ඕසෝන් වියන ගැන අපි වැඩි වශයෙන් කතා කළ යුත්තේ ඇයි?
ඕසෝන් වියන ගැන කතා කරද්දී මීට අවුරුදු මිලියන 4500කට පමණ පෙර පෘථිවිය ජීවීන් නැති යුගයක් ලෙසයි සලකන්නේ. ඉන් අවුරුදු මිලියන 2000ක් පමණ පසුව තමයි ජීවීන් ඇති වුණා කියලා සලකන්නේ. එහිදී ඕසෝන් නම් ස්ථරය පෘථිවිය වටා පිහිටීම නිසා තමයි ජීවීන්ට හිතකර තත්ත්වයක් පෘථිවිය වටා ඇති වූ බව සඳහන් කරන්නේ. සූර්යයාගෙන් විවිධ අහිතකර කිරණ නිකුත් වෙනවා. අහිතකර කිරණ අතරින් පාරජම්බුල කිරණ විශේෂයි. මේ පාරජම්බුල කිරණ වලින් සිදුවන අහිතකර ප්‍රතිඵල අවම කිරීම තමයි ඕසෝන් ස්ථරයෙන් සිදුවී තිබෙන්නේ. මෙම ඕසෝන් ස්ථරය නිසා තමයි ජීවීන්ට හිතකර වායුගෝලයක් නිර්මාණය වී තිබෙන්නේ. ඒ අනුව ශාක හා සත්ත්ව ප්‍රජාවට හිතකර පරිසරයක් පෘථිවියේ බිහිවී තිබෙන්නේ ඕසෝන් ස්ථරය නිසයි. නිවසකට වහලක් තිබෙනවා වගේ පෘථිවියේ ආරක්ෂක පළිහ බවට පත්වෙන්නේ ඕසෝන් වියනයි. පෘථිවියට ළඟා වන අහිතකර කිරණ අවශෝෂණය යම්තාක් දුරට සිදුවන්නේ මේ ඕසෝන් ස්ථරය නිසයි.
ඕසෝන් වියන රැකගන්නට ශ්‍රී ලංකාව වගේ රටක් කොතරම් අවධානය යොමු කරන්න අවශ්‍යද?
ඕසෝන් වියනට හානි වැඩි වශයෙන්ම සිදුවන්නේ කාර්මික රටවල් වලින්. නමුත් අපි රටක් විදිහට වැඩි වශයෙන් හිතන්න අවශ්‍ය වන්නේ ඕසෝන් ක්ෂයකාරක රසායන වර්ග කිහිපයක් පිළිබඳවයි.
විශේෂයෙන් ඕසෝන් වියනට හානිකරන ප්‍රධාන අංශයක් වන්නේ වායුසමීකරණ හා ශීතකරණ. මීට අමතරව ෆෝම් මෙට්ට නිෂ්පාදනයේදී පිපුම්කාරකයක් ලෙස භාවිත වන රසායන.
විහිදුම්කාරක (ස්ප්‍රේ) සඳහා භාවිත වන ඒරොසෝල් නමැති රසායනය. මෙහිදී ශීතකරණ, වායුසමීකරණ වැනි ක්ෂේත්‍රවල විශාල වශයෙන් ඕසෝන් ක්ෂයකාරක අඩංගු වෙනවා. ඒ වගේම ඉතාම සුළු වශයෙන් ඕසෝන් ක්ෂයකාරක රසායන භාවිත වන අනෙක් අංශ පිළිබඳවත් අපේ අවධානය යොමු වෙනවා.
අපි ශීතකරණ පිළිබඳව අවධානය යොමු කළොත් මුල් යුගයේදී CFC නැත්නම් ක්ලෝරො ෆ්ලෝර කාබන් පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළා. ඒ අනුව මේ වන විට CFC අඩංගු ශීතකරණ අපේ රටට ගෙන්වීම තහනම් කරලා තිබෙනවා. ඒ වෙනුවට අපේ රටට ආවේ හයිඩ්‍රෝ ක්ලෝරො ෆ්ලෝරෝ කාබන්. දැන් හයිඩ්‍රෝ ක්ලෝරෝ කාබන් වෙත ගමන්කර තිබෙනවා. එහෙම බැලුවම ඕසෝන් වියන හායනය අවම වන දිශානතියකට තමයි අපි ගමන් කර තිබෙන්නේ.
මීට අමතරව ඕසෝන් ස්ථරයට බලපෑම් කරන රසායන තිබෙනවා. හේලෝන්, කාර්බන් ටෙට්ට්‍රෝ ක්ලෝරයිඩ් වැනි රසායන. මේ රසායනික කර්මාන්ත ක්ෂේත්‍රයේ සේදුම්කාරක ලෙස භාවිත වෙනවා. මේ රසායන අපි මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කර තිබෙනවා. නමුත් තහනමට පෙර ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන ඒවා භාවිත කරන්න අවසර තිබෙනවා. මේ වන විට CFC වායු සහිත ශීතකරණ ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ නැහැ. ඉන්පසුව ගෙන්වූ හයිඩ්‍රෝ ක්ලෝරො ෆ්ලෝරෝ කාබන් සහිත ශීතකරණත් දැන් පාලනයක් ඇතිවයි ගෙන්වීම සිදුවන්නේ.
ජාත්‍යන්තර ඕසෝන් දිනය සැමරුමට ශ්‍රී ලංකාව එක්වුණේ කුමන කාලයේදීද?
1994 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයත් සමග එකතුවෙලා සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 16 වැනි දින ඕසෝන් දිනය සමරනු ලබනවා. ගෝලීය පාර්ශ්වකරුවන් එකතු වී 1985 වියානා සම්මුතියට අත්සන් තබනවා. වියානා සම්මුතිය කියන්නේ ඕසෝන් වියන හායනය පිළිබඳ ඇතිවුණ සම්මුතියක්. ඕසෝන් වියන හායනය සිදුවන බව හඳුනාගෙන මේ ඕසෝන් වියන ක්ෂයකාරක එනම් ඕසෝන් වියනයට හානි කරන වායුන් හඳුනා ගැනීමත් සමග වියානා සම්මුතිය තවදුරටත් බලවත් කරන්නට මොන්ට්‍රියල් සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවා තිබෙනවා. ඒ 1987 වර්ෂයේදීයි. මෙයට වියානා සම්මුතිය සමග සිටි පාර්ශ්වකරුවන් සියල්ලම එකතු වෙනවා. ඒ අනුව මොන්ට්‍රියල් සන්ධානය කියන්නේ ඕසෝන් වියන ක්ෂකාරක ද්‍රව්‍යයන් භාවිතය අවම කරන්නට ඇතිවුණ සන්ධානයක්. වර්තමානයේ වියානා සම්මුතියට වඩා බලවත් වී තිබෙන්නේ මොන්ට්‍රියල් සන්ධානයයි. ශ්‍රී ලංකාව 1989 වර්ෂයේ දෙසැම්බර් 15 වියානා සම්මුතියට හා මොන්ට්‍රියල් සන්ධානය යන දෙකටම අත්සන් තබා තිබෙනවා.
එසේ නම් අපේ රටට ඇති වගකීම් හා බැඳීම් මොනවාද?
ගෝලීය වශයෙන් ලෝකයේ රටවල් 197ක් එකඟත්වය දක්වා අත්සන් කළ සම්මුතියක් හා සන්ධානයක් තමයි මේක. ඒ අනුව මේ සම්මුතියේ හා සන්ධානයේ තිබෙන නීතිමය හා ප්‍රතිපත්තිමය, තාක්ෂණික හා ඊට අදාළ සියලුම ක්‍රියාකාරකම් වලට අපිත් පාර්ශ්වකරුවෙක් ලෙස බැඳිලා ඉන්නවා. අපි රටක් වශයෙන් එයට බැඳී සිටිනවා වගේම මේ සම්මුතිය හා සන්ධානයේ කටයුතු ක්‍රියාත්මක කරන්නට 1994 වර්ෂයේ ජාතික ඕසෝන් ඒකකය පිහිටුවලා තිබෙනවා. 1994 සිට ජාතික ඕසෝන් ඒකකය මේ කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.
මේ වර්ෂයේ තේමාව අනුව ශ්‍රී ලංකාවේ සැමරුම් සිදුවන්නේ කොහොමද?
මෙවර අපි ඕසෝන් දිනය සමරන්නේ වියානා සම්මුතියට අත්සන් කර අවුරුදු 35ක් ගෙවෙන අවස්ථාවේයි. මෙවර තේමාව වී තිබෙන්නේ %OZONE FOR LIFE^ කියන එක. ඒ අනුව පෘථිවියේ ජීවය පවතින්නට ඕසෝන් වියන අත්‍යාවශ්‍යයි කියන තැන ඉඳලයි මෙවර ඕසෝන් දිනය සමරනු ලබන්නේ. මේ අවුරුද්දේ අපි ඕසෝන් දිනය සමරද්දී ඕසෝන් ස්ථරය ක්ෂය වීම පිළිබඳව, සෞඛ්‍යය, දේශගුණික විපර්යාස වගේ දේවල් ගැන ජනතාව දැනුම්වත් කරන්න තීරණය කළා. ඒ සඳහා කෝවිඩ් වසංගතය හේතුවෙන් එළිමහනේ වැඩසටහන් සංවිධානය කරන්න බැරිවුණත්, සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන ලෙස සිතුවම් හා නිර්මාණ තරග පවත්වන්නට යෙදුණා. මෙවර අපි ප්‍රධාන සැමැරුම පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) උදෑසන 9.30ට අපේ ගම පරිශ්‍රයේදී ආරම්භ කරන්නට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙහිදී අපි වැඩි අවධානයක් යොමු කරනවා අනාගතයේ ඕසෝන් වියන ආරක්ෂා කරන ආකාරයෙන් ශීතකරණ ක්ෂේත්‍රය කොහොමද වෙනස් විය යුත්තේ කියන කාරණාව ගැන. ඕසෝන් වියන පමණක් නොව ගෝලීය උණුසුම, දේශගුණික විපර්යාස වගේ දේවල් වලට අපි නිතර ලක්වෙනවා. විශේෂයෙන් 2015 පැරිස් සම්මුතියටත්, 2018දී අත්සන් තැබූ ගිගාලි සංශෝධනයටත් අනුව අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ අනුව අපි දේශගුණික විපර්යාස අවම දේවල් වලට මිනිසුන් හුරු කිරීම වෙනුවෙන් තාක්ෂණය හඳුන්වාදීම සිදුකරනවා. එමෙන්ම ස්වාභාවික ශීතකාරක හඳුන්වාදීම අපේ ඉදිරි සැලැස්ම වී තිබෙනවා.
කෝවිඩ් නිසා ඕසෝන් වියනට යම් සුවයක් අත්වී තිබෙන බව සඳහන් වෙනවා?
ඕසෝන් ස්ථරයට වැඩිම බලපෑමක් සිදුකරන්නේ කාර්මික වශයෙන් දියුණු රටවල්. අපි වගේ රටවල් එයට කරන බලපෑම ඉතාම සුළුයි. වර්ෂ කිහිපයක් මුළුල්ලේ ලෝකයම ගමන් කරන දිශානතිය අනුව ඕසෝන් ස්ථරය තුනී වීම යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි පෙනී යන්නේ. මෙය කෝවිඩ් නිසාම ඇතිවූ තත්ත්වයක් නොවේ. කාලයක් පුරා ලෝකය විසින්ම ගත් තීරණ හා ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසයි එය සිදු වී තිබෙන්නේ.
අපි කුමන ක්ෂේත්‍රයක නියැලුනත් මනුෂ්‍යයෙකු ලෙස දැනුමට එකතු කරගත යුතු දේවල් තිබෙනවා. අපි මොනයම් දේ කළත් බාහිරට නිකුත් කරන රසායන නිසා තමයි මේ බලපෑම් ඇතිවෙන්නේ. ශීතකාරක ගැන කතා කළොත් ආනයනයන් පාලනය කරන්න වගේම ශීතකාරක පිරිපහදු කර නැවත භාවිතය වගේ දේවල් රාශියක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම වායු විමෝචනය අවම කරගෙන හිතකර පරිසරයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ දැරිය යුතුයි.