අභියෝගවලට අභියෝගයක් වූ ඔහු බැසිල්


රට තුළ මේ වන විට කතාබහට ගැනෙන මාතෘකාවක් වී ඇත්තේ බැසිල් රාජපක්‍ෂගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳවයි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂ ඇතැම් කණ්ඩායම් හා විපක්ෂය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැහැදිලි වන්නේ ඔවුන් දේශපාලන වේදිකා තුළ කියන කතා තුළිනි. විපක්‍ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකුද පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු එන බව ඔවුන් බොහෝ කලක සිට දන්නා බවයි. ඔවුන්ට අමතක වී ඇත්තේ ඔහු පමණක් නොව මේ රටේ පොදු මහජනතාව මේ කරුණු බොහෝ කලක පටන් දන්නා බවයි. විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂගේ පාර්ලිමේන්තු ආගමනය පොදුජන පෙරමුණේ පහළ ක්‍රියාකාරීන්ගේ අමන්දානන්දනයට හේතුවක් වී තිබේ.

1977 මුල්ගිරිගල ආසනයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී, දේශපාලනයට පැමිණි ඔහු 1994 මහ මැතිවරණයේදී තම සොහොයුරු මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළේය. පසුව ඇමෙරිකාවේ පදිංචියට ගොස්, එහි කෙටි කලක් ජීවත් විය. ඉන්පසු 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවාද, උපක්‍රමිකයෙකුද වශයෙන් නැවතත් දේශපාලනයට අවතීර්ණ විය. පසුව ඔහු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වශයෙන් විවිධ පැතිකඩයන්හි කටයුතු කරමින් එම අසීරු කාලපරිච්ඡේදය තුළදී ඔහුට ශක්තියක් විය. 2007 වර්ෂයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2007 සිට 2010 දක්වා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු හා ජනාපධිතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ. පසුව 2010 වර්ෂයේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 425,861ක විශිෂ්ට ජයග්‍රහහණයක් ලබා 2010-2015 කාලය තුළදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් විවිධ ක්‍ෂේත්‍රයන් තුළ ප්‍රගතිය සඳහා දායකත්වය සපයා තිබේ. ලංකාවේ එම වකවානුව තුළ ක්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන වැඩසටහන් 03ක් වූ දිවිනැගුම ව්‍යාපෘතිය, උතුරු වසන්තය හා නැගෙනහිර උදානය යන වැඩසටහන්වල නිර්මාතෘවරයා වන්නේ ඔහුය.

දිවිනැගුමේ නිර්මාතෘවරයා

2013 අක 01 දරණ දිවිනැගුම පනත යටතේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. විශේෂයෙන් ලංකාවේ දුප්පත් ජනතාව දරිද්‍රතාෙවන් මුදවාගැනීම සඳහා පිහිටු වූ සමෘද්ධි වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් දිවිනැගුම දෙපාර්තමේන්තුව ගොඩනැගුණේ ලංකාවේ දුප්පත්කම තුරන් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළවල් හඳුන්වා දෙමිනි. 2014  ජනවාරියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය යන ආයතන 05ක් එකට එකතු කරමින් මෙම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් තුළ, ග්‍රාමසේවා නිලධාරී වසම් 14022ක් ආවරණය වන පරිදි පැතිරී ක්‍රියාත්මක විය. කලාප 6ක් වශයෙන් බෙදා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක විය.  විශේෂයෙන් නිල ව්‍යාපෘතීන් සහිත දෙපාර්තමේන්තු ධාරාවත්, ප්‍රජා මූල බැංකු පද්ධති ධාරාවත්, ප්‍රජා මූල සංවිධාන ධාරාවත් ක්‍රියාත්මක විය.  මෙම වැඩසටහන සලකා බැලීමේදී රටේ සියලු ප්‍රදේශ හා අංශයන් ආවරණය වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක වීම දක්නට ලැබිණ. ප්‍රජා මූල හා ජීවනෝපාය සංවර්ධන කාර්යාලය, දිවිනැගුම බැංකු පද්ධතිය තුළින් ලංකාවේ හතර දිග්භාගයේ දුප්පත් ජනතාවගේ ජීවන රටාව වර්ධනයටත්, ක්‍රය ශක්තිය සංවර්ධනය කිරීම සඳහාත් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක විණ.

විශේෂයෙන් කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කර්මාන්තය, භෝග වගාව, අත්කම්, මැණික් කර්මාන්තය, කුකුල් පාලනය, ගව පාලනය, මීමැසි පාලනය, සාම්ප්‍රදායික කර්මාන්ත යන සියලු අංශයන්ගේ ප්‍රගතිය සඳහා මූල්‍ය පහසුකම් හා දැනුම මේ තුළින් ලබා දී තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ සියලු ව්‍යාපෘති පසු විපරමකට ලක්වීමයි. කුඩා කර්මාන්ත, කුඩා ව්‍යවසාය ප්‍රජාවන් ඇති කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීම තුළ එම ජනතාව ඉහළට ඔසවා තබා ජාතික ආර්ථීකයට විශාල ශක්තියක් මෙන්ම විශාල දායකත්වයක් සැපයිණි.

එවකට මුළු රාජ්‍ය සේවයම සක්‍රීයව ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට තිබිණි. ගමේ ග්‍රාම සේවකගේ සිට සංවර්ධන නිලධාරියා දක්වාම සියලු රාජ්‍ය සේවකයන් සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගෙන තිබුණේ ඔහුගේ සංකල්පය අනුවය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ආර්ථික සංවර්ධන නිලධාරියෙක් සේ, උපාධිධාරීන්ට පත්වීම් ලබා දී තිබූ අතර, මහින්ද රාජපක්‍ෂ රජයේ උපාධිධාරීන් රටේ විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමු කර ස්ථිර පත්වීම් ලබාදෙන ලද්දේ බැසිල් රාජපක්‍ෂ මහතා බව කවුරුත් දන්නා කරුණකි.

උතුරු වසන්තය, නැගෙනහිර උදානය

විශේෂයෙන් යුද්ධයෙන් පසු උතුරු වසන්තය, නැගෙනහිර උදානය සංවර්ධන යෝජනා ක්‍රම මගින් උතුරු හා නැගෙනහිර පළාත්වල අද පවතින පුළුල් සංවර්ධනයේ නියමුවා වන්නේද ඔහුය. ඔහුගේ මෙම වැඩසටහනින් පසු උතුරු හා නැගෙනහිර පළාත්වල මෙවැනි පුළුල් සංවර්ධනයක් වුවාද යන්න සැක සහිතය. ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම, උතුරු හා නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීමත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ මූල්‍ය ශක්තීන්හි වර්ධනය සඳහා ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම මගින් එම පළාත්වල ජනතාවට ශක්තියක් ලබාදීමට හැකි විය.

ක්‍රමෝපායික සැලසුම්කරුවෙකු

බැසිල් ගැන දේශපාලන භූමිකාව තුළද බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ක්‍රමෝපායික සැලසුම්කරුවෙකු ලෙසය. ගරු ගාමිණී දිසානායක මහතා සමග දේශපාලනය කිරීම තුළින් හොඳ අත්දැකීම් සම්භාරයක් ලබාගෙන ඇති බව පෙනේ. 2005 වර්ෂයේ මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වන්නේද ඔහුය. ඉන්පසු 2010 වර්ෂයේද, 2015 පරාජයට පත්වූ ජනාධිපතිවරණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වන්නේද බැසිල් බව කවුරුත් දන්නා කරුණකි. ජයග්‍රහණයන්ට හා පරාජයන්ට නොබියව මුහුණ දුන් ඔහු 2015 ජනාපධිතිවරණ පරාජයේ වගකීම ඍජුවම භාර ගත්තේය. පරාජයේ වගකීම භාරගැනීම ප්‍රායෝගික දේශපාලනඥයකුගේ යහපත් ලක්‍ෂණයකි. එහිදී ඔහු රටින් පිටවන විට සිතන්නට ඇත්තේ නැවතත් රාජපක්‍ෂ පාලනය රට තුළ කවදා හෝ ගෙන එන බවකි. ඔහු සිතුදේ කරන අධිෂ්ඨානයෙන් හෙබි නායකයෙකි. අනෙක් විශේෂත්වය වන්නේ නිලධාරීන්ට ඔහු ඇන්දවීමට නොහැකි වීමයි. ඉතා කෙටි පැහැදිලි කිරීමකින් සියලු දේ තේරුම් ගන්නා ඔහු විචක්ෂණශිලියෙකි.

2015 මැතිවරණ පරාජයෙන් පසු සී සීකඩ කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වාමාංශික කණ්ඩායම ඒකරාශී කර ගැනීම සඳහා කලබල නොවී කාලය පැමිණෙන තෙක් බලා සිටියේය. එදා විමල්, ගම්මන්පිල, මහින්ද සුළඟ ආරම්භ කරමින් ඒ සඳහා පසුබිම සකස් කර තිබුණත්, ජනතාවට ඒකරාශී වීමට දේශපාලන පක්‍ෂයක් ගොඩනැගිය යුතු බව ඔහුගේ මනසේ ඇඳී තිබෙන්නට ඇත. 2017 වර්ෂයෙහි බදුලු දිස්ත්‍රික්කය හා දිස්ත්‍රික්ක කිහිපයක් පාදක කර ගනිමින් ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්ගේ ගෙදරටම ගොස් ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට තමන්ගේ නියෝජිතයන් යවා ආරම්භ කරන ලද වැඩසටහන පසුව බදුල්ල දිස්ත්‍රික්කය පාදක කොට ගනිමින් එහි රැස්වීම් මාලාවක් සංවිධානය කොට රට පුරා ප්‍රාදේශීය නියෝජිතයන් කැඳවීම් කළේය. ඉන්පසු නාත්තන්ඩිය ප්‍රදේශයේ කැනොවිල් හෝටලයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් ප්‍රාදේශීය සභා සභිකයන් කැඳවා සිදුකරන ලද ඓතිහාසික රැස්වීම දේශපාලන පක්‍ෂයක් ගොඩනැගීමට සුවිශේෂී සන්ධිස්ථානයක් විය. මෑත ඉතිහාසය තුළ ගෝල්ෆේස් පිටිය පිරෙන්න මැයි දිනයකදී ජනගංගාවක් එක්රැස් කිරීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය. අති විශිෂ්ට ප්‍රාදේශීය සභා ඡන්දයකට පාර කපන ලද්දේද බැසිල් බව කවුරුත් දන්නා කාරණයකි. ක්‍රම ක්‍රමයෙන් ආණ්ඩු බලය ඇල්ලීමේ ක්‍රමය දන්නේ ඔහුය. එකී ක්‍රමෝපායික සැලසුම්කරු වන්නේ ඔහුය. ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හා විශාල බලයක් සහිත පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයේ කළමනාකරුවා ඔහුය. එම ජයග්‍රහණයන්ගේ සැලසුම නිර්මාණය වන්නේ අද ඊයේ නොවේ. මෙයට වසර ගණනාවක සිටය. පක්ෂයක් නිර්මාණය වූ පමණින් ජනතා විශ්වාසය ගොඩනැගෙන්නේ නැත. ඒ සඳහා සංවිධාන ව්‍යුහයක් ගොඩනැගිය යුතුය. පංච මහා බලවේගයන් සංවිධානය කළ යුතුය. අනුබද්ධ සංවිධානය ගොඩනැගිය යුතුය. එයට අමතරව කෙටි දැණුම්දීමකින් පවා ජනතාව ඒකාරාශී කර ගැනීමේ යාන්ත්‍රරණයක් ගොඩනැගිය යුතුය. එක කෙටි පණිවිඩයකින් ජනතාව ඒකාරාශී කර ගැනීමේ යාන්ත්‍රණය ඔහු ගොඩ නැගුවේය. තම පෞද්ගලික කැපවීම අද දැවැන්ත පක්ෂයක් ගොඩනැගීම සඳහා දායක විය.

කෝවිඩ් වසංගතය ආරම්භ වීමත් සමග ඔහු යළිත් සක්‍රීය ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ විය. ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා වශයෙන් කෝවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වී සිටින දුප්පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේ පියවරක් වශයෙන් සෑම කෙනෙකුටම රු.5000ක දීමනාවක් ලබාදීම සිදුකෙරිණි.

අනාගත අභියෝග

වාර්තාවන්වල සඳහන් පරිදි ඔහු හෙට (07දා) දිනයේ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතය. කෙසේ වෙතත් ඔහුට ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බව පෙනේ. සාමාන්‍යයෙන් ඔහු අභියෝගවලට ආසාකරන පුද්ගලයෙකි. ඔහු අභියෝග, අභියෝගයක් ලෙස දකින පුද්ගලයකු බව පෙනේ. මේ වන විට රට තුළ සියලු අංශයන්වල කඩා වැටීමක් ඇතිවී තිබේ. මෙය ආණ්ඩුවට ඇගිල්ල දිගු කළ යුතු කාරණයක් නොවුණත්, යම් යම් අවස්ථාවන්වල රජය ගන්නා ලද තීරණ හා එම තීරණ ආපසු හැරවීම ජනතාව තුළ ඇතිකර ඇත්තේ අප්‍රසාදයකි. අද ලෝකය මුහුණ දී ඇති ආර්ථික අවපාතයටද ලංකාව මුහුණ දී තිබේ. කළයුතු වන්නේ මෙය නිසියාකාරව කළමනාකරණය කිරීමයි. බැසිල් යනු හොඳ ක්‍රමෝපායික කළමනාකරුවෙකි. ප්‍රශ්නය ඔහුට පහදා දිය යුතු නැත. දැනටමත් ඔහු මනසේ මෙය කෙසේ කුමන කාරණයක් කර ගත යුතුද යන්න සටහන් කරගෙන අවසන්ය. අනෙක් අතට එක් එක් පුද්ගලයාගේ හැකියාවන් හා දක්‍ෂතාවන් ඔහුට එකවිට හැඳින ගැනීමේ හැකියාව තිබේ. ඒ අනුව ඒ ඒ පුද්ගලයාගෙන් වැඩ ගැනීමේ කලාව ඔහු දනී. ඉදිරියේදී කෝවිඩ් වසංගතයේ දිගින් දිගටම එන රැලිවලට මුහුණ දිය යුතුය. රටේ ජනගහනයෙන් අඩුම තරමින් සියයට 70ක් ආවරණය වන පරිදි ඉදිරි මාස කිහිපය තුළ එන්නත්කරණ අවසන් කර, වැටී ඇති කර්මාන්ත ආරම්භ කළ යුතුය. අනෙක් අතට රට තුළ මූල්‍ය පද්ධතියේ පවතින අස්ථාවරයන් සඳහා විසඳුම් සෙවීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහුට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. රට තුළ මුදල් සංචිත කෙටිකාලීනව ශක්තිමත් කළ යුතුය. ඔහුට ඇති තවත් අභියෝගයක් ලෙස දැකිය හැක්කේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. කලාපයේ අනෙකුත් රටවල් අභිභවා විදේශ ආයෝජන සඳහා ආකර්ෂණීය ක්‍රමෝපායන් ඉතා ඉක්මනින් හඳුන්වාදීම ඉතා වැදගත් වේ. තෝරා ගන්නා රටවල්වල අරමුදල් ආකර්ෂණය සඳහා (Fund management) පුද්ගලයන්, නියෝජිතයන් පත්කොට විදේශ අරමුදල් රට තුළ ආයෝජනය සඳහා ක්‍රමවේදයන් සැකසිය යුතුය. ඉදිරි වසරක කාලය තුළ ඇ.ඩො. බිලියන 20ක අරමුදල් සම්පත් දායක කර ගැනීමේ ඉලක්කය හා වැඩපිළිවෙළක් සෑම අමාත්‍යාංශයකම සහයෙන් සැකසීම ඉතා වැදගත් වේ. බැසිල් රාජපක්‍ෂ මැතිතුමාට මෙය අභියෝගයක් නොවන බව කිව යුතුයි.

මේ වන විට කඩා වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයන් ශක්තිමත් කිරීමටත්, නගා සිටුවීමටත් කටයුතු කරනු ඇති බව පෙනේ. නමුත් විවිධ ක්ෂේත්‍රයන්ට මෙම උවදුර හේතුවෙන් ව්‍යාපාර කිරීමට නොහැකි වීම හේතුවෙන් එම ව්‍යාපාර අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. එම අංශයන් හඳුනාගෙන ක්‍ෂණික සහනයක් ප්‍රාදේශීය මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ලබා දිය යුතුය. ඒ සඳහා මධ්‍යම තොරතුරු ඒකකයක් පවත්වාගෙන යමින්  අධීක්ෂණය කරමින් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය යොමුවිය යුතුය.

අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම් ශක්තිමත් කිරීම සඳහා යහපත්  අඩිතාලමක් දැමිය යුතුය. මේ වන විට කඩා වැටී ඇති ඇඟලුම් කර්මාන්තය තුළ තවදුරටත් රඳා පැවතීම දීර්ඝකාලීන වශයෙන් අවදානමට ලක්වන බව පෙනේ. ඇඟලුම් කර්මාන්තය තුළින් ලබා ඇති විදේශීය විනිමය 2020 වර්ෂයේදීත් ඉදිරි වර්ෂයේදීත් තවදුරටත් බිඳ වැටෙන බව පෙනේ. එම නිසා දීර්ඝ කාලීන ලෙස අපනයන විවිධාංගිකරණය සඳහා සොයා බැලිය යුතුය. තේ රබර් අපනයන තුළ සිරවී සිටිනවාට වැඩිය සුළු අපනයන බෝග ලෝක වෙළෙඳ පොළ තුළ ප්‍රචලිත කිරීම මගින් වැඩි විදේශීය ආදායමක් ලබා ගැනීමේ ඉලක්කයන් කරා ගමන් කළ යුතු‍ය. සුළු අපනයන බෝග ප්‍රවර්ධනය සඳහා එම ගම්මාන හඳුනාගෙන එම ගොවීන් සඳහා දිරි ගැන්වීම් කළ යුතු වන අතර, ගොවි ජනතාවට සාධාරණ ඉහළ මිලක් ලබාදීම සඳහා විදේශීය වෙළෙඳ පොළ ගම් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුය.

කඹුරුපිටිය ප්‍රදේශය තුළ සුළු අපනයන බෝග ප්‍රවර්ධනය සඳහා විදේශීය වෙළෙඳ පොළක් ආරම්භ කළ හැකිය. සුළු අපනයන බෝග අපනයනකරුවන් එහි ගොනු කළ හැකිය. තේ පොල් රබර් වගාව හෙටට ගැළපෙන පරිදි නව තාක්ෂණය යොදා ගනිමින් නවීකරණය කළ යුතු අතර, ඒ තුළින් තවදුරටත් ඵලදායිතාව වැඩි කරගත හැකිය. ඉදිරි වර්ෂ කිහිපය තුළදී පොල් හා පොල් ආශ්‍රිත නිමැවුම් තුළින් ලබන ආදායම් ඇමෙරිකන් ඩොලර් බිලියන එකයි 1.2ක ඉලක්කයක් කරා ගමන් කළ යුතුය. ඒ සඳහා පොල් වගාකරුවන් දිරිමත් කිරීමත්, අවශ්‍ය ඉඩම් ලබාදීමත් කළ යුතු වන අතර, පොල් නිෂ්පාදිතයෙන් වන සියයට 30ක අපතේ යෑම අවම කර ගැනීමේ ක්‍රමෝපායන් සකස් විය යුතුය. ඉදිරියේ දී රට තුළ ආර්ථික අර්බුදකාරී අවස්ථාවන් ඇති වුවහොත් එම අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සෑම අංශයක්ම ආවරණය වන පරිදි සැකසීම ඉතා වැදගත් වේ. රජය මෙම අවස්ථාවේදී ගන්නා සෑම තීරණයක්ම දෙවරක් සිතා බලා මනා කළමනාකාරීත්වයකින් යුතුව සිදු කිරීම ඉතා වැදගත්ය. ජනතාවට වගකියන රජයක් වශයෙන් රටේ මහජනතාව මේ අවස්ථාවේදී ආරක්ෂා කිරීම, ජනතාවගේ සුබ සිද්ධිය තහවුරු කිරීම ඉදිරි රජයේ පැවැත්මට හිතකර වනු ඇත.

කෙසේ වෙතත් ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මෙම අභියෝග භාරගන්නේ අනාගතයේ ඔහුගේ ඊළඟ ඉලක්කය කරා ගමන් කිරීම සඳහායි. එසේ නැත්නම් ඔහු මෙම අභියෝග භාර ගන්නේ නැත. බොහෝ අය අද විශ්වාසයෙන් ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව කියන්නේ ඔහුට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව දන්නා බැවිනි. විපක්‍ෂය ඔහු විශ්වකර්මයෙකු නොවන බව කියන්නේ ඔහු විශ්වකර්මයෙකු බව දන්නා බැවිනි. කවුරුත් දන්නා ඔහුට අභියෝග අභියෝගයක් නොවන්නේ ඒ නිසාය.



Recommended Articles