අරාජිකවාදය


අරාජිකවාදය යැයි කියූ පමණින් බොහෝ දෙනෙකු තුළ ජනිත වනුයේ %බංකොළොත්භාවය^ පිළිබඳ අදහසකි. එහෙත් එය දාර්ශනික මතවාදයක් බව දන්නේ සුළු පිරිසකි. අරාජිකවාදයෙන් අදහස් කෙරෙනුයේ රාජ්‍යය වෙතින් සිදු වන මර්දනය පිටුදැකීමය. සමාජය, සමාජය මගින් සබුද්ධික අයුරින් පාලනය වීම මෙහිදී අපේක්‍ෂා කෙරෙන අතර රාජ්‍යයක බලහත්කාරයෙන් මිදීම එහිදී  සිදු වෙයි. ලෝකයේ ඕනෑම රාජ්‍යයක් 
ගත් විට එම රාජ්‍යය සතුව සමාජයේ සියලු සාමාජිකයන්ට එරෙහිව අධිකාරී බලයක් පවතී.  සුජාතභාවයෙන් යුතු සමාජ ව්‍යුහයන් මොනවාද යන්න තීරණය කරන්නේ රාජ්‍යයයි. මිනිසුන් හැසිරිය යුත්තේ කෙසේද, කතාබහ කළ යුත්තේ කෙසේද පමණක් නොව මිනිසුන් සිතිය යුත්තේ කෙසේද යන්න පවා පාලනය කිරීමේ බලය රාජ්‍යය සතු වේ. රාජ්‍යය සෑම විටම පරම දේශපාලන අධිකාරීත්වය (Supreme Political Authority) තමන් සතුකර ගනී. නූතන රාජ්‍යය සතු ආයතන සඳහා වැඩි ඉතිහාසයක් නොමැත. ඒවා බිහිවනුයේ 1848 ප්‍රංශ විප්ලවයෙන් පසුව ඇතිවන සමාජ දේශපාලනික තත්ත්වයන් යටතේය.

එවක නූතන රාජ්‍යය බිහි වීම කෙරෙහි යුරෝපයේ පැවැති ජාතිකත්වය පිළිබඳ සංකල්පය මූලික වශයෙන් බලපෑ බැවින් නූතන රාජ්‍යය තුළ එදා සිට අද දක්වා ආක්‍රමණශීලීත්වය නිදන්ගතව පවතී. මැක්ස් වෙබර් නම් දාර්ශනිකයා පෙන්වා දෙන පරිදි රාජ්‍යය යනු භීෂණය සඳහා ඇති ඒකාධිකරයකි (monopoly on violence). එනයින්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ දී වුවද, රාජ්‍යය ක්‍රියාත්මක වනුයේ පීඩාකාරී, හිංසාකාරී සහ බලහත්කාරී(coercive) ලෙසය.

මේ අනුව අරාජිකවාදීන් යෝජනා කරන්නේ රාජ්‍යයෙන් තොර වූ සමාජ ක්‍රමයකි (stateless societies). එය කිසිසේත්ම බංකොළොත්භාවය නොවන අතර, සමාජයකට පරිණාමය විය හැකි උපරිම තත්ත්වයකි. අරාජික තත්ත්වයක් තුළදී හමුදාවන්, පොලීසිය ඇතුළු රාජ්‍යය සතු ආයතනය ධූරාවලියකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු කෙරේ. එනම් පොදු මහජනතාවට එරෙහිව කිසිදු රාජ්‍ය ආයතනයකට බලය මෙහෙයවීමට නොහැකිය. 

අරාජිකවාදය ගත් විටද එහි තනි ස්වරූපයක් නොමැත. අරාජිකවාදයේද විවිධ වූ ගුරුකුල සහ සම්ප්‍රදායයන් ඇත. නූතන අර්ථයෙන් අරාජිකවාදය පිළිබඳ ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපයේ ඇසුරේ ඇති වන නමුත් එවැනි ක්‍රමයක් පිළිබඳ අදහස තාඹ්වාදයේ නිර්මාතෘ ලාඹ්සි දක්වා දිවයයි. ඒ ක්‍රිස්තු පූර්ව 06 වැනි සියවසයි. ෂුවැන්සි, බාඕ ජිංයැන් වැනි ඉපැරණි චීන දාර්ශනිකයන්ද අරාජිකවාදයක් පිළිබඳ දේශනා කර තිබේ.  
තමන් අරාජිකවාදියෙකු ලෙස හඳුන්වා ගත් පළමු පුද්ගලයා වන්නේ ප්‍රංශ චින්තකයෙකු වූ පියරේ ජෝසප් පෲදෝන්ය. දේපොළ යනු කුමක්ද? යන ඔහුගේ කෘතියේදී සමාජය පෙළන සියලු අධිකාරීන් අහෝසි කළ යුතු බව පෙන්වා දෙන ඔහු වඩාත් ස්වාභාවික වූ සමාජ ක්‍රමයක් (Natural Social Order) ගැන අදහස ගෙන ආවේය.

කුමනාකාරයෙන් ගත්තද මනුෂ්‍ය ශිෂ්ටාචාරය තුළ රාජ්‍යය යනු පීඩකයෙකුගේ කාර්යය ඉටුකර ඇත්තකි. දාර්ශනික අර්ථයකින් ගත් විට අරාජිකවාදය යනු කිසිසේත් විසුළුවකට ගත නොහැක්කකි. කිසිවෙකුත් අතින් පාලනය නොවන සබුද්ධික මිනිසුන් සහිත අරාජික ලෝකයක් කවදාමුත් සිදු විය යුතු දෙයකි. 



Recommended Articles