වනසතුන් ගැවසීගත් මහ වන මැද සරු සාර අඹ උයනක් පවත්වාගෙන යාමට එහි හිමිකරු වන ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධන මහතාට හැකි වී තිබේ. මැදවච්චිය, කෝනකුඹුක්ගොල්ලෑව ගම් මායිමෙන් ඔබ්බට වන්නට මෙම සරුසාර අඹ උයන පිහිටා ඇත.
කලක් යුද හමුදා සේවයේ නිරතව සිට පසුව රාජ්‍ය කළමනාකරණ සේවයේ විසිවසරක් ගෙවා දමා ඇති සමන් මහතා ඉන් අතරමග ඉවත්ව ඇත්තේ, මේ මහ පොළොව කෙරෙහි වූ අපිරිමිත විශ්වාසයෙනි. සිය සේවක පිරිස සමග මේ දුෂ්කර කාලේදී පවා රැයක් දවාලක් නොමැතිව වෙහෙස වී මෙම අඹ උයනෙහි කටයුතු සිදු කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසූයේ මෙවැන්නකි.
“මෙතැන ගොවිපොළ සම්පූර්ණයෙන් අක්කර තිස්පහක් විතර තියෙනවා. මං මේ ඉඩමේ ගොවිතැන් කරන්නේ වාර්ෂික බදු පදනමට. මෙතැන වැඩිම ඉඩක තියෙන්නේ අඹ වගාව. අඹ අක්කර විස්සක් විතර තියෙනවා. දැන් අස්වැන්න ගන්නවා. මේ අමාරු කාලෙත් මං මෙතැන විස්සකට විතර රස්සාව දීලා තියෙනවා.”
2009 වර්ෂයේදී පමණ ආරම්භ කර ඇති මෙම වගාබිම පසුගිය 2020 සහ 2018 වර්ෂවලදී උතුරු මැද පළාතේ හොඳම කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන ගොවිපොළ ලෙස සම්මානයට පාත්රව ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇති මෙම සම්මාන ඇගයීම් උළෙලේදී 2018 වර්ෂයේදී සමස්ත දිවයිනෙන් හොඳම ගොවිපොළ භූමි අතර 08වැනි තැන ලැබීමට තරම් සමන් ඇතුළු පිරිස වසනාවන්ත වී තිබේ.
රාජාංගණය ගොවි ජනපදයේ යාය 02 ප්‍රදේශයේ ළමා කල ගෙවා ඇති සමන්, තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා අවසන මැදවච්චියට සේන්දු වී ඇත්තේ, දෛවෝපගත ලෙසය. හෙතෙම අතීතය සිහිපත් කරමින් පැවසුයේ,
“මහ යුද්ධයක් කරලා මෙතැන අද මේ තියෙන තැනට ගෙනල්ලා තියෙන්නේ. දැන් යන්තමින් සැනසිල්ලේ දවස ගෙවෙනවා. මං ලොකු අවදානමක් ගත්තේ. මාසේ අන්තිමට පඩියක් ගත්ත රස්සාව අතඇරලා ගොවිතැන් කරනවා කිව්වහම ඇත්තටම ගෙදරින්වත් ඒකට කැමැති වුණේ නෑ. මං ආමි එකේ ඉන්න කාලේ රාජ්‍ය කළමනාකරණ සේවයේ විභාගේ පාස් වෙලා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට මුල්ම පත් වීම අරගෙන ආවා. සරප් කියන තනතුරේ තමයි වැඩ කෙරුවේ. එතැන අවුරුදු විස්සක් විතර වැඩ කෙරුවා. ඒ ඉන්න අතරේ තමයි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. එතැනින්ම තමයි මට මගේ නෝන හම්බ වුණෙත්. දැන් අපට පුතාලා දෙන්නෙක් ඉන්නවා. අපේ සීයලා, අප්පච්චිලා හොඳ ගොවියෝ. ගොවිතැන කියන එක පොඩිකාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණා. ඒ ආසාව නිසා තමයි අවසානේ කරපු රස්සාවත් අතඇරලා ගොවිතැන් කරන්න ඕන කියන අදහස ආවේ” යනුවෙනි.
මෙම ගොවිබිමේ වැඩිම වපසරියක වගා කර ඇත්තේ, ටොම් ජේ.සී. වර්ගයේ අඹ ගස්. ශ්‍රී ලාංකේය ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයන් අතරත් වඩාත්ම ප්‍රචලිත පලතුරක් බවට පත් වීමට මෙම අඹ වර්ගයට හැකි වී තිබේ. එයට බලපෑ හේතු අතර මෙම අඹ වර්ගයේ ඇති අති මිහිරි රසය සහ වාණිජමය වශයෙන් ලාභ ලැබීමත් හේතු වී ඇත. එසේම අනෙකුත් අඹ මෙන් නොව මෙම අඹ ගෙඩි ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුතු වීම සහ ගෙඩියක් බර ග්‍රෑම් 500ක් 1,000ක් පමණ විශාලත්වයෙන් යුතු වීම නිසා ඉතා හොඳ මිල ගණන් යටතේ ලාභ ලැබීමේ හැකියාව පවතියි. වැඩි මාංශල ප්‍රමාණයකින් යුතු වීම මෙන්ම පොත්තේ ඝනකම අඩු වීම නිසා වැඩි මිලක් දී හෝ එය ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට පාඩුවක් සිදුනොවේ.
එසේම හොඳ පෝෂණ ගුණයෙන් යුතු වීම මෙන්ම ඉහළ පාරිභෝගික රුචිකත්වයෙන් යුතුවීම වගාකරුවන්ට මෙමගින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි.
දරුවෙකු හරියාකාරව බලා ගන්නා සේම අඹ ගසද බලා ගැනීම හා පෝෂණය කිරීමට නම් ඒ පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් හා පුහුණුවක් තිබීම අත්‍යව්‍ය වේ. පැළ බද්ධයේදී මෙන්ම මල් හට ගැනීම, ඵල ආවරණය කිරීම සහ ඵලදාව නෙළා ගැනීම දක්වාම මේ වෙනුවෙන් කළ යුතු කරුණු බොහෝ වෙයි. මේ සඳහා හපන්කම් ඇති කිහිපදෙනෙකුම සමන්ගේ සහායට මෙහි සිටියි. සොබාදහම කෙරෙහි අපිරිමිත බැඳීමෙන් යුතු සමන් සඳහන් කළේ සමහර මිනිසුන්ගෙන් ඇති හිරිහැර දෙස බලන විට වනසතුන්ගෙන් ඇති කරදර ස්වල්පයක් බවයි.
“මෙතැනින් එහා මහ කැලේ අලි ඉන්නවා. ඒත් මේ වෙනකන් ලොකු කරදරයක් වෙලා නෑ. සමහර දවස්වලට අපට පෙනී පෙනී මෙතැනින් අලි යනවා. ඒත් හිරිහැරයක් නෑ. මේ මෑතක තමයි ගොවිපොළේ එක පැත්තකට වෙන්න අලි වැටක් ගැහුවේ. හැබැයි සත්තුන්ගෙන් කරදරයක් නැති වුණාට මිනිස්සුන්ගෙන් නම් මෙතැනට ඕන තරම් කරදර තිබුණා. දැන් තමයි ඒ හැමදේම මගඇරිලා තියෙන්නේ. එක පාරක් මෙතැන අඹ ගස් සිය ගාණකට ගිනි තිබ්බා. මං මෙතැන කැලේ එළි කරලා ගොවිතැන් කරනවා කියලා පෙත්සම් යවපු වෙලාවල් තිබුණා. ඒත් කිසිදේකින් මට කරදරයක් වුණේ නෑ. මං විශ්වාස කරන්නේ දෙවියන් මාව ආරක්ෂා කරනවා කියලා. මං මෙතැන කරන්නේ සොබාදහමට එකඟ සේවයක්” යැයිද හෙතෙම පැවසීය.
පායන අවදියේ ජල සම්පදානය සඳහා වගා ළිං හතරක් පමණ මෙහි කපා, බැඳ ඇති අයුරුත්, රාත්‍රිය ගෙවිය හැකි පැල් කිහිපයක්ද එහි ඉදිකර ඇති අයුරුත් දැකගත හැකිය. සූර්ය විදුලිබලය යොදා ගනිමින් මෙහි අඳුර දුරු කර ගැනීමට ඔහු පියවර ගෙන ඇත. සමන්ගේ දවසේ දිවා කල වැඩි වශයෙන් ගෙවෙන්නේ මේ වගාබිමෙහිය. සමහර දිනවල රාත්රියද මේ බිම ඔහුගේ නවාතැන වෙයි. නෙළා, වර්ග කොට තොග වශයෙන් විවිධ ගැනුම්කරුවන් වෙත අඹ අලෙවි කිරීම සමන්ගේ ක්රමවේදයයි. තවමත් කන්තෝරු සේවයේ නියැළී සිටීයේ නම් ඔහුද පැය අටක් එහි සිර වී මාසික පඩියකට දවස ගෙවන්නෙක් පමණකි. ඇතැම් විට ගමන එතැනින්ම නිමා වීමටද ඉඩ තිබිණි. එහෙත් දෛවය වෙනස්වුවා නොව වෙනස් කළ බව ඔහු අද පවසයි.
ජීවිත ගමනේ පනහේ කනිසමද පසුකොට ඇතත් තවමත් වියපත් නොවු සමන්ගේ දෙනෙත උෙද්යා්ගයෙන් දිලිසෙයි. අවදානම අභිමුව සටන් වැද ජීවිතය දිනීමේ සතුට ඔහුගේ මුවග පොපියයි. ඔහු අවසන මෙසේ පැවසුවේය.
“ඇත්තටම අද මේ වගා කරලා තියෙන ඉඩම මට හම්බවුණෙත් පුදුම විදිහට. මනුස්සයෙක් මරන්න අරගෙන ගියපු කිරි ඉබ්බෝ පස්දෙනෙක් ඒ මනුස්සයට හොරෙන් අරගෙන හැංගුවා. පස්සේ ඉබ්බෝ දාන්න වතුර තියෙන තැනක් හොයාගෙන එනකොට තමයි මේ ඉඩමත් එක්ක තියෙන වැව දැක්කේ. ඉස්සර මේක වැවක් නෙමෙයි නිකංම නිකං පොඩි වළක් විතරයි. පස්සේ තමයි ආණ්ඩුවෙන් ඒ වළ වැවක් කෙරුවේ. මං අර ඉබ්බෝ පස්දෙනා වළට දැම්මා. ඒ ආපු ගමනෙදි තමයි ඔහේ අතඇරලා දාල තිබ්බ මේ ඉඩම දැක්කේ. එතකොට මං ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩ. ඉතිං වගා කරන්න මේ ඉඩම අදාළ තැන්වලින් ඉල්ලලා අරගත්තා. ඒ ආපු ගමන තමයි මේ. හැබැයි කිසිදෙයක් ලේසියෙන් පහළ වුණේ නෑ. මුලින් මං මේ ඉඩමේ හදපු ගස්ලබු අක්කර ගාණක් 2009 අවුරුද්දේ මහ වැස්සට සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ලක්ෂ තිහක් විතර වතුරේ ගියා. හැමදේම කඩාවැටුණා. ජීවිතෙත් එපා වුණා. ඒත් ආයෙත් කොහොම හරි නැගිට්ටා. දැන් මං ගොඩක් දෙනෙක් දන්න මනුස්සයෙක් වෙලා ඉන්නේ මේ ගොවිපොළ හින්දා. රස්සාව කරලා පැන්ෂන් ගියා නං මං නිකංම නිකං සමන් විතරයි” යැයිද සමන් කුමාර සිරිවර්ධන මහතා පැවසීය.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග