අභියෝග රැසක් මැද අවසන් වූ මැතිවරණය


කෝවිඩ් - 19 තත්ත්වය නිසා අවස්ථා දෙකකදී කල් දැමීමට සිදුවූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (05දා) සිදුවිය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවණයක් සඳහා ලබාදුන් දීර්ඝතම ප්‍රචාරක කාලය මෙවරට මැතිවරණය ලැබුණත් අපේක්ෂකයන්ට පක්ෂවලට මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට සිදුවූයේ දැඩි නීතිරීතිවලට යටත්වය.

කෝවිඩ් - 19 තත්ත්වය තුළ මහා රැලි පවත්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අපේක්ෂකයන්ට හා පක්ෂවලට අවස්ථාව හිමිවිය.

මීට අමතරව කුඩා රැස්වීම් පැවැත්වීමේදී පවා දුරස්ථභාවය රැක ගැනීමට සිදුවීම ඇතුළු සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව කටයුතු කිරීමට සිදුවීම නිසාත්, පසුගිය මැතිවරණවලදී මෙන් මෙම මැතිවරණයේදී අපේක්ෂකයන්ට පක්ෂවලට ප්‍රචාරක කටයුතු සිදුකිරීමට නොහැකි විය.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් නීතිරීති අකුරටම ක්‍රියාත්මක කිරීම නිසා තම ප්‍රචාරක කාර්යාලය තුළදී පවා මනාප අංකය, ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය.

කෝවිඩ් - 19 තත්ත්වය තුළ ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදාහැර දැනුවත් කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා තිදෙනෙකුට පමණක් සහභාගී විය හැකි බවට නීතියක් පැනවීම නිසාත් අපේක්ෂකයන්ට තමන්ගේ මනාප අංක හා ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට ඉදිරිපත් කිරීමට විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් හත්දහස් හාරසිය පනස් දෙකක් තරග කළ අතර මෙම පිරිස අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දෙසිය අටදෙනෙක් සිටියහ.

පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් දෙසිය විසිපස්දෙනෙකු තෝරාපත් කර ගත්තත් ජනතා ඡන්දයෙන් තෝරා පත් කර ගන්නේ මහජන නියෝජිතයන් එකසිය අනූහයක් පමණි.

මේ අනුව අටවන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මහජන නියෝජිතයන් එකසිය අනූහය කවුරුන්ද යන්න හෙට මධ්‍යම රාත්‍රිය වන විට රටේ ජනතාවට දැන ගැනීමට හැකියාව තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි හයසියයකට අධික මුදලක් වැයවනු ඇති බවට මුලින් ගණන් බලා තිබුණත් %කෝවිඩ් - 19^ තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා මෙවර මැතිවරණය සඳහා රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැය විය හැකි බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

ගෙවී ගිය කාලයේ පැවති බොහෝ මැතිවරණවලදී වෙඩි තැබීම් සිදුකිරීම, වාහන, නිවාස ගිනි තැබීම ඇතුළු බරපතළ ගණයේ සිද්ධි වාර්තා වුවත් මැතිවරණ ප්‍රචාරක කාල සීමාව තුළදී එවැනි සිදුවීමක් වාර්තා වූයේ නැත.

එහෙත් මැතිවරණයට ඉදිරිපත්ව සිටි කොළඹ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක සුනිල් ජයවර්ධන මහතා ලීසිං ගැටලුවක් මුල්කරගනිමින් ඝාතනයට ලක්විය. එම ඝාතනය මැතිවරණ ක්‍රියාවලියට අදාළ කටයුත්තක් මත සිදුනොවීම නිසා මැතිවරණයට අදාළ ඝාතනයක් ලෙසට නම් නොවීය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ආරුමුගම් තොණ්ඩමාන් මහතා මිය ගිය අතර එක් අපේක්ෂකයෙකුට ඡන්ද විමසීමට දින කිහිපයක් තිබියදී මරණ දඬුවම හිමිවිය.

මාතර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා භාරදී තිබූ එක් අපේක්ෂකයෙකු මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ අතර මෙවර මන්ත්‍රී ආසන දිනාගැනීම සඳහා හිටපු විධායක ජනාධිපතිවරු දෙදෙනෙක්ද තරග කළහ. එනම් හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද, හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූහ.

මීට අමතරව හිටපු විධායක ජනාධිපතිවරයෙකු වන ආර්.ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාත්, හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මන්ත්‍රී ආසනයක් ලබාගැනීම සඳහා ඉදිරිපත්ව සිටිති.

සාමාන්‍ය ක්‍රම‘වේදයට අනුව උදෑසන 07.00ට ඡන්ද විමසීම ආරම්භ වී සවස 04.00 වන විට ඡන්ද විමසීම අවසන් වී ඉන්පසුව ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනගොස් ඡන්දය ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය. එහෙත් මෙවර කෝවිඩ් - 19 තත්ත්වය සැලකිල්ලට ගෙන ඡන්ද විමසීම උදෑසන 07.00ට ආරම්භ කර සවස 05.00ට අවසන් විය. මේ අනුව මෙවර ඡන්ද විමසීම පැයකින් දීර්ඝ විය.

මීට අමතරව ඡන්දය පැවති දින ඡන්දය ගණන් කිරීම සිදුවූවත් මෙවර එම කටයුත්ත සිදුකරන්නේ අද (06දා) දිනයේදීය.

මෙතෙක් කලක් ඡන්ද පත්‍රිකාවේ ඡන්දය සලකුණ කිරීම සඳහා රජයෙන් පැන්සලක් ඡන්ද මධ්‍යස්ථානයේ තබා තිබුණත් කෝවිඩ් - 19 තත්ත්වය නිසා නිල් හෝ කළු පෑනක් නිවසින් රැගෙන එන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමට සිදුවිය. එහෙත් පෑනක් රැගෙන ඒමට නොහැකි ඡන්ද දායකයන්ට විෂබීජහරණය කළ පෑනක් ලබාදීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබුණි.

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය පනස් පහක් සුදුසුකම් ලබා තිබුණත් කෝවිඩ් - 19 තත්ත්වය තුළ නිරෝධායනයට ලක්වූ සුළු පිරිසකට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව හිමිවිය.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඡන්ද පොළක් පවත්වා මෙම පිරිසට ඡන්ද අයිතිය ලබාදීමට හා නිවෙස්වල නිරෝධායනයට ලක්වන පිරිසට ඡන්දය භාවිතා කිරීමට මැතිවරණ කොමිසම යම් වැඩපිළිවෙළක් සකස් කළත් පවතින නීතිමය තත්ත්වය යටතේ එම කටයුතු සිදුකිරීමට නොහැකි විය.

මෙවර මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හතළිහක අපේක්ෂකයන් ඉදිරිපත් කර සිටි අතර එහෙත් ප්‍රධාන පක්ෂ ලෙස සැලකෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකක් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

පිළිගත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ දිස්ත්‍රික් විසිදෙක සඳහා නාමයෝජනා පත්‍ර තුන්සිය තිස් නවයක් ඉදිරිපත් කළ අතර ඉන් නාමයෝජනා පත්‍ර තිස්පහක් ප්‍රතික්ෂේප විය.

ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා පත්‍ර තුන්සිය පනස් අටක් ඉදිරිපත් කළ අතර ඉන් නාමයෝජනා පත්‍ර හතළිස් පහක් ප්‍රතික්ෂේප විය.

පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් පත් කරනු ලබන්නේ රටේ සංවර්ධනයට අදාළ සැලැස්ම හා වැඩපිළිවෙළ සකස් කිරීමට හා නීති සම්පාදනය මූලික කරගනිමිනි. මේ නිසා පිළිගත් දේශපාලන පක්ෂයකට නිසියාකාරව නාමයෝජනා පත්‍රයක් සකස් කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

අපේක්ෂකයන් හත්දහස් හාරසිය පනස් දෙකක ප්‍රමාණයක් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියත් ඉන් හරි අඩක්වත් නිසියාකාරව මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමේදී ජනතා ආමන්ත්‍රණය සිදුනොකළ බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දුන්නේය.

අතිවිශාල අපේක්ෂකයන් ප්‍රමාණයක් මැතිවරණයට ඉදිරිපත්ව සිටීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙස සැලකුවත් සමහර අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ වෙනත් පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දුන්නේය.

අපේක්ෂකයන්ගේ ප්‍රමාණය, ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණය ඉහළ යාම නිසා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග ලබාදෙන අපේක්ෂකයන්ගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාව සකස් කිරීමේ සිට ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය දක්වා විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ.

මේ නිසා පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම පිළිබඳව යම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රට තුළ සංවාදයක් ඇතිකළ යුතුව තිබේ.

සෑම මැතිවරණයකදී සේම මෙවරත් යම් අපේක්ෂකයන්ට රාජ්‍ය දේපළ, රාජ්‍ය සේවකයන් මැතිවරණයට යොදාගැනීම පිළිබඳව චෝදනා එල්ල වී තිබේ.

මීට අමතරව කෝවිඩ් - 19 සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම පිළිබඳව හා පහරදීම පිළිබඳ සිද්ධිද මෙවර මැතිවරණයේදී වාර්තා විය.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අපේක්ෂකයන් හත්දෙනෙකු ඇතුළු හාරසිය හතළිහක් ඊයේ (05දා) වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර මැතිවරණය සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයෙකු සහභාගී නොවූ නමුත් පැෆරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අදාළ කටයුත්ත නිසි ලෙස ඉටු කළේය.

මෙවර මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද ආරක්ෂක අංශද දැඩි කැපකිරීමකින් කටයුතු කළහ. මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට හා ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීමට මෙම පිරිස් විශේෂ සැලැස්මක්ද ක්‍රියාත්මක කළහ.

මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන විට මුඛ ආවරණ පැලඳ පෑනක්ද නිවසින් රැගෙන ඡන්දය සලකුණු කිරීමට සිදුවීම නිසා මෙරට ඡන්ද දායකයන්ට එය අලුත් අත්දැකීමක් විය.

මීට අමතරව ලෝකය පුරා කෝවිඩ් - 19 පැතිරයමින් තිබෙන සමයක කෝවිඩ් - 19 තත්ත්වය තුළ නිසි ලෙස මැතිවරණය පැවැත්වීමට හැකිවීම ශ්‍රී ලංකාව ලබාගත් තවත් ජයග්‍රහණයකි.

මේ නිසා ඉදිරි කාලයේ මැතිවරණ පැවැත්වීමට සිටින රටවලට කෝවිඩ් - 19 තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රම‘වේද පිළිබඳව ලෝකයාට ආදර්ශයක් ගැනීමටත් හැකියාව තිබේ.

කෝවිඩ් - 19 තත්ත්වය නිසා තැපැල් ඡන්ද විමසීමට දින නවයක් නම් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවූවත් ඡන්ද විමසීම එක් දිනක් තුළ පැවැත්වීමට හැකිවීම මැතිවරණ කොමිසම ලබාගත් ජයග්‍රහණයක්ද වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ නිසි කලට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමය. කෝවිඩ් - 19 තත්ත්වය තුළ අවස්ථා දෙකකදී මැතිවරණය කල්ගියත් නිසිකලට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම ඇතුළු ශ්‍රී ලංකා රජයට හැකි වී තිබේ.

මීට අමතරව ඊයේ (05දා) වන විට මතිවරණ කොමිසමේ පැමිණිලි ඒකක දෙක වෙත මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි හත්දහස් හයසිය හතරක් වාර්තා වී තිබේ.

ඉන් පැමිණිලි එක්දහස් දෙසිය හැත්තෑ අටක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකක වෙතත් පැමිණිලි හයදහස් තුන්සිය විසිහයක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙතත් ලැබී තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.



Recommended Articles