අමින් මරා දැමීමේ කේ.ජී.බී. මෙහෙයුම


බටහිර ශිෂ්ටාචාරය ඉස්ලාමීය ත්‍රස්තවාදය පෝෂණය කළේද?  - 5 කොටස

අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි.  හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි. අමින්ගේ අනුගාමිකයන් ටරාකි පක්ෂවාදීන්ට හිංසා පීඩා කිරීම නිසා තත්ත්වය වඩාත් අවුල්සහගත වී තිබුණි.  සීමිත සංඛ්‍යාවක් වූ ආරක්‍ෂක හමුදාව ඉතාමත් තීරණාත්මක සහ අවදානම් ස්ථාන කරා පමණක් යැවීමට තීරණය කරනු ලැබීය. අමින්ගේ ආණ්ඩුවට තනි නගර පාලනය කළ හැකි වුවද කැරලිකාර ප්‍රහාර සහ හමුදා කැරලි නිසා කාබුල් නගරයවත් සුරක්ෂිත වූයේ නැත. ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය තවදුරටත් බිඳ වැටෙමින් තිබුණි.

මේ අතර ටරාකි සිරකරුවෙකු ලෙස තබාගෙන රටේ ගැටලු තවදුරටත් උත්සන්න කිරීමට වඩා ඔහු අතුගා දැමීම අමින්ගේ එකම තීන්දුව වූවා විය හැකිය. මන්ද, ඇෆ්ගනිස්තානයේ ස්ටාලින් ලෙස විරුදාවලිය ලත් ටරාකි ජීවතුන් අතර සිටීම යනු අමින්ගේ දේශපාලනය දුර්වල වීමකි. ටරාකි මරා දැමිණි. ඝාතනයේ සත්‍යය යටපත් කිරීම සඳහා අමින් ප්‍රබන්ධ ගණනාවක් නිර්මාණය කළේය. නමුත් ඒවා පිළිගැනීමට කිසිවෙක් සූදානම් නොවීය.

ජයග්‍රාහී අමින් රට පාලනය කිරීමට පටන් ගත්තේ සෝවියට් සංගමය තමාට සහාය දක්වනු ඇතැයි යන අදහසිනි. නමුත්, සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, ටරාකි ඝාතනය ඔහුට කළ පෞද්ගලික අපහාසයක් ලෙස සැලකීය. පසුව සෝවියට් නායකයෝ ඇෆ්ගනිස්තානය පිළිබඳ සිය ප්‍රතිපත්තිය රහසිගතව වෙනස් කළහ. අමින් සෝවියට් සංගමය තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන බව ප්‍රසිද්ධියේ චෝදනා කළේය. නමුත් සෝවියට් සංගමය අමින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකරමින් මතුපිටින් හොඳ හිත පෙන්නුවේය.

අමින්ගේ හැසිරීම ගැන සඳහන් එක් වාර්තාවකට අනුව, අමින් දිනක් ඇෆ්ගනිස්තානයේ සේවය කළ මොස්කව් තානාපති පුසානොව්ව ඔහු හමුවට කැඳවා ඔහුගේ විරුද්ධවාදීන් තානාපති කාර්යාලයේ සඟවා තබා ගන්නවා පමණක් නොව ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන බව කියමින් චෝදනා කළේය. පුසනොව් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් ඔහු චූදිතයෙකු ලෙස සැලකිය නොහැකි යැයි තර්ක කළේය. එවිට අමින් ඔහුගේ කම්මුලට ගසා, මාක්ස්, ලෙනින් සහ බ්‍රෙෂ්නෙව් නම් සඳහන් කරමින් පෂ්තෝ භාෂාවෙන් අපහාසාත්මකව බැණ වැදී ඇත. ඔහුගේ මෙම ආවේගශීලීභාවය නිසා අමින් සෝවියට් දේශය සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුව තිබුණි. කෙසේ වෙතත්, මොස්කව් සමග අමින්ගේ සබඳතා බරපතළ ලෙස බිඳ වැටුණි. ඔහු ඝාතනය කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව සෝවියට් සංගමය තීරණය කළේය. මතුපිටින් අමින්ට සහයෝගය දක්වන බව පෙන්වමින් අභ්‍යන්තරයෙන් අමින් මරා දැමීමට අවශ්‍ය සැලසුම සකස් කෙරිණි.  ඒ අනුව අමින් ඝාතනය කිරීම සඳහා තම රහස් ඔත්තු සේවය වූ කේ.ජී.බී. නියෝජිතයන් ස්ථානගත කිරීමට සෝවියට් සංගමය කටයුතු කළේය. 

සීතල යුද්ධයේ අවසාන භාගයේදී සෝවියට් විශේෂ කාර්යයන්හි ප්‍රධානතම අතිරේක බළඇණිය වූයේ ඇන්ඩ්‍රොපොව්ගේ පෞද්ගලික උපදෙස් මත 1974දී කේ.ජී.බී. විශේෂ බළකායක් වූ ස්පෙට්ස්නාස් නමින් හැඳින්වූ කේ.ජී.බී. ඇල්ෆා කණ්ඩායම පිහිටුවීමයි. ඉතාම රහසිගත කණ්ඩායමක් වූ එහි සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර, බොහෝ අවස්ථාවලදී විදෙස්වල කරනු ලැබූ මෙහෙයුම් සඳහා සහභාගි වූයේ එම පිරිසය.  ඇන්ඩ්‍රොපොව්ගේ යුගයේදී මෙම කණ්ඩායම සිදු කළ වැදගත්ම සහ පළමු ප්‍රධාන මෙහෙයුම වූයේ 1979 දෙසැම්බර් මාසයේදී ජනාධිපති හෆීසුල්ලා අමින්ගේ කුරිරු ඝාතනයයි.  මෙම ඝාතනය සෝවියට් නායක යූරි ව්ලැඩිමිරොවිච් ඇන්ඩ්‍රොපොව්ගේ ඍජු අණින් සිදු වූ අතර, ඊට ඔහු අණ දී ඇත්තේ තමන්ට ඇති එකම පිළිතුර අමින් ඝාතනය කිරීම බව පෙන්වා දෙමිනි. අමින් ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් පාලනය අවසන් කර බටහිර දෙසට නැඹුරු වීමට සැලසුම් කරමින් සිටි බව ඔහු විශ්වාස කළේය.

පසුකලෙක මහජන පරිශීලනය සඳහා හෙළිදරව් වූ කේ.ජි.බී. රහස්‍ය වාර්තාවලට අනුව අමින් සීඅයිඒ සංවිධානය සමග කුමන්ත්‍රණය කළ බවට ඇන්ඩ්‍රොපොව් චෝදනා කර ඇත. ඒ අනුව, 1968 චෙකොස්ලොවැකියාවේ අර්බුදයේදී මෙන්, සෝවියට් සංගමයට පක්ෂපාතී කඳවුරේ කිසිදු සාමාජිකයෙකු ඉන් ඉවත් වීමට උත්සාහ කිරීම සෝවියට් සංගමයට කරන අපහාසයක් ලෙස සැලකූ අතර ඒ සෑම අවස්ථාවකදීම ‘%බ්‍රෙෂ්නෙව් මූලධර්මය’ ක්‍රියාත්මක කිරීම සඳහා ඇන්ඩ්‍රොපොව් පෙරමුණ ගත්තේය. %‘බ්‍රෙෂ්නෙව් මූලධර්මය’ යනු 1968 දී සෝවියට් සංගමය හඳුන්වා දුන් විදේශ ප්‍රතිපත්තියයි. එමගින් තම සංගමයට අයත් රටවල කොමියුනිස්ට් පරිපාලනයට තර්ජනයක් වූ ඕනෑම අවස්ථාවක සන්නද්ධ හමුදා මැදිහත්වීමක් කිරීම අනුමත කරනු ලබයි.

ඇෆ්ගනිස්තානයේ මැදිහත් වීම සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීමට ඇන්ඩ්‍රොපොව් ප්‍රමුඛ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ට ඒ වනවිට අසනීප තත්ත්වයෙන් පසු වූ බ්‍රෙෂ්නෙව්ගේ කැමැත්ත ලබාගත යුතුව තිබුණි. ඇන්ඩ්‍රොපොව් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බ්‍රෙෂ්නෙව් නොමඟ යැවූ අවස්ථා රාශියක් තිබුණි. ඇෆ්ගනිස්තානයේ හමුදා මැදිහත්වීම සඳහා අනුමැතිය ගැනීමටද ඔහු ඉදිරිපත් කළ හැකි සියලුම සාධක ගොනු කළේය. සැබෑ වුවමනාව ගැන මුලින්ම නොමඟ යවනසුලු හැඟීමක් ඇති කරමින් අමින් බලයෙන් පහ කිරීම සෝවියට් හමුදාව විසින් සිදු කරනු වෙනුවට ඇෆ්ගනිස්තානයේ විරුද්ධවාදීන් විසින් සිදු කරනු ඇති බවත්, ඊට ආධාර සැපයීම පමණක් සෝවියට් සංගමය විසින් සිදුකළ යුතු බවත් අවධාරණය කළේය. පිටුවහල්ව සිටි ඇෆ්ගන් දේශපාලන නායකයන්ගේ හමුවීමෙන් පසු ඔහු බ්‍රෙෂ්නෙව් වෙත මෙසේ සඳහන් කළේය. ‘ඔවුන්ගේ (පිටුවහල්ව සිටි ඇෆ්ගන් දේශපාලන නායකයන්) දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පීඩීපීඒහි බල සම්පන්න බලවේග අමින්ගේ පාලනය පෙරළා දමා බලයට ඒමට සැලසුම් කරලා තියෙනවා. හෆීසුල්ලා අමින් ඉවත් කිරීම සඳහා මිලිටරි හා දේශපාලන මෙහෙයුම සැලසුම් කිරීමට මිලිටරි කමිටුවක් පවා ඔවුන් පිහිටුවා තිබෙනවා. ’

1979 දෙසැම්බර් මස මුලදී, ඇන්ඩ්‍රොපොව් විසින් බ්‍රෙෂ්නෙව්ට තවත් ලිපියක් යවමින්, අමින්ගේ රහස් ක්‍රියාකාරකම්, ඔහු බටහිර රටවල් සමග එකතු වීමේ නැඹුරුව ගැන අනතුරු අඟවමින් ඇෆ්ගනිස්තානයෙන් කොමියුනිස්ට් පාලනය අවසන් වී සෝවියට් බලපෑම අහිමි වීමට ඇති ඉඩ ගැන අවධාරණය කොට ඇත.  එහිදී පූර්ණ පරිමාණයේ සෝවියට් ආක්‍රමණයකට ඇති හැකියාව ගැන සඳහන් නොකොට, කර්මාල් සහ ඔහුගේ සගයන්ට  අවශ්‍ය යුදමය ආධාර ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය. නමුත් ඇන්ඩ්‍රොපොව්ගේ සැබෑ වුවමනාව වූයේ ඇෆ්ගනිස්තානය සෝවියට් හමුදාව විසින් ආක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරගැනීම විය.

ඒ අනුව, දෙසැම්බර් 12වෙනිදා දේශපාලන මණ්ඩල රැස්වීමට පෙර බ්‍රෙෂ්නෙව්ගේ කාර්යාලයට රැස් වූ ඇෆ්ගනිස්තානු කොමිසමේ සාමාජිකයන් වන ඇන්ඩ්‍රොපොව්, උස්ටිනොව්, ග්‍රොමිකෝ සහ පොනොමරෙව් - සෝවියට් හමුදා මැදිහත් වීම සඳහා මහලේකම්වරයාගේ සහයෝගය ලබාගත්හ. එම තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කිරීම සඳහා දේශපාලන මණ්ඩලය ඇන්ඩ්‍රොපොව්, උස්ටිනොව් සහ ග්‍රොමිකෝ වෙත බලය පවරන ලදී. 

එම සියලුම කටයුතු අතිශය රහසිගත කාරණයක් ලෙස සලකා කටයුතු කළ අතර, ඊට අදාළ ලිපිලේඛන සියල්ලම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් පමණක් සකස් කළේ  අත් අකුරිනි. ඒ සඳහා වෙනදා කාර්යාල කටයුතු සඳහා සහාය වන යතුරු ලියන්නන් පවා භාවිත නොකිරීමට තීරණය කළහ. දේශපාලන මණ්ඩල සභිකයන් විසින් අත්සන් තබනු ලැබුවේ එම  අත්අකුරු සහිත ලියවිල්ලටය.

මාර්ෂල් අක්‍රොමේව් සහ ආක්‍රමණය භාර සාමාන්‍ය මාණ්ඩලික මෙහෙයුම් කණ්ඩායම සිය මූලස්ථානය උස්බෙකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව අසල ස්ථාපිත කළ අතර, එෆ්සීඩී අධ්‍යක්ෂ එස් (නීතිවිරෝධී), වඩිම් කිරිපිචෙන්කෝ සහ එහි දෙපාර්තමේන්තු 08 (විශේෂ මෙහෙයුම්) ප්‍රධානී ක්‍රසොව්ස්කි යන අය අමින් බලයෙන් පහ කිරීම අධීක්ෂණය කිරීම සඳහා රහසිගතව කාබුල් වෙත පියාසර කළහ. අමින් බලයෙන් පහකළ මෙහෙයුම වූ ඇගට් ['අගේට්' මෙහෙයුම] ආරම්භ වූයේ එලෙසය. 

මෙහෙයුමේ එදිනෙදා පාලනය ක්‍රසොව්ස්කිගේ දෙවැනියා වූ ඒ අයි ලසරෙන්කෝ වෙත පවරන ලදී. අමින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා කේ.ජී.බී. හත්වැනි (නිරීක්‍ෂණ) අධ්‍යක්ෂ කාර්යාලයේ කණ්ඩායමක් කාබුල් වෙත පැමිණියහ. එහිදී, හංගේරියාව සහ චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමට පෙර මෙන් ආක්‍රමණයක් ඇති විය හැකි බවට කිසිම සැකයක් ඇති නොකිරීමට පුළුල් උත්සාහයන් ගන්නා ලදී. සෝවියට් සංගමය අමින් මුළාවේ හෙළීම සඳහා ඔහු ඉල්ලූ මිලිටරි සැපයුම් කඩිනමින් ලබාදුන් අතර, ඔහුගේ දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් ඉදි කරන ලදී. අමින් සෝවියට් සංගමය ලබාදුන් ආධාර ගැන මහත් ආඩම්බරයෙන් කතා කළේය.

මෙම යුදමය මැදිහත්වීමේ සූදානමට වඩා රහසිගත වූයේ කේ.ජී.බී.  08වැනි දෙපාර්තමේන්තුව සකස් කළ අමින් ඝාතනය කිරීමේ සැලැස්මයි. ඇන්ඩ්‍රොපොව්ගේ එකම බලාපොරොත්තු වූයේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය ස්ථාවර කිරීමට සෝවියට් හමුදාව පැමිණෙන විට අමින් මිය ගොස් කර්මල් බලයට පැමිණ සිටීමයි. එවිට  ආක්‍රමණය නීත්‍යනුකූල කිරීම සඳහා රතු හමුදාවේ සහෝදර සහයෝගය තම රටට ලබාදෙන ලෙස කර්මල් විසින් කරන ආයාචනයක් නිකුත් කරවිය හැකිය. ඝාතනය අනුමත කිරීමේ සුපුරුදු ක්‍රියා පටිපාටියට අනුකූලව සැලැස්ම ගැන බ්‍රෙෂ්නෙව් දැනුවත් කළේය. වසරකට පෙර බල්ගේරියානු විරුද්ධවාදියෙකු ජෝර්ජි මාර්කොව් ලන්ඩනයේදී කුඩයක් තුළ සඟවා තිබූ නිහඬ තුවක්කුවකින් එල්ල කරන ලද විෂ පෙතිවලින් ඝාතනය කරනු ලැබීය. රිසින් නමැති විෂ ඒ සඳහා ලබා දුන්නේ ඇන්ඩ්‍රොපොව්ගේ පෞද්ගලික පාලනය යටතේ පැවැති කේ්‍.ජී.බී. පිටත (මෙහෙයුම් තාක්‍ෂණ) අධ්‍යක්‍ෂ මණ්ඩලයට අනුබද්ධ විෂ රසායනාගාරය විසිනි. අමින්ව ඝාතනය කිරීම සඳහා පාවිච්චි කිරීමට සැලසුම්කොට තිබූ විෂ වර්ගය වෙනස් වුවද එම විෂ ලබාදීම සම්බන්ධ වූයේද එම රසායනාගාරයම විය. එහි පළමු පියවර වශයෙන්, 08වැනි දෙපාර්තමේන්තුවේ සේවය කළ සබීර් යන සංකේත නාමයෙන් පෙනී සිටි මුටලින් අගාවර්ඩියොග්ලු ටැලිබොව් සූපවේදියෙකු ලෙස අමින්ගේ ජනාධිපති මාලිගාවේ මුළුතැන්ගෙය තුළ සේවයට එකතු කිරීමට කේ.ජී.බී. සමත් විය.

ඉරාන දේශසීමාවට සමීපව හැදී වැඩුණු චතුර ලෙස ෆාර්සි භාෂාව කතා කරන අසර්බයිජානියානු ජාතිකයෙකු වූ  ටැලීබොව් මීට පෙර ඉක්තාර් කෙෂ්ට්ගේ නමින් ඉරාන හැඳුනුම්පත් සහිතව ඉරානයේ සහ චෙච්නියා-ඉන්ගුෂැටිය යන දෙරටේම මෙහෙයුම් රාශියක් සිදුකොට ඇත. කාබුල්හිදී ඔහු ෆාර්සි කතා කරන ඇෆ්ගන් ජාතිකයෙකු ලෙස පෙනී සිටියේය. සූපවේදියෙකු ලෙස ජනාධිපති මාලිගාවේ සේවය කරමින් සිටියදී අමින් සහ ඔහුගේ සමීපතමයන් සඳහා පිළියෙල කරන ලද ආහාරවලින් සමහරකට වස එකතු කිරීමට ටැලීබොව් සමත් විය. මෙලෙස ක්‍රියාත්මක වූයේ අමින් ඝාතනය කිරීමේ කේ.ජී.බී. රහසිගත සැලසුමයි.

නිලන්ත ඉලංගමුව

පළමු කොටස - https://www.ada.lk/opinion/බටහිර-ශිෂ්ටාචාරය-ඉස්ලාමීය-ත්%E2%80%8Dරස්තවාදය-පෝෂණය-කළේද-/2-384621

දෙවන කොටස - https://www.ada.lk/opinion/ඇෆ්ගන්-ත්%E2%80%8Dරස්තවාදයට-පාර-කැපූ-සෝවියට්-කොමියුනිස්ට්වාදය/2-384676

තෙවන කොටස - https://www.ada.lk/opinion/තලේබාන්-ත්%E2%80%8Dරස්තවාදීන්ට-පෙර-ඇෆ්ගනිස්ථානයේ-දේශපාලනය/2-384729

හතරවන කොටස - https://www.ada.lk/opinion/අමීන්ගේ-නැගී%E2%80%8Bම/2-384988

 



Recommended Articles