පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විවිධ අනුකමිටු අතරින් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව වැඩි අවධානයක් දිනාගනු ලැබූවකි. එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට වැඩි අවධානයක් යොමුව තිබුණි. කෝප් කමිටුවේ වත්මන් කටයුතු සහ ඉදිරිය සම්බන්ධයෙන් එහි වත්මන් සභාපති ආචාර්ය චරිත හේරත් මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූයේ පළමුවරට. ඒ සමගම කෝප් කමිටුවේ සභාපති ධුරයත් ඔබට හිමි වුණා. එය අභියෝගයක් නොවෙයිද?
අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ වැදගත් අනුකමිටුවක් වන පොදු ව්‍යපාර පිළිබඳ කමිටුව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය පළමුවර මන්ත්‍රීවරයෙකු වූ මට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. මාව පත්කිරීම ගැන මන්ත්‍රී කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා.
රාජ්‍ය පරිපාලනය පොදු ව්‍යාපාර පාර්ලිමේන්තුව කියන පැති තුනටම සම්බන්ධ වුණ කෙනෙක් විදිහටයි මම මේ තනතුර භාරගත්තේ. ඒ කියන්නේ මම එක කාලයක මධ්‍යම පරිසර අධිකාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඒක පොදු ව්‍යාපාරයක්. ඒ වගේම කාලයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. දැන් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා. මේ නිසා රටේ නෛතික පද්ධතියට සම්බන්ධවත් මූල්‍ය පාලනය සම්බන්ධවත් යම් විනයක්, හික්මීමක් සහ පරිචයක් ලබන්න පුළුවන් ආයතන පද්ධතියක් හරහා තමයි මම පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන්නේ. මාව සභාපති කරද්දී අපේ මන්ත්‍රීවරුන් ඒ කාරණයත් කල්පනාවට ගත්තා කියල මම හිතනවා. මොකද පොදු ව්‍යාපාරයක සභාපතිවරයෙක් විදිහටත්, රජයේ අමාත්‍යාංශයක ලේකම්වරයෙක් ලෙසත් කාලයක් වැඩකරලා තමයි මන්ත්‍රීවරයෙක් විදිහට මම පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ කාර්‍යය වගකීම්සහගතව ශක්තිමත්ව කරන්න පුළුවන් වෙයි කියලා.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත්කිරීම තුළ කෝප් කමිටුවේ කටයුතුවලට බාධාවක් නෙවෙයිද?
1979 කෝප් කමිටුව පිහිටුවාට පසුව මේ දක්වා සභාපතිවරුන් 14දෙනෙක් කටයුතු කරලා තිබෙනවා. 14වැනි සභාපතිවරයා වුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා. මම 15වැනි සභාපතිවරයා ලෙසයි පත්වුණේ. මේ සභාපතිවරුන් 14දෙනාගෙන් 10ක්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුයි පත්වී තිබෙන්නේ. විපක්ෂයෙන් පත්වී තිබෙන්නේ 04දෙනෙකු පමණයි. මේ නිසා කෝප් කාරක සභාවේ සභාපතිවරුන් අතරින් බහුතරක් ආණ්ඩු පක්ෂයෙන් පත්වුණ සභාපතිවරුන් ඉන්නේ. ඒ වගේම කෝප් කියන්නේ ආණ්ඩු පක්ෂයද, විපක්ෂයද කියලා බෙදන කාරකසභාවක් නෙවෙයි. කෝප් කාරක සභාව තුළ සභික මන්ත්‍රීවරුන් 22ක් ඉන්නවා. ඒ සියලුදෙනාම එකම කාරක සභාවක සමාජිකයෝ විදිහටයි වැඩ කරන්නේ. ඒ වගේම වැඩ කළ යුත්තේ ඒ විදිහටයි. එහිදී කෝප් කමිටුවේ සභාපති ධුරයේ කාර්යයන් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ සිටී නම් කිසිදු බාධාවකින් තොරව ඔහුව පත්කරනවා. මම මේ දක්වා වැඩ කළ කුඩා කාලය දෙස බැලුවත්, පක්ෂ විපක්ෂ දෙඅංශයටම සතුටුදායක විය හැකි ආකාරයට මම මේ කාරක සභාවේ වගකීම් විශ්වසනීයභාවයෙන් යුතුව පවත්වාගෙන යනවා කියලා හිතනවා.
කෝප් කමිටුව මාධ්‍යයට නිරාවරණය කිරීම ඇතුළු වැදගත් වෙනස්කම් රැසක් පසුගිය කෝප් කමිටුව විසින් සිදුකළා. එම තීරණ ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යාමට හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
කෝප් කමිටුව මාධ්‍යයට වහල නැහැ. කවුරුහරි එහෙම කියනවා නම් ඒක වැරදි අදහසක්. හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කෝප් සභාපති ලෙස කටයුතු කරන කාලයේ සිදුකළ වෙනස්කම් කිසිවක් අපි වෙනස් කරලා නැහැ. කෝවිඩ් නිසා මුළු පාර්ලිමේන්තුවටම මාධ්‍යවේදීන් පැමිණීම නවත්වලා තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේ පක්ෂනායකයෝ ගත්තු තීරණයක්. එහෙම නැතිව කෝප් කාරක සභාව මාධ්‍යයට තහනම් කරලා නැහැ. කිසිම වෙනසක් නැතව කෝප් කාරක සභාව කටයුතු කරගෙන යනවා.
කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිදුකරන්න බලාපොරොත්තු වෙනවාද?
රාජ්‍ය ව්‍යාපාරවල කටයුතු කිරීමේදී නෛතික තත්ත්වයට පිටතින් කටයුතු කරලා තියෙනවද කියලා තමයි දැනට කෝප් කමිටුවෙන් හොයලා බලන්නේ. නමුත් රාජ්‍ය ආයතන විසින් සංවර්ධනාත්මක තීන්දු තීරණවලින් ජනිත කරන ප්‍රතිඵල පිළිබඳවත් ඉදිරියේදී විමසා බලන්න අපි තීරණය කරලා තිබෙනවා.
ඒ වගේම අපි බොහෝවිට කෝප් කමිටුවේ ගන්න තීන්දු තීරණ අවසන් වාර්තාවෙන් දැනුම් දෙනතුරු නොසිට, ඒ ඒ අමාත්‍යාංශ හෝ පොදු ආයතන වෙත ඒ අයගේ වගකීම් ඉටුකරන්න, ඔවුන්ට දැනුම්වත් කරන අන්තර් දැනුම්දීම් යොමු කරන්න කටයුතු කරනවා. දැනටමත් අපි එය යම් පමණකට ආරම්භකර තිබෙනවා.
කෝප් කමිටුව නිකුත්කරන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එම නිර්දේශ ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිකිරීමට කමිටුවට හැකියාවක් නැතිද?
පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ මූල්‍ය බලය ආරක්ෂා කරන ආයතනය. ඒ අරමුණ ඉෂ්ට කරන්න තමයි කෝප් කමිටුව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. යම් ආයතනයක් ජනතාවගේ මූල්‍ය බලය වැරදි විදිහට භාවිතකර තිබෙනවා නම් ඒ ගැන සොයා බලලා එම ආයතනවලට විරුද්ධව පියවර ගන්න කෝප් කමිටුව විදිහට අපි නිර්දේශ නිකුත් කරනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ අපි නෙවෙයි. නීතිපතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්ට ආදාළ පියවර ගැනීමට හැකිවන ආකාරයටයි අපි නිර්දේශ නිකුත් කරන්නේ. ඔවුන්ට ඒ ගැන පියවර ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් පියවර ගන්න කැබිනට් මණ්ඩලයට හැකියාව තිබෙනවා. මේ වාර්තාවල නිර්දේශ මත පදනම්ව නෛතිකමය පියවර ගන්න නීතිපතිට පුළුවන්. මේ වාර්තාවල දත්ත මත පදනම්වෙලා ඕනෑම පුරවැසියෙකුට පුළුවන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. ජනතාව ලබාදී තිබෙන බලය මත රාජ්‍ය ආයතන ගැන සොයා බලා නිවැරදිව විමර්ශනයක් කරලා, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි අපි කරන්නේ. එම වාර්තා ඉදිරිපත් කරනවා කියන්නේ ඒවා රටටම ඉදිරිපත් කරනවා කියන එකයි. එම වාර්තා නිකුත් කළ පසුව ජනමාධ්‍යයටත් විශාල කාර්යභාරයක් තිබෙනවා. කෝප් කමිටු වාර්තාවත් ඉදිරිපත් කිරීමම ඉතාම වැදගත් කාර්යයක්. වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පියවර ගැනීම මෙම කමිටුවට අයත් කාරණයක් නෙවෙයි.
කෝප් කමිටුවට පැමිණිලි කරන්න ජනතාවට අවස්ථාවක් ලබාදෙන්න හැකියාවක් නැද්ද?
ඇතැම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශන ආරම්භ කළ විට ඇතැම් වෘත්තීය සමිති කෝප් කමිටුවට විස්තර දන්වා එවනවා. ඒ වගේම ඉදිරියට කෝප් කමිටුවට කැඳවන්න බලාපොරොත්තු වන ආයතන සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවට අමතරව ජනතාවට දැනුම් දෙන්න කරුණු තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඒ වගේම වෘත්තීය සමිති ඇතුළු ඕනෑම කෙනෙකුට ඒ අවස්ථාව තිබෙනවා.
20 සංශෝධනය නිසා කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ලවී තිබෙනවාද?
20වැනි සංශෝධනයේ මුල් කෙටුම්පතේ තිබුණු ඇතැම් වගන්ති වලින් කෝප් කමිටුවට බලපෑමක් තිබුණා. නමුත් අනුමත වුණ 20වැනි සංශෝධනයට රජයේ සියලුම පොදු ව්‍යාපාරත්, 2007 සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නැවත සංස්ථාපිත ආයතනත්, රජයට යම් හෝ බලයක් තිබෙන සියලුම මණ්ඩල, අධිකාරීන්, සංස්ථා ආදී සියල්ලමත් ඇතුළත් වෙනවා. මේ නිසා 20වැනි සංශෝධයේ මුල් කෙටුම්පතේ තිබුණු ඇතැම් කරුණු මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව 19වැනි සංශෝධනයේ අන්තර්ගත වී ඇති ආකාරයටම මේ කරුණු තිබෙනවා.
ඔබේ සභාපතීත්වයෙන් යුතු කෝප් කමිටුවේ පළමු වාර්තාව කොපමණ කාලයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවාද?
2021 වසරේ මාර්තු මාසය පමණ වන විට පළමු කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම වැදගත් ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබෙන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව හඳුන්වන්න පුළුවන්. ජනතාවගේ ආධිපත්‍ය බලය තමයි අපි මෙහිදී ක්‍රියාත්මක කරන්නේ. කෝප් කමිටුව මීට පෙර තිබුණු ආකාරයට වඩා ශක්තිමත්ව විනිවිදභාවයකින් යුක්තව කරගෙන යෑම සඳහා අපි පියවර ගනිමින් සිටිනවා. එහි විනිශ්චය තිබෙන්නේ ජනතාව සහ මාධ්‍ය මතයි. මේ නිසා ඔබ ඉතාම විමර්ශනශීලීව අපේ වැඩකටයුතු දෙස බලාගෙන ඉන්න කියලා මම ඉල්ලීමක් කරනවා.