සැප්තැම්බර් මාසය කියන්නේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලේඛක, පාඨක සියල්ලන්ගේම අවධානය යොමු වූවකි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විසිතුන් වසරක් පුරා පැවැත්වේ. කෝවිඩ් වසංගතය ලංකාව පුරා පැතිර යාමත් සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් 2021 වසරේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොපැත්වූ අතර, 2022 වසරේ පොත් ප්‍රදර්ශනය පැවැත්වූයේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අතරවාරයේදීය. මෙම ලිපිය සකස්වන්නේ එවැනි පසුබිමක පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව සමාලෝචනය කිරීමක් ලෙසය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රය තුළ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට දිවයිනේ නන්දෙසින් පාඨකයන් පැමිණීම, පෙර වසරවලදී අපට හුරුපුරුදු අත්දැකීමක් විය. මෙවර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පූර්ව ප්‍රචාරණයන් දුටු විට වෙනදා සිතට එන ප්රබෝධය හා උද්යෝගය වෙනුවට ඇතිවූයේ ප්‍රශ්නාර්ථයකි. ඉන්ධන අර්බුදය, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ආදී වූ කාරණා මෙන්ම කඩදාසි හිඟය හේතුවෙන් පොත්වල මුද්‍රණ මිල ඉහළ යාම ආදී වූ ගැටලු හේතුවෙන් පොත්වල මිල ඉහළ යාම පිළිබඳ සමාජයේ කතාබහට ලක්විය.
සියලු අභියෝග හා බාධා මැද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සුපුරුදු බිමෙහි පැවැත්විණ. 2020 වසරේදී පොත් ප්‍රකාශක කුටි 510ක් තිබූ ප්‍රදර්ශනයේ මෙවර දැකගත හැකි වූයේ ප්‍රදර්ශන කුටි 400ක් පමණකි. ප්‍රදර්ශන කුටි 110ක පමණ අඩු වීමක් සිදුව ඇති බව දැකගන්නට ලැබුණි. ලංකාවේ ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයන් සියලුදෙනා මෙවරද තම දායකත්වය ලබා දී ඇති බව දැකගන්නට ලැබුණු අතර, පෙර වසරවලදී සහභාගී වූ ඇතැම් සුළු පරිමාණ පොත් ප්‍රකාශකයන් මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගී වී නොතිබුණි.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතාගෙන් %අද^ කළ විමසීමේදී පැවසුවේ, මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා ලක්ෂ 20කට අධික ජනතාවක් සහභාගී වූ බවයි. පෙර වසරවලට වඩා, විශේෂයෙන්ම 2020 වසරට සාපේක්ෂව පාඨක පැමිණීම ඉහළ ගොස් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු 20 වෙනිදාය. එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පැය භාගයක් තුළ සමාජ මාධ්‍යයන් තුළ දහස් සංඛ්‍යාත පිරිසක් එම ප්‍රවෘත්තිය තම මිතුරු කණ්ඩායම් සමග බෙදා ගැනීමත් සමග ජනතාව මේ පිළිබඳව දක්වන උනන්දුව දැකගත හැකි වූ බවද සභාපතිවරයා අප සමග පැවසීය.
2020 වසරේ පොත් ප්‍රදර්ශනයේ පළමු දිනයට සාපේක්ෂව මේ වසරේ එහි පළමු දිනයේ (සැප්තැම්බර් 16 වනදා) විශාල පාඨක පිරිසක් පැමිණ සිටි බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම 2020 වසරට හා ඉන් පෙර වසරවලට සාපේක්ෂව පොත් මිලදී ගැනීමද ඉතා ඉහළ මට්ටමක ඇති බව සභාපතිවරයා පැවසීය. පැමිණි ජනතාවගෙන් 95෴ක්ම පොත් මිලදීගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙවර පොත් ප්‍රදර්ශනය සමග පාඨක පිරිස් අතර දැඩි කතාබහට ලක් වූ ප්‍රධාන කරුණ වූයේ පොත් මිලයි. බොහෝ පාඨකයන් &මේ පාර නම් පොත් ගන්න වෙන්නෙ නෑ. ඒ තරම් පොත්වල ගාණ වැඩි වෙලා* යැයි කියනු අසන්න ලැබුණි. පොත්වල මිල පිළිබඳවද සභාපතිවරයා අප සමග කරුණු බෙදාගත්තේය. ඔහු පැවසුවේ ප්‍රදර්ශනයේ පැවැති පොත්වලින් 10෴ ක පමණක් මෙම මිල වැඩි වීම සිදු වී තිබූ බව සභාපතිවරයා කීවේය. ඒ 2022 වසරේ මුද්‍රිත පොත්වල හා 2022 වසරේ නැවත මුද්‍රණය කරන ලද පොත්වල බවද සභාපතිවරයා සඳහන් කළේය. පැරණි මිල ගණන් යටතේ 2022 වසරට පෙර මුද්‍රණය කරන ලද පොත් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව ඇති බව අපටද පෙනුණි. ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන නිර්දේශය හා සම්මාන හිමිවීමත් සමග එම පොත් නැවත මුද්‍රණය කිරීමට සිදුව තිබෙනු දක්නට ලැබුණි. ඒ සමග එම පොත්වල මිල පෙර පැවති මිල මෙන් දෙගුණයක් පමණ වැඩී වී තිබුණි.
&අපිටත් යම් සැකයක් තිබුණා පවතින තත්ත්වය එක්ක පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ගැන. නමුත් පළමු දිනයේදීම පැමිණි ජනතාවත් එක්ක මෙවර පොත් ප්‍රදර්ශනය සාර්ථක වෙන බව අපිට පෙනුණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තමයි ලංකාවේ සියලුම පොත් එකම තැනකට පැමිණෙන අවස්ථාව. ජනතාව මේ සඳහා වසරක් සූදානම් වෙනවා. මුදල් එකතු කර ගන්නවා. මෙවරත් ලක්ෂ 20කට අධික ජනතාවක් ප්‍රදර්ශනයට ආවා. අවසාන දිනයේදී අවසන් පැය කීපය වෙද්දි සියලුම ප්‍රවේශපත්‍ර අවසන් වී තිබුණා.
මෙවර ප්‍රදර්ශන කුටි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් ඊට හේතුව ප්‍රකාශයන් අඩු වීමම නෙමෙයි. අපි ප්‍රදර්ශන කුටි සඳහා ලබා දීපු වර්ග අඩි ප්‍රමාණයන්වල වෙනස්කම් කළා. මොකද 2020ට සාපේක්ෂව මේ පාර වෙළෙද කුටි සඳහා ගිය වියදම වැඩියි. නමුත් අපි පෙර ලබාදුන් මිල ගණන් යටතේමයි ප්‍රදර්ශන කුටි ලබාදුන්නේ.
රටේ අර්බුද රැසක් අතරේ වුවත් මෙවර පොත් ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. ජනතාව පොත්පත් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බව පෙනී ගියා.* යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එසේ වුවත් මෙවර පොත් ප්රදර්ශනයේදීද ප්‍රකාශකයන් විසින් 20෴ දක්වා වට්ටම් ලබා දී තිබූ අතර, %බාගේන්^ අලෙවි ප්‍රදේශය තුළ 50෴ දක්වා වට්ටම් ලබා දී තිබුණි.
මින් පෙර වසරවලදී හා 2020 වසරේදීත් පැවැති %කැටපත් පවුර^ කාව්‍ය අවකාශය පොත් ප්‍රදර්ශන භූමිය තුළ මෙවර දක්නට නොලැබුණි. ඒ වෙනුවට කැටපත් පවුර ඩිජිටල්කරණය කරමින් කවි කිවිදියන්ට තමන්ගේ නිර්මාණ වට්සැප් අංකයකට යොමු කිරීමට අවකාශය ලබා දී තිබෙනු දක්නට ලැබුණි. එය පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණි මොහොතේ තමන්ගේ කවි සිතුවිලි කුරුටු ගෑ කවි කිවිදියන්ට, පාඨකයන්ට යම් අඩුවක් ලෙස දැනෙන්නට වූ බව නොකියාම බැරිය. වෙනදා මෙන් කැටපත් පවුර ඔබ වෙනුවෙන් විවෘත නොවීමටද හේතු වී තිබුණේ පවතින කඩදාසි හිඟය හා කඩදාසි මිල ඉහළ යාමය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් පවත්වන දේශන හා විවිධ සංස්කෘතිකාංග සහ පොත් එළිදැක්වීම් මෙවර සුපුරුදු පරිදි පැවැත්විණ. පොත් ප්‍රකාශකයන් විසින් තමන්ගේ කුටි තුළ සංවිධානය කර තිබූ %පාඨක ලේඛක හමු^ පොත් ප්‍රදර්ශනයෙහි වටිනාකම වැඩි කළේය. මන්ද යත් පාඨකයන් තම ප්‍රියතම පොත්වල රචකයන් හමුවී ඔවුන්ගේ පොත් පිළිබඳ අදහස් හා තමන් අලුතින් මිලදී ගන්නා පොත්වල අත්සන් සටහන් කරගන්නා අයුරුත්, සුහද කතාබහේ යෙදෙන අයුරුත් කවරදාටත් වඩා මෙවර පොත් ප්‍රදර්ශනය තුළ දැක ගැනීමට හැකි විය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, පොත් බැලීම්, පොත් මිලදී ගැනිම්වලින් එහාට ගිය සංස්කෘතික අවකාශයක් ගොඩනගා ඇති බව මෙවර පොත් ප්‍රදර්ශනයේදී කැපී පෙනුණි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින කාලයක පවා පොතට පතට ආදරය දක්වන, බුද්ධිමය සංවාද ගොඩනගන, දැනුම් පිපාසාවෙන් පෙළෙන මහජනකායක් දැකීමද සතුටකි. පොත් ප්‍රදර්ශනය සාර්ථක වීමම කර්මාන්තයක් ලෙස පොත් ප්රකාශනයේ පැවැත්ම පිළිබඳව සුබ ඉඟියක් ලබාදෙන බව කිව හැකිය.