අමීන්ගේ නැගී​ම


බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කළේද? - කොටස 04

කාබුල් නගරය මුහුදු මට්ටමේ සිට සැතපුමකට වඩා ඉහළින් පිහිටා ඇති නමුත් ඉන් බටහිරට දෙසින් සැතපුම් දොළහක් ඈතින් පිහිටි පාග්මන් නගරය මුහුදු මට්ටමේ සිට අඩි දහසක් පමණ උසය. එය පිහිටා ඇත්තේ නගරයේ පිටුපස කෙමෙන් ඉහළට නැඟෙන පාග්මන් කඳුකරයේ බෑවුම් වල ඉහළ මායිමේ ය.  පාග්මන්, සාම්ප්‍රදායිකව කාබුල්හි පොහොසතුන් සඳහා වෙන් වූ ප්‍රදේශයක් යැයි සැලකේ. එය ගිම්හානයේදී අගනුවර ඇති අධික උෂ්ණය, දූවිලි හා තද වැලි සුළං වලින් බෙරීම සඳහා ඇති පරාදීසයකි. එසේම හිම වැටෙන විට ශීත ක්‍රීඩා සඳහා ආකර්ශනීය ස්ථානයකි. වසර ගණනාවකට පෙර මෙහි රාජකීය පවුල සඳහා වූ ගොඩනැගිලි ගණනාවක් ඉදි කර තිබුණි. නමුත්,  රාජාණ්ඩුව අවසන් වීමට පෙර සිටම ඒවා  දිරාපත්වීමට පටන් ගෙන තිබුණි .



පාග්මන් හී ගෘහ නිර්මාණ ශිල්පය ඊටම අනන්‍ය වූ අතර විසිවන සියවසේදී එහි ඉතිහාසය ඇෆ්ගනිස්ථානයේ ජාතික අභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳ ස්මාරකයකි. 1919 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා නායකත්වය දුන් අමනුල්ලා රජුගේ උපන් ස්ථානය එයයි.  නගර චතුරශ්‍රයේ ඉදිකොට ඇති ස්මාරකය යුද්ධයේදී සටන් කර මියගිය අය සිහිපත් කරයි.  වසර කිහිපයකට පෙර, 1915 දී, බ්‍රිතාන්‍යය සමඟ ඇති වූ ගැටුමේදී ඇෆ්ගන් ජාතිකයින් මධ්‍යම බලවතුන් සමඟ එකතු කර ගැනීමට පෙළඹවීමට උත්සාහ කළ ඒකාබද්ධ තුර්කි-ජර්මානු නියෝජිත කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වූ ස්ථානය ද පාග්මන් ය. මධ්‍යස්ථව සිටීමට බ්‍රිතාන්‍යයන්ට දුන් පොරොන්දුව නිසා තුර්කි-ජර්මානු නියෝජිත කණ්ඩායමේ ඉල්ලීම ඇෆ්ගන් බලධාරීන් ප්‍රතික්ෂේප කළහ. 1920 දී සෝවියට් සභාව විසින් අමීර් බලයෙන් පහ කිරීමෙන් පසු අමනුල්ලා රජු විසින් සරණාගතබාවය ලබා දුන් බුහාරා අමීර්ගේ නවාතැන පිහිටියේ  පාග්මන් වලය. ඔහු ඇෆ්ගනිස්ථානයේ ජීවත් වීම සෝවියට් සංගමය සමඟ ඇති සබඳතාවලට අභියෝගයක් එල්ල වුවද  ඇෆ්ගනිස්ථානුවන් කිසිම විටක තම ආගන්තුක සත්කාරයේ ගුණාත්මක බව දියාරූ කිරීමට හෝ සරණාගතභාවයට අදාළ නීති සංග්‍රහය කිසිම හේතුවක් නිසා උල්ලංඝනය කිරීමට නොගියේය. මේ නිසා, පාග්මන් යනු හුදු ප්‍රදේශයකට වඩා විදේශ අධිපත්‍යට ඇෆ්ගනිස්ථානය සාම්ප්‍රදායිකව දක්වන විරෝධය සඳහා වූ සංකේතයකි.

එසේම, ඇෆ්ගනිස්ථානයේ නිර්භීතකම සහ කුරිරු බව පිළිබිඹු කරන භූමියක් ලෙස පාග්මන් හැඳින්විය හැකිය. 1981 ජුලි මාසයේදී විරෝධතා ව්‍යාපාරයක් මේ අසල සිටි තරුණ හමුදා භටයින් තුන්සියයක් වට කර විරෝධතාවයට සම්බන්ධ වී සහය වන ලෙස හෝ මරණයට මුහුණ දෙන ලෙස නියෝග කළහ. ඉන් දෙසියයක් අණට කීකරු වූහ; සෙසු අය එම ස්ථානයේම මරා දැමුහ.

මෑත ඉතිහාසයේ ඉතාමත් විප්ලවවාදී හා සම්මුති වලින් තොර ඇෆ්ගන් පාලකයෙකු වූ හෆීසුල්ලා අමින් 1929  දී උපන්නේ පාග්මන් හීදීය. එම වසර ඇෆ්ගනිස්ථානයේ ඉතිහාසයට ඉතා වැදගත් වසරක් විය. ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධය උත්සන්න වීමත් සමඟම 1929 ජනවාරි 14 දින අමනුල්ලා ධුරයෙන් ඉවත් වී අසල්වැසි බ්‍රිතාන්‍ය-ඉන්දියාවට පලා ගියේය. බ්‍රිතාන්‍ය-ඉන්දියාවේ සිට ඔහු යුරෝපයට ගිය අතර වසර 30 ක් පිටුවහල් ජීවිතයක් ගත කිරීමෙන් පසු 1960 දී ඉතාලියේදී මිය ගියේය.

හෆීසුල්ලා අමින් කෙරෙහි ජනතාව අකාර්ශනය වීමට ප්‍රධාන සහ එකම හේතුව වූයේ ඔහු සුපරි බලවතුන් ඉදිරියේ දණ නොගැසූ අයෙකු වීමය. නමුත්, බලය ලබා ගෙන මාස තුනක් ( දින 104)  බලයේ රැඳී සිටි ඔහු 1979 දී ඝාතනය වීම ඇෆ්ගන් දේශපාලනයේ තවත් එක් ප්‍රධාන කඩඉමක් විය.  මේ ඔහු බලයට පත්වීම සහ බලයෙන් පහවීම පිළිබඳ කතාවයි.  

ටරාකි මෙන් ගිල්සායි-පෂ්තුන් ජනවර්ගයට අයත් අමින් කුඩා අවධියේදීම, මධ්‍යම මට්ටමේ සිවිල් සේවකයෙකු වූ ඔහුගේ පියා මියගියේය.  ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ අබ්දුල්ලාගේ සහයෙන් අමින්ට පාග්මන්හි ප්‍රාථමික පාසලකට ඇතුළත් වීමට හැකි වූ අතර ද්විතීයික හා උසස් අධ්‍යාපනය කාබුල්හිදී ලබා ගැනීමට හැකි විය. ඔහු, කාබුල් විශ්ව විද්යාලයේ විද්‍යා පීඨයේ (ගණිතය හා භෞතික විද්‍යාව අංශය) උපාධිය ලබා ගත්තේය. ඉන් පසු   ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 1957 දී නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. එහිදී ඔහු අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තේය. නැවත කාබුල් වෙත පැමිණි ඔහු මුලින්ම කාබුල් විශ්ව විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

ඔහුට ටරාකි මුණ ගැසුණේ මේ කාලය තුළ ය. ටික කලකින් යළිත් ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදයට ගියේය.  ඔහු එකල කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පාඨමාලාවට නිල වශයෙන් ඇතුළත් වූ නමුත් දේශපාලන කටයුතු ඔහුගේ අධ්‍යයන කටයුතු අතපසු කළේය.  ඔහු නැවත මොස්කව් හරහා ඇෆ්ගනිස්ථානයට පැමිණි අතර එහිදී ඔහුට ඔහුගේ සමීපතම මිත්‍රයෙකු වූ එවකට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා වූ ආචාර්ය අලි අහමඩ් පොපල් හමු විය. එම හමුවීම ඔහුගේ දේශපාලන කටයුතු වඩාත් ශක්තිමත් කළබව පෙනේ.

ඔහු යළිත් තම නිවසට පැමිණෙන විට ඇෆ්ගනිස්ථානයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (පීඩීපීඒ) හි පළමු සම්මේලනය පවත්වා තිබුණි. ඔහු නොමැතිව එහි පළමු මධ්‍යම කාරක සභාව තෝරාගෙන තිබුණි. කෙසේ වෙතත්, එම සිදුවීම දේශපාලනය කෙරෙහි ඔහුගේ උනන්දුව අඩු කළේ නැත.  ඔහු 1965 මැතිවරණයේදී පාග්මන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරග කළ අතර ඡන්ද පනහකට අඩු ප්‍රමාණයකින් පරාජයට පත් විය. 1966 දී ටරාකි පීඩීපීඒ මධ්‍යම කාරක සභාව පුළුල් කළේය. අමින් එහි පළමුව විකල්ප සාමාජිකයෙකු වූ අතර ඉන් පසු 1967 පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේය. 1969 දී ඔහු පාග්මන් නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවේ ආසනයක් දිනා ගත්තේය. පීඩීපීඒ පක්ෂය ප්‍රධාන පාර්ශව දෙකකින් එනම් ඛල්ක් සහ පර්චම් නමින් යුක්ත විය. ඛල්ක් පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම නියෝජිතයා වූයේ අමින්ය.

ඔහුව හඳුනන බොහෝ දෙනෙකු පවසා ඇත්තේ මාක්ස්වාදය ඔහු දේශපාලන බලය ලබා ගැනීමේ සාර්ථක මෙවලමක්  ලෙස භාවිතා කළ නමුත් ඔහු සැබෑ මාක්ස්වාදියෙකු නොවන බවයි.  බොහෝ දෙනෙකු අතර වඩාත් සැකයට භාජනය වූ කරුණ නම්, ඔහු කිසි විටෙකත් විවෘතව නොපෙන්වූ නමුත් දැඩි ආගමිකයෙකු ලෙස ජීවත් බවයි. ඒ සඳහා තහවුරු කරගත හැකි සාක්ෂි කිසිවක් නොතිබූ නමුත් පක්ෂය තුළ දැඩි සැකයට භාජනය වූ අමීන්ට සැලකිය යුතු සතුරන් ප්‍රමාණයක් සිටියහ. විශේෂයෙන් පක්ෂයේ පර්චම් පාර්ශවය නියෝජනය කළ පිරිස අතර අමීන්ට විශාල විරෝධයක් තිබුණි.  මෙම විරෝධය නිසාම  ඔහු උප අගමැති සහ විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කළද ඔහුටපක්ෂයේ  දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට යම්කිසි කාලයක් ගතවිය.

පර්චම් පාර්ශවය ඉවත් කිරීමෙන් පසු ඔහු හමුදා කටයුතු පිළිබඳ තාරකිගේ උපදේශක බවට පත් වූ අතර ඉන් පසු මධ්‍යම කාරක සභාවේ ලේකම් ලෙස පත් කරන ලදී. දෙරට අතර මිත්‍රත්‍ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා මොස්කව් වෙත ටරාකි කැටුව යාමේ අවස්ථාව ඔහුට ලැබුණි. මෙලෙස දේශපාලනික වශයෙන් ප්‍රභල චරිතයක් වීමට හැකිවීම රටතුළ පැවති දුෂ්කර තත්වය පසෙකලා පෞද්ගලිකව අමීන්ගේ සංතෘප්තියට හේතු විය.

1979 සැප්තැම්බර් 1 වෙනිදා ටරාකි හවානාහි පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා සෝවියට් සංගමය හරහා කියුබාව බලා පිටත් විය. ඔහුගේ ආපසු පැමිණීමේ මාර්ගයද මොස්කව් හරහා පැවති අතර, සැප්තැම්බර් 10 දා ඔහුට මාස දහහතරකට පසු පළමු වරට තම විපල්වීය සතුරා වූ බබ්රාක් මුණ ගැසුණේය. ඔවුන් අතර සිදු වූයේ කුමක්ද සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ඔවුන්ගේ සාකච්ඡාවලට සම්බන්ධ වූයේ කෙසේද යන්න තවමත් රහසකි.  සමහරුන්ට අනුව, ටරාකි ස්ව කැමැත්තෙන් බාබ්රාක් වෙත ගියේ පර්චම් සහ ඛල්ක් අතර නව සංහිඳියාවක් ඇති කරගෙන අමින් ඉවත් කොට  බබ්රාක් සහ අනෙක් පර්චම් පාර්ශවය අතර සම බලය බෙදා ගැනීම සඳහා යෝජනා කිරීමටය.

කෙසේ වෙතත්, මෙම පැහැදිලි කිරීම මඟින් සෝවියට් භූමිකාවේ ඇති සාන්ද්‍රණය තනුක කොට ඇත. එසේම, වසර ගණනාවක් තිස්සේ දෙදෙනා අතර පැවති සතුරුකමේ ගැඹුර මුළුමනින්ම නොසලකා හැර ඇත. දෙගිඩියාවෙන් සිටි ටරාකිට තම දේශප්‍රේමී ප්‍රතිවාදියා වූ බාබ්රාක් සමඟ නව සන්ධානයකට බල කිරීම සඳහා සෝවියට් සංගමය මැදිහත් වූවා විය හැකිය. ටරාකිගේ බලය රැක ගැනීම සඳහා ප්‍රධාන බාධාව අමින් වුවද  බබ්රාක් සමඟ ඔහුගේ මුල් බැසගත් වෛරය පසෙක දැමීමට ටරාකි සූදානම් වූයේ යැයි පිළිගත හැකි කාරණයක් නොවේ. සෝවියට් සංගමය විසින් අතිශය ප්‍රභල බලපෑමක් සිදුනොකොට එවැනි දේශපාලන සංහිඳියාවක් ඇතිවේ යැයි සිතීම දුෂ්කරය.

කෙසේ වෙතත් එවැනි සංහිඳියාවක් ඇතිවීම සඳහා බලපෑ හැකි දේශපාලන තත්වය අවබෝධ කරගැනීම වැදගත් වේ. පර්චම් පාර්ශවයට වඩා ඛල්ක් පාර්ශවයට සංඛ්‍යාත්මකව පිරිස් බලය වැඩියෙන් තිබුණද, ඛල්ක් පාර්ශවයට තාක්‍ෂණික පළපුරුද්දක් නොතිබුණි. එසේම රාජ්‍යය පරිපාලන පළපුරුද්දක් හෝ ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත පාලනය කිරීමට හැකියාවක්  පවා ඊට නොතිබුණි. එබැවින් පර්චම් පාර්ශවයේ සහයෝගය අත්‍යවශ්‍යය සාධකයක් විය. පක්ෂය තුළ පැවති බරපතල ගැටලු නිසා සමස්ත රාජ්‍යය පරිපාලනය දුර්වල වීම සහ අන්තවාදී සංවිධාන වලට එමඟින් පිටිවහලක් ලැබී තිබුණි. අප්‍රේල් මහා සවුර් විප්ලවයෙන් පසු රටේ සිදු වූ වැරදි සියල්ලටම ඇඟිල්ල දිගු කිරීම සඳහා බිල්ලක් සොයා ගෙන ජනතාවගේ මනස වෙනස් කළයුතුව තිබුණි. හෆීසුල්ලා අමින්, ඉහළ මට්ටමේ වැරදි තීන්දු වලට තර්කානුකූල වැරදිකරුවෙකු කිරීමට ප්‍රමාණවත් දේශපාලන වටපිටාවක් සකස්වී තිබුණි.  මෙම එකඟතාවයන් වලින් පසු, ටරාකි තනිවම කාබුල් වෙත පැමිණි අතර තමන්ට පක්ෂපාතී  පුද්ගලයින් කිහිප දෙනෙකු යොදා ගනිමින් රාජද්‍රෝහී චෝදනා සඳහා අමින් අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. අමීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පෙර වසරේ සියලු වැරදි නිවැරදි කරගෙන බබ්රාක් සමග එකතු වී නව ජාතික සංහිඳියානු ආණ්ඩුවක් තැනීම ටරාකිගේ සැලසුම විය.

මේ සඳහා ආරක්ෂක මානයක්ද තිබුණා විය හැකිය. රටේ ආරක්‍ෂක තත්ත්වය ඉතාම නරක අතරට හැරී තිබුණු අතර  ඇෆ්ගන් හමුදාවට ඊට මුහුණ දිය නොහැකි විය. ගරිල්ලන් පලවා හැරීමට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හෝ වෙනත් බාහිර හමුදා බලවේගයන්ගේ මැදිහත් වීමෙන් පමණක් සිදු කළ හැකි යන මතයට ආණ්ඩුව පැමිණ තිබුණි. අවශ්‍ය වූයේ එම මැදිහත්වීම  නීතිගත කිරීම සඳහා සුදුසු ආරාධනාවක් කිරීම පමණි. නමුත් තාරකීගේ සැලසුම සාර්ථක නොවීය. ඉතා කෙටි කාලයකදී අමීන් තම උභතෝකෝටිකය විසඳා ගත්තේය. ටරාකි මෙල්ල කළේය.  

නිලන්ත ඉලංගමුව

පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621

දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676

තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729

 



Recommended Articles