අරිමුද රොකට්?


ලංකාවේ මුලින්ම රොකට් එකක් නිර්මාණය කළේ 1959දීය. ටක්කෙටම කිව්වොත් නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඔල්ඩ්‍රීන් හා මයිකල් කොලින්ස් ඇපලෝ 11 යානයෙන් සඳ මතට යෑමට වසර 10කට කලිනි. ඒ නාලන්දා විද්‍යාලයේ එවකට ශිෂ්‍යයෙකු වූ පද්මජීව ගනේපොළ විසිනි.

මෙවැනි සොයා ගැනීම් සිදුකළ බොහෝ පුද්ගලයන් සිටියද රාජ්‍ය මැදිහත්වීමෙන් ඔවුන් දිරිමත් කිරීමට කිසිදු රජයක් උත්සාහ කළේ නැති බව මහත් කනගාටුවෙන් වුවද පැවසිය යුත්තකි.
අසූව දශකයේ අග භාගයේදී ජපානය විසින් බස් රථවල කොන්දොස්තරවරුන්ට ටිකට් පත් ලබාදීම සඳහා යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබිණි. එවකට අපි ලංගම බස් රථවල යන විට මේ ටිකට් මැෂිම දිහා බැලුවේ විමතියෙනි. ජපානය විසින් මෙය හඳුන්වා දී තිබුණේ කිසි විටෙකත් හොරු බොරු වංචාවක් කරන්න බැරි මැෂින් එකක් කියාය. නමුත් ලංකාවේ පුද්ගලයෙකු කට්ටක් දමා යන්ත්‍රය ක්‍රියාත්මක වීම වෙනස් කරන ක්‍රමයක් සොයා ගත්තේය. 

ජපන්නු පවා පුදුම වී මෙය කිසි විටෙකත් සිදු විය නොහැකි දෙයක් බව ප්‍රකාශ කළේය. අවසානයේ කට්ටක ආධාරයෙන් යන්ත්‍රය වෙනස් කළේ කොහොමද යන්න සොයා බැලීමට ජපනුන් ලංකාවට පැමිණියේය. මෙය හොර වැඩක් බව හැබෑය. නමුත් ජපනුන් පවා පුදුමයට පත් කළ පුද්ගලයාගෙන් අපි වැඩක් ගත්තේද නැත.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගමේ වෙබ් අඩවිය අතිශය සුරක්ෂිත බව අමුතුවෙන් කිව යුතු නැත. මීට වසර කිහිපයකට පෙර පරිගණක සොරකු (හැකර්) මෙම වෙබ් අඩවියට අනවසරයෙන් රිංගා තිබිණි. මෙම සමාගම කළේ එම පරිගණක හැකර්වරයා සොයා ගැනීමය. සොයාගෙන ඔහුට එම සමාගමේ විශාල වේතනයක් ලබාදී සේවයට බඳවා ගැනීමය. ඒ රටවල එහෙම වුණත් අපේ රටේ මෙහෙම නැත.


මේ ළඟදී ජනිත් දිමන්ත විතානාරච්චි නම් මොරටුව ජර්මානු කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය‘යෙක් අපූරු වැඩක් කළේය. කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය මහගල්කඩවල මහ කැලෑව මැද කාර්මික දෝෂයක් නිසා නතර විය. දුම්රිය කාර්මික ශිල්පීන් පැය ගණනක් උත්සාහ කළද දුම්රිය පණ ගන්වන්නට නොහැකි විය. නමුත් මෙම තරුණයා දුම්රිය විනාඩි කිහිපයකින් පණ ගැන්වීය. නමුත් ඔහුට ආවේ ඇගයීමක් නම් නොවේය. අනවසරයෙන් දුම්රිය හදන්නට පැමිණියාට දෝෂාරෝපණ නම් ආවේය. අඩුම තරමින් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් එම සේවය අගයා දුරකථන ඇමතුමක් වත් ආවේ නැත. ඒ අපේ කුහක මිනිස්සුන්ගේ හැටිය. වෙන රටක නම් මේ වනවිටත් ජනිත් දිමන්තට රජයේ රැකියාවක් ලැබෙන්නට ඕනෑය.


වරෙක අපේ රටේ කොල්ලෙක් ටී - පනස් හය ගිනිඅවියක් නිර්මාණය කළේය. ඔහු මෙසේද කියා තිබිණි. ටී පනස් හය ගිනිඅවියේ නට් එකක් තියෙනවා. ඒක ගෙවිලා ගියාම තුවක්කුව විසි කරන්න වෙනවා. ඒ නට් එක මට හදන්න පුළුවන්. එතකොට තුවක්කුව අයින් කරන්න අවශ්‍ය නෑ.* නමුත් පසුව ආරංචි වූයේ ඔහු මිය ගිය බවයි. ඔහුගෙන් වැඩක් ගත්තේ කවුද ඇසිය යුතු ප්‍රශ්නය එයයි. 
පසුගිය සතියේ සුහුරු සිතිවිලි කියැ වූ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය‘යෙකු දිනක් මට ආමන්ත්‍රණය කර කීවේ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් යන්ත්‍රයක් හා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. මෙය සාදා කොපමණ කල්ද ඇසූ විට දැනට අවුරුදු ගණනකට පෙර එය සිදුකළ බව ඔවුහු පැවසූහ. ඇමතිලා, ආණ්ඩුවත් සමග මේ පිළිබඳ කතා කළේ දැයි ඇසූ විට ඔවුහු පැවසූයේ  මොකද නැත්තේ අයියේ. ෂා මරු කියලා කිව්වා. මේක ඉක්මනින් කරමු කියලා නොම්මර ඉල්ල ගත්තා. දැන් අවුරුදු කිහිපයක් වුණා තාම ආන්සර් එකක් නෑ කියාය.

මේ ටික මතක් වුණේ ජනාධිපතිතුමා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් පැවැත්වුණු ප්‍රදර්ශනයේදී දැකපු රොකට් එකත් එක්කය. ජනාධිපතිතුමා මෙහිදී කිව්වේ සරුංගල් පවා ගෙන්නේ පිටරටින් කියාය. ලංකා ටයිල් හදන්නෙත් පිටරටය. සරුංගල් වගේම කොහු ලණු ටික ගෙන්නෙත් පිටරටිනි. ජනාධිපති මෛත්‍රීට ඇත්තෙන්ම ඒ දරුවාගේ රොකට් එකට උදවු කරන්නට අවශ්‍ය බව පෙනිණි. මේක එකක් පමණි. ඔය වගේ හැකියාවක් ඇති ලංකාවේ දරුවන් දහස් ගණනක් ඇත. අවශ්‍ය වන්නේ මේ දරුවන් හා ඔවුන්ගේ දක්ෂතාවන් හරියට හඳුනා ගැනීමය. නැතිව අහම්බෙන් දැකීම නොවේය. විවිධ සොයා ගැනීම් කළ දරුවන් මාධ්‍ය‘යෙන් උලුප්පා පෙන්වන්නේ එදා පමණි. ඒ එදිනෙදා ප්‍රවෘත්තිවල රේට්ංග්ස් වැඩි කර ගැනීමටය. මාධ්‍ය කළ යුත්තේ මෙවැනි දරුවන් වෙනුවෙන් මීට වඩා පෙනී සිටීමය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් ඇත. නමුත් එයින් එම අමාත්‍යාංශයට අදාළ කාර්යය කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් අපට ඇත්තේ ප්‍රශ්නයකි. මේ අමාත්‍යාංශය මගින් කළ යුත්තේ දක්ෂ නිර්මාණශීලී දරුවන් අහම්බෙන් හෝ හදිසියෙන් හමුවන තුරු බලා නොසිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම සොය ගෙන ගොස් දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ට ප්‍ර‘යෝගිකව උදවු කිරීමයි. 

මෛත්‍රී කළ යුත්තේද නිර්මාණශීලී හා නව නිපැයුම්, නව සොයා ගැනීම් කරන දරුවන්ට හෝ ලාංකිකයන්ට උදවු පදව් කිරීමට, පර්යේෂණ සිදු කිරීමට තිරසාර වටපිටාවක් හදාදීමයි. ඒ වෙනුවෙන් අක්‍රිය වී ඇති අමාත්‍යාංශ වගේම ආයතන ප්‍රකෘති කර පණ ගැන්වීමයි. නැතිනම් වෙන්නේ සරුංගල්වලට එහා දේවලුත් පිටරටින් ගෙනෙන්නට සිදුවීමයි.

නිපුන් ඒකනායක

 

 



Recommended Articles