ශ්‍රී ලංකාවේ සිදුවූ කුප්‍රකට රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ලෝක ඉතිහාසයේම විශේෂිත සිදුවීමකි. මන්දයත් රටක ජනාධිපතිවරයෙකු තමන්ගේම ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු වතාව එය බැවිනි. එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රාජ්‍ය බලය පැහැරගත් අතර, එතුමන් විසින් තවදුරටත් එම ධුරය දැරීමට තමන් අසමත් බව පෙන්වා දුන්නේය.
දේශපාලනයේදී සදාකාලික සතුරෝත්, සදාකාලික මිතුරෝත් නොමැති බව සැබෑවකි. නමුත් මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව තම දිවි පරදුවට තබා රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දැමීමට පාවිච්චි කළ ජනවරම හිමි වර්තමාන ජනාධිපතිවරයා නැවත රාජපක්ෂවරු බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට මුලසුන ගැනීම දෛවයේ සරදමකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හැර වෙනත් කිසිවකු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ජනාධිපති කිරීමේ සටනට උරදෙනු නොලැබීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු එතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහමින් භුක්ති විඳිමින් සිටි, රාජ්‍ය බලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරන ලද නායකයාය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිමතයට පිටින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජනවාරි 8 බලවේගවලට නායකත්වය ලබාදී, එම බලවේගය විසින් රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා (තෝරා ගන්නා ලද) තුරුම්පුවයි. මාගේ පෞද්ගලික තක්සේරුව නම් බුදුන් වහන්සේගේ තත්ත්වයට දශමයක් පහළ තත්ත්වයකට පත්වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය, ආදරය හා ප්‍රේමය දිනාගැනීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට නොහැකි වනු ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා සිහින දැකීමට උත්සහ කරන්නේ නම් එය තකතීරුකමකි. විශාල දේශපාලන වැරැද්දකි. නමුත් ඔහු දිගින් දිගටම තවදුරටත් එකම වරද සිදුකරමින් සිටී.
මේ මොහොතේ ජනාධිපතිවරයා වටා සිටින සියලුම දෙනාගේ ඉරණමද එයයි. නමුත් ඔවුන්ට ජනාධිපතිවරයා හා යහපාලන ආණ්ඩුවට එරෙහිව යෑමෙන්, එක් රැයකින් විපක්ෂයේ කණ්ඩායම් අතර පැවැත්මක් සකසාගත හැකි වේ. නමුත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එය එසේ නොවේ. ඔහු එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වුවද, අග්‍රාමාත්‍යවරයා සමග මාරාන්තික සටනකට එක්වූවද, රාජපක්ෂවරුන්ට මල් පහන් තබා පුද පූජා කළද, මෙම ජන පදනම තුළ පැවැත්ම සකසා ගත නොහැක්කේය.
ජනාධිපතිවරයාගේ ජන පදනම වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලනයට ලැදි ජනතාවගේ ජන පදනමයි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වැරදි දේශපාලන ගණන් හැදීම මගින් එම ජන පදනම තුළ ඔහු හුදෙකලා වී හෝ කොන්වී තිබේ. එසේම සමහර කොටස්වල මාරාන්තික විරෝධයක් ජනාධිපතිවරයා කෙරෙහි තිබේ.
අග්‍රාමාත්‍යවරයා සෑමවිටම පාහේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා ආශීර්වාදය යහපාලන ආණ්ඩුව කෙරෙහි තබා ගැනීමට දැඩි උත්සහයක් ගනී. එසේ වුවද ජනාධිපතිවරයා කල්පනා කරනුයේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා හමුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නගන අවලාදවලට යම්කිසි ආකාරයකින් අනුගත වෙමිනි.
2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබුවේ ඔහු නිර්පාක්ෂික ජනාධිපතිවරයා කියාය. වර්තමානයේදී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා හැටියට විශාල වගකීමක් පැවරී ඇති අතර, ඔහු කටයුතු කරමින් සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාට හෝ ඒ ආසන්නයටය. එය එසේ කළ යුතු බවට ජනාධිපතිවරයා එදිරිව කොන්දේසි ගොඩනැගෙමින් තිබේ.
2015 ජන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයක් තුළම ජනාධිපතිවරයා ගොඩවූයේ වැරදි බෝට්ටුවටය. තමන් අතහැර පැමිණි, එසේම තමන්ට ජනාධිපතිවරණයේදී ප්රබලතම සතුරා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ලබා ගැනීම එක්තරා ආකාරයකින් දෛවෝපගත සරදමකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීමේ කිසිදු වරදක් අප නොදකින නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එළිපිට කටයුතු කිරීමට උත්සහ කිරීම (ජනාධිපතිවරයාගේ කණ්ඩායම) ලක්ෂ හැටදෙකක් වූ ජනතාව අතර ජනාධිපතිවරයා කෙරෙහි තරහක්, වෛරයක් ඇති කිරීමට හේතුවී තිබේ.
දේශපාලනඥයෙකු නම් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහුගේ පක්ෂය, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් හා ඔහු හැදුණු වැඩුණු ජන සමාජය තුළ ආශීර්වාදය තිබිය යුතුවේ. නැතිනම් ඔහු විශාල ජන සමාජයක හුදෙකලා චරිතයක් බවට පත්වේ. ජනාධිපතිවරයෙකු එම ඉරණමට පත්වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඡන්ද පදනමක් නැති රාජ්‍ය නායකයෙකු බවට මේ වනවිට පත්ව තිබේ. තමන්ට සැබෑ ලෙසම ආදරය කරන බිරිඳක්, පවුලක් සිටියදී සතුරාගේ බිරිඳ සමඟ පවුල් කෑමට කල්පනා කරනු ලබන්නෙකුගේ තත්ත්වයට ජනාධිපතිවරයා ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයා පැවැත්මක් අපේක්ෂා කරන්නේ නම් එය මිරිඟුවකි. මන්දයත් ජනාධිපතිතුමා වටේ සිටින බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවාදීමට පසුබට නොවන බැවිණි.
අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දීගෙන් ලැබුණු දෙයක් නොමැති අතර ඉන් රටට ලැබුණු දෙයක්ද නැත. තුනෙන් දෙකක බලයක් තිබුණද එම බලය උපයෝගී කොටගෙන ජනවාරි 8 හෝ අගෝස්තු 17 වැනිදා ජනවරමට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි මට්ටමට ආණ්ඩුව පත්ව තිබුණි යැයි මට සිතේ.
එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ මොහොතේදී මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන් සතුරන් වන්නේ යම්සේද, ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝද එතරම්ම සතුරන් වෙති. එම තත්ත්වය වහා වෙනස් කළ යුතු තත්ත්වයකි.
ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේත්, එම දේශපාලකයන්ගේත් විශ්වාසය දිනාගැනීමට වහ වහා කටයුතු කළ යුතුය. එම නිසා තම තනතුරේ තමන්ට හිමිව ඇති ඉදිරි මාස 10ක පමණ කාලය දැහැමෙන් සෙමින් ගත කොට ගෞරවාන්විත සමුගැනීමකට ඉඩ සලසා ගැනීම එතුමාගේ වගකීමකි.