හම්බන්තොට- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
මෙරට නිෂ්පාදනය වන වී අස්වැන්න ප්‍රමාණවත් නොවන පසුබිමක අද වනවිට ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීම සඳහා පිටරටින් පවා සහල් ගෙන්වීමට සිදුව තිබේ. එවන් පසුබිමක අද වනවිට පවතින්නා වූ කුඹුරු ඉඩම් ප්‍රමාණය රැකගැනීම සඳහා රටේ නීති පද්ධතිය තුළ ගොවිජන සංවර්ධන පනත ස්ථාපිත කර ඇත.
ඒ ආකාරයේ නීති පනවා තිබියදී කුඹුරු ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් බොහෝමයක් ගොවිජන සේවා මධ්‍යස්ථාන නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද වනවිට බලය සහ ධනය ඇත්තෝ රිසි සේ කඹුරු ඉඩම් ගොඩකරමින් තම වෙනත් වාණිජ අවශ්‍යතා ඉටුකරගනු ලබනුයේ රටේ නීතිය සැමට සමාන බව බිඳලමිනි.
මේ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ තුළ තම වාණිජ අවශ්‍යතා ඉටුකරගැනීම වෙනුවෙන් බොහෝ කුඹුරු ඉඩම් ගොඩකිරීම දක්නට ලැබුණද, ඒ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලය හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළ සිටින නිලධාරීන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අද වනවිට බොහෝ ප්‍රදේශ තුළ නීතිවිරෝධී ලෙස කුඹුරු ඉඩම් ගොඩකිරීම් බහුලව දක්නට ලැබේ. මෙහිදී බොහෝ ගොවීන් පවසා සිටිනුයේ ගොවිජන සේවා නීතිය ක්‍රියාත්මක වනුයේ අහිංසක ගොවීන්ට පමණක් යනුවෙනි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් ගොවිජන සංවර්ධන පනතේ කුඹුරු ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් වූ නීතිරීති අමු
අමුවේ උල්ලංඝනය කරමින්, ගොඩනැගිලි ඉදිකරන ස්ථාන ලෙස අම්බලන්තොට ගොවිජන සංවර්ධන බලප්‍රදේශයට අයත් අම්බලන්තොට, තවාලුවිල, අන්දරලන්ද සහ ගිනිගල්ලන්ද යන කුඹුරු යාය පෙන්වා දිය හැකිය.
මෙම කුඹුරු යාය තුළ 2005 වර්ෂයේ සිට මේ දක්වා විටින් විට කුඹුරු යාය ගොඩ කරමින් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකරනු ලැබූවත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් හෝ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතට අනුව, මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා පසුගිය පෙබරවාරි 20දා අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත තොරතුරු ඉල්ලුම්පතක් යොමුකළ අතර, ඒ සඳහා පසුගිය මැයි මස 12 වැනිදා පිළිතුරු ලැබුණි. එම තොරතුරු මගින් අනාවරණය වූයේ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවසරයක් ලබාගෙන නොමැති බවත්, ඒ සියලු ඉදිකිරීම් නීති විරෝධී බවත්ය.
එමෙන්ම මෙහි ඉදිකර තිබෙන ගොඩනැගිලි දෙකක් සඳහා පමණක් තහනම් නියෝගයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කාර්යාලය වෙත පිටපත් යොමුකර තිබෙන බවද එහි සඳහන් කර තිබිණි.
කෙසේ නමුත් මෙම නීතිවිරෝධී කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ තොරතුරු දැනගැනීම සඳහා පසුගිය මාර්තු මස 04 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අතර, එහිදී ලිපි අංක 9/1/3/17(III) යටතේ එවා තිබූ ලිපියේ දන්වා තිබුණේ මේ සම්බන්ධයෙන් වූ තොරතුරු එම කාර්යාලයේ නොමැති බවයි.
එහිදී අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබාගත් අදාළ ලේඛන පිටපත් තුළින් පෙනී ගියේ ලිපි අංක 9/4/03/11(I) හා 9/4/03/11(II) යටතේ පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ඉදිවෙමින් පවතින නීති විරෝධී ගොඩනැගිලි දෙකක් සම්බන්ධයෙන් පමණක් නීතිමය පියවර ගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා වෙත අදාළ ලේඛන යවා ඇති බවයි.
මේ තුළින් මනාව පෙනී යන්නේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් මෙම පිරිසට රිසිසේ නීති විරෝධීව කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා අවකාශය ලබාදී ඇති බව නොවේද? එසේ නොමැති නම් මේ ආකාරයෙන් තොරතුරු වසන් කිරීමට හේතුව කුමක්ද යන්න ගැටලුසහගත නොවේද?
කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීමට පෙර කුඹුරු ඉඩමක් නොවන බවට සහතිකයක් ලබාගැනීම සඳහා ඉඩමේ පිඹුරුපත සමග ඔප්පු පිටපතක් ඉල්ලුම්පත්‍රය සමග කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය. ලැබෙන ඉල්ලුම්පත්‍රය අනුක්‍රමික අංකයක් යටතේ ලේඛනගත කිරීමෙන් පසු ගොනුවක් විවෘත කර අනුක්‍රමික අංකය/ගොනු අංකය (බලපත්‍ර අංකය) ලෙසට සටහන් කර ඉඩම පිහිටි දිස්ත්‍රික්කය සඳහා පත්කර සිටින නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් වෙත අවශ්‍ය නිරීක්ෂණය හා නිර්දේශ සඳහා යොමුකළ යුතුය.
එමෙන්ම 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන සංශෝධිත පනතින් සංශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අනුව එම පනතේ 33 වන වගන්තිය මගින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම, පස් ඉවත් කිරීම හා ගොඩනැගිල්ලක් ඉදිකිරීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.
එමෙන්ම එම පනතේ 32-1 වගන්තියට අනුව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම පනතේම 33-1 වගන්තියට අනුව එසේ යම් කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යොදා ගෙන තිබේනම් එය ඉවත් කිරීමට බලය ලබාදී තිබේ.
එමෙන්ම 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන සංශෝධිත පනතින් සංශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අනුව, එම පනතේ 35-1 වගන්තියට අනුව යම් කුඹුරු ඉඩමක් ගොඩකිරීම තුළින් ඒ අසල කුඹුරු සඳහා ජලය ගෙන යන ජලමාර්ග අවහිර වීමද වරදකි.
කුඹුරු ගොඩකිරීමේ ජාවාරම
බොහෝදෙනා කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීමට අවශ්‍ය වූ විට මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ එම කුඹුරු ඉඩම තුළ කෙසෙල් වගා කිරීමයි. මේ ආකාරයෙන් කාලයක් කෙසෙල් වගා කිරීමෙන් අනතුරුව කුඹුරු ඉඩම ප්‍රමාණවත් ආකාරයෙන් ගොඩවන අතර, පසුව විටින් විට රහසිගතව පස් යොදමින් කුඹුරු ගොඩ කිරීම සිදුකරනු ලබයි. නමුත් ගොවිජන සේවා පනතට අනුව කුඹුරු ඉඩමක කෙසෙල් වගා කිරීමද තහනම් වේ.
අම්බලන්තොට, තවාලුවිල, අන්දරලන්ද, ගිනිගල්ලන්ද යන කුඹුරු යාය තුළ විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිවෙමින් පවතින අතර, අද වනවිටත් බොහෝමයක් පිරිස් තම ධනය සහ දේශපාලන බලය යොදා ගනිමින් රිසිසේ ගොවිජන සංවර්ධන පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් විශාල ගොඩනැගිලි ඉදිකරමින් පවතී. නමුත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාල මගින් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුකර නොමැති වීම බරපතළ ගැටලුවක් වී තිබේ.
මේ අතර එම කුඹුරු යාය තුළම සිටින තවත් අහිංසක ගොවි මහත්වරුන් 12 දෙනෙකු තමන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා එම කුඹුරු යායේ කුඹුරු කිහිපයක් ගොඩකර ගැනීමට අවසර ඉල්ලා ඇති නමුත්, ඒ සඳහා වසර පහකට අධික කාලයක සිට මේ දක්වා අවසර ලබාදී නොමැත.
නමුත් විශාල හෝටල්, වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් 2005 වර්ෂයේ සිට මේ දක්වා අදාළ කුඹුරු යාය තුළ ඉදිවුවත් අද වනවිටත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් ඒ ඉදිකරනු ලබන කිසිදු නීති විරෝධී ගොඩනැගිල්ලක් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ ඉවත් කිරීමට කටයුතු නොකිරීම තුළින් පෙනී යන්නේ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ, කුඹුරු ඉඩම් ගොඩකිරීම් සඳහා වූ නීතිය ක්‍රියාත්මක වන්නේ අහිංසක ගොවි මහතුන් සඳහා පමණක් මිස ධනවතුන්ට හා බලවතුන්ට නොවන බවයි.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් සමන් ප්‍රේමලාල් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙම කාරණාව සම්බන්ධයෙන් සොයා බලන බවත්, කිසිවෙකුට නීති විරෝධීව කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා නොදෙන බවත්ය.