අලි මැරීම


මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම ඇතිවන්නේ අද ඊයේ සිට නොවේ. පවතින සාක්ෂි අනුව පූර්ව ඓතිහාසික යුගයේ මෙන්ම වාර්තාගත ඉතිහාසය මුළුල්ලේද මිනිසුන් සහ වනජීවීන් අතර අඛණ්ඩ ගැටුමක් පැවතී ති‍‍බේ. ඒ නිසා මිනිසා විසින් මිහිමතින් සදහටම තුරන් කරන ලද සතුන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. 

මයෝසීන යුගයේදීම මිනිසා විසින් කඩු වැනි දත් ඇති පූසන් (Saber-toothed cats), විවිධ  දිවියන් වර්ග, හයිනාවන් මිහිමතින් සම්පූර්ණයෙන් අතුරුදන් කර ඇත. මිනිසා විසින් කෘෂිකර්මාන්තය සොයා ගැනීමත් සමග මෙම ඝට්ටනය තවත් උග්‍ර කළේය. මිනිසුන් කෘෂිකර්මාන්තය ඔස්සේ තොග වශයෙන් ආහාර නිපදවා ගැනීම නිසා එම ආහාර වෙත වනසතුන් පහසුවෙන් ළඟාවන්නට විය. ඒ අනුව මෙම ආහාර සොරාගන්නා සතුන් සහ මිනිසුන් අතර ගැටුම ඇතිවූයේ අද ඊයේ නොවේ. 

ලෝකය වඩාත් කාර්මීකරණය වීමත් සමගින් කෘෂිකර්මාන්තය සඳහා කැලෑ එළිපෙහෙළි ‍කිරීම වඩ වඩාත් සිදුවිය. 1800 වසර වන විට පෘථිවිය මත සිටියේ මිනිසුන් මිලියන 1000ක් පමණි. අද වන විට ලොව මිහිපිට මිනිස්සු මිලියන 7000කට වඩා ජීවත් වෙති. මේ මිලියන 6000 වැඩි වී ඇත්තේ කාර්මික විප්ලවයෙන් පසු අවුරුදු 200කට ආසන්න කාලයකදීය. එබැවින් මේ මහා මිනිස් සමූහයේ කුස් පිරවීමට නම් කැලෑ එළිපෙහෙළි කළ යුතුය. කෘෂිභෝග සම්බන්ධයෙන් වනසතුන් සමග ගැටුමකට යා යුතු වෙයි.

ලෝක වනජීවී අරමුදල පවසන ආකාරයට 1970 සහ 2014 වසර අතරතුරදී පෘෂ්ඨවංශික සතුන්ගෙන් සියයට 60ක් පමණ මිහිමතින් තුරන් වී තිබේ. එසේම, සියලුම ආකාරයේ ක්ෂීරපායීන්ගෙන් සියයට 83ක් මිනිසුන් සම්පූර්ණයෙන් වදකර දමා තිබේ. එසේම මිහිමත තිබූ ගස් වර්ගවලින් භාගයක් මේ වන විට අහිමි වී ඇත. 

අද ශ්‍රී ලංකාව තුළ අප අත්විඳිමින් සිටින ඉතා කටුක යථාර්ථයේ පසුබිමද මෙයම වෙයි. මෙරට තුළ වනඅලින් ඝාතනය කිරීම් වැඩි සංඛ්‍යාවක් සිදුවන්නේ මිනිසා සහ වනජීවීන් අතර සිදුවන මේ අනවරත ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙනි. මිනිස්සු තමන්ගේ භෝග ආරක්ෂා කර ගැනීමේ අටියෙන් වනසතුන්ට වෙඩි තබති. වස දෙති. උගුල් අටවති. නොයෙකුත් කෲර ක්‍රියාවන්හි යෙදෙති. 
ලෝකයේ බොහෝ රටවල මිනිසා සහ වනජීවීන් අතර ඇතිවන ගැටුම අවබෝධ කරගෙන ඇති අතර, එය අවම කිරීම සඳහා විවිධ වූ උපායමාර්ග ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව තුළදී නම් ඒ හැටි සාර්ථක විසඳුම් ක්‍රියාත්මක වී නැති බව පෙනී යන්නේ දිනෙන් දිනම මිය යන වනසතුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවිනි. 

අප තේරුම් ගත යුතු යථාර්ථය නම් වනසතුන් අපගේ දායාදායක් සහ වාසනාවක් විනා හතුරෙකු නොවන බවයි. යටත්විජිතවාදී සුදු ජාතිකයන් ඇමරිකාවට වැදී, එහි සිටි ආදිවාසී ජනතාව මරා ඉඩම් අල්ලාගෙන කැලෑ විනාශ කරන අවස්ථාවේදී සියෑටල්හි සිටි ආදිවාසී නායකයා කීවේ අවසන් ගසත් විනාශ කර, අවසන් ගඟටත් විස පොවා, අවසන් මාළුවාත් අල්ලා ගත්දාට පමණක් අපට සල්ලි කෑමට නොහැකි බව අප වටහා ගනු ඇති බවයි. සියෑටල් ආදිවාසී නායකයාගේ  මහා ප්‍රඥාව අප තවම තේරුම් ගෙන නැති අතර තේරුම් ගන්නා විට අප බොහෝ ප්‍රමාදය. 



Recommended Articles