අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ ඉතාම පහත තැනක්


ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් අතරට ශ්‍රී ලංකාව වැටී තිබීමද කණගාටුවට කරුණකි. විශේෂයෙන් අවිහිංසාව පතුරුවන ආගමික වටපිටාවක් නිරන්තරයෙන් තිබෙන රටක දරුවන්ට සිදුවන හිංසන අතින් ඉදිරියට පැමිණීම මහත් ඛේදයකි. මෙවැනි තත්ත්වයක් තුළ ළමා ආරක්ෂණය පිළිබඳව විවිධ සංවිධාන තනිව සටන් කළත්, රජය තුළින් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. මේ නිසා පසුගියදා එවැනි සංවිධාන රැසක් එකතුව 'ළමා ආරක්ෂණ සන්ධානය' ලෙසින් සන්ධානගත විය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ළමා හිංසනයට තිත පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මියව අපි සම්බන්ධ කර ගතිමු.

'ළමා ආරක්ෂණ සන්ධානය' පිහිටුවන්නේ ඇයි?

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් වෙලා තිබෙන අවස්ථාවක, ඒ වෙනුවෙන් අපි ඇතුළු පිරිස් විවිධ ව්‍යාපෘති කරමින් සිටිනවා. නමුත් ඇත්ත වශයෙන්ම ළමා ආරක්ෂණය කියලා කියන්නේ හිමිකම් හා සම්බන්ධ සමාජ ගැටලුවක් වන බැවින් අප කළ යුත්තේ ව්‍යාපෘති නෙවෙයි. තිරසාර, දීර්ඝකාලීන ඉලක්කයකට තමයි වැඩ කළ යුත්තේ. ඒවා ජාතික මට්ටමින් හෝ ජාත්‍යන්තර මට්ටමින් අනුමත වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් විය යුතුයි. එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට අපි අත්සන් කරලා වසර තිහක් ගත වෙන මේ අවස්ථාවේදී, තිබුණටත් වඩා ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි වෙන වෙනම කරපු වැඩවලින් සාර්ථකත්වයක් ලැබිලා නැහැ කියන එක. ඒ නිසා අපි සන්ධානගත වුණේ මූලිකවම අපේ හඬට වඩාත් ලොකු බලයක් ලබාගන්න සහ අපේ ක්‍රියාකාරීත්වයට මීටත් වඩා ජවයක් ලබාගන්න. ළමා ආරක්ෂණය, ළමා හිංසනය සම්බන්ධව තනි තනිව කටයුතු කළ ආයතන, පුද්ගලයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සමග මේ වන විට අපි සන්ධානගත වෙලා තිබෙනවා.

මොකද අපිට අවශ්‍ය වෙලා තිබෙනවා රජයත් සමග සෘජුව බැඳිලා මේ කටයුත්ත කරන්න. නමුත් සිවිල් සංවිධාන සමග එක්වීමට රජයෙන් බොහෝම උදාසීනත්වයක් පෙන්වනවා. මොකද ඔවුන් පාරම්පරික NGO කියන ව්‍යවහාරයෙන්, වැරදි මතයෙන් අපව ප්‍රතික්ෂේප කරන බවක් පේනවා. ඒ නිසා රජයේ ළමා ආරක්ෂණය හා සම්බන්ධ සෑම ආයතනයක්ම, පොලීසිය, අධිකරණය අකර්මණ්‍ය වීමක් වෙලා තිබෙන බවක් අපට පේනවා. එක්කෝ මූල්‍යමය අපහසුතා හෝ ඔවුන්ගේ විශේෂඥ දැනුමේ තිබෙන අපහසුතා නිසා හෝ සම්පත් දායකත්වයෙන් තිබෙන අපහසුතා නිසා එහෙම වෙන්න ඇති. ඇත්ත වශයෙන්ම සිවිල් සංවිධානවලට පුළුවන් ඒවාට උපකාරී වෙන්න. ඒ වගේම අපි ඉලක්ක කරගත් කරුණු කිහිපයක් සාර්ථක කර ගැනීමට ‘%ළමා ආරක්ෂණ මෙගා මාසය’ තුළ කැප වී සිටිනවා.

'ළමා ආරක්ෂණ මෙගා මාසය', මොකක්ද මේ වැඩසටහන?

ළමා ආරක්ෂණ මෙගා මාසය පටන් ගත්තේ ඔක්තෝබර් පළමුවැනිදා. සම්ප්‍රදානුකූලව ලෝක ළමා දිනය නමින් ශ්‍රී ලංකාව සමරන්නේ ඔක්තෝබර් පළමුවැනිදා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්ව ළමා දිනය ලෙසින් වෙන් කරලා තිබෙන්නේ නොවැම්බර් 20. ඔක්තෝබර් පළමුවැනිදා ළමයින් ගැන විතරක් නෙවෙයි තවත් දේවල් ගැන කතා කරනවා. නමුත් විශ්ව ළමා දිනයේදී එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව ළමා අයිතීන්, ළමා ආරක්ෂණය, විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයට එරෙහි දැනුම්වත්වීම් සිදුකරනවා. එක් දිනයක් පමණක් ළමුන්ට වෙන් නොකර ඔක්තෝබර් පළමුවැනිදා සිට නොවැම්බර් 20 දක්වා මෙගා මාසයක් නිර්මාණය කරලා, සෑම දිනයකම ළමා ආරක්ෂණය වෙනුවෙන් හඬක් නගන්න අප සිතුවා.

ඒ වගේම අපි ඉලක්ක කරගත් වැඩසටහන් කිහිපයක්ම මේ මෙගා මාසයේදී සිදුකරනවා. මේ මාසය තුළ අපි සෑම සති අගකම ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මාර්ගතතව කතිකාවතක් පවත්වනවා. එහිදී ළමා ආරක්ෂණයේ එක එක විෂයපථයන්ට එක එක විශේෂඥයන් සහභාගී වෙනවා. 'ළමා ආරක්ෂණ මෙගා මාසය' තුළ ‘ළමා ආරක්ෂණ සන්ධානයේ ඉලක්ක තුනක් තිබෙනවා. පළවැනි ඉලක්කය තමයි ළමා හිංසනයට තිත පදනම මාස තුනකටත් වඩා එහායින් පාර්ලිමේන්තුවට බාර දුන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම. විශේෂයෙන් 2021 පෙබරවාරි මාසයේදී ශාරීරික දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බලගැන්වීමත්, ළමා ආරක්ෂණය තහවුරු කිරීමත් එහි අරමුණ වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙගා මාසය තුළ අපේ සන්ධානය පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් ළමා දිනය සැමරීමේදී බොහෝවිට සිදුවන්නේ වැඩිහිටියන් එකතු වෙලා ළමයින්ට මොකක් හරි දෙයක් දීලා ළමා දිනය සැමරීම. මෙගා මාසය තුළ අපේ තුන්වන ඉලක්කය වන්නේ දරුවන්ට කථික තරගයක් සහ චිත්‍ර තරගයක් පැවැත්වීම. එහිදී අපි දරුවන්ව බලාත්මක කරමින්, ඔවුන්ට තමන්ගේ අයිතීන් මොනවාද, තමන් ආරක්ෂා වන්නේ කොහොමද යන්න පිළිබඳ දැනුම්වත් කරනවා. ඒ වගේම  %‘මම ජනාධිපති උපදේශක වුණොත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳන්නේ කොහොමද?’ යන මාතෘකාව ඔස්සේ අධ්‍යාපනික සහ විනෝදාත්මක කථික තරගයක් අවුරුදු දොළහත් දහඅටත් අතර දරුවන්ට පවත්වනවා. ප්‍රාථමික අංශයේ දරුවන්ට ධනාත්මක විනය පාලනය යන මැයෙන් චිත්‍ර තරගයක් අපි පවත්වනවා. හැමදාම ළමයි  අඳින චිත්‍ර, කතා පවත්වන මාතෘකාවන් වෙනුවට ළමා ආරක්ෂණය මුල් කරගෙන දරුවන්ව බලාත්මක කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. www.stopchildcruelty.com වෙබ්අඩවිය හරහා මෙම තරගය ගැන සියලු විස්තර ලබාගත හැකියි.

කථික තරගයට 'මම ජනාධිපති උපදේශක වුණොත්' යන මාතෘකාව භාවිත කරන්නට සිතුවේ ඇයි?

අපේ රටේ දරුවා කියන කෙනාට ලැබෙන්නේ ඉතාම පහත තැනක්. ඒ අයට ඡන්දයක් නැති නිසා ඔවුන්ගේ හඬ දැනෙන්නේ නැහැ. ඒ වගේම අපේ පාසල් පද්ධතියේත් කිසිම ආකාරයකින් දරුවාව බලාත්මක කිරීමක්, ඔවුන්ට ඇති අයිතීන් මොනවාද?, ඔවුන් ජීවත් වන්නේ කොහොමද?, ඒ අයට තිබෙන වගකීම් මොනවාද වැනි දේවල් දරුවන්ට කියල දෙන්නේ නැහැ. උදේ ඉඳලා හවස් වෙනකල් පාඩම් කරවන එක විතරයි කරවන්නේ. ශ්‍රී ලංකා පොලීසිය කියනවා සෑම පැය දෙකකට වරක්ම දරුවෙක් ලිංගික අපයෝජනයකට ලක්වෙනවා කියලා. ජාත්‍යන්තර වාර්තා දක්වන්නේ ශ්‍රී ලංකාව ප්‍රචණ්ඩත්වයට එරෙහි ආරක්ෂාව අඩුම රටක් ලෙස. ඒ නිසා අපි බැලුවා මේ තරම් ඛේදවාචකයක් වෙලා තිබෙන අවස්ථාවක දරුවෙක් දැනගන්න ඕනේ මගේ අයිතීන් මොනවාද, කොහොමද මම ආරක්ෂා වෙන්නේ, රටේ නායකයන්, පාලකයන් ළමයි වෙනුවෙන් වැඩ කළ යුත්තේ කොහොමද, දැනට වැඩ කරන්නේ කොහොමද කියන පිළිබඳව. කථික තරගය අපි පවත්වන්නේ ද්විතීයීක අංශයේ දරුවන්ට. වෙන රටවල නම් ද්විතීයීක අංශයේ දරුවන්ට සමාජ සේවාව අනිවාර්ය කරනවා. රටේ නීතිය, ජාත්‍යන්තර නීතිය සම්බන්ධව ක්‍රියාකාරකම්වල යෙදෙන්න ඔවුන්ට අනිවාර්ය කරනවා. අපේ රටේ එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ඒ නිසා දරුවන්ට මේ දේවල් ගැන ඉගෙන ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රශ්නය ඒගොල්ලන්ටම විසඳගන්න දැනුම්වත් වෙන්න මේක හොඳ අවස්ථාවක්.

දැන් ටික දිනට කලින් පියාගේ පහර දීමක් නිසා දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙවැනි වාතාවරණයකදී පාලකයන් සහ නිලධාරීන් ශාරීරික හිංසනයට එරෙහිව කටයුතු කිරීමට මැලිකමක් දක්වන්නේ ඇයි?

ඔව්. ඇත්ත වශයෙන්ම හරිම ඛේදනීය තත්ත්වයක් ලංකාවට වෙලා තිබෙන්නේ. අපේ ආත්මය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා කියලයි මම හිතන්නේ. මේ වගේ සිදුවීමකින් දරුවෙක් මිය ගියොත් වෙන රටවල නම් රජය කැළඹෙනවා. අදාළ බලධාරීන්ගේ, නිලධාරීන්ගේ පුටු කැරකෙනවා. පරීක්ෂණ පැවැත්වෙනවා. දරුවෙක් නැති වෙනවා කියන්නේ කවදාවත් සිද්ධ විය යුතු නැති දෙයක්. ලංකාව දැන් පවතින්නේ සාමය ඇති රටක් හැටියටයි. යුදමය පසුබිමක් නැති අවස්ථාවක දරුවන් නිරපරාදේ නැතිවෙන එක මහා අපරාධයක්. ලංකාවේ පසුගිය මාස කිහිපය තුළ දරුවන් හත්දෙනෙක් ශාරීරික හිසංනය සහ ලිංගික අපයෝජනයට ලක්ව ඝාතනය කෙරුණා. නමුත් අද වෙනතුරු විෂයපථය භාර ඇමතිතුමෙක්වත්, ළමා ආරක්ෂණ අධිකාරියේ බලධාරියෙක් හෝ වෙන කෙනෙක්වත් මේ ගැන ක්‍රියාශීලි වුණේ නැහැ. ශාරීරික හිංසනයන් නිසා, ලිංගික අපයෝජනයන් නිසා දරුවන් මිය යාම සාමාන්‍ය සිද්ධියක් ලෙස තමයි හැමෝම මේවා සලකන්නේ. අපේ හඬ නිසා මිනිසුන් දැනුම්වත් වෙනවා, මිනිසුන් සමාජ මාධ්‍ය හරහා හඬනඟනවා, සිදුවීමක් වුණාම ඒ ගැන පැමිණිලි කරන්න පෙළඹී තිබෙනවා. නමුත් වෙන්න ඕන දේ විය යුතු පුද්ගලයන්ගෙන් වෙන්නෙ නැහැ.

ඒ වගේම මේ වෙද්දි වේවැල් තහනමක් සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. අපිටත් වඩා දරුණු යුද තත්ත්වයක් තිබුණු දකුණු අප්‍රිකාව, සුඩානය වැනි රටවල් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීම සංකේතවත් කිරීමට වේවැල් තහනමක් හැදුවා. ඒකෙන් ඔවුන් පුරවැසියන්ට පෙන්වා දුන්නේ ආයුධයකින් බැරි නම් අතින් පයින්වත් දරුවන්ට ගහන්න බැහැ කියලා. ඒ අනුව තමයි ඒ රටවල දරුවන්ට එරෙහි ශාරීරික හිංසනය නැවැත්වූවේ. අපේ රටේ අධ්‍යාපන ආයතනවලදී දරුවන්ට ශාරීරිකව හිංසා කරන්න බැහැ කියලා නීතියෙන් කියලා තියෙද්දීත් වේවැල් භාවිතයක් තිබෙනවා. ඒ නිසා මේ ගුරු අරගලයට අරුතක් ලෙස වේවැල් තහනම රකින ලෙස අපි ඉල්ලීමක් කරනවා.

'මෙගා මාසයෙන්' පසුව ළමා ආරක්ෂණ සන්ධානයේ ඉදිරිය කෙබඳුද?

මෙගා මාසයේ අපේ ඉලක්ක තුනක් තිබෙනවානේ. ඉන්පසුව අපි තවත් ඉලක්ක පහක් ඔස්සේ ඉදිරියට යනවා. 2018දී ශ්‍රී ලංකාව අධීක්ෂණයට ලක්වුණු වෙලාවේ වහාම ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග පහක් ඔවුන් හඳුන්වා දුන්නා. ශාරීරික දඬුවම් ඇතුළු ප්‍රචණ්ඩත්වය නතර කිරීම, ලිංගික අපයෝජනය ඇතුළු දේවල් එහි සඳහන් වුණා. අපිටත් තිබෙන්නේ ඒ හා සමාන දේවල්. අපිත් මූලිකත්වය දෙන්න සිතුවේ ඒ වගේ කාරණා පිළිබඳව. ප්‍රජාව දැනුම්වත් කිරීම, ශාරීරික හිංසනය සහ ලිංගික අපයෝජන නැවැත්වීම, ළමා ආරක්ෂණය සම්බන්ධ නීති නිර්මාණය කිරීම වැනි දෑ ඊට ඇතුළත්. ඒ හරහා ළමා ආරක්ෂණ සන්ධානය ඉදිරියට කටයුතු කරනවා.

ඔබ ඇතුළුව බොහෝ සමාජයීය ව්‍යාපෘතිවල නිරතවන්නන්ව ඇතැමුන් NGOකරුවන් ලෙස අර්ථ දක්වනවා. එයට ඔබ ලබාදෙන්නේ කෙබඳු පිළිතුරක්ද?

NGO කියන වචනය ලංකාවේදී නිග්‍රහශීලීව භාවිත කරවන වචනයක්. ඒක එසේ නොවිය යුතුයි. මොකද පිටරටවල මානව හිමිකම් ගැන හෝ සමාජ ක්‍රියා ගැන මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන තමයි. සිවිල් සංවිධානවල කාර්යභාරය වන්නේ සමාජයේ තිබෙන ප්‍රශ්න රජය සමග සාකච්ඡා කරලා, රජය සමග එකතු වෙලා ඒවාට විසඳුම් ලබාදෙන එක. එතකොට අපි ඉන්නේ රජයත්, සමාජයත් අතර පාලමක් විදිහටයි. ඒ විශ්වසනීයත්ව සංවිධානත් එක්ක තමයි ශ්‍රී ලංකාව 2005ටත් පෙර බොහෝම සහයෝගීතාවයෙන් කටයුතු කළේ. නමුත් දැන් දැන් වර්තමානයේ රජයේ සහ ආයතනවල නොහැකියාව, නිරුවත වහගන්න තුරුම්පුවක් විදිහට NGO කියන පාවිච්චි කරනවා. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කතා කරන්නේ, ක්‍රියා කරන්නේ විදේශ න්‍යායපත්‍රයකට නෙවෙයි. අපි කතා කරන්නේ අපේම දරුවන්ගේ සුබසාධනය උදෙසායි. අපිට පිටරටින් මුදල් ලැබෙන්නේ නැහැ. අපේම මුදල්වලින් තමයි මේ දේවල් කරන්නේ. අපේ හදවතේ තිබෙන ගැම්මට මිසක් වෙන කාගෙවත් න්‍යායපත්‍රයකට අපි කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා සෘණාත්මකභාවයෙන් අපිව NGOකරුවන් ලෙස හැඳින්වීම මම ප්‍රතික්ෂේප කරනවා.



Recommended Articles