අලි - මිනිස් ගැටුමට විසඳුමක් හඳුන්වාදෙන නව නිපැයුම්කරුවෙක්


අතීතයේ වනාන්තර සහ වනසතුන් සමග මිනිසා ඉතා සමීප සබඳතාවක් ගොඩනගා ගෙන ජීවත් වූ අතර මිනිසා සතුන් හීලෑ කරගනිමින් එදිනෙදා කටයුතුවලටද සතුන් යොදාගෙන තිබිණි. විශේෂයෙන් අලින්, ගවයන් වැනි සතුන් මිනිසාගේ දෛනික කටයුතුවලට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. කෙසේ නමුත් අතීතයේ තිබූ ඒ සබැඳියාව දුරස්වී ඇති අතර එය මේ වනවිට අලි - මිනිස් ගැටුමක් බවට නිර්මාණය වී තිබේ. මෙය නිර්මාණය වීමට ප්‍රධාන ලෙස බලපා ඇති හේතුව වන්නේ වනසතුන්ගේ වාසභූමි මිනිසා විසින් අත් පත්කර ගැනීමයි.


සතුන් යනු ආහාර සොයාගෙන ජීවත්වන්නා වූ ජීවී කොට්ඨාසයකි. මිනිසා යනු ආහාර නිෂ්පාදනය කරගන්නා වූ  ජීවී කොට්ඨාසයකි. කෙසේ නමුත් මේ දෙකොට්ඨාසයටම මේ මිහිපිට ජීවත්වන්නට ඇත්තේ සම අයිතියකි. 
වර්තමානයේදී කාලීන මාතෘකාවක් වන මේ අලි - මිනිස් ගැටුම විසඳීමට සාර්ථක යෝජනාවලියක් නිර්මාණය කිරීමට විශ්‍රාමික සිවිල් තාක්ෂණික නිලධාරියෙකු වන ජී.ඩබ්ලිව්. රත්නසිරි මහතා සමත් වී තිබේ. මහවැලි අධිකාරියේ මුල් අවධියේ සිවිල් තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙන රත්නසිරි මහතා තමන් වෘත්තීය ජීවිතයේදී ලත් ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ මෙම අලි - මිනිස් ගැටුම විසඳීමට මෙම යෝජනාවලිය සකස් කොට තිබේ. ඔහු පවසන ආකාරයට මෙම ගැටුම සහිත ප්‍රදේශවලට රජය විසින් සකස් කර තිබෙන විදුලි වැට අසාර්ථක වී තිබෙන්නේ මිනිසුන් තුළ විදුලි වැට රජයේ දේපොළක් යන හැඟීම ඇති වී තිබෙන නිසා සහ විදුලි වැට නඩත්තු කිරීමට අදාළ රාජ්‍ය ආයතන වෙත ප්‍රතිපාදන සහ ක්‍රමවේදයක් නොමැති වීමය. මෙම විදුලි වැට අලුත්වැඩියා කිරීමට ප්‍රජා සහභාගීත්ව වැඩසටහනක් සංවිධානය කළ හැකි නම් විදුලි වැට මගින් යම්තාක් දුරකට ප්‍රයෝජනයක් ලබාගත හැකි බවද රත්නසිරි මහතා පවසයි. 

විදුලි වැටට වියළි කොටයක් තබා එය කඩාදැමීමට තරම් අලියා බුද්ධිමත්  වෙයි. අලියෙකුගේ දිනක ආහාර මිනිසුන් පනහකගේ දිනක ආහාර ප්‍රමාණයට සමානය. එම නිසා ආහාර සොයා අලියෙක් දිනකට කිලෝමීටර් විසිපහක් පමණ ඇවිදියි. මේ හේතුව නිසා අලි ඇතුන් අනිවාර්යෙන් ගම් වදින බවට විශ්වාසය. අලි ඇතුන් වැඩි වශයෙන් ගම් වදින්නේ වියළි කාලයේදීයි. එයට හේතුව වන්නේ වියළි කාලයේදී වනාන්තරයේ ජලය සහ ආහාර හිඟවීමය. ඒ නිසා වියළි කාලවලදී වනඅලි ජීවත්වන වනාන්තර තුළට ආහාර සහ ජලය ලබාදීමේ ක්‍රමවේදයක් මගින් මෙම ගැටලුව යම් ප්‍රමාණයකට විසඳාගත හැකි වන බව රත්නසිරි මහතාගේ අදහසයි. මේ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අලි - ඇතුන්ගේ ආහාර සහ ජල අවශ්‍යතා ඉටුකිරීමට ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර ආහාරයට සුදුසු ඉවතලන එළවළු, පළතුරු සහ ශාක අතු තත්ත්ව පාලනයක් යටතේ වනාන්තරයේ නොයෙක් ස්ථානවලට සැපයීම සිදු කළ හැකිය. ජල අවශ්‍යතාව සඳහා කුඩා ස්වාභාවික ජලාශ ඉදිකර බවුසර් මගින් හෝ ජලය සපයා දිය හැකිය. වැසි කාලවලදී ජලය එක් රැස්කොට තබා ගැනීමට වනාන්තරයේ උස් තැන් කිහිපයක විශාල ජලාශයක් හෝ කිහිපයක් ඉදිකර තබා ගැනීම මෙයට ස්ථිර විසඳුමක් වේ. එවිට බවුසර් මගින් ජලය ප්‍රවාහනයට වැයවන වියදම පවා අවම වන බව රත්නසිරි මහතා පවසයි.

රත්නසිරි මහතාගේ යෝජනාවලියේ ප්‍රධාන සැලසුම වන්නේ තමන් ජීවත්වන ප්‍රදේශය තමන් විසින් ආරක්ෂා කරගත යුතු ආකාරයේ වැඩපිළිවෙළකි. භෞතික පිහිටීම අනුව ගොඩ ඉඩම්, මඩ ඉඩම් සහ නිවාස එහි පදිංචිකරුවන්ට ඉතා පහසුවෙන් නඩත්තු කරගත හැකි සහ අවම වියදමකින් හෙබි විදුලි වැටක් ඉදිකළ යුතු බව ඔහු පවසයි. එය කුඩා සූර්යකෝෂයකින් පණගැන්විය හැකි ආකාරයට සැකසිය හැකි බව රත්නසිරි මහතා පවසයි. මෙසේ ඉදිකළ විදුලි වැට නඩත්තු කිරීම එහි පදිංචිකරුවන්ට පවරා ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය අදාළ ආයතන විසින් ලබා දිය යුතුය. මෙම විදුලි වැට කුඩා කණ්ඩායම්වලට බෙදා නඩත්තු කළ හැකි ආකාරයට සකස් කළ හැකි බවද රත්නසිරි මහතාගේ අදහසයි. මේ සඳහා සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරනු ලබන ආයතනවල සහය ලබාගත හැකි වෙයි. 

අතීතයේදී ජෛව පාලනය සහ විවිධ සන්නිවේදන ක්‍රම මගින් වගාවන් සාර්ථක ලෙස ආරක්ෂා කරගැනීමට ගොවියන් සමත් වී තිබිණි. අතීතයේ පැල් රැකීම සිදු කර ඇති අතර පැල් රැකීමේදී භාවිත කළ සන්නිවේදන විධික්‍රමයන්ට අලි ඇතුන්, වනසතුන් බිය වී තිබේ. මේ ක්‍රමය තවත් දියුණු කර අලි - මිනිස් ගැටුමට තවත් එක් සාර්ථක විසඳුමක් ලබාදිය හැකි බව රත්නසිරි මහතාගේ යෝජනාවයි. මී මැස්සන්ගේ නාදයෙහි ඇති ධ්වනි සංඛ්‍යාතය අලි ඇතුන්ට නොරිස්සුම් සහගත වන අතර අලි ඇතුන්ගේ කන තුළට සහ හොඬවැල තුළට මී මැස්සන්ට ඉතා ඉක්මනින් ගමන් කළ හැකි නිසා අලි ඇතුන් මී මැස්සන්ට මහත් බියක් දක්වන බව රත්නසිරි මහතා ප්‍රකාශ කරයි. මේ නිසා ඉහත ඉදිකරන ලද කුඩා විදුලි වැටෙහි තැනින් තැන නවීන තාක්ෂණයකින් යුත් මී මැසි පෙට්ටි ස්ථාපනය කිරීම අලි - මිනිස් ගැටලුවට තවත් පිළිතුරක් විය හැක. මෙම මී මැසි වගාවට අමතරව නොයෙකුත් ගුවන්විදුලි නාළිකා මගින් නිකුත් කරනු ලබන පිරිත් දේශනා, අලුයම කාලය වන තුරු පවත්වා ගෙන යන වැඩසටහන් තුළින් අලි - මිනිස් ගැටුමට තවත් විසඳුමක් ලබාගත හැකි බව රත්නසිරි මහතාගේ තවත් එක් යෝජනාවකි. මේ සඳහා ඉවත් කරනු ලබන ශබ්දවාහිනී උපකරණ එකතු කරගත යුතුය. මෙම ශබ්දවාහිනී යන්ත්‍ර නවීකරණය කොට ඉඩමේ ස්ථාන කිහිපයක ස්ථාන ගතකළ යුතු වේ. පසුව එක් ගුවන්විදුලි යන්ත්‍රයකින් ශබ්දවාහිනී යන්ත්‍ර කිහිපයකටම ශබ්දය ලබාදිය හැකි පරිදි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. මේ සඳහා ගුවන්විදුලි ආයතන අනිවාර්යයෙන් සහය ලබාදෙන බව රත්නසිරි මහතා ප්‍රකාශ කරයි. එයට අමතරව විටින් විට මී මැස්සන්ගේ ධ්වනි සංඛ්‍යාතයට අදාළ ශබ්දයක් විසුරුවා හැරිය යුතුය. එය සූර්ය බලයෙන් හෝ නිවසේ විදුලියෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නිර්මාණය කර දීමට හැකි බව රත්නසිරි මහතා පවසයි. 

විදුලි වැටට අභ්‍යන්තරයෙන් ත්‍රිකෝණාකාර ආකාරයට ශබ්දය පමණක් නිකුත්වන බිම් බෝම්බ ස්ථාපනය කිරීම මගින්ද අලි ගම් වැදීම මැඬ පැවැත්විය හැකි බව ඔහුගේ මෙම යෝජනාවේ ඇතුළත් වේ. අලින්ගේ ස්කන්ධයට අනුව අවම බරකට පුපුරා යන ආකාරයට මෙම බිම් බෝම්බ නිෂ්පාදනය කළ යුතුය. මේ සඳහා ආරක්ෂක අංශවල සහාය ලබාගත හැකි වේ. තවද දක්ෂ තුවක්කුකරුවන්, දඩයක්කරුවන්ගේ දැනුම සහ සහය ලබාගනිමින් ශබ්දය පමණක් පිටවන හක්කපටස්, වැට බඳින තුවක්කු වැනි උපකරණ නිෂ්පාදනය කර විදුලි වැටට සමාන්තරව ස්ථාන ගත කොට තැබිය හැකිය. මේවා විවිධ උස් මට්ටම්වලට අනුව ස්ථානගත කිරීම මගින් වෙනත් සතුන්ගෙන් සිදුවන හානියද අවම කරගත හැකි බව රත්නසිරි මහතා පවසයි. මේ ක්‍රමවේදය තුළින් අලි වෙඩි සඳහා වියදම් වන වියදම සහ අලි වෙඩි විසි කිරීම මගින් සිදුවන මිනිස් හානිද අවම කරගත හැකි බව රත්නසිරි මහතා යෝජනාවේ සඳහන් වේ. මෙහි තවත් පියවරක් ලෙස විදුලි වැට මැද ඇති කම්බියක් තුළ රතුපාටට හුරු LED බල්බ යෙදීම මගින් අලි ඇතුන් වැට ආක්‍රමණය කිරීම නැවැත්විය හැක. එයට හේතුව අලි ඇතුන් ගින්දර සහ එවැනි වර්ණයන්ට දක්වන බියයි. 

ලංකාවේ සංචාරක කර්මාන්තය ආදායම් ලබන එක් මාර්ගයක් ලෙස සංචාරකයන්ට අලි ඇතුන්, වනසතුන්, ස්වභාවික වනෝද්‍යාන පෙන්වීම හැඳින්විය හැකිය. මෙමගින් උපයන මුදල් තුළින් අලිමිනිස් ගැටුම නිසා හානියට පත් මිනිසුන් වෙනුවෙන් වන්දි ලබාදීම, ඔවුන්ගේ නිවෙස් අලුත්වැඩියා කර දීම, අලි වැට නඩත්තු කිරීම, මෙම ගැටලුවට ඇති විවිධ පිළියම් සඳහා වියදම් කිරීමට යම් ආයතනයක් පිහිටුවීමට රජයට හැකි බව රත්නසිරි මහතා පවසයි. තවද වනෝද්‍යානවලින් ලැබෙන ආදායමෙන් කොටසක් අලියා ඇතුළු වනසතුන්ගේ ඡායාරූප සහිතව %වනසෙත^ නමින් ලොතරැයියක් නිකුත් කිරීමට ද හැකි වන බවත් එමගින් ලැබෙන ආදායමෙන් ඉහත ගැටලුවලට වියදම් කිරීමටද හැකි බව ඔහු පවසයි. 

කැළුම් දේවින්ද



Recommended Articles