රශ්නයක් නොව, අලුත්ම ප්‍රශ්නයක් නිසා ඒ පිළිබඳ අලුතින්ම අවධානය යොමු කළ යුතුයි. එලෙස නව ආරෙකට සිතා බලා ඇතිවිය හැකි අවදානම් තත්ත්ව මොනවාද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ඉතාම වැදගත්ය.