අපේ කටු මැටි ගෙයක් තරම් සාර්ථක නැති ලොව ඉස්තරම් හරිත ඉදිකිරිම්


පරිභෝජනවාදී ජීවන රටාවකට මෙතෙක් කාලයක් යොමුව සිටි මානවයා අද වන විට එම ක්‍රමවේදය තුළ පරිසරයට සිදුකර ඇති විනාශය හේතුවෙන් විවිධ පාරිසරික ව්‍යසන රැසකට මුහුණදීමට සිදුව තිබේ. මෙහි අනිටු විපාකවලින් මිදීම වෙනුවෙන් වර්තමානය වන විට ලෝකය ස්ථිරසාර සංවර්ධන සංකල්ප වෙත යොමුව ඇති අතර, ශ්‍රී ලංකාවද මේ වන විට ස්ථිරසාර සංවර්ධනයක් වෙත යොමු වෙමින් පවතී. ඒ යටතේ නිරතුරුවම කතාබහට ලක්වන හරිත ඉදිකිරීම් පිළිබඳ මෙම විග්‍රහය ගෙන එනුයේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතාය.


හරිත සංකල්පය බිහිවෙන්නේ, ගොඩනැගෙන්නේ ස්ථිරසාර සංවර්ධනය පදනම් කරගෙනයි. ස්ථිරසාර සංවර්ධනයෙන් අර්ථ ගන්වන්නේ අප ජීවත් වන ලෝකයේ මීළඟ පරම්පරාවකට තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න පවතින ඉඩකඩ සහ හැකියාව අහිමි නොවන පරිදි අපේ ජීවන රටාව පවත්වාගෙන යෑමයි. ඒ පදනම මත තමයි හරිත සංකල්පය බිහි වුණේ. ගෝලීය වශයෙන් හරිත සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරයක් විදිහටයි. මිනිසා මේ වෙද්දි ලෝකය බොහෝ සෙයින් අහිතකර තත්ත්වයකට ඇදදමා තිබෙනවා. කාර්මික විප්ලවයත් සමග අපි අද සංවර්ධිතයි කියන රටවල් මේ තත්ත්වයට ඍජුවම වගකිව යුතු වෙනවා. ඒ රටවල් තමන් විසින් මේ කරන ලද විනාශයේ පාපකර්මයට වන්දි ගෙවීමට ක්‍රමවේදයක් විදිහටයි හරිත ඉදිකිරීම් සංකල්පය ගෙන එන්නේ. හරිත කියන ලේබලය මත සිදු කරන නිෂ්පාදන මෙතැනදී සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සිදු වෙනවා. %හරිත ඉදිකිරීම්^ කියලා හඳුන්වන්නේ පෙර සඳහන් කළ ස්ථිරසාර ඉදිකිරීම් නිර්මාණ සංකල්පය යටතේ බිහිවුණු ඉදිකිරීම් ක්‍රමවේදයක්. ස්ථිරසාරත්වයේ සීමාවන් රටින් රටට වෙනස් වෙනවා. රටක තිබෙන ආර්ථික තත්ත්වය, සම්පත්, සමාජය, සංස්කෘතිය, කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් ඒ සඳහා බලපවත්වන සාධක බවට පත්වෙනවා. 

මැලේසියාව සහ ඉන්දුනීසියාව කියන්නේ තෙල් සම්පතින් ගැටලුවක් නැති රටවල්. ඒ නිසා එම රටවල් ස්ථිරසාරත්වයේදී බලශක්තිය කියන සාධකය පිළිබඳ එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් අපට තෙල් නැති නිසා අපි බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු වෙනවා. අනෙක් අතින් ඔස්ට්‍රේලියාව වැනි රටක් ගත්තොත් එවැනි රටවලට භූමිය සහ ඉඩකඩ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් ශ්‍රී ලංකාව ගත්තොත් ජනගණත්වය වැඩි රටක් නිසා භූමිය පිළිබඳ විශේෂ අවධානයක් දිය යුතු වෙනවා. අප්‍රිකානු කලාපයට ජලය කියන්නේ ඉතාමත්ම හිඟ සම්පතක්. නමුත් ශ්‍රී ලංකාව ජලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දිය යුතු නැහැ. 

හරිත ගොඩනැගිලි සංකල්පයේ ප්‍රධාන අංග විදියට බලශක්ති කාර්යක්‍ෂමතාව, අමුද්‍රව්‍ය නිසි කළමනාකරණය, ජල කළමනාකරණය, අභ්‍යන්තර වාතයේ ගුණාත්මකභාවය, අපද්‍රව්‍ය කළමනාකරණය, භූමිය කළමනාකරණය, හරිත නව නිපැයුම්, සංස්කෘතිකමය ගැළපීම් සහ සමස්ත ව්‍යාපෘතියේම නිසි කළමනාකරණය ආදිය පෙන්වා දෙන්න පුළුවන්. මේ එක්එක් අංගවලට ලබා දෙන ප්‍රමුඛත්වය රටින් රටට වෙනස් වුණත් මෙය ස්ථිරසාර ඉදිකිරීම්වල පොදු ආකෘතියක් විදියට පෙන්වා දෙන්න හැකියාව තිබෙනවා.

සමස්තයක් වශයෙන් ගත්තොත් ලෝකයේ ජීවත් වන සෑම ජීවියෙකුටම හරිත සංකල්පයට අනුගත වීමෙන් අත්වන වාසි බොහෝමයක් පවතිනවා. ප්‍රධාන වශයෙන් අපට හැකියාව තිබෙනවා මෙයින් පරිසරය යම් ප්‍රමාණයකින් ආරක්‍ෂා කර ගන්න. නමුත් අපට මෙතැනදී නිසි ගණනය කිරීමක් අවශ්‍යයි මේ සඳහා සිදු කරන වියදමට සරිලන ප්‍රතිලාභයක් දීර්ඝ කාලීනව ලැබෙනවාද කියලා. මේ හරිත ක්‍රමවේද වාණිජකරණය වීම නිසා අද වෙද්දි ලෝකය පුරාම ගැටලු ගණනාවක් ඇතිවෙලා තිබෙනවා.

හරිත ක්‍රමවේදය ලබන්න අපි මේ වෙද්දි විශාල මුදලක් වැය කරනවා. නමුත් මේ වියදමෙන් පරිසරය ආරක්‍ෂා වෙනවාට වඩා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරගෙන රටක් විදියට ආර්ථිකමය වශයෙන් විශාල ලෙස පාඩු විඳිනවා නම්, එතැන ස්ථිරසාරභාවයක් නැහැ. උදාහරණයක් විදියට පෙන්වා දුන්නොත් අපි හරිත ඉදිකිරීම්වලදී ජනෙල් සඳහා නිර්දේශ කරනවා ඇතුළතට උෂ්ණත්වය උරා ගැනීම අවම කරන වීදුරු. ඒ වීදුරු විශේෂය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොවන නිසා අනිවාර්යයෙන්ම පිටරටින් ආනයනය කරන්න සිදු වෙනවා. එතැනදී විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යන නිසා ආර්ථිකමය වශයෙන් සිදු වෙන්නේ පාඩුවක්. 

ඒ වගේම මේ හරිත ඉදිකිරීම් නිරන්තරයෙන්ම නඩත්තු කරන්න සිදු වෙනවා නම්, ඒකත් විශාල පාඩුවක් වෙනවා. වර්තමානය වෙද්දි හරිත ඉදිකිරීම් සඳහා %හරිත අමුද්‍රව්‍ය^ අලෙවි කරන වෙනම සමාගම් විශාල ප්‍රමාණයක් අද ලංකාවට ඇවිල්ලා ගඩොල් කැටය සහ තීන්තවල ඉඳන්ම හරිත අමුද්‍රව්‍ය කියලා විකුණනවා. ඒ ආකාරයෙන් ජනතාවගේ මුදල් ගරන වෙනම ව්‍යාපාරයක් බවට මේ හරිත ඉදිකිරීම් ක්‍රමවේද අද පත්කරගෙන තිබෙනවා.

සැබෑ හරිත සංකල්පය කියන්නේ මිනිසා මීටත් වඩා පරිසරය හා සමීප වෙමින් සිය ආකල්ප පවා හරිත කර ගැනීම මිසක ලකුණුවලින්, ශ්‍රේණිගත කිරීම්වලින් හෝ සම්මානවලින් පමණක් හරිත වීම නොවෙයි. හරිත ගොඩනැගිලි ඉදිකිරීම්වලින් පමණක්ම ස්ථිරසාර සංවර්ධනය කරා යන්න පුළුවන් කියලා හිතනවා නම්, එය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්. අද අපේ අධ්‍යාපන ක්‍රමය ගත්තොත් දරුවන් පරිසරය සමග ගැටීම ඉතාමත්ම අඩුයි. එවැනි තත්ත්වයක් මත අපට බැහැ කවදාවත් පරිසරයට ආදරය කරන නියම හරිත සංකල්ප හඳුනා ගත් පරපුරක් බිහි කරන්න. 

අපි තවමත් සමත් වෙලා නැහැ අපේ රටේ තත්ත්වයට ගැළපෙන ආකාරයේ හරිත ක්‍රමවේදයක් නිර්මාණය කරගන්න. අපි තවමත් කරන්නේ ඇමෙරිකාවේ එහෙමත් නැත්නම් සිංගප්පූරුවේ හරිත ක්‍රමවේද මත යැපීම පමණයි. ඒ රටවල් මට්ටමින්, හරිත සම්මාන ලැබූ පමණින් විදෙස් ක්‍රමවේද ශ්‍රී ලංකාවේ තත්ත්වයන් සමග ගැළපෙන්නේ නැහැ. ඒ රටවල ආර්ථික, සාමාජීය, පාරිසරික තත්ත්වයන් අපේ රටට වඩා සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්. අපි අද වෙනත් රටවලින් හරිත ඉදිකිරීම් ගැන අහලා ඒවා ගැන ලොකුවට පුදුම වුණාට අතීතයේදී ලෝකයේ හොඳම හරිත ඉදිකිරීම්, ඉදිකිරීම් ක්‍රමවේද සහ ස්ථිරසාර සංවර්ධන සංකල්ප තිබුණේ ශ්‍රී ලංකාවේ. 

අද මිලියන, බිලියන ගණනින් වියදම් කරලා හදන හරිත ඉදිකිරීම්වල අමුද්‍රව්‍ය දිරාපත් වෙන්න වසර දහස් ගණනක් ගතවෙනවා.  නමුත් අපේ කටුමැටි ගෙයක් තරම් සාර්ථක හරිත ඉදිකිරීමක් ලෝකයේ කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. කටුමැටි ගෙයක් ගත්තොත් එය සම්පූර්ණයෙන්ම පාහේ නිපදවලා තියෙන්නේ ස්වාභාවික පරිසරයේදී වියෝජනය වන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරලා. ඒවා පාරිසරික ගැටලුවලට හේතු වුණේ නැහැ. මේක තමයි සැබෑ ස්ථිරසාරත්වය කියන්නේ. 

මෙතැනදී අපි අදහස් කරන්නේ නැවත කටුමැටි ගෙවල්වලට යොමුවෙන්න කියන එක නෙවෙයි. එදා ඒ භාවිත කරපු තාක්‍ෂණයන්, ක්‍රමවේද නවීන ලොකයට ගැළපෙන ආකාරයෙන් වැඩිදියුණු කරන්න සහ යොදාගන්න අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා රටේ පර්යේෂකයන් දිරිමත් කිරීම වගකිව යුත්තන්ගේ වගකීමක් බවත් සිහිපත් කරන්න කැමැතියි. 

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles