අය වැයෙන් ජනතා බලාපොරොත්තු


රටක අය වැයක් යනු රජයේ ඉදිරි වර්ෂයක් සඳහා වන ආදායම් වියදම් ඇස්තමේන්තුවයි. ඒ අනුව, රජය ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම් උපයන්නේ කෙසේද ඒ කුමන මාර්ග වලින්ද යන්න පිළිබඳව ඇස්තමේන්තුකොට ඉදිරිපත් කරනු ලබයි. එසේම වියදම් සම්බන්ධයෙන් සලකා බලන විට  රජයේ  දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සඳහා මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම මුදල් ප්‍රාග්ධන වියදම් ලෙසින් සිදුකරනු ලබයි. පුනරාවර්තන වියදම් තුළින් පෙන්වන එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයන් හා රජයේ  සේවකයන් සඳහා වැටුප්, විශ්‍රාම වැටුප් යනාදියට මුදල් වෙන් කිරීම මෙහිදී සිදුවෙයි. කෙසේවෙතත් 2019 වර්ෂයේ අය-වැය සකස් කරන ලද්දේ යහපාලන රජය වන අතර, එය සංවර්ධන ඉලක්කයන් සඳහා නොව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොටගත් අයවැයක් බව දක්නට ලැබුණි. 2019 වර්ෂයේ නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටු වූ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වීමත්, පෙබරවාරි මාසයෙන් පසු ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරී යාමත් නිසා අභිනව රජයට අයවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. නව ජනාධිපතිවරයාව හා රජයට %සෞභාග්‍යයේ දැක්ම^ ප්‍රතිපත්ති ප්‍රකාශයට අවශ්‍ය සංවර්ධන දැක්ම නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අයවැයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

මේ වන විට ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත් වී වසරක් ගත වී හමාරය. කෝවිඩ් අර්බුදයත් සමග ගෙවුණු 2020 අභියෝගාත්මක වසරක් වූ බව පෙනේ. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒවා යළිත් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිඳව අලුතින් ක්‍රමෝපායන් සැකසීමේ අයවැයක් සකස් විය යුතු බව පෙනෙයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වී දින කිහිපයක් ගතවීමට මත්තෙන් ආර්ථික පුනර්ජීවය උදෙසා ආර්ථික ප්‍රතිසංස්කරණයන් කිහිපයක් ගනු ලැබීණි. එහි ප්‍රධාන වශයෙන් වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කිරීම, භාණ්ඩ මත අයකරන ලද බදු (NBT), ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම, ආර්ථික සේවා බද්ද අහෝසි කිරීම, උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කිරීම, බැංකු හා මූල්‍ය ආයතන මත පනවා තිබූ හර බද්ද ඉවත් කිරීම, කොටස් වෙළෙඳ පොළ ප්‍රාග්ධන බද්ද අහෝසි කිරීම, පොලී මත අය අයකරන ලද රැඳවුම් බද්ද අහෝසි කිරීම, දුරස්ථ සේවා බද්ද අහෝසි කිරීම, ඉදිකිරීම් අංගණ බද්ද 28෴ සිට 14෴ දක්වා අඩු කිරීම ආදී ආර්ථික ප්‍රතිසංස්කරණයන් මගින් වැටී තිබූ සියලු අංශයන් සඳහා මූල්‍යමය සහනයක් ලබාදී නගාසිටුවීම අපේක්‍ෂා කරනු ලැබූවත්, අවාසනාවකට කෝවිඩ් අර්බුදය හේතුවෙන් එහි ප්‍රතිලාභයන් හිමිකර ගැනීමට නොහැකි විය. මෙම ප්‍රතිසංස්කරණයන් තුළින් රාජ්‍ය ආදායම් වලට විශාල බලපෑමක් ඇති වූ අතර, රු. බිලියන 50කට අධික බදු ආදායමක් අහිමි වූ බව පුවත්පත් වාර්තා කර තිබුණි. එම නිසා රජය මේ වන තෙක් ආදායම හිමිකර ගැනීම හා සකස් කර ගැනීම උභතෝකෝටික අර්බුදයකට ලක් වී තිබේ.

2020 වර්ෂයේ නැවත පුරෝකථනයක් කරන ලද දත්තයන්ට අනුව අයවැය පතරය 7.9෴ක් වූ අතර, 2019දී එය පුරෝකථනය කර තිබුණේ 9.6ක් ලෙසිනි. 2019 වර්ෂයේදී නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය වියදම් පුළුල් ලෙස සීමා වූ බවක් දක්නට ලැබුණි. එම වියදම් සීමා කිරීමත්, ආනයන වියදම් කපා හැරීමත් නිසා ආර්ථිකය යම් ප්‍රමාණයකට සමබරව රඳවා තබාගැනීමට හැකියාව ලැබී තිබේ. මේ වන විට බොහෝ ආනයන සීමා කිරීම හා දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ උත්සාහයන් වල ප්‍රතිඵල ඉදිරි ආර්ථික සංවර්ධනයේදී විශාල දායකත්වයක් සපයනු ඇත. 2020 අයවැය පරතරය 9෴ක් වනු ඇති බව පුරෝකථනය කර ඇති පසුබිමක රජයට අලුතින් රැකියාවන් සඳහා බඳවාගත් උපාධිධාරීන් සඳහා වැටුප් ගෙවීමටත්, විරැකියාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් 100,000ක් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රැකියා ලබාදුන් අයවලුන් සඳහා වැටුප් ගෙවීම සඳහාත්, මිලියන 1.6ක්ව තිබූ රාජ්‍ය සේවය පුළුල් වීම තුළින් වියදම් වැඩිවීම රජයට දරා ගැනීමට සිදුවනු ඇත. ඒ අනුව දැනට ගෙන යන රාජ්‍ය සේවයේ වියදම් සීමා කිරීම තවදුරටත් සිදුකිරීම ලබන වසර දක්වා අනිවාර්ය වේ. ඒ තුළින් විශාල ආදායමක් ඉතිරිකර ගත හැකි බව පෙනේ. මිලියන ගණන් වියදම් කරමින් ජනාපධිතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය සිදුකරන පුහු අටෝප උත්සව පසුගිය කාලය තුළ දක්නට නොලැබීම ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිබේ.

කෙසේවෙතත් ඉදිරි 2021 අය-වැය අභියෝගාත්මක අය-වැයක් බව බව අවධාරණය කළ යුතුය. අය-වැය නිසි ලෙස කළමනාකරණය නොකළහොත්ආර්ථිකය කඩා වැටීම වැළැක්විය නොහැක. එසේම වර්තමාන බුද්ධිමත් ජනතාව අය-වැය තුළින් සිල්ලර යෝජනා බලාපොරොත්තු නොවන බව පෙනේ. රජය අව-වැයක් සම්පාදනය කරන්නේ කිරිපිටි මිල පහත දැමීමට වත්, අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහත හෙලිමටවත්, රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීමටවත් නොවේ. එයට එහා ගිය බලාපොරාත්තු ඇතිවය. අද දියුණු මනසක් ඇති ජනයා අපේක්‍ෂා කරනුයේ පොදු පහසුකම්, යටිතල පහසුකම් අනෙකුත් දියුණු රටවලට සාපේක්‍ෂව වැඩිදියුණු වීමයි. අද තරුණ පරපුරේ අපේක්‍ෂාව වනුයේ දියුණු ලෝකයේ රැකියා අවස්ථාවන් ගොඩනැගීමයි. ඒ සඳහා අය-වැය තුළින් පෞද්ගලික අංශය දිරිගැන්වීමත්, ශක්තිමත් කිරීමත් සිදුකළ යුතුය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම

අය-වැයක් තුළින් ඍජුවම අඩු ආදායම්ලාභීන් සඳහා මේ අර්බුදකාරී අවස්ථාවේදී සහන ලබාදිය නොහැකි වුවත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නගාසිටුවීම තුළින් නැවත නැගී සිටීමට අත්වැලක් සැපයිය හැකිය. මේ වන විට රජය මෙම ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය ජූලි මාසය වන විට මහ බැංකුව මගින් අනුමත කරන ලද ණය අයදුම්පත් ප්‍රමාණය 26,291ක් වූ අතර, එහි වටිනාකම රු. බිලියන 72ක් විය. බැංකු ක්‍රමය මගින් මේ වන විට ඉල්ලුම්පත් 18,007කින් රු. බිලියන 47ක ප්‍රමාණයක් නිදහස්කොට තිබේ. මේ මුදල් මේ වන විට කඩා වැටී ඇති සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයන් ශක්තිමත් කිරීමටත්, නගාසිටුවීමටත් යොදවා ඇති බව පෙනේ. නමුත් මෙම උවදුර හේතුවෙන් විවිධ ක්ෂේත්‍රයන් සිය ව්‍යාපාර කිරීමට නොහැකි වීම හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. එම අංශයන් හඳුනාගෙන ප්‍රාදේශීය මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍ෂණික සහනයක් ලබාදිය යුතුය. ඒ සඳහා මධ්‍යම තොරතුරු ඒකකයක් පවත්වාගෙන යමින්, අධීක්ෂණය කරමින් මුදල් අමාත්‍යාංශය කටයුතු යෙදවිය යුතුය.

අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීම

2019 වර්ෂයේදී ලංකාවේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 16.4ක් වූ අතර, එයින් ඇඟලුම් වලින් ඉපයූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 6ක් විය. ලංකාවේ අපනයන ආදායමෙන් වැඩිම විදේශීය විනිමය ආදායමක් ලබාදෙන්නේ ඇඟලුම් කර්මාන්තය තුළිනි. ලංකාවේ අනෙක් ප්‍රධාන අපනයන ආදායම් උපයන මාර්ගය වන්නේ තේ අපනයනයයි. තේ අපනයනය තුළින් 2019 වර්ෂයේදී ලැබූ විදේශීය ආදායම් ඇමරිකන් ඩොලර් බිලියන 1.2කි. රබර් ආශ්‍රිත කර්මාන්ත තුළින් ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 866ක්ද, පොල් ආශ්‍රිත කර්මාන්ත තුළින් ලැබූ ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 613ක්ද, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන තුළින් ඇමරිකන් ඩොලර් 313ක්ද, කාර්මික නිෂ්පාදනයන් වන විදුලි, ඉලෙක්ට්‍රොනික යන්ත්‍රෝපකරණ අපනයනය තුළින් ඇමරිකන් ඩොලර් මිලියන 589ක ආදායමක්ද ලබාගෙන තිබේ.

අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම් ශක්තිමත් කිරීම සඳහා යහපත්  අඩිතාලමක් දැමිය යුතුය. මේ වන විට කඩා වැටී ඇති ඇඟලුම් කර්මාන්තය තුළ තවදුරටත් රඳා පැවතීම දීර්ඝකාලීන වශයෙන් අවදානමට ලක්වන බව පෙනේ. ඇඟලුම් කර්මාන්තය තුළින් ලබා ඇති විදේශීය විනිමය  ඉදිරි  වර්ෂයන්හිදීත් තවදුරටත් බිඳවැටෙන බව පෙනේ. එම නිසා දීර්ඝකාලීන ලෙස අපනයන විවිධාංගීකරණය සඳහා යොමු විය යුතුය. තේ, රබර් අපනයන තුළ සිරවී සිටිනවාට වඩා සුළු අපනයන භෝග ලෝක වෙළෙඳ පොළ තුළ ප්‍රචලිත කිරීම මගින් වැඩි විදේශීය ආදායමක් ලබාගැනීමේ ඉලක්කයන් කරා ගමන් කළ යුතු‍ය. සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහා එම ගම්මාන හඳුනාගෙන එම ගොවීන් දිරිගැන්වීම කළයුතු වන අතර, ගොවි ජනතාවට සාධාරණ ඉහළ මිලක් ලබාදීම සඳහා විදේශීය වෙළෙඳ පොළ ගම් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුය. කඹුරුපිටියේ ප්‍රදේශය තුළ  සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහා විදේශීය වෙළෙඳ පොළක් ආරම්භ කළ හැකිය. සුළු අපනයන භෝග අපනයනකරුවන් එහි ගොනු කළ හැකිය. තේ, පොල්, රබර් වගාව හෙටට ගැළපෙන පරිදි නව තාක්ෂණය යොදා ගනිමින් නවීකරණය කළයුතු අතර, ඒ තුළින් තවදුරටත් ඵලදායීතාවය වැඩි කළ හැකිය. ඉදිරි වර්ෂ කිහිපය තුළදී පොල් හා පොල් ආශ්‍රිත නිමැවුම් තුළින් ලබන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක ඉලක්කයක් කරා ගමන් කළ යුතුය. ඒ සඳහා පොල් වගාකරුවන් දිරිමත් කිරීමත්, අවශ්‍ය ඉඩම් ලබාදීමත් කළයුතු වන අතර, පොල් නිෂ්පාදිතයෙන් වන 30෴ක අපතයන් අවම කර ගැනීමේ ක්‍රමෝපායන් සකස් විය යුතුය.

බදු ක්‍රමය සරල කිරීම

දැනට පවතින බදු ක්‍රමයේ අඩුපාඩු සකස් කිරීමට කාලය එළැඹ තිබේ. විශේෂයෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වා හඳුන්වා දීම තුළින් ඇති හැකි අයගෙන් නැති බැරි අය සඳහා වැඩි සහනයක් ලබාදිය හැකිය. %මල නොතලා රොන් ගන්නා බඹරු සේ^ ජනතාවගේ පසුම්බියට නොදැනෙන ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ වලින් අයකරන බදු අඩුකර, වෙනත් අංශයන් වලින් බදු අය කිරීම වරදක් නැත. ලංකාවේ ආදායම් බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය 150,000 සිට 200,000ක ප්‍රමාණයකි. මෙහිදී සිදුවිය යුත්තේ තවදුරටත් සරල බදු ක්‍රමයක් යටතේ බදු අයකර ගැනීම සහ බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීමයි. වැඩියෙන් ආදායම් බදු අයකර ගැනීම සඳහා ආයතන එකිනෙකට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතුය. ලංකාවේ බදු ක්‍රමය තුළ සියයට හැත්තෑවක් පමණ ප්‍රමාණයකින් ආදායම් හිමිකර ගනු ලබන්නේ වක්‍ර බදු ක්‍රමය තුළිනි. සෘජු බදු ක්‍රමය තුළින් ලබන ආදායම් වල ප්‍රතිශතය 30෴ක් පමණි. බොහෝවිට සෘජු බදු ක්‍රමයට ඇතුළත් වන්නේ ආදායම් බදු, පෞද්ගලික දේපළ බද්ද හෝ වත්කම් සඳහා බදු යන බදු අංශයන්ය. වක්‍ර බදු ක්‍රමය තුළින් ආදායම් රැස් කිරීමේදී බොහෝ විට අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වන මිල ගණන් කෙරෙහි වන බලපෑම වැඩිය. මෙහිදී සිදුවිය යුත්තේ සෘජු බදු ප්‍රතිශතය වැඩි කර ගනිමින් වක්‍ර බදු ප්‍රතිශතය අඩුකර ගැනීමයි. බොහෝ දියුණු රටවල්වල අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු වී ඇත්තේ වක්‍ර බදු ප්‍රතිශතය අඩු වීමෙනි. බදු ක්‍රමය නිසියාකාරව සකස් කර ගැනීම හා නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් නිරන්තරයෙන් ජනතාව මැසිවිලි නගන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යා හැකිය. 

විරැකියාවට පිළියම් යෙදීම

රටක ජනතාවගේ දැවෙන තවත් ප්‍රශ්නයක් ලෙස හඳුනාගත හැකි වන්නේ විරැකියාවයි. 2019 වර්ෂය වන විට රටේ විරැකියාව සියයට 4.2ක්ව පැවති අතර, පවතින අර්බුදයත් සමග ඉදිරියේදී එය සියයට 5ත් 6ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇත. රජය මේ වන විට උපාධිධාරීන් හැටදහසක් සඳහා රැකියා ලබා දී තිබෙන අතර, අඩු ආදායම්ලාභී තරුණ තරුණියන් ලක්ෂයක් සඳහා රැකියා වැඩසටහන් යටතේ රැකියා ලබා දී තිබේ. මේ තුළින් එක්තරා ආකාරයකින් තරුණ තරුණියන්ගේ විරැකියාවට පිළියමක් සපයා ඇතත්, කඩා වැටී ඇති ව්‍යාපාර හා ආයතන හේතුවෙන් රැකියා අහිමි වීමෙන් ඇතිවන පීඩනය විශාල වනු ඇත. ඒ අනුව ඉදිරි වර්ෂ කිහිපය තුළ දීනිසි ක්‍රමවේදයක් අනුව රැකියා උත්පාදනය සඳහා වැඩසටහන් සකස් කළයුතු අතර, තරුණ තරුණියන් වාණිජ භෝග වගාවන් සඳහා යොමු කිරීමට ඔවුන් දිරිගැන්විය යුතුය. මෙය විරැකියාවට හොඳ පිළියමක් වනු ඇත. තරුණ ව්‍යවසායකත්වය වර්ධනය සඳහා බැංකු ක්‍රමය හරහා අවම පොලී අනුපාතික යටතේ ණය යෝජනා ක්‍රම  හඳුන්වා දීම තුළින් වගා නොකරන ඉඩම් හඳුනාගෙන වගා කිරීමට අවස්ථාවක් ලබාදීම ඉතා වැදගත් වේ. රටේ ඉදිරි ආර්ථික සංවර්ධනයේදී මෙම වැඩසටහන් වැදගත් වන බව කිව යුතුය.

කෙසේවෙතත් මෙම කෝවිඩ් අර්බුදය ලබන වසර අග දක්වා දිව යනු ඇත. නමුත් එහි කාලසීමාව කාටවත් නිර්ණය කළ නොහැකි බව පෙනේ. දින කිහිපයක් තුළදී නැවත වතාවක් රට සාමාන්‍යකරණයට ලක් කළ යුතුය. සංචාරක කර්මාන්තය තුළ ජීවත් වූ ලක්ෂ 5කට අධික පිරිසකගේ ආදායම් අහිමි වීම බරපතළ කරුණක් වන බව පෙනේ. කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ සංචාරක කර්මාන්තකරුවන් රට විවෘත වූ පසු දේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස්කොට හෝටල් සහ නවාතැන් ආරම්භ කළ හැකිය. ඒ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පුළුල් මැදිහත් වීමක් සිදුකළ යුතුය. ඕනෑම රජයකට සෑමවිටම සහන ලබාදිය නොහැකි බව අවධාරණය කරනු කැමැත්තෙමි. ඒ සඳහා විකල්පයන් සොයා ගැනීම කාගේත් යුතුකමකි. රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීම, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ‍ව්‍යාපාර කඩා වැටී ඇති මෙම අවස්ථාවේදී සිදුකළ හැකිද යන්න ප්‍රශ්නයකි. මෙම අවස්ථාවේදී සිදුවිය යුත්තේ වැටුප් වැඩි කර ගැනීමට වඩා එම ව්‍යාපාර කඩාවැටීම ආරක්ෂාකොට තමන්ගේ රැකීරක්ෂා ආරක්ෂා කර ගැනීමයි. ඒ  සඳහා සේවක සේව්‍ය පාර්ශ්වයන් ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.

ඉදිරියේදී රට තුළ ආර්ථික අර්බුදකාරී අවස්ථාවන් ඇතිවුවහොත් එම අවස්ථාවන්ට මුහුණදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සෑම අංශයක්ම ආවරණය වන පරිදි සැකසීම ඉතා වැදගත් වේ. රජය මෙම අවස්ථාවේදී ගන්නා සෑම තීරණයක්ම දෙවරක් සිතා බලා මනා කළමනාකාරීත්වයකින් යුතුව සිදුකිරීම ඉතා වැදගත් වේ. ජනතාවට වග කියන රජයක් වශයෙන් රටේ මහජනතාව මේ අවස්ථාවේදී ආරක්ෂා කිරීම, ජනතාවගේ සුබසිද්ධිය තහවුරු කිරීම ඉදිරි රජයේ පැවැත්මට හිතකර වනු ඇත.



Recommended Articles