ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ නැසී ගිය තුසිතා සමරසේකර මහත්මියගේ පස්වන ගුණානුස්මරණ වැඩසටහන පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සංවිධානයෙන් ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් එහි ප්‍රධාන දේශනය සිදුකළ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අහිතකර ලෙස බලපාන නව ප්‍රවණතා^ යන තේමාව යටතේ සිය දේශනය සිදුකළේය. ඒ මහතා එම දේශනයේදී දැක්වූ අදහස් මෙලෙසින් දිගහරින්නෙමු.
මැතිවරණ සහ ප්‍රචණ්ඩත්වය
මැතිවරණත් සමග ප්‍රචණ්ඩත්වය එකට බැඳිලා තිබෙන්නේ. මොකද කැමැත්ත දිනාගැනීමට යන ඕනෑම වෙලාවක එයට විරුද්ධකරුවෙක් සිටියොත් එතැන සටනක් ඇතිවෙනවා. මනුෂ්‍යයා පමණක් නෙවෙයි, සතුන් අතරත් ජලය, ආහාර, ලිංගික අවශ්‍යතා සහ වාසස්ථාන යන සෑම දෙයකටම කැමැත්ත දිනාගැනීමේදී සටනක් ඇතිවෙනවා. බලය සඳහා එන සටන ඊට වඩා බියකරුයි. ප්‍රචණ්ඩත්වයෙන් වැඩියි. ශිෂ්ට සමාජය එය ගරු නොකළත්, රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැති කාලයේ සිට අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වය තිබුණා. රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී ඡන්දය දාන්න එන අය වැළැක්වීම සඳහා ඒදඬු කඩලා, රා පොවපු අලි පාරේ ඇවිද්දලා, කාන්තාවන් බිය වැද්දීමට විවිධ දේ කරපු සමාජයකින් අපි පැවත එන්නේ. 1947,1952 ,1956, 1960,1965,1970,1977 ආදී සියලු මැතිවරණවල ප්‍රචණ්ඩත්වය තිබුණා. 1970 සිට ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා ඡන්ද පොළවල් ඇතුළේ පිස්තෝල පෙන්නලා වෙඩි තියනවා කියලා බයකරලා ඡන්ද පත්‍රිකා දාන තත්ත්වයට පත්වුණා. ඡන්ද පෙට්ටි ගිනි තියන සිදුවීම් ඇතිවුණා. කලින් කලට සිදුවෙන මේ දේවල් පාලනය කරන්න නීති නැහැ.
හොර ඡන්ද සහ මැර ඡන්ද
අපේ රටේ නීතියට අනුව මැතිවරණ වැරදි සියල්ලක් සඳහාම නීතිපති උපදෙස් ගත යුතුයි. මේ නිසා සමහර වැරදිකරන අයට අධිකරණයට ගිහින් දඬුවම් කරන්න අමාරුයි. ඡන්ද පෙට්ටිය පොළොවේ ගහපු කෙනාට අධිකරණයෙන් ලැබෙන්නේ අත්හිටවූ සිරදඬුවම් නිසා ඔවුන් නැවත ඇවිත් ඡන්දෙත් ඉල්ලලා දිනලා තනතුරුත් ගන්න පුළුවන්. මොකද මාස 06කට වැඩි කාලයක් හිරේ හිටියොත් පමණයි ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ. හොර ඡන්ද දැම්මොත් ඡන්දය අත්හිටුවනවා. නමුත් මැර ඡන්ද දැම්මොත් එයට විරුද්ධව නඩු දාන්න විදිහක් නැහැ. මේ නිසා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගතවන කාලය සහ නීති ශක්තිමත් කිරීම සඳහා තිබෙන ගැටලු නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට තිබෙන බාධාවක්.
අසත්‍ය පුවත් වළක්වන්න සාම නිලධාරීන්
අසත්‍ය ප්‍රවෘත්ති පැතිරවීම සම්බන්ධයෙන් අපි අද කතා කරනවා. නව මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් පතුරුවන්න කලින් පත්තරයක බොරු ප්‍රවෘත්තියක් දැම්මත්, කැලෑ පත්තරයක් ගැහුවත් ඒක අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කිරීමේ වරෙන්තුවක් අවශ්‍යයි. ඒක ගන්න අපි පොලීසියට කතා කරලා අධිකරණයට ගිහින් එනකොට වෙන්න ඕන දේවල් සිදුවෙලත් ඉවරයි. නමුත් නීතියට අනුව සෝදිසි මෙහෙයුම් නොමැතිව අත්අඩංගුවට ගැනීම වැරදියි. මේ නිසා මැතිවණ කොමිෂන් සභාවේ සහකාර කොමසාරිස්වරුන් සහ ඉහළ නිලධාරීන් සාම නිලධාරීන් ලෙස පත්කරන්න කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. එහෙම කළොත් ඔවුන්ට මේ වැරදිවලදී අත්අඩංගුවට ගැනීම් කරන්න පුළුවන්. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තිබෙන්නේ. අපි හිතනවා අනුමැතිය ලැබෙයි කියලා. මේ ඡන්දයේදී බැරි වුණත් ඊළඟ ඡන්දෙදි එය ලැබේවි කියලා අපි හිතනවා. එය නව ප්‍රවණතාවයක්.
ආණ්ඩුවේ බල කේන්ද්‍ර තුනක් - ඡන්දයට බාධාවක්
රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් ගැන කතා කරද්දි නව ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. වර්තමානය වනවිට අපේ රටේ ආණ්ඩුව බල කේන්ද්‍ර තුනක ස්ථානගත වෙලා තිබෙනවා. එකක් ජනාධිපතිතුමා ප්‍රධාන අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය මෙහෙයවන කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය. දෙවැනි බලකේන්ද්‍රය ජනාධිපතිතුමා සහ ආණ්ඩුකාරවරු. ඌව පළාතේ පළාත් සභාව තාමත් ක්‍රියාත්මක නිසා එයත් එයටම ඇතුළත් කරන්න පුළුවන්. තුන්වෙනි බලකේන්ද්‍රය තමයි විපක්ෂයට අයිති පක්ෂ විසින් පාලනය කරන බහුතරයක් වූ ප්‍රාදේශීය ආණ්ඩු හෙවත් ප්‍රාදේශීය සභා. මේ තුනේම ක්‍රියාකාරීත්වය ආණ්ඩුවේ කටයුතුවලට පමණක් සීමා නොවී පක්ෂවල කටයුතුවලට මැදිහත්වීම නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධාවක් වෙනවා.
සමහර දේවල් ක්ෂණිකව දැනගත්තත් නවත්වන්න බැහැ
නමුත් ජනතාව බලාගෙන ඉන්නවා මැතිවරණ කොමිෂන් සභාව මේ ක්‍රියාවන් සියල්ල සම්පූර්ණයෙන්ම නවත්වයි කියලා. සමහර දේවල් ක්ෂණිකව දැනගත්තත් නවත්වන්න බැහැ. යම්තැනක හාල් බෙදනවා නම්, සිමෙන්ති බෙදනවා නම්, ගඩොල් බෙදනවා කියලා පණිවුඩය ආව ගමන් නැවැත්වීම එකවරම අමාරුයි. නමුත් ජනතාවට ඊට වඩා සුදුසු අවි අතේ තිබෙනවා. ජනතාව ඒවා පාවිච්චි කරන්නේ නැහැ.
19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණ තොරතුරු දැනගැනීමේ අයිතිය ඒ වගේ හොඳ ක්‍රමයක්. මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාවටත් වඩා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ප්‍රබලයි. තොරතුරු දැනගැනීමේ පනතත්, විගණන පනතත් හරියට ක්‍රියාත්මක කරගැනීමට රටේ පුරවැසියෝ වැඩ කරනවා නම්, මැතිවරණ කොමිෂන් සභාවටත්, මානව හිමිකම් කොමිෂන් සභාවටත් අපි කියනවා වගේ වාඩිවෙලා කෝපි බිබී කකුල් පද්දමින් ඉන්න පුළුවන්.
ජනතාව ඔවුන්ගේ බලය ගැන දන්නේ නැහැ
ජනතාව තමන්ගේ බලය ගැන නොදැනුවත්ව සිටීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් ක්‍රියාත්මක කරන්න බැරි තවත් කාරණයක්. මේ බලය ගැන දැනගෙන මානව හිමිකම් ක්‍රියාධරයන් ක්‍රියාත්මක වෙනවා නම් එය තමයි සිදුවිය යුතු දේ. සමහර දේවල් ක්‍රියාත්මක වෙන්න කාලයක් ගතවෙනවා. ඡන්දය දීම සඳහා හැදුනුම්පත අනිවාර්ය කිරීමේ යෝජනාව 1959දී ඉදිරිපත් කරලා තිබුණේ. නමුත් එය ක්‍රියාත්මක වුණේ 2002 පනත මගින් 2006, 2007දී. ඒ නිසා මේ දේවල් කල් යනවා. ඡන්දෙන් පසුව අපිට මේ දේවල් කරලා වැඩක් නැහැ කියලා බොහෝ අය හිනා වුණා. නමුත් වැරදි කරන අයට නඩු දැමීමට ක්‍රියාමාර්ග ඕනෑතරම් තිබෙනවා. ජනතාවගේ නොදැනුවත්කම නිසා ජනතාව ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිරණය, පළාත් සභා, ප්‍රාදේශීය සභා පමණක් නෙවෙයි, ගමේ මරණාධාර සමිතියේ ඡන්ද විමසීමකදී හරි අකටයුත්තක් වුණොත් ඇතැම් අය අධිකරණයේ සහය පතනවා. ක්‍රිකට් බෝඩ් එකේදී හෝ වොලිබෝල් සංගමයේදී මණ්ඩලය තෝරා ගැනීම්වලදී ඒවාට විරුද්ධව උසාවි ගිහින් තහනම් නියෝග ගන්නවා. නමුත් මේ ජාතික මැතිවරණවල වැරදි වුණා කියලා කවුරුවත් ක්‍රියාකරන්නේ නැහැ. සිදුවෙන ඕනෑම දෙයකට ඔළුව නමාගෙන සිටීමේ ගුණාංගය නිසයි මේ වැරදි සිදුවෙන්නේ. රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අයුතු ලෙස යොදාගැනීම වළක්වන්න ඕනෑතරම් නීති තිබෙනවා. අවශ්‍ය සියලු කරුණු සමග පැමිණිලි ලැබුණොත් ඒ නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්.
මැතිවරණ වියදම්වලට සීමාවක් නැතිකම
දේශපාලනමය මූල්‍යකරණය පාලනය කිරීමට නීති නැතිකමත් ප්‍රධානම ගැටලුවක්. වර්තමානය වනවිට ලෝකයේ හැමතැනකම එය තිබෙනවා.
ඡන්ද විමසීමක් පැවැත්වූ විට මාසයක් ඇතුළත අයවැය වාර්තාව ලබාදිය යුතු බවටත්, අපේක්ෂකයකුට වියදම් කළ හැක්කේ ලියාපදිංචි ඡන්දදායකයන් 03කට එක් රුපියලක් පමණක් බවත්, 1978 වනතුරු බලපැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම පිළිබඳ 1946 රාජ ආඥාවේ තිබුණ කරුණක්. ඒ වාර්තාව ලබා නොදී ප්‍රජා අයිතිය අහිමිවුණ අය ඉන්නවා. වර්තමානයේ සීමාකිරීම් කෙසේවෙතත් මැතිවරණ වියදම් වාර්තාවක් ලබාදීම සඳහාවත් යොමුවීමක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි 2016 සිට කතා කළා. මැතිවරණ දෙපාර්තමේන්තුව, නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2010 පමණ සිට මේ ගැන කතා කළා. මැතිවරණ වියදම් පිළිබඳව නීති ඇතුළත් පනත් අවශ්‍ය බව ඔවුන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් යෝජනාවට දේශපාලන පක්ෂ එකඟ වෙලා එයට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා මගින් කැබිනට් මණ්ඩලයට යොමු කළා. කැබිනට් මණ්ඩලය අනුමත කළ ඒ පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා ළඟ තිබෙනවා. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පනත ක්‍රියාවට නංවාගන්න පුළුවන් වේවි කියා මම හිතනවා. මොකද මැර බලය, ද්‍රව්‍ය බෙදීම ආදියට වඩා මූල්‍ය පාලනයක් නොමැති වීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් වෙනවා.
වැරදි මත සමාජගත කිරීම
ඡන්ද ප්‍රතිඵල සහ ගණනය කිරීම්වලට තොරතුරු තාක්ෂණ සහය ලබාදුන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. කොපමණ තොරතුරු තාක්ෂණ සහය ලබාගත්තත් ඡන්ද ගණනය කිරීම් නිලධාරීන් හරහා අපි සිදුකරනවා. පරිගණකය භාවිත වුණේ දත්ත ඇතුළත් කිරීම සඳහා පමණක් යැයි කිව්වොත් එය නිවැරදියි. ප්‍රතිඵල අතින් ගණන් කරලා ඒවා ලියාගෙන අවසන් තොරතුරු පරිගණක ගත කළා. අන්තිමට ඒ දෙකම සංසන්දනය කරලා බලනවා. නමුත් %කම්පියුටර් ජිල්මාට්^ කියලා වචනයක් සමාජගත කළා. එය තවමත් ජනතාව අතර තිබෙනවා.
ලංකාවේ මැතිවරණ සඳහා විද්‍යුත් ඡන්ද මැෂින් එකක් හඳුන්වා දෙන්න බැරිවෙලා තිබෙන්නේ මේ ඇතිකරපු අවිශ්වාසය නිසා. මොකද කරුණු සමාජගත වුණේ වැරදි අර්ථකථන සහිතව. මෑත කාලයේත් එවැනි දෙයක් වුණා.
මැතිවරණ කොමිෂන් සභාව ෆේස්බුක් සමාගම සමග එකතුවෙලා අසත්‍ය පුවත් සහ වෛරී ප්‍රකාශන පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළා. මොකද ෆේස්බුක් සමාගමේ දැනටත් එවැනිම ක්‍රමවේදයක් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ සමග තිබුණු රැස්වීමකදී මම මේ බව සඳහන් කළා. ඒ වාර්තාව දේශපාලන පක්ෂවලට සහ මාධ්‍යවේදීන්ට ලබාදුන්නා. පහුවදා පත්තරයේ ගියේ %මැකෝ ෆේස්බුක්වලට අත තබයි^ කියලා. ඒ පුවත ෆේස්බුක් එකේ දාලා මටත් මට ගහනවා. මේවා තමයි වැරදි අර්ථකථන සහිත ප්‍රවෘත්ති කියන්නේ. මේ ගැන හොයල බලපුවාම මාධ්‍යවේදියා හරි තොරතුරු ලියලා තියෙනවා. නමුත් සිරස්තලය දාන ප්‍රධානියා තමයි මේ වරද කරලා තියෙන්නේ. ඡන්දය කාලෙ මේ වගේ සිරස්තලයක් ගියොත් ප්‍රවෘත්තිය ඇතුළේ ඇත්ත කරුණ තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ජනතාව නුවණින් විමසා බලනවාට වඩා දකින දේ, ඇහෙන දේ විශ්වාස කරනවා.
මාධ්‍ය සම්බන්ධයෙන් දඩබල්ලන් හැටියටත්, මුරබල්ලන් හැටියටත් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. මාධ්‍යයට වැට බඳින්න අපේ අදහසක් නැහැ. සියලුම දේ එකඟතාවයෙන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය මාධ්‍ය සෘජුව පාලනය කරන්න පුළුවන් වුණත් සමාජ මාධ්‍ය ඒ විදිහට පාලනය කරන්න බැහැ. ජනතාව හරි, දේශපාලන පක්ෂ හරි අපිට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළොත් අපි ඒ පැමිණිලි ෆේස්බුක් සමාගමට යොමු කරනවා. එහිදී ඔවුන් ඒ ගැන සලකා බලාවි.
ඡන්දය සඳහා ප්‍රදාන අවශ්‍ය නැත - අපි කවදද එහෙම කියන්නේ
මැතිවරණ කාලයේදී ඉන්දියාවේ තරුණයෝ ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල ප්‍රධාන ඡායාරූපයට දැම්මේ &ඡන්දය සඳහා මුදල් අවශ්‍ය නැත* , &ඡන්දය සඳහා ප්‍රදාන අවශ්‍ය නැත* කියන පාඨ. නමුත් අපිට කවදද එහෙම දාන්න පුළුවන්. තමන් කැමති අපේක්ෂකයාගේ පින්තූරය වෙනුවට &නිදහස් හා සාධාරණ මැතිවණයක් වෙනුවෙන් පෙනී සිටිමු* , &මානව හිමිකම් සුරකිමු*, *අනිත් පක්ෂවල අයට පහර දෙන්න එපා* වගේ පාඨ ෆේස්බුක් එකේ දාන්නේ කවුද? සමාජ මාධ්‍ය භාවිතය නිවැරදි දිශාවට හරවාගන්නේ කොහොමද කියන එක අපි මුහුණදෙන අභියෝගයක්. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාධරයන් සතුරන් ලෙස සලකන්නේ නැතිව ඔවුන්ට මිතුරන් ලෙස සැලකිය යුතුයි. දණ්ඩනය ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. අපරාධ සඳහා දඬුවම් දීමට වඩා දැනුවත් කිරීමෙන් අපරාධය වැළැක්වීමයි කළ යුත්තේ.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කළත් අපේ ආයතන ව්‍යුහය තුළත්, සංවිධාන තුළත්, දේශපාලන පක්ෂවල අභ්‍යන්තරයේත් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිකම ප්‍රශ්නයක්. අද වඩාත් ප්‍රජාතන්තවාදී වෙලා තිබෙන්නේ අතීතයේ නරකම ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතුණ %පවුල^ කියන ඒකකය. අම්මට හෝ තාත්තට අද වැඩි පාලනයක් කරන්න බැහැ. ළමයි එක්ක සාකච්ඡා කරලම තමයි වැඩ කරන්න වෙන්නේ. දැන් අම්මට අවශ්‍ය ටියුෂන් පන්තියට ළමයි යවන්න බැහැ. නමුත් %පවුල^ කියන ඒකකයෙන් ඔබ්බට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගිහින් නැහැ. අපේ කාර්යාල තුළ, සිවිල් සංවිධාන තුළ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටින දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය කුමන මට්ටමේද තිබෙන්නේ. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති වීම නිසා අපිට අපේ පණිඩුඩය ජනතාව අතරට ගෙනියන්න බැහැ. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමට එය ගැටලුවක්.
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සහකම්පනය
ජාතිය, ආගම, භාෂාව, කුලය, ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂ බව යන ආදි වාර්ගිකත්වය ඉස්මතු වන ආකාරයේ ක්‍රියා නිසා ඇතිවෙන සමාජ සාධාරණත්වයට එරෙහිව කරන ක්‍රියා වලින් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමට දැඩි බාධාවක් ඇතිවෙනවා. මේ තත්ත්වය වළක්වන්න අපි පොඩි වැඩපිළිවෙළක් කරනවා. %සහකම්පනය^ කියන වචනය මුල් කරගෙන අපි එය ක්‍රියාත්මක කරනවා. මොකද දේශපාලන පක්ෂය නිසා හෝ අනිත් කෙනාගේ ඡන්ද පොළ කඩනකොට ඔහුට ඔහුගේ මතය දැරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී නොසිටීම වැරදියි. අපි සියලුදෙනා සමානයි. ඡන්දය සඳහා මට තිබෙන අයිතියම තමා ඔබටත් තිබෙන්නේ. අපේ මැතිවරණ කාර්යාලය කඩනවාට අපි බයයි නම්, ඇයි අපි අනිත් කාර්යාල කඩන්නේ. අපේ ආගමට අපි ආදරෙයි නම් ඇයි අපි අනිත් ආගම්වලට, භාෂාවලට ගහන්නේ. මේ කාරණය සමාජගත නොවී තිබීම ලොකු බාධාවක්. ජනතාව අතර වාර්ගිකත්වය ඉස්මතු කරන ආකාරයේ අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන ආදිය වළක්වා ගැනීමට තිබෙන එකම ක්‍රියාමාර්ගය සහකම්පනය සමාජගත කිරීමයි. තමාට සමානව අනිත් අයටත් සලක්න කියලයි අපේ සෑම ආගමකින්ම කියන්නේ. හැමතැන ආදරය, කරුණාව ගැන කතා කළත් ඡන්ද ගැන කතා කරද්දී විවිධ කාරණාවලට බෙදිලා අපි ගහමරා ගන්නවා. මේ කාරණය වළක්වා ගැනීම සඳහා අපි හැමෝම එකතු විය යුතුයි. සහකම්පය ඇතිවුණොත් නිදහස් හා සාධාරණ මැතිවරණයට බාධාවක් ඇතිවෙන්නේ නැහැ.