ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ඇති කිරීම පිළිබඳව දශක දෙක තුනක සිට රට තුළ කතා බහක් ඇති වී තිබේ. එහෙත් අද වන තෙක් ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙන අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති.මීට අමතරව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම නිසා බස් කර්මාන්තය මේ වන විට දැඩි කඩා වැටීමකට ලක්ව තිබෙන බවද බස් හිමියෝ සඳහන් කරති. එබැවින් මේ පිළිබඳව හා බස් කර්මාන්තයේ ඇති වී තිබෙන වෙනත් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමග අද කතා බහක නිරත විය.
අය කරන බස් ගාස්තුව සාධාරණද?
මගේ අදහස නම් දැනට අය කරන බස් ගාස්තුව සාධාරණ නැහැ. අසාධාරණ බස් ගාස්තුවක් ඇතිවීමේ වරද සිදු කළේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව. 2018 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය නිවැරදි ලෙස ගණනය කළේ නැහැ. ඉන්ධන වැඩිවීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීම 6.5෴ක් ලෙස ප්‍රකාශයට පත් කළා. අපේ සංගමයේ ගණනය කිරීම්වලට අනුව එම ප්‍රමාණය 08%ක්. මෙම ගණනය කිරීම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සිදු කළේ.
මේ නිසා 10%ක බස් ගාස්තුවක් ඉල්ලා සිටියා. එහෙම තියෙද්දී තවත් බස් සංගම් කිහිපයක් 15%ක් බවට පත් කළ යුතු බවට රජයට යෝජනා කළා. මේ අනුව බස් ගාස්තුව 12.5%ක් බවට පත්කළා. මීට සාපේක්ෂව අවම ගාස්තුව රුපියල් 10 සිට 12% දක්වා ඉහළ ගියා. එතැනදී විශාල ලෙස බස් ගාස්තුව ඉහළ ගියා.
මේ ආකාරයට ගාස්තු ඉහළ ගියත් බස්හිමියන්ගේ ආදායම විශාල ලෙස ඉහළ ගියේ නැහැ. එ්කට හේතු වෙලා තියෙන්නේ බස් රථයේ ආදායම නිවැරදි ලෙසට බස්හිමියන්ට ලැබෙන්නේ නැති වීමයි. මුදල් අයකිරීම කරන්නේ කොන්දොස්තරවරුන්. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් බස් රථයේ ආදායම නිවැරදි ලෙස ලබා දෙන්නේ නැහැ.
නිවැරදි ලෙස ඉතුරු මුදල් නොදීම
මෙම ගැටලුවට හා බස් හිමියාට නිවැරදි ලෙස ආදායම ලබාදීම සඳහා පෙර ගෙවුම් කාඩ්පතක් අප සංගමය මැදිහත් වෙලා 2013 වසරේදී හඳුන්වා දුන්නා. මේ සඳහා වසර දෙකකට වැඩි කාලයක් බලධාරීන් සමග සාකච්ඡා කළා. පෙර ගෙවුම් කාඩ්පත මුලින්ම බස්නාහිර පළාතට හඳුන්වා දුන්නා. නමුත් අවාසනාවට එක දිගටම ක්‍රියාත්මක කරන්න වගකිව යුත්තන් කටයුතු කළේ නැහැ.
අඩුම තරමින් ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා එවකට බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ උපාලි කොඩිකාර මහතාවත් එයට සහයෝගය දැක්වූයේ නැහැ.
සේවකයන්ට වෘත්තීය දැනුමක් තියෙනවද?
රියදුරන්ට කොන්දොස්තරවරුන්ට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ජනතාව සමග නිවැරදිව ගනුදෙනු කරන ආකාරය පිළිබඳව සේවකයන්ට වෘත්තීය දැනුමක් ලබා දෙන ආයතන නැහැ.
සමහර බස්හිමියන්ට තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳවත් ව්‍යාපාරික දැනුමක් නැහැ. මේක ගැටලුවක්. මේ නිසා අප සංගමය බලධාරීන්ට දිගින් දිගටම යෝජනා කළා සේවකයන්ට වෘත්තීය දැනුමක් හා බස් රථ හිමියන්ට ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියට ගෙන යන ආකාරයට දැනුමක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා.
ගුණාත්මක බස් සේවාවක් ඇති කිරීමට බස් රථ සේවකයන්ට දැනුමක් අවශ්‍යයි. මොකද බස් මගීන් සමග කතා කිරීම, ඉතිරි මුදල් ලබාදීම, ආචාරශීලීභාවය වැනි ගුණාංග තිබිය යුතුයි.
සේවකයන්ගේ සුබසාධන ගැටලු
සේවක මහතුන් කරන චෝදනාව සාධාරණයි. මොකද රජය බස්හිමියන්ගෙන් වාර්ෂිකව විශාල බදු මුදලක් අය කර ගන්නවා. දඩ මුදල් අය කර ගන්නවා. හැබැයි බස් නැවතුම්පොළවල් තුළ සේවක මහතුන්ට පානය කරන්න ජලය ටිකක් ගන්න තැනක් නැහැ. වැසිකිළි පහසුකම් නැහැ. විවේක ස්ථානයක් නැහැ. කෑම ටික කන්න තැනක් නැහැ. ප්‍රධාන නගරවල වැසිකිළි පහසුකම් තියෙනවා. හැබැයි බොහෝ බස් නැවතුම්පොළවල් තුළ ඒ පහසුකම් නැති තරම්. මේක බරපතළ තත්ත්වයක්.
ඒ වගේම සේවකයන්ට ස්ථිර වන ක්‍රමවේදයක් නැහැ. අවම වැටුපක් නැහැ. මෙවන් තත්ත්වයක් තුළ සේවකයන්ගෙන් ගුණාත්මක සේවාවක් ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
අර්ථසාධක හා භාරකාර අරමුදලේ දායකත්වය
දැන් තියන ක්‍රමවේදයට අනුව සේවක මහතුන් තම තමන් යෝජනා කරන දෛනික වැටුපකට සේවය කරන්නේ. අනිත් එක සේවක මහතුන් එකම බස්රථයේ සේවය කරන ක්‍රමවේදයක් භාවිත කරන්නෙත් නැහැ. මේ නිසා අර්ථ සාධක හා භාරකාර අරමුදලේ දායකත්වය ඇති කරන්නේ කොහොමද කියන කාරණය පැන නගිනවා. පොදුවේ ගත්තම සේවකයන් විශාල දෛනික වැටුපකට වැඩ කරන්නේ. දුර ගමන් සේවා බස්රථ ගත්තම ඔවුන්ට ආහාර නොමිලේ ලැබෙනවා. පළාත් සභා යටතේ තියෙන බස් රථ සේවකයන්ට ආහාර ලබා ගැනීමට බස්හිමියා මුදල් දෙනවා. ඒක නිසා ස්ථිර වැටුප් ක්‍රමයක් හඳුන්වා දීලා මෙම පහසුකම් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේවා බස් හිමියන්ට කරන්න බැහැ. ඒ සඳහා බලධාරීන් මැදිහත් වෙලා ක්‍රමවේද සකස් කරනන ඕන.
බස් රථ සේවක නිල ඇඳුම
බස් කර්මාන්තය ගුණාත්මක තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා යම් යම් තීරණ 2008 වසරේදී ගත්තා මේ අනුව පෙර ගෙවුම් කාඩ්පත ක්‍රමය හා ඊට සමගාමීව නිල ඇඳුමක් හඳුන්වා දෙන්න. ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා මේ වන විට මීට අවශ්‍ය කටයුතු කරන්න අපි ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් ඉන්නේ.
ඒකාබද්ධ කාල සටහන්
බස් කර්මාන්තයේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන ක්‍රමයක් තමයි ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය. මෙම ක්‍රමය හරහා මගීන්ට විශාල සහනයක් ලැබෙනවා. ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය ඇති කරන්න සාකච්ඡා කරන්නේ වසර 10කට අධික කාලයක සිටයි. ඒත් ලංගමය පැත්තෙන් මේ සඳහා දායකත්වයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා පසුගිය සතියේදීත් ප්‍රවාහන අමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙම ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කළොත් මගීන්ට කලට වෙලාවට ගමනක් බිමනක් යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම බස් කර්මාන්තය දියුණු කිරීමටත් හැකියාව තියෙනවා. මේ නිසා අපි බලධාරීන්ගෙන් සෑමවිටම ඉල්ලා සිටින්නේ ඒකාබද්ධ කාලසටහන් ඇති කරන්න කියලායි.
ගෙවන මුදලට ටිකට් පතක් නොලැබීම
සැම බස්රථ හිමියෙක්ම ටිකට්පත් නිකුත් කරන මැෂිමක් හෝ ටිකට් පත් සහිත පොත් ලබා දීලා තියෙන්නේ. අදාළ ගමනට අය කරන මුදල සඳහන් ටිකට් පතක් ලබාදීමට කොන්දොස්තරවරයා කටයුතු කළ යුතුයි. ටිකට් පත් ලබා දෙන්නේ නැතිනම් සේවකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂමේ නිලධාරීන්ට හෝ පළාත් ප්‍රවාහන අධිකාරීයේ නිලධාරීන්ට හැකියාව තිබෙනවා. ඒත් පළාත් ප්‍රවාහන අධිකාරීවල ඉන්න සමහර මාර්ග පරීක්ෂක නිලධාරීන් අල්ලස් අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීමක් වෙන්නේ නැහැ. මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් අවශ්‍යයි.
රථ වාහන දඩ මුදල්
දඩ ඉහළ දැමීම පිළිබඳව රට තුළ කථිකාවක් ඇති වුණා. දඩ ප්‍රමාණය වැඩි කිරීමේදී සංගමයක් වශයෙන් අපි එකඟතාව ලබා දුන්නේ නව දඩ මුදල් 06කට පමණයි. ඒත් මේ වන විට දඩ මුදල් 33ක් තියෙනවා. අපේ යෝජනාව තිබුණේ බීමත්ව රිය ධාවනය, අධික වේගය, දුම්රිය හරස් මාර්ගයේදී වැරදි ලෙස ධාවනය, රක්ෂණ බලපත්‍ර නොමැතිව ධාවනය, රිය බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වැනි කරුණු පිළිබඳවයි. ඒත් ආණ්ඩුව නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් කළේ. දඩ ප්‍රමාණය වැඩි කිරීමට අමතරව දඩ මුදල් ඉහළ දැමීමටත් ආණ්ඩුව කටයුතු කළා. හැබැයි ඊට සාපේක්ෂව යටිතල පහසුකම් දියුණු වුණේ නැහැ.
නව බදු ක්‍රමය
නව බදු ක්‍රමය හා රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම යන කාරණා බස් කර්මාන්තයට දැඩි ලෙස බලපාල තියෙනවා. මොකද බස් රථයක මිල ඉහළ යෑමට අමතරව අමතර කොටස් ඉහළ යනවා. මීට අමතරව ලීසින් ගාස්තු, සේවා ගාස්තු පවා ඉහළ යනවා. ඒ වගේම පොදුවේ නව බදු හේතුවෙන් සහ රුපියල කඩා වැටීම නිසා ව්‍යාපාරික කේෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තවලට බදු ගහලා ඒ බදු දේශපාලනඥයන් ඔවුන්ට ඕන ආකාරයට වියදම් කරනවා. එක දෙයක් කියන්න ඕන කර්මාන්ත සහ ව්‍යාපාරිකයන් නිසා තමයි රටේ ආර්ථිකය රඳා පවතින්නේ. ඒක නිසා ආණ්ඩුව කර්මාන්තකරුවන් හා ව්‍යාපාරිකයන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි.
බස් බදු ලබාදීම
බස් බදු ලබාදීම නිසා කර්මාන්තය අර්බුදයකට ලක්වෙලා කියලා සමහර පිරිස් සඳහන් කරනවා. හැබැයි ඒ වගේම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේකත් සාමාන්‍ය ව්‍යාපාරයක්. බස් බදු ලබාදීම එක් එක් ව්‍යාපාරිකයන් තෝරාගත් ව්‍යාපාරික කටයුත්තක්.
වගකිව යුතු ආයතනවල වගකීම
බස් කර්මාන්තය දියුණු කිරීම සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් පිහිටවලා තියෙනවා. ඒ වගේම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පිහිටුවලා තියෙනවා. මේ ආයතන එකක්වත් තම වගකීම නිසි ලෙස ඉටු කරන්නේ නැති තරම්, බස් රථ සේවාව නියාමනය නොකිරීම නිසා බස් මගීන් දිගින් දිගටම බස්රථවල ගමන් කිරීමෙන් ඉවත් වෙනවා. මේ යන තත්ත්වයට තවත් අවුරුදු 05ක් 06ක් ගියොත් බස් කර්මාන්තය අකර්මන්‍ය වේවි.
බස් කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක්ද?
බස් හිමියන් ජීවත් වෙන්නේ බස්රථ සේවයේ යොදවලා. මෙතැනදී බස් රථයක් මිලදී ගන්න විශාල මුදලක් ඔවුන් වැය කරනවා. රජයට විශාල මුදලක් බදු ගෙවනවා. ඒ වගේම බස් රථය නඩත්තු කරන්න විශාල මුදලක් වැය කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඔහුගේ ජීවන පැවැත්ම වෙනුවෙන්. බස් රථයේ ආදායම නිසි ලෙස ලැබෙන්නේ නැති නිසා බස්හිමියන් ආර්ථික අර්බුදවලට ලක්වෙලා තියෙන්නේ. ඒත් බස් කර්මාන්තය නිවැරදි ලෙස නියාමනය කරලා පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීමට කටයුතු කළහොත් බස් හිමියන්ටවත් ඔළුව උස්සන්න පුළුවන් වේවි. අපි විතරක් නෙවෙයි ලංගමයත් පාඩු ලබනවා. මෙම කර්මාන්ත දෙකම දියුණු කරන්න ඕන නම් නියාමන ආයතනවලට කේෂත්‍රය පිළිබඳව දැනුම තියෙන පිරිස් පත්කරන්න ඕන. ඒත් බොහෝ ආයතනවල ඉහළ පුටුවල ඉන්නේ දේශපාලනඥයන්ට අවශ්‍ය අය. පසුගිය ආණ්ඩුව කාලයේදීත් මේ දේ වුණා. වර්තමාන ආණ්ඩුවත් ඒ දේම කළා.
ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ඉහළ දැමීම
බස් ගාස්තු ඉහළ දැමීමට අප එකඟ නැහැ. හැබැයි ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඒ වෙනුවෙන් බස්හිමියන් දෛනිකව විශාල මුදලක් යොදවන්න වෙනවා.
එවන් තත්ත්වයක් තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්හිමියන් ගාස්තුවක් ඉල්ලා සිටිනවා. හැබැයි අප සංගමයේ යෝජනාව තමයි ඉන්ධන මිල සූත්‍රයට සාපේක්ෂව බස් ගාස්තුව සකස් කරන ක්‍රමවේදයක් හදන්න ඕන කියන එක. එහෙම වුණාම කාටවත් ගැටලු ඇති වෙන්නේ නැහැ. සමහර බස් සංගම්වලට ඕන ආකාරයට ගාස්තු ඉහළ දමා ගැනීමට හැකියාවකුත් නැහැ. මේ නිසා දිගටම ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් මුදල් අමාත්‍යාංශය විසින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතුයි.
බස්රථ මන්දගාමීව ගමන් කිරීම
ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය තිබුණා නම් කාටවත් ඔය වගේ දේවල් කරන්න බැහැ. ඒත් ගමන අවසන් කරන්න වෙලාවක් නැති නිසා සමහර බස්රථ රියදුරන් බස්රථ කොට කොටා යනවා වෙනන් පුළුවන්. මගීන් අපහසුතාවන්ට ලක්වන ආකාරයට බස් රථ කොට කොටා යන්න බැහැ.
එකම ස්ථානයේ විශාල වෙලාවක් බස් රථය නවත්වාගෙන ඉන්නත් බැහැ. මෙම නීති උල්ලංඝනය කරනවා නම් පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. බස්හිමියන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් කරන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලීසියයි
කර්මාන්තය දියුණු කිරීම
මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප සංගමය ආණ්ඩුවට, නියාමන ආයතනවලට ඕනෑම මොහොතක උදවු උපකාර කිරීමට සූදානම්, මේ හරහා අප යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මාර්ග තදබදයට විසඳුම් ලබාදෙන යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කරලා තියෙනවා.
අධි සහ අර්ධ සුඛෝභෝගී සේවාව
මෙම සේවා හරහා බස් මගීන් සූරා කෑමට ලක් කරනවා. අධිසුඛෝපබෝගී හෝ අර්ධ සුඛෝපභෝගී සේවාව කියලා ලෝකයේ වෙන කිසිම රටක නැහැ. ඒත් අප රට තුළ මේ දේ ක්‍රියාත්මක වෙනවා.
අර්ධ සුඛෝපභෝගී බස් සේවාවෙන් මගීන්ගෙන් ගාස්තුව මෙන් එකහමාරක් අය කරනවා. අධිසුඛෝපභෝගී සේවාවෙන් ගාස්තුව මෙන් තුන් ගුණයක් ගන්නවා. ඒත් රටකට තියෙන්න ඕන සාමාන්‍ය බස් සේවාව හා සුඛෝපභෝගී සේවාව පමණයි.
අධිසුඛෝපභෝගී සේවාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගවල ධාවනය කරනවා. මේ නිසා සාමාන්‍ය ජනතාවට එම පහසුකම ලබාගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා අධිවේගි මාර්ග තුළ සාමාන්‍ය බස් සේවාව ආරම්භ කළ යුතුයි. ජනතාව ගැන හිතලා බලධාරීන් තවමත් ඒ තීන්දුව අරගෙන නැහැ.