නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය යනු ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට සහ මානව ආරක්ෂණය ඉහළ දැමීම වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයකි. පසුගිය වසර කිහිපය තුළ ඔවුන් රජය හා සම්බන්ධ වෙමින් රටට වැදගත් වන වැඩසටහන් කිහිපයකට දායක වී තිබේ. අවි ආයුධ හා සම්බන්ධ ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම, පාරිසරික ප්‍රඥප්තීන්වලට රජය එකඟ කරවීම වැනි කටයුතුවලදී ඔවුන් පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මේ වසරේදී Cop - 18 සමුළුව ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය එහි ප්‍රධාන තැනක් ගෙන කටයුතු කරයි. මේ ඒ පිළිබඳ මෙම සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා සමග සිදු කළ සාකච්ඡාවකි.
නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ අරමුණ කුමක්ද?
මානව ආරක්ෂණය, ජීවන තත්ත්වය ඉහළ දැමීම සහ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම තමයි අපි මේ සංසදය තුළින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කිරීම අපේ අරමුණුවලින් කිහිපයක්. අද වනවිට ලංකාවේ විවිධ තැන්වල පරිසරය පිළිබඳ සහ ලිංගිකත්වය පිළිබඳ කතිකාවත් ඇති වෙනවා. නමුත් මානව ආරක්ෂණය සහ ජීවන තත්ත්වය පිළිබඳ කතිකාවත් ඇතිවෙලා නැහැ. අපි උත්සාහ කරන්නේ ඒක ඇති කරන්නයි.
ඔබ සංසදය අරමුණු කරන්නේ මානව ආරක්ෂණය සහ ජීවන තත්ත්වය නගා සිටුවීම. මේ සඳහා නව පරපුරේ දායකත්වය ඉතා වැදගත් නේද?
ඔව් ඇත්තටම. නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයෙන් අපි ඉලක්ක කරන්නේ තරුණ ප්‍රජාව. විශේෂයෙන් වැදගත් වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රජාව. එයාලා තමයි අපේ අනාගතය. සෑම රටක්ම දියුණු වුණේ නිවැරදි දේශපාලන නායකත්වයක් නිසා. නමුත් අපට එහෙම දේශපාලනයක් නැහැ. අපට තියෙන්නේ යන - එන දේශපාලන නායකත්වයක්. අපේ දේශපාලනයට එන්න ඕනේ රටේ උගත් පිරිස්, තරුණ අය සහ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි අයයි. එවැනි නායකත්වයක් සහ දැක්මක් අපි තරුණයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. තරුණ පිරිස්වලට අවස්ථාව තිබෙනවා අපිත් සමග එකතු වී වැඩ කරන්න. මේ වනවිටත් අපේ සංසදයට විශ්වවිද්‍යාලවල තරුණ පිරිස් රැසක් එකතු වී තිබෙනවා.
නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය ප්‍රධානත්වයෙන් මේ වනවිට ඉටු කර තිබෙන කාර්යන් මොනවාද?
අපට රටට වැදගත් වන ප්‍රඥප්තීන් කිහිපයකට පාර්ශ්වකරුවන් වීමට රජයට බල කිරීමට හැකියාව ලැබුණා. ලෝකයේ තිබෙනවා යුද අවි සම්බන්ධයෙන් විවිධ ප්‍රඥප්ති. යුද සමයේදී අපට සමහර ප්‍රඥප්තීන්ට පාර්ශ්වකරුවන් වන්නට නොහැකි වුණා. විශේෂයෙන්ම බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තියට අපට පාර්ශ්වකරුවන් වන්නට නොහැකි වුණා.
මොකද අපේ හමුදාව බිම්බෝම්බ පාවිච්චි කළ නිසා. ඉතින් අපි 2009න් පසුව තර්ක ඉදිරිපත් කළා යුද්ධයක් අවසන් වූ රටක් නිසා අපි බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වෙමු කියලා. 2012දී අපි පැවැති රජයට මේක ගැන කිව්වාම එයාලා කැමති වුණේ නැහැ. 2015දී අලුත් රජය පත්වුණාම අපි රජය දැනුවත් කළා. අපි රජයට ප්‍රධාන වශයෙන් ප්‍රඥප්තීන් තුනකට උද්දේශනය කළා. එකක් තමයි ආබාධිත පුද්ගලයන් සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය. දෙවෙනි එක තමයි බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තිය. තුන්වෙනි එක තමයි පොකුරු අවි තහනම් කිරීමේ ප්‍රඥප්තිය.
කොහොමහරි 2016 වසරේදී ශ්‍රී ලංකාව අපරමානුමත කළා පුද්ගල ආබාධිතයන් සඳහා වූ ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය හරහා රටේ අබාධිත පුද්ගලයන්ට ගොඩාක් දේවල් ලැබෙනවා. අපි විශ්වාස කරනවා ලංකාවේ ජනගහනයෙන් 15%ක් පමණ ආබාධිත පුද්ගලයන් ඉන්නවා කියලා. ඔවුන්ටත් සම තැන හිමිවෙන්න ඕනේ. නමුත් 2016දි අපරමානුමත කළ ප්‍රඥප්තියේ තවමත් නීති පද්ධතිය තවමත් හදලා නැහැ.
2017 වසරෙදී රජය තේරුම්ගත්තා බිම්බෝම්බ ප්‍රඥප්තියට පාර්ශ්වකරුවෙකු වුණොත් ඒක ලංකාවට විශාල වැදගත්කමක් වෙයි කියලා. නැවතත් යුද්ධයකට යන්න සිදුවුණොත් අපට මේ ප්‍රඥප්තියෙන් එළියට එන්න පුළුවන්. මේ වෙද්දි බිම්බෝම්බ තහනම් කරලා තියෙනවා රටවල් 160කට වඩා. අපට 2017දි හැකි වුණා බිම්බෝම්බ ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවෙකු වෙන්න.
ඉන්පසු අපි උද්දේශනයේ යෙදුණා පොකුරු අවි තහනම් කිරීමේ ප්‍රඥප්තියටත් පාර්ශවකරුවෙකු වෙන්න කියලා. පොකුරු අවි කියන්නේ දරුණුම ඝණයේ අවියක්. ලංකාව යුද සමයේදී පොකුරු අවි පාවිච්චි කළා කියලා සමහරු කියනවා. නමුත් 2010දි තමයි මේ ප්‍රඥප්තිය ලෝකයට ගේන්නේ. ඒ ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ බලාත්මක වෙන්න කලින් කවුරු පාවිච්චි කළත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ලංකාව කවදාවත් පොකුරු අවි පාවිච්චි කළේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. පොකුරු අවි භාවිත කළා නම් හැමතැනම එහි කොටස් තිබෙන්න ඕනේ.
මම ලංකාවේ බිම්බෝම්බ පිළිබඳ පරීක්ෂණයක් කරන නිසා මට විශ්වාසයෙන් ඒ ගැන කියන්න පුළුවන්. මම යුද්ධය තිබුණු පළාත්වලට ගියා. මම කොහෙවත් දැක්කේ නැහැ පොකුරු අවියක කොටසක්වත් තිබෙනවා. හමුදාව කිව්වා අපට පොකුරු අවි තහනම් කිරීමේ ප්‍රඥප්තියට පාර්ශ්වකරුවෙක් වෙන්න පුළුවන් කියලා. පොකුරු අවි කිසිවිටෙකත් පාවිච්චි කළේ නැහැ සහ පාවිච්චි කරන්න අවශ්‍යතාවකුත් නැහැ කියලා ඔවුන් පැවසුවා. එම නිසා ලංකාව 2018 වසරේදී පොකුරු අවි තහනම් කිරීමේ ප්‍රඥප්තියටත් පාර්ශ්වකරුවෙකු වුණා.
2009 යුද නිදහසෙන් පසු ලංකාව ලබපු විශාල ජයග්‍රහණ තමයි ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රඥප්තියට පාර්ශ්වකරුවෙකු වීම, බිම්බෝම්බ තහනම් කිරීමේ ප්‍රඥප්තියට පාර්ශ්වකරුවෙකු වීම සහ 2018 වසරේදී පොකුරු අවි තහනම් කිරීමේ ප්‍රඥප්තියට පාර්ශ්වකරුවෙකු වීම. ඒක අපි ජාත්‍යන්තරයෙනුත් ලබපු ඉහළම ජයග්‍රහණයක්. මේ ප්‍රඥප්තීන්වල පාර්ශ්වකරුවෙකු වීම නිසා හමුදාවේ ප්‍රතිරූපය ඉහළ ගියා. අපේ හමුදාවේ කවදාවත් ළමා සොල්දාදුවෝ හිටියේ නැහැ. නමුත් ත්‍රස්තවාදී සංවිධානයේ හිටියා. ඒක තනිකරම නීතිවිරෝධී ක්‍රියාවක්. ඒ වගේම අපේ හමුදාවේ හිටියේ නැහැ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ. ඒක සම්පූර්ණයෙන්ම යුද නීතියට පටහැණි ක්‍රියාවක්. නමුත් එල්.ටී.ටී.ඊ. එකේ හිටියා. මේ දේවල් නිසා ලංකාවේ හමුදාවේ කීර්තිනාමය ඉහළ ගියා.
2012දි හසු වූ අප්‍රිකානු ලේ ඇත්දළ කන්ටේනරයත් සමග ලංකාවට ජාත්‍යන්තරයෙන් පහත් ප්‍රතිචාර ලැබුණා. ශ්‍රී ලංකා රේගුව විසින් මේ ඇත්දළ බහාලුම රාජසන්තක කළා. මේ ඇත්දළ තොගය පන්සල්වලට බෙදලා දෙනවා කියලා බොහෝ අය පැවසුවා සහ එවැනි දේවල්වලට සමහරු උත්සාහ ගෙන තිබුණා. රජය මේ ඇත්දළ හොර පාරෙන් විකුණන්න උත්සාහ කරනවා කියලා National Geographic සඟරාව ලෝකයටම ප්‍රචාර යැවුවා. ඒ ප්‍රවෘත්තිය නිසා ලංකාවේ ප්‍රතිරූපය පහත් තැනට පත්වුණා. ඒ අවස්ථාවේදී රේගුව විශාල මහන්සියක් ගත්තා මේ කන්ටේනරය විනාශ කරන්න. රේගුව කිසිම බලවේගයකට මේ කන්ටේනරයට අත තියන්න දුන්නේ නැහැ. කොහොමහරි 2015 අලුත් ආණ්ඩුව පත්වුණාට පස්සේ ගාමිණී ජයවික්‍රම ඇමතිතුමා හමුවෙලා අපි මේ ගැන කිව්වා. ඔහුටත් වුවමනා වුණා මේ ඇත්දළ කන්ටේනරය විනාශ කරන්න. ඊටපස්සේ අපට හැකි වුණා මේ කන්ටේනරය විනාශ කරන්න අනුමැතිය ලබාගන්න.
2016 ජනවාරි 26 මේ ඇත්දළ කන්ටේනරය විනාශ කළා. මේ සඳහා මුදල් අමාත්‍යංශයෙන් අපට මුදල් ලබාගැනීමට හැකි වුණා. මේ ඇත්දළ විනාශ කිරීමේ උෙළල සිදුවුණේ ආගමානුකූලවයි. මේක නිසා අපට නැතිවුණු අපකීර්තිය නැවතත් ලබාගැනීමට හැකිවුණා. ජාත්‍යන්තර මාධ්‍යයෙන් විනාශ වුණු ප්‍රතිරූපය ඔවුන්ම නැවත හැදුවා. මේ සඳහා cites මහලේකම්තුමා පවා සහභාගි වුණා.
මේ වැඩසටහනට ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ සහ ශ්‍රී ලංකා රේගුව විශාල සහයෝගයක් ලබාදුන්නා. රුක්ෂාන් ජයවර්ධන, විමුක්ති වීරතුංග, මනෝරි ගුණවර්ධන ඇතුළු පරිසරවේදීන් රැසක් මුල් කාලයේදී මේ ගැන විශාල කතිකාවත් ඇති කළා. අපි සිදු කළේ රජයට බලකිරීමක් පමණයි. නමුත් එමගින් අපේ රටට සිදුවන්නට ගිය විශාල අපකීර්තියක් නැතිවුණා. ඒ ගැන සතුටුයි.
ඔබ සංසදය මගින් cites සම්මුතිය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ කියන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම පසුගියදා එළිදැක්වූවා. cites සම්මුතිය ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ කොහොමද?
cites කියන්නේ වඳවීමේ තර්ජනයට භාජනය වී ඇති වනසතුන් හා පැළෑටිවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියයි. මෙහි අරමුණ තමයි ජාත්‍යන්තර වෙළෙඳාමේදී වන සතුන් හා ශාක නිර්දේශකයන් ඒවායේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට යොදාගැනීම තහවුරු කිරීම. වෙළෙඳාම නියාමනය කිරීම තුළින් වනජීවී සංරක්ෂණය සිදු කරන ලොව ප්‍රබලතම මෙවලම් අතුරින් එකක් ලෙස cites සම්මුතිය හඳුන්වන්න පුළුවන්. cites සම්මුතියට 1979 දී ශ්‍රීලංකාව පාර්ශ්වකරුවෙක් වෙනවා. නමුත් ඒක ලංකාව තුළ අනුමත කරන්න නම් අපේ රටේ නීති පද්ධතියට ගැළපෙන විදිහට නීති පද්ධතියක් නිර්මාණය කරලා ඒක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළින් සම්මත වෙන්න ඕනේ. නමුත් 1979 ඉඳලා ඒක තවමත් සිදු වෙලා නැහැ.
ලංකාව මේ වනවිට අහුවෙලා ඉන්නවා විශාල වනජීවී ජාවාරමකට. cites සම්මුතිය පිළිබඳ නීති පද්ධතිය ලංකාවේ තවම නීතිගත කරලා නැති නිසා ශ්‍රී ලංකා රේගුව ප්‍රශ්න රැසකට මුහුණදෙනවා. රේගුව කටයුතු කරන්නේ යම් නීති රාමුවක් තුළයි. නමුත් වනජීවී ජාවාරමේ යෙදුණු හොරුන් අල්ලා ගත්තත් ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් විශාල අපහසුතාවකට පත්වෙනවා.
ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න, ජාන මංකොල්ලය නැති කරන්න ලංකාවේ නීති පද්ධතියක් තියෙන්න ඕනේ. ඒක තමයි cites ප්‍රධාන වශයෙන් ලංකාවට වැදගත් වන්නේ. මෙවර cites පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ ප්‍රධාන සමුළුව Cop - 18 සමුළුව පැවැත්වෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒ ගැන රටට කියන්න තමයි අපි cites සම්මුතිය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරන්නේ.
Cop - 18 සමුළුව පිළිබඳ හැඳින්වූවොත්?
වනජීවීන් පිළිබඳ ලෝකයේ කතා කරන විශාලතම සමුළුව තමයි Cop - 18 සමුළුව කියන්නේ. මේ සමුළුව මේ අවුරුද්දේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. මේ සමුළුවට රටවල් රැසකින් 3500-4000ක් පමණ පිරිසක් සහභාගි වෙනවා. මේ සමුළුව තුළින් ලෝකයට ලංකාව ගැන පණිවුඩයක් අරගෙන යන්න පුළුවන්. ලෝකයේ දැවැන්ත ජනමාධ්‍ය මේ සමුළුව ආවරණය කරනවා. අපි cites සම්මුතියේ පාර්ශ්වකරුවෙක් නිසා මේ සමුළුව අපට වැදගත් වෙනවා.
Cop - 18 සමුළුව පැවැත්වීමත් සමගම අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරන්න. අපි රජයට යෝජනා කළා මැයි මාසයට කලින් කටුනායක ගුවන්තොටුපොළට දුම්රිය මාර්ගයක් සම්බන්ධ කරන්න කියලා. මොකද ඒකෙන් රටේ ප්‍රවාහන පද්ධතියට විශාල වාසියක් වෙනවා. ඒ වගේම මේ සමුළුවට එන විදේශිකයන්ටත් ඒක විශාල පහසුවක්. අපි බලාපොරොත්තු වෙනවා රජයට කියලා කොළඹ - කටුනායක දුම්රිය මාර්ගය සකස් කරවන්න.
මීටර් 200 - 300ක් දිගු කරන්න පමණයි තියෙන්නේ. ඒකෙන් කොපමණ ප්‍රතිලාභයක් ලැබෙනවාද? අඩු වියදමකින් කටුනායක ඉඳන් මනුස්සයෙකුට කොළඹට එන්න පුළුවන්. සංචාරක ක්ෂේත්‍රයටත් මේක ගොඩාක් වටිනවා. අපි මේ ගැන කියලා රජයට යවපු පළමු ලිපියට ප්‍රතිචාරයක් ලැබුණා. ගිය සතියේ තවත් ලිපියක් අපි යැව්වා. ඒකට තවම පිළිතුරක් ලැබුණේ නැහැ.
අපි කිව්වා රජයට Cop - 18 සමුළුවට කලින් ලංකාවේ නීති පද්ධතිය හදලා පාර්ලිමේන්තුවට යවලා සම්මත කරන්න කියලා. cites ප්‍රඥප්තිය GSP+ සහනයට බලපාන එක ප්‍රඥප්තියක්. අද වනවිට අපේ ආර්ථිකයට බොහෝ වැදගත් වෙන එකක් තමයි GSP+ කියන්නේ. අපේ නිෂ්පාදනය කරන බොහෝ භාණ්ඩ යන්නේ යුරෝපා රටවලට. ඉතින් ඒකටත් මේක වැදගත් වෙනවා.
සටහන - කැළුම් විශ්වනාත්