අලි - මිනිස් ගැටුමට වැට බඳින්නට අලි වැටටත් නොහැකි මන්ද?


අලි - මිනිස් ගැටුම යන්න වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශවලට පැතිරෙමින් පවතින ජාතික ගැටලුවකි. පසුගිය සතියේදී කලා වැව ආශ්‍රිතව ජීවත් වූ රේවත හස්තියා අනවසරයෙන් ඉදි කළ විදුලි වැටක වැදී මිය යාම සහ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී විදුලි වැටකට සිර වී මිය ගිය කෙණරක් පිළිබඳව වාර්තා විය. මෙම ලිපිය විදුලි වැට සහ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ඇති විසඳුම් පිළිබඳවය.

ලෝකයේ අලි - මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාවයි. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක පමණ අලි - මිනිස් ගැටුම් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණය මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තුනෙන් එකකටත් වඩා ඉහළ අගයක් ගනී.

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමි වී ඇති මිනිස් ජීවිත ප්‍රමාණය වසරකට 80ක් පමණ වේ. 1992–2001 කාල සීමාව සමග සැසඳීමේදී මේ වනවිට අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 50%කින් වර්ධනය වී ඇති අතර, 2005–2010 කාල සීමාව සමග සැසඳීමේදී 14% වර්ධනයක් පෙන්නුම් කෙරේ. අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත්වන්නන්ගෙන් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 51 – 60ත් අතර පසුවූවන් වේ. තවද වැඩිම කාන්තාවන් පිරිසක් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.  තවද ශ්‍රී ලංකාවේ පසුගිය වසර පහ තුළ අලි ඇතුන් 1578ක් මරණයට පත්ව ඇති අතර, ඒ අනුව සෑම සතියකටම අලි හය දෙනෙකු බැගින් මරණයට පත්ව තිබේ. එහිදී වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින්ය. 1992–2001 කාල සීමාව සමග සැසඳීමේදී මෙරට හස්ති මරණ සංඛ්‍යාව මේ වනවිට 92% කින් වර්ධනය වී ඇති අතර, 2005–2010 කාල සීමාව සමග සැසඳීමේදී 31%කින් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත් වන්නේ වනජීවී රක්ෂිතවලින් බැහැරව වන අතර, එම සතුන් වන ජීවී රක්ෂිත තුළට ගාල් කර අලි - මිනිස් ගැටුම විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුළ නොගත් උත්සහයක් නැත. එසේම ඔවුන් අලි - මිනිස් ගැටුම පාලනය සඳහා යොදා ගන්නා වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදි කිරීම, අලි පලවා හැරීම, මිනිස් ජීවිත හා දේපොළවලට හානි සිදුකරන අලින් අල්ලා හොරොව්පතාන වැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගාල් කිරීම වැනි අවිද්‍යාත්මක සහ යල් පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් දිවයිනේ අලි - මිනිස් ගැටුම් ඉහළ යාමට හේතු වී තිබේ. අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි ප්‍රතිස්ථාපනය සහ වන අලි පලවා හැරීම යන ප්‍රධාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා රජය මගින් වැය කළ මුදල 2010 – 2018 කාල සීමාව තුළ 110% කින් පමණ වර්ධනය වී ඇත.

අලි - මිනිස් ගැටුමට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා දැනට ඇති සාර්ථකම ක්‍රමවේදය විදුලි වැටය. නමුත් මේ වනවිට විදුලි වැට අවභාවිතා කිරීමට ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් එය අසාර්ථක වී ඇත. අලි - මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 270ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි. නමුත් එවන් පසුබිමක මෙරට අලි - මිනිස් ගැටුමේ කිසිඳු අඩුවක් සිදුවී නොමැති වීමට එක් හේතුවක් වන්නේ අදාළ විදුලි වැට නියමිත ස්ථානයේ, නියමිත ප්‍රමිතියෙන් යුතුව ඉදි නොකිරීම සහ නිසි පරිදි නඩත්තු නොකිරීමය.

විදුලි වැට ඉදිකළ යුත්තේ මිනිසුන් විසින් භාවිත කරන භූමියේ මායිමේ වුවත් වර්තමානයේ විදුලි වැට ඉදිකිරීම බොහෝ විට සිදුවන්නේ වන අලින් වනජීවී රක්ෂිත තුළට ගාල් කර ඒවායේ මායිමේය. වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුළට ගාල් කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාරවලින් බැට කන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මගින් වැඩි සාර්ථකත්වයක් අත්කරගත හැකි බව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒ ආකාරයෙන් ඉදිකර ඇති විදුලි වැට සාක්ෂි දරයි. එසේම මහා පරිමාණ සංවර්ධිත ප්‍රදේශ සහ කෘෂි බිම්වල අලි ඇතුන් ගැවසෙන මායිමේ රේඛීය විදුලි වැට ඉදිකිරීම වඩාත් සුදුසුය. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ එම තත්ත්වය දක්නට නොමැත.

අලි වැට සම්බන්ධයෙන් ‘වන සත්ව හා වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ’ ඇති නීතිමය තත්ත්වය පැහැදිලි කළ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා,

“දැන් දෙපාර්තමේන්තුවෙන් කියනවා ඔවුන්ගේ අවසරයක් නැතුව අලි වැටවල් ගහන එක තහනම් කියලා. නමුත් නීතිවිරෝධීව ගහන අලිවැටවල් තහනම් කරන්න ක්‍රමයක් නැහැ. මොකද ඔවුන්ට ඉන්නේ පොඩි පිරිසක්. ඒ වගේම ප්‍රධාන විදුලි පරිපථයෙන් අරගත්තු විදුලිය තමයි ගොඩක් මේ විදිහට හානිකර ක්‍රියාවලට යොදාගෙන තියෙන්නේ. ඒක විදුලිබල මණ්ඩලය විසින් නියාමනය කළ යුතු දෙයක්. හැමදේම වනජීවී එකට කරන්න බැහැ. අනෙක් ආයතනත් තම තමන්ගේ වපසරිය හරියට ආවරණය කරනවා නම් හොඳයි.

ඒ වගේම ගම්වල සමහර මිනිස්සු වගා ආරක්ෂා කිරීමට අමතරව සතුන් දඩයම් කරන්නත් විදුලි වැට භාවිත කරනවා. අපිට විදුලි වැටක වැදී අලි ඇතුන් මරණයට පත් වෙනවා විතරයි වාර්තා වන්නේ. විදුලි වැටකට හසු වුණු අනෙක් සතුන් අපට කවදාවත් වාර්තා වෙන්නේ නැහැනේ. ඒකෙන් තේරෙනවා මැරෙන අනෙක් සතුන් විකුණනවා කියලා. මේක අලියාගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. සමස්ත වනජීවීන්ගේම ප්‍රශ්නයක්.

විදුලි වැටක් සවිකිරීමේ පරමාර්ථය වන්නේ වගාවන් හෝ නිවාස සහ වතුපිටිවලට වන සතුන් මගින් සිදුවන හානි වළක්වා ගැනීමයි​. ඒ සඳහා විදුලි බලය අඩු ශක්තියකින් විය යුතු වන අතර, සහ එමගින් අඩු විදුලි සැරක් වැදීම මගින් සතුන් විකර්ශනය කිරීමටයි එය යොදා ගන්නේ. විශේෂයෙන් අලි - ඇතුන් යම් ප්‍රදේශයකට ඇතුළු වීම වැළැක්වීම පිණිස යොදා ගන්නා විදුලි වැට ඔවුන්ට හානිකර නොවිය යුතුය යන්න තමයි නීතිමය වශයෙන් අදාළ වන්නේ.

විදුලි වැටක පරමාර්ථය එසේ වුණත්, විදුලි වැටවල්වල ගැටී අලි-ඇතුන් මිය යාම කාලයක පටන් සිදුවන දෙයක්. ඊට අමතරව මෙවැනි හානිකර විදුලි වැටවල්වල ගැටී විවිධ වනසතුන් මරණයට පත් වෙනවා සහ මනුශ්‍ය ජීවිත පවා අහිමි වීමේ සිදුවීම්ද වාර්තා වනවා. පෞද්ගලිකව තනන විදුලි වැටවල්වලට ජාතික විදුලිබල පද්ධතියෙන් නීත්‍යනුකූලව ඍජුව විදුලිය ලබා ගැනීමේ ඉඩකඩක් නැහැ. මේ නිසා සතුන්ට​,විශේෂයෙන් අලි - ඇතුන්ට මරණය ගෙන දිය හැකි තරමේ විදුලි සැරක් ලබාදිය හැකි විදුලි වැටක විදුලි ප්‍රභවය කුමක්ද යන්න සොයා බැලිය යුත්තක්. එක්කෝ මෙවැනි අවස්ථාවන් පිටුපස තිබෙන්නේ ජාතික විදුලිබල පද්ධතියෙන් නීති විරෝධීව විදුලි බලය වැටකට යොදාගත් අවස්ථාවක් වන්නත් පුළුවන්​. නැත්නම් ප්‍රභල පුද්ගලික විදුලි ජනන ක්‍රමයකින් උත්පාදිත විදුලි බලය විය යුතුයි​.

විදුලිබල ප්‍රභවය කුමක් වුණත් ‘වන සත්ත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ’ 20(1) (අ) වගන්තියට අනුව කිසියම් අලියෙකු හෝ ඇතෙකු මරණයට පත් කිරීමට​, තුවාල කිරීමට හෝ අල්වා ගැනීම පිණිස විදුලි බලය යොදා ගැනීම වරදක් බව පවසනවා. ඒ වගේම එම පනතේ 20(2) උප​වගන්තියට අනුව අලි-ඇතුන් පිළිබඳව සිදුකරන සියලු වරද ඇප දිය නොහැකි වරද වෙනවා. එමෙන්ම වන සත්ත්ව හා වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ67 (ආ) වගන්තිය අනුව පනත යටතේ තිබෙන සියලු වරදවල් සංඥේය වරදවල්ද වෙනවා.

ඒ අනුව අලියෙකු හෝ ඇතෙකු මරණයට පත්වීමක් පමණක් නොවෙයි යම් තුවාලයක් සිදුවන තරමට තරම් හෝ විදුලි බලයක් විදුලි වැටකට හෝ රැහැනකට යෙදීම තහනම් වෙනවා. එහිදී විදුලිබල ප්‍රභවය නීත්‍යනුකූලද​ ,නීති විරෝධීද යන්න අදාළ නොවී වරදකාරීත්වය එක ලෙසින් පැවතෙනවා. 20 වගන්තියට මෙම කරුණු ඇතුළත් වුණේ පනතේ 2009 අංක 22 දරන සංශෝධන පනත මගින්. ඉන් පසුව විදුලි බලය යොදා ගැනීම නිසා අලින් මරණයට පත් වූ අවස්ථාවන් කිහිපයකදීම වරදකරුවන්ට අධිකරණය මගින් දැඩි දණ්ඩනයන් ලබා දී තිබුණා.

නමුත් අලියෙක් මරණයට පත්කිරීමට තරම් ප්‍රභල විදුලි බලයක් වැටකට යෙදීම, වළක්වාලීමට ප්‍රතිපාදන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට ඇතුළත් කිරීමේ ප්‍රායෝගික ගැටලු තිබෙනවා. මේ නිසා වඩාත් සුදුසු ක්‍රමය තමයි විදුලි වැටවල් සහ රැහැන් ඇදීම නියාමනය කිරීමට ප්‍රතිපාදනයන් වෙනත් සුදුසු පනතක් ඔස්සේ ගෙන ඒම​. ඊට සුදුසුම පනත ලෙස පෙනී යන්නේ විදුලිබල පනත. එම පනතේ විදුලි වැටට අදාළවන ප්‍රතිපාදනයකුත්,ඒ යටතේ විදුලි වැටවලට අදාළ ප්‍රමිතීන් සහ උපමානයන් අදාළ පරිදි නියෝගයන් හරහා ගෙන ඒමට එම ප්‍රතිපාදනයන් සකස් කළ හැකියි. එතකොට අලි වැටට හෝ රැහැන්වලට යම් නියමිත සීමාවන් යොදා ගැනීමට හැකිවෙනවා. මේකට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල අමාත්‍යංශය එක්ව කතා කරලා යාන්ත්‍රණයක් ගේන්න ඕනේ. ඒ වගේ දෙයකින් අවුරුද්දක් පාසා විනාශවන අලි-ඇතුන් සහ වන සතුන් පමණක් නොවෙයි, මනුෂ්‍ය ජීවිත රැසක් පවා ආරක්ෂා කර ගැනීමට හැකියි”

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා,

“අපේ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂාවලදී හමුවන විදුලි වැටවල් නියමිත පරිමාණයන්ට අනුව සකස් කරලා තියෙනවාද කියලා බලන්න කියලා දැනුම් දීලා තියෙන්නේ. ඊට අමතරව මිනිස්සු පුද්ගලික විදුලි වැටවල් ඉදි කරන්න අවසර ඉල්ලනවා. එවැනි අවස්ථාවලදී අපි නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවනවා ඒ අදාළ ප්‍රදේශය වනජීවීන්ගේ සංසරණයට බාධා වෙනවාද නැද්ද යන්න පිළිබඳව. ප්‍රදේශය තුළ ගැටලුවක් නැත්නම් අපි අලි වැට ඉදි කර ගන්න අවසර දෙනවා. ඊට පස්සේ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී අපට අනාවරණය වුණොත් අලි වැටට ප්‍රධාන පරිපථයෙන් විදුලිය අරගෙන තියෙන්නේ කියලා අපි ඒවා නවත්වනවා. යම් අයුරකින් සතෙකුට හානි වුණොත් අනිවාර්යෙන්ම පනත අනුව වන අලියෙකු මරා දැමීමේ චෝදනාව යටතේ අපි කටයුතු කරනවා. රක්ෂිත ප්‍රදේශයක ඇතුළත සිදුවන සත්ත්ව ඝාතනයක සහ රක්ෂිත ප්‍රදේශයෙන් එළියේ සිදුවන සත්ත්ව ඝාතනවලදී දඬුවම් දෙකක් තිබෙන්නේ. ඒ වෙනුවෙන් මූල්‍යමය දඬුවම් සහ සිර දඬුවම් තිබෙනවා. ඒ දඬුවම් තද සීමාවක තිබෙනවා. නමුත් දෙනු ලබන දඬුවම තීරණය කරන්නේ අධිකරණය විසින්.

රජයේ විදුලි වැටකට යොදන විදුලි ධාරිතාව ජූල් අටදහසකට කිට්ටුයි. ඒ විදුලි ප්‍රමාණය සතෙකු මැරෙන්න තරම් හේතු වන්නේ නැහැ. නමුත් සතෙක් නොකඩවා විදුලි වැටේ ගැටී සිටියහොත් එතැන යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් එහෙම රැඳෙන්නේ නැහැ. මොකද ඒ අලිවැටවලට බ්‍රේකර් සිස්ටම් දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අලියෙකු අලි වැටේදී මැරෙන්නේ ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය සැපයූ අලි වැටකදී හෝ අලි වැට මැදදී හිර වුණාම. ඒ වගේම සමහර වෙලාවට බ්‍රේකර් සිස්ටම් ක්‍රියා විරහිත වෙලා නොකඩවා විදුලියට සතා ඇලුණොත් මැරෙන්න පුළුවන්”

වන අලි ගැවසෙන ප්‍රදේශවල, විශේෂයෙන් රාත්‍රී කාලයේ කටයුතු කිරීමේදී සැළකිලිමත් වීම, අපරීක්ෂාකාරී ලෙස හැසිරීමෙන් වැළකීම, ග්‍රාමීය මාර්ග දෙපස එලි පෙහෙළි කර රාත්‍රියේදී විදුලි ආලෝකය ලබාදීම වැනි කරුණු මගින් කඩිනමින් ජීවිත හා දේපොළ හානි අවම කර ගැනීමට හැකියාව පවතී. තවද වනඅලින් නිවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුළ ගබඩා කර තැබීම වැළැක්වීම සඳහා වනඅලි - මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල කෘෂි අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීමට රජය මගින් කටයුතු කිරීමද කාලෝචිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ප්‍රවීණ විද්වත් කමිටුවක් මගින් සකස් කළ ‘ශ්‍රී ලංකාවේ අලි- මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගින් වන අලි ඇතුන් තවත් ප්‍රචණ්ඩත්වයට ඇද දමන යල් පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම තුළින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතු ආකාරය පැහැදිලිව සඳහන් කර ඇත. එය සකස් කර භාරදී මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් එය හමස් පෙට්ටියේ දමාගෙන බලධාරීන් අලි- මිනිස් ගැටුම ඔඩු දුවන ආකාරයෙන් කටයුතු කරමින් සිටීමද කනගාටුවට කරුණකි.

විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා



Recommended Articles