දරුවෙකු නිසි මග යැවීමට ගුරුවරයෙකුට ඇති හැකියාව පිළිබඳ අලුතෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. නමුත් වර්තමානයේ සියලුම ක්ෂේත්‍ර මෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයද සංකීර්ණ වී ඇති නිසා එම හැකියාවන් ගුරුවරුන් අතින් ගිලිහී යන්නේද පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. විශේෂයෙන් මෙරට දරුවන්ට අධ්‍යාපනය ලැබීමට කැමැත්ත හා පෙළඹවීම ඇති කරන්නට අඩිතාලම දමන ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරුන් තුළින් එම හැකියාව ගිලිහෙමින් පවතින්නේද? මේ ඒ පිළිබඳ අත්දැකීම් සහිත විදුහල්පතිවරයෙකුගේ මතයකි.
දහසක් බලාපොරොත්තු සහිතව දෙමාපියන් තම දරුවන් පාසලට එවන්නේ තම අපේක්ෂාවන් හා තමාට කුඩා කල ළඟා කරගත නොහැකි වූ ඉලක්ක කරා දරුවා රැගෙන යාමේ බලාපොරොත්තුවෙනි. පළමු වසරට දරුවෙකු පාසලට යවන දෙමාපියන්ගේ අපේක්ෂාවන් ඉතාමත් පිවිතුරු මෙන්ම අහිංසක ඒවා විය හැකිය. පුංචි දරුවා මවගෙන් ඈත්වී පළමු ශ්‍රේණිය ගුරුවරිය වෙතට ළංවන්නේ පුංචි අහිංසක සිතේ දහසක් දේ රඳවාගෙන විය හැක. ඒ අතරින් සමහර දරුවන්ට කිසිදු අනාගත බලාපොරොත්තුවක් පාසලට ඇතුළුවන විට නොතිබෙන්නට පුළුවන. මෙලෙස පාසලට ඇතුළු වන කිනම් මට්ටමේ දරුවෙකු වුවද ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන ආදරය, සෙනෙහස, කරුණාව, දයාව එක හා සමානය.
පුංචි දරුවෝ නොයෙක් ආකාරයේ පවුල් පසුබිම්වල සිට පාසලට පැමිණෙති. ඇතැම් දරුවන්ට උදෑසන ආහාරය හෝ සපුරා ගැනීමට තරම් ආදායම් තත්ත්වයක් නොමැති විය හැක. අඩදබර බහුල පරිසරයන්වල සිට මෙන්ම මව හෝ පියා නොමැති දරුවන්, ආර්ථික අපහසුතා ඇති දරුවන් සහ ඉතාම සුඛෝපභෝගී දරුවන්ද පන්ති කාමරයක එකට අධ්‍යාපනය ලබනවා විය හැක. මෙම ළමුන් අතරින් අනාගතයේ මොන මොන තරාතිරමේ අය බිහිවේද යන්න කිසිවෙකුට හෝ කිව නොහැකිය. ඒ ඔවුන්ට තිබෙන දක්ෂතා විවිධාකාර බැවිනි. නිහඬ නිශ්චල තැම්පත් දරුවන්ට වඩා කලහකාරී, නිතරම යමක් කරමින් කතා කරන දඟකාර දරුවා අනාගතයේදී නිර්මාණශීලී දරුවෙකු විය හැක. මෙවැනි දරුවෙකුගේ සැඟවුණු දක්ෂතා එළියට ගැනීමට ඇති එකම පුද්ගලයා වන්නේ 1-5 ශ්‍රේණිවල ගුරුභවතුන් හෙවත් ප්‍රාථමික පන්ති කාමරයේ ගුරුභවතුන්ය. පාසල් අධ්‍යාපනය තුළට පැමිණෙන දරුවන්ගේ අනාගතය සාර්ථක කළ හැකි මූලිකම තැනැත්තා වන්නේ ප්‍රාථමික පන්තිවල ගුරුවරුන්ය. බොහෝ දරුවන් තම දෙමාපියන්ගේ ඇකයෙන් නික්ම නුහුරු පරිසරයක් වන පාසලට පැමිණෙන්නේ අකමැත්තෙනි. එලෙස පැමිණෙන පුංචි දරුවා පංතියට ගෙන හොඳින් කතාකර දරුවාගේ මානසික සතුට ඇතිවන අයුරින් ක්‍රියා කළ හැක්කේ මෙම ප්‍රාථමික පන්තිවල සේවය කරන ගුරුතුමියටයි.
මෙම ප්‍රාථමික ගුරුවර ගුරුවරියන් සතු වගකීම් සම්භාරය අතිමහත්ය. රටක අනාගත පරපුර රැඳී තිබෙන්නේ මෙම ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය මත බව පුන පුනා කිවයුතු නොවේ.
එක් මවක් දිනක් මා සමග මෙසේ පැවසීය. ඇයගේ පුංචි දියණිය ඉගෙනුම ලබන්නේ දෙක වසරේය. ඇය පාසල නිමවී නිවසට ආ පසු සාරියක් ඇඟලාගෙන කන්නාඩිය ඉදිරියට ගොස් ඇගේ ගුරුතුමිය අනුකරණය කරමින් පාසලේ උගන්වන ආකාරය රඟ දක්වයි. ප්‍රථමයෙන් සෙමින් ඉගැන්නුම් කරන ආකාරය රඟදක්වන ඇය ක්‍රමයෙන් ඉතා වේගයෙන් කතාකර, දරුවන්ගේ දෙමවුපියන්ට බැණ පොත් කීපයක් විසිකර පන්තිය අවසන් කරයි. මෙසේ තම දියණියගේ අනුකරණය දින කීපයක් නිරීක්ෂණය කිරීමෙන් පසු දරුවන්ගේ පොත්පත් විසිකර, බැණවැදීමට හේතුව විමසන විට මේ පුංචි දියණිය ඇයගේ මව සමග පවසා තිබුණේ, “ඒ අපේ ටීචර් හැමදාම කරන විදිය කියාය.
තවත් ගුරු මහත්මියක් දිනක් දරුවන්ට සමනලයා ගැන දෙමළ කවියක් සොයාගෙන ඒමට අණකරන ලදී. දරුවන්ගේ දෙමවුපියන්ද දෙමළ ගීතයක් සෙව්වද එය සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුදින ගුරුතුමිය පන්තියේ උගන්වන අවස්ථාවේදී දරුවන්ට හා දෙමවුපියන්ට බැණ වැදී ඇත. එම පන්තියේ ඉගෙනුම ලැබූ දරුවන් කිහිපදෙනෙකුම රාත්‍රිය මැද නින්දෙන් අවදි වී දෙමළ කවිය ගැන කියවන්නට වූ බව දෙමාපියන් අතර කතාබහක් ඇතිව තිබිණ. ඒ තරමටම මේ කුඩා දරුවන් බියවී ඇත. එම දෙමාපියන් මේ පිළිබඳ පන්තිභාර ගුරුවරියගෙන් විමසන්නට අදහස් කළද පසුව එහි අනිසි ප්‍රතිඵලද දරුවන්ට ඇතිවේ යැයි බියෙන් දෙමාපියන් නිහඬ වී ඇත. මෙවන් තත්ත්වයන් පාසල් තුළ ඇතිවන අවස්ථාවන්වලදී බොහෝ දෙමාපියන් පන්තිභාර ගුරුවරියන් සමග වැඩි සුහදතාවයක් පවත්වාගන්නට උත්සාහ දරයි. එමගින් හෝ තමන්ගේ දරුවන්ට වැඩි සැලකිල්ලක් ලබාගන්නට දෙමාපියෝ අපේක්ෂා කරති. මෙවැනි අවස්ථාවල ගුරුවරුන් අනෙක් දරුවන්ට අඩු සැලකිල්ලක් දක්වන අවස්ථා බොහෝය. මෙයින් පුංචි දරුවන්ගේ මානසික මට්ටම පහළට වැටේ.
තවත් සමහර දරුවන් ගුරුවරුන් ළඟට පැමිණෙන්නේද ඉතාමත් බියෙන් ගැහෙමිනි. ඒ ගුරුවරයාගේ සැරපරුෂ ස්වභාවය නිසාය. පාසල් තුළ තත්ත්වය මෙසේ වුවත් නිවසට වඩා පාසල පුංචි දරුවාට ප්‍රියජනක වීම ඉතාමත් වැදගත්ය. පාසල තුළදී දරුවෙකුට සෙනෙහස, කරුණාව, දයාව නොඅඩුව ලබාදීමට හැකියාව තිබෙන්නේ මෙම ප්‍රාථමික ගුරුවරයාටය.
පාසලක ඉහළ පන්තිවල අධ්‍යාපනයට වඩා ඉතාම අමාරු සහ අපහසුම අධ්‍යාපන ක්‍රියාවලිය තිබෙන්නේ ප්‍රාථමික පන්තියක් තුළය. එම අමාරුම කර්තව්‍යය සිදුකරන ගුරුවරයාගේ කැපකිරීම අගය කළ යුතුය. ලංකාවේ බොහෝ පාසල්වල දක්ෂ මෙන්ම කැපවීමෙන් කටයුතු කරන ප්‍රාථමික ගුරුභවතුන්ද බොහෝ ඇත. ඔවුන්ට මෙහිදී හිස නමා ආචාර කළ යුතුය. නමුත් මෙරට පාසල් පද්ධතියේ දරුවා ගැන නොසලකා හැර කටයුතු කරන ගුරුවරුන්ද නැත්තේම නොවේ. එම නිසා දක්ෂයින් බොහෝදෙෙනක් පාසලෙන් ගිලිහී ගොස් ඇත.
ප්‍රාථමික පන්තියක ගුරුවරයා පුංචි දරුවා පාසලට පැමිණීමට පෙර තම පන්තිකාමරයට පැමිණ සිටිය යුතුය. එවිට දරුවාට ආචාරශීලී ලෙස කතා කර පන්ති කාමරයට ඇතුළත් කර ගැනීමට ගුරුවරයාට හැකියාවක් ලැබේ. එය එම දරුවාට පාසලට තෘප්තිමත්ව පැමිණීමට සිදුකරන අමතර පෙළඹවීමක් වනු නොඅනුමානය. මෙලෙස උදෑසන උණුසුම් පිළිගැනීමක් ගුරුවරියගෙන් ලබන පුංචි දරුවා කැමැත්තෙන් පාසල තුළ කටයුතු කරගෙන යයි.
නිවසෙන් යමක් රැගෙන ඒමට කියන දරුවාට එය ගෙන ඒමට අපහසු වුවහොත් බොහෝ ගුරුවරු කරන්නේ දරුවාට හෝ දරුවන්ගේ දෙමාපියන්ට බැණවැදීමය. එසේ නොමැතිනම් දරුවා දණගැස්සවීම හෝ පන්තියෙන් එළියට දමයි.
නමුත්, දරුවා අමතා සද්භාවයෙන් ඒවා ගෙන ඒමට අමතක වූවාද? යැයි විමසීමට ගුරුවරයාට හැකි විය යුතුය. යමක් ගෙන ඒමට අමතක වුවත්, ගෙදර වැඩක් අතපසු වුවත් දරුවා පාසලට පැමිණීම පිළිබඳ සතුටු වී මීළඟ දිනයේ එය අමතක නොකළ යුතු බවට උපදෙස් ලබාදීමට ගුරුවරයෙකුට හැකි නම් එම දරුවාට පාසල තරම් වටිනා ස්ථානයක් තවත් නොමැති වනු ඇත.
තවද දරුවෙකු ප්‍රමාද වී පාසලට පැමිණි විට පන්තියට නොගැනීම, පාසලේ පිරිසුදු කිරීම් වැනි දඬුවම් දීම බොහෝ පාසල්වල සිදුවේ. නමුත් එම දරුවාගෙන් කරුණු විමසා, කමක් නෑ පරක්කුවෙලා හරි ඉස්කෝලෙට ආවනේ^ වැනි උපදෙස් ලබාදීම හරහා දරුවා පාසලට නියමිත වේලාවට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන්නේ පාසලේ ගුරුවරුන්ටය.
පුංචි කල සිටම හොඳ පුරුදුවලට දරුවාව හුරු කළ හැක්කේ එය නිරන්තරයෙන්ම ක්‍රියාවේ පවතී නම් පමණි. එය කරවීමේ හැකියාව තිබෙන්නේද ප්‍රාථමික ගුරුවරයාටය.
බොහෝ දරුවන්ට නින්දෙන් මුත්‍රා පිටවීම, බියවීම, රාත්‍රියේ හැඬීම, උදෑසන පාසල් යාමට අකමැත්ත ප්‍රකාශ කිරීම, බොහෝ විට බඩේ අමාරු ඇති බව ප්‍රකාශ කිරීම ආදී මේ සියල්ලම ප්‍රාථමික දරුවාගේ දැකිය හැක්කේ පෙරදින පාසලේදී සිදුවූ බියජනක සිදුවීම් නිසාය.
බොහෝ ගුරුවරුන් වැඩි වශයෙන් පන්තියේ වැඩවලට උදවුවන දෙමාපියන්ගේ දරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වනු ලැබීම සුලබය. එවිට රැකියාවේ නිරත වන හෝ වෙනයම් කාරණා නිසා නිතර නිතර පාසලට පැමිණීමට හැකියාවක් නොමැති දෙමාපියන්ගේ දරුවන් මානසිකව ඇද වැටේ. පාසලක දියුණුව වෙනුවෙන් දෙමාපියන් හා ගුරු මණ්ඩලය එකසේ වැඩකටයුතු කිරීම අගය කළ යුතුය. නමුත් වක්‍රාකාරයෙන් මේ හරහා පුංචි ළමුන් පීඩාවට පත්වන්නේ නම් එය සිදුනොවිය යුතුය. ඇතැම් ගම්බද පාසල් තුළ බොහෝ මවුවරුන්ද ගුරුවරුන්ට ගැති වී උදවුකරමින් පන්ති කාමරය අරක්ගෙන සිටිනු දැකිය හැක.
ප්‍රාථමික ගුරුතුමිය ගුරු පරපුරේ වටිනාම පුරුක බව හඳුනාගෙන සිටීම ඉතාම වටී. මන්දයත් ඉහළම පන්තිවලට අවශ්‍ය අයුරින් දරුවන් ගැඩගස්වා දෙන්නේ ඔවුන්ය. ප්‍රාථමික ගුරුවරුන්ගේ කැපවීම නොමැති නම් ලිවීමට කිවීමට හැකි සිසු පරපුරක් අපේක්ෂා කළ නොහැක. ඔබ කරන සේවය අතිමහත්ය. ප්‍රාථමික අධ්‍යාපනය ඉතා අසීරු කටයුත්තකි. කෙටියෙන් කියතොත් අනාගත පරපුරේ අඩිතාලමයි. සෑම දරුවෙකුටම එක හා සමානව සලකන ගුරුභවතෙකු වීම තුළින් එම ගුරුවරයා හෝ ගුරුවරිය සිදුකරගන්නේ මහා කුසල කර්මයකි. දරුවා ඉදිරියේ %ඔබද මගේ^‘ යන සිතුවිල්ල ඇතිකර ගැනීමට ප්‍රාථමික ගුරුවරුන්ට හැකියාවක් ලැබේ නම් මෙරට ප්‍රාථමික අධ්‍යාපනය මීට වඩා ඉහළට යනු ඇත. මේ සඳහා හිතුවක්කාර ළමයා තරම් නිර්මාණශීලී ළමයෙකු පාසල් පද්ධතියේ නොමැති බව ගුරුවරයා අවබෝධකර ගැනීම ඉතාම වටියි. කීකරු දරුවා හොඳ නමුත් සමහරවිට ඔහු හෝ ඇය දක්ෂ නිර්මාණකරුවෙකු නොවීමට පුළුවන. දඟකාර දරුවා නිර්මාණ හැකියාවෙන් පොහොසත් බව වටහාගත යුතුය. එක් දිනක් දඟකාර පුංචි දරුවෙකු අත්වැඩ විභාගය සඳහා ගෙන යාමට අවශ්‍ය චෛත්‍යයක් මැටියෙන් තනා රාත්‍රියේ නිවස තුළ වේලෙන්නට තබන ලදී. නිවසේ සිටි බල්ලා එය සපා එහි කෑලි කිහිපයකට කැඩී තිබෙනු පසුදින දැනගත හැකි විය. මෙය දුටු මව ඉතා කම්පා විය. දරුවාට ලකුණු නොලැබේවි යැයි පවසන ලදී. දරුවා සිනාසී එම කෑලි කීපය කවරයකට දමා පාසල වෙත ගෙන යන ලදී. මෙය දුටු ගුරුවරිය “මේ මොකද තමුසෙ මැටි කෑලි ටිකක් අරන් ආවේ * කියා දරුවාට තරවටු කළාය. ඔහු සිනාසී “ටීචර් මේක ඊයෙ රාත්‍රි‘යේ නිදන් හොරු පැමිණ කෑලි කරන ලද චෛත්‍යයක් * කියා පැවසීය. ගුරුවරිය සිනාසී ඔහුට උපරිම ලකුණු දීමට කළයුතු කළාය. සිදුවිය යුත්තේ නම් මෙයයි. ප්‍රාථමික ගුරුවරයෙකු සතු විය යුත්තේද මෙයයි.
ඩබ්.ඒ. ජානක (විදුහල්පති) බැලුම්මහර, ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලය.