අපිට කියන්න තියෙන්නේ මුන් වන බඹරු කියලා තමයි


අපේ රනිල්  අපි රකිනවා, දාලා යන්නේ නෑ

ජනපති මෛත්‍රී විසින් අගමැති ලෙස මහින්ද පත් කළ පසු එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයෝ දිවා රාත්‍රියේ වැල නොකැඩී අරලියගහ මන්දිරයට රොක් වූහ. ඔවුන් උදේ, දවල්, රාත්‍රී ආහාර ගත්තේද අරලියගහ මන්දිරයෙනි.

‘අපේ රනිල් අපි රකිනවා... දාලා යන්නේ නෑ...’ අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේ එකම හඬකි. විටින් විට පැමිණි එ.ජා.ප. මන්ත්‍රීන් පැමිණ සිටින්නන් අමතන්නේ වේදිකාව මත හැරෙන්නටවත් ඉඩක් නොමැතිවය. පාක්ෂිකයෝ කෑගසති. ජය ඝෝෂා නංවති. සෙල්ෆි ගනිති. මුහුණු පොතේ අප්ලෝඩ් කරති. මන්ත්‍රීහු එහේ දුවති. මෙහේ දුවති. සියල්ල හමුවේ අරලියගහ මන්දිරයේ ඉදිරිපස පරිශ්‍රය සන්සුන්ය. වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා දිනපතා අඛණ්ඩව පිරිත් දේශනා කරති. රනිල්ද යන එනු පෙනේ. දේශීය මාධ්‍යවේදීන්ට එක් හමුවකි. විදේශීය මාධ්‍යවේදීන්ට තවත් හමුවකි. සතිය පුරා තත්ත්වය මෙසේය.

අරලියගහදී හැරිසන් නොදුටු හේතුව

එහේ බලා මෙහේ බලද්දී මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අතරට ඉදිරියේදී හැරිසන් මන්ත්‍රීවරයාත් එක්වනු ඇති බවට විවිධ කතාබහ ඇති විය. ඒ රනිල්ගේ සහායට අරලියගහ මන්දිරයට රුස්වූවන් අතර පසුගිය දින කිහිපයේදීම හැරිසන් දක්නට නොමැති වීමෙනි.

‘ එයාත් යන්නලු හදන්නේ. මෙහෙම යද්දී අන්තිමේ වෙනකොට කවුරු කවුරු දිවුරුම් දීලා තියේවිද දන්නේ නෑ. කිසි කෙනෙක් ෂුවර් නෑ...’

එහෙත් තතු දත්තෝ කසුකුසු ගෑවේ හිටපු අමාත්‍යවරියක විසින්ම හැරිසන්ට විරුද්ධව කටකතා පතුරුවන බවයි. එහෙත් මේ වනවිට  එම හිටපු අමාත්‍යවරියද මෛත්‍රී පිළට කරණම් ගසන්නට ඔන්න මෙන්න යැයි කටකතාවක්ද පැතිරී හමාරය. කවුරුන් කුමක් කීවද ගතවූ දිනවල හැරිසන් නොපෙනී ඇති හේතුව අරලියගහ මන්දිරයේදී හෙළි කළේ හැරිසන්ගේ සමීපතමයෙකි.

‘ඇමතිතුමාට බඩේ අජීර්ණයක්. මොනවාද ජරාවක් කාලා...’

එජාප පසුපෙළ අකමැති දේශපාලන ගණිකාභාවය

අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීන්ගෙන් වාග් ප්‍රහාරයකි. ඊට එකතුව සිටියේ හර්ෂණ, හේෂා විතානගේ හා චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුය.

‘දේශපාලන ගණිකාභාවයට පත්වෙච්ච උන් පසුපෙළට ලංසු තියනවා’ හේෂා කතාව ඇරඹුවේ තවත් දිගුවක් තබාය.

‘පට්ට හොරු අපිට මඩ ගහනවා. අපි වැටෙන්නේ නෑ. අපි තවම පැදුරේ ඉන්නේ. අපිව වැටෙන්න කියලා තැනක් නෑ. අපිට කොතනත් එකයි.  ලැජ්ජ වෙන්න ඕනේ අපි, අපිත් එක්ක එකට බත්පත කාපු උන් දෙන්නෙකුත් රෙදි ගලවා ගත් එකට. හැබැයි රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරනකොට පෞද්ගලික මාධ්‍ය ඇත්ත වාර්තා කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ’ යැයි හේෂා කියද්දී හර්ෂණ එයට තවත් කරුණු එකතු කළේය.

‘ඇමතිකම් දාලා ඉන්න බැරි සෙට් එක ඇමතිකම් අරන් තියෙනවා. ඇයි විශ්‍රාම යන සෙට් එකනේ. අවසාන වතාවට පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා දන්නවානේ. මේ වතාවෙත් පිනට එකේ ආයේ මොන චාන්ස්ද?’

‘පෞද්ගලික චොයිසස්වලට අවස්ථාව නෙවෙයි මේ. බොර දියේ මාළු බාන උනුත් ඉන්නවා. දේශපාලන ගණිකා සේවනයේ යෙදෙන උන් ගැන ජනතාවයි බලාගන්න ඕනෑ. සදාචාර සම්පන්න නම් 05 වැනිදා අයවැය ඉදිරිපත් කළාම ඒක පරාජය කරලා කරන එකක් කර ගන්න තිබුණා’ යැයි හේෂා කියද්දී චමින්දද හිස වැනීය.

වසන්තේද මේ.....?

මහින්ද - මෛත්‍රී ආණ්ඩුවේ සංචාරක හා වනජීවී අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ වසන්ත සේනානායකගේ දුරකථනය දැන් වෙනදාට වඩා කාර්යබහුලය. ඒ සිය ඡන්ද දායකයන් සඳහා වසන්ත මුදල් බෙදා දෙන බවට වූ සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන සටහනක් හේතුවෙනි.

පසුගිය මහා මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 75,651ක් ලබාගත් ඔහු රැපියල් කෝටි 50කට මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට එක්වූ බවත්, ඒ අනුව අදාළ මුදල ඡන්දදායකයන්ගෙන් බෙදූ විට රැපියල් 6,609ක මුදලක් වසන්තට ඡන්දය ලබාදුන් එක් පුද්ගලයෙකුට හිමි වන බවත් එහි සඳහන් විය.

ඒ අනුව අදාළ මුදල මේ දිනවලදී වසන්ත විසින් ඡන්දදායකයන්ට ලබාදෙන බැවින් නොපමාව ඔහුට කතා කොට තමන්ට හිමි මුදල ඉල්ලා ගන්නා ලෙසද එම සටහනෙහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

කෙසේ වුවත් මේ දිනවල වසන්තගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ඇමතුම් ගන්නන් විමසා සිටින්නේ ‘වසන්තේ. වසන්තේද මේ.?’ කියාය.

සමනලියක් මල්ලී.... සමනලියක්....

අඟහරුවාදා දියත උයන අසල රට රකින ජන බල මහිමය රැලියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ %සමනල්^ කතාවට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සිත් හොඳටෝම රිදී තිබිණි.  ප්‍රතිචාර කෙසේද කිවහොත් බොහෝ කලාකරුවෝද එහි පැමිණ සිරිසේන විවේචනය කළහ.

‘ජනපති සිරා සහ සාටක       සනුහරය

සිරිලක් අම්මාට සිදු කළ       අතවරය

හිරු සඳු ලෙසට පෙන්වා තම බහුතරය

අගමැති රනිල් දිනනවා එය     ස්ථිරය 

පැන පැන ලේ උරන කූඩැල්ලෙකුගේ        නියා

පිහිටට හිටිය සමනලයාට දොස්ම            තියා

පිළිගත යුතුයි මේ ජනපති දෙපත්             නයා

පවසමු සමනලයා රටටම හොඳයි             කියා’

යැයි අරලියගහ මන්දිරයට පැමිණි කවියෙකු ගයද්දී හිරුණිකාද ඊට අඩුවැඩිය එක් කළේ මාධ්‍යව්දීන් සමගය.

‘මම කාගෙවත් වැරදි එළියේ කියන්න කැමති කෙනෙක් නෙවෙයි. මට ලැබෙන ඇමතුම්වල හඬපට ප්‍රසිද්ධ කළොත් මුලින්ම ගැලවෙන්නේ මේ රටේ වන්දනාවට පාත්‍ර වෙන ප්‍රසිද්ධ පෙළේ ස්වාමීන් වහන්සේලාගේ හා පූජකවරුන්ගේ සිවුරු. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කට හොඳ නෑ කියලා කිව්වට ජනාධිපතිවරයා කියන කැත කතා කියලා නෑ. අගමැතිවරයා සමනල් ජීවිතයකට ඇතුළු වෙලා කියනවා. මේවා දැක්කම ජාත්‍යන්තරය මොනවාද කියන්නේ? ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ හා මෛත්‍රී මැඩම්ගේ පෞද්ගලික ජීවිතය තියෙන්නේ අරලියගහ මන්දිරයේ එතුමන්ලාගේ කාමරය ඇතුළේ. ලයිට් අල්ලලා බලලාද ඕවා කියන්නේ. අත්දැකීමෙන් ඇස් දෙකට අපි දැකපු දේවල් තියෙනවා ඕවා කියන කා‍ෙගත්. නමුත් අපි ඒවා කියවගෙන ගියේ නෑ. ඒකයි අපේ වැදගත්කම’ හිරූ දිගටම කියවූවාය.

‘ජනාධිපතිතුමාගේ දේවල් ගැන අපි දන්නවා. නමුත් අපි කියන්නේ නෑ. මම එතනින් අයින් වෙන්නත් හේතුව ඕවා තමයි. අත්දැකීමෙන් ඇස් දෙකට දැකලායි මේ කියන්නේ. නිකම් නෙවේ රාධා ක්‍රිෂ්ණා වගේ දේවල් අපි දැකලා තියෙන්නේ.

අපි රාජකාරියයි පෞද්ගලික ජීවිතයයි එකට ගෙනියන්නේ නෑ. මගේ පෞද්ගලික ජීවිතය තියෙන්නේ මගේ මහත්තයා එක්ක මගේ ගෙදර කාමරේ. ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පෞද්ගලික ජීවිතේ තියෙන්නේ එතුමාගේ කාමරේ මෛත්‍රී මැඩම් එක්ක. නමුත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජීවිතේ තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ. එතුමාගේ රාජකාරියයි, පෞද්ගලික ජීවිතෙයි දෙකම එකට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ තියෙන්නේ.

තව කෙනෙකුගේ කුණු හොයන්න කලින් දැන ගන්න ඕනා එහෙම කළාම තමන්ගේ කුණු කන්දම ඇවිස්සෙනවා කියලා.  ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාට මෛත්‍රී මැඩම් බිරිඳකගෙන් විය යුතු සෑම යුතුකමක්ම ඉෂ්ට කරනවා අපි දැක්කා. මේ දවස් ටිකේම අපි හිටියේ අරලියගහ මන්දිරයේ. එතුමයි එතුමියයි බොහොම සතුටින් හිනා වෙලා ඉන්න දෙන්නෙක්. නමුත් ජනාධිපතිවරයා කරන්නේ රාජකාරී තැන පෞද්ගලික ජීවිතේ කරගෙන යන එක’

මාධ්‍යෙව්දීහු එකිනෙකාගේ මුහුණු බලා ගත්හ. කටකොකියද්දී ඉන් එක් අයෙක් හිරුට ප්‍රශ්නයක් යොමු කළේය.

‘මන්ත්‍රීතුමිය හැබෑට ඒ සමනළයෙක්ද? සමනළියක්ද?’

අත තිබූ උපැස් යුවල බාගෙට පැලඳ ගත් හිරු, මාධ්‍යවේදියා දෙස බලා, ‘සමනලියක් මල්ලි.. සමනලියක්’ යැයි කීවාය.

අනතුරුව වික්‍රමබාහුද සමනල් කතාවේය.

‘මානව අයිතිය පිළිබඳ අබමල් රේණුවක තැකීමක් නොකර මේ විදියේ කතා කියන එක මනුෂ්‍යත්වයට හොඳද? මේ ජනාධිපතිවරයා මොනවාද මේ කියන කතා? අපිට කියන්න තියෙන්නේ, %මුන් වන බඹරු^ කියලා තමයි. පටු අදහස්වලින් කියන කතා. ලැජ්ජයි...!!!

සර් අපිටත් වදිනවා

අඟහරුවාදා සිරිසේන සමනල් කතාව කියද්දී වේදිකාවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුද මුහුණට මුහුණ බලා ගත්හ. පසුව දයාසිරි හා ජී.එල්. සිරිසේනට කියා තිබුණේ ‘සර්, ආයේ ඒ වගේ කතා කියන්න එපා. යූඑන්පී එක ටාගට් කරලා ඒවා කිව්වට අපේ අයටත් සමහර ඒවා වදිනවා...’ යනුවෙනි.

කැබිනට් ඇමතිකම විමල්ට බැරිනම් ජයන්තට දෙන්න බෑ කියලා

පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කරගැනීමට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය අඟහරුවාදා රැස්විය. මෙහිදී මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී අවධානයට යොමු විය. කැබිනට් මණ්ඩලය තුළ නියෝජනයක් ලබා ගැනීමත්, ආණ්ඩුවේ වැඩපිළිවෙළට දායක වන ආකාරය ගැනත් එහිදී විශේෂයෙන් කතාබහට ලක්විණි. ජාතික නිදහස් පෙරමුණට කැබිනට් ඇමතිධුරයක් ලබාගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබීමත්, එය විමල් වීරවංශට පමණක් ලබාදිය හැකි බව ප්‍රකාශ කර තිබීමත් ගැන දේශපාලන මණ්ඩල සභිකයෝ එහිදී සාකච්ඡා කළහ. තමා ඇමතිධුරයක් ලබානොගෙන එම අවස්ථාව ජයන්ත සමරවීරට ලබාදීමට විමල්ගේ අදහස වී තිබුණි. එහෙත් මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් දන්වා තිබුණේ ජයන්තට කැබිනට් ඇමති ධුරයක් ලබාදිය නොහැකි බවත්, ඔහුට රාජ්‍ය ඇමතිධුරයක් පමණක් ලබාදිය හැකි බවත්ය. ජයන්ත නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ වෙල්ගම, රෝහිත, විදුර වැනි ජ්‍යෙෂ්ඨයන් සිටියදී ජයන්තට කැබිනට් ඇමතිධුරයක් ලබාදීම ගැටලුසහගත බව මහින්දගේ පාර්ශ්වයේ අදහස වී තිබුණි.

ජයන්ත සමරවීර, පද්ම උදය ශාන්ත, කපිල ගමගේ, මුසම්මිල් ඇතුළු දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් එක්ව සිටි සාකච්ඡාවේදී අදහස් දැක්වූ විමල් “අන්තර්කාලීන ආණ්ඩුවට දායකවන නායකයන් සදාචාරය, සංස්කෘතිය රකින ජාතික ආර්ථීක වැඩපිළිවෙළක්, රටේ සම්පත් විකිණීම, රණවිරු දඩයම ආපස්සට හරවන වැඩපිළිවෙළක් හදාගන්න තිබෙනවා. පවතින තත්ත්වයෙන් රට වෙනත් දිශානතියකට ගෙනයෑම අවශ්‍යයි. එතනදී අපිට භූමිකාවක් තිබෙනවා. ඒ භූමිකාවට පණපොවන්න තරම් මටසිලිටු දේශපාලන වටපිටාවක් රටේ නැහැ. ඒ නිසා අන්තර්කාලීන ආණ්ඩුවේ අපේ භූමිකාවක් තිබිය යුතුයි. ජාතික ප්‍රතිපත්ති සකස් කරන විට රටට බලපාන තීන්දු තිරණ සම්බන්ධව අපේ වගකීමක් තිබිය යුතුයි. රට වළෙන් ගොඩගන්න ජාතික නිදහස් පෙරමුණට විශාල භූමිකාවක් තිබෙනවා. අපි පස්ස ගහලා සිටියදී ආණ්ඩුවේ වැරදීමක් වුණොත්, කැබිනට් මණ්ඩලය තුළ මගපෙන්වීමට අප සිටිය යුතුයි. දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කාලය තිබෙන නිසා එම නියෝජනය වරදක් නැහැ. මේක මම ඇමතිධුරයක් බලාගෙන කරපු දෙයක් නෙමෙයි. රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගැනීමට ගෙනගිය සටනක්. එහිදී අපිට ලැබෙන ඇමතිධුරය පරිත්‍යාග කරන්න වුණත් අපි සූදානම්.’ යනුවෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. අනතුරුව විමල්ට කැබිනට් ඇමතිධුරය ලබාගැනීමට ඉඩ දිය යුතු බව දේශපාලන මණ්ඩලය තීරණය කළේය. එම තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්ද අනුමත කරන ලදී.

රාජපක්ෂවාදීන් අපිට ලොකු ප්‍රහාරයක් දෙන්න උත්සාහ කරනවා

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය (26දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදීමෙන් පසුව ඇති වී තිබෙන දේශපාලන අර්බුදය තවමත් සමහන් වී නොමැත. සමහන් වෙනවා වෙනුවට දිනෙන් දින අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබේ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය මෙන්ම  ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ ද දැඩි අවධානයකින් පසුවෙයි.   බොහෝ දේශපාලන පක්ෂ හා ජනතාව මෙහිදී ජවිපෙ සහ ටීඑන්ඒ හැසිරීම පිළිබඳ විශාල අවධානයකින් පසුවෙති. ඇතිවෙමින් තිබෙන නව තත්ත්වය පිළිබඳ දේශපාලන  නායකයෝද විවිධ අවස්ථාවල විවිධ අය හමුවී සාකච්ඡා පවත්වති. ක්‍රියාමාර්ග ගනිති. පසුගිය අඟහරුවාදා දිනයේදීද ජවිපෙ නායකයෝ ජවිපෙ කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී බල හවුවාමැරුව ගැන සාකච්ඡාවක් ඇතිවිය. ටිල්වින් සිල්වා එයට මුලපිරුවේ මෙසේය

”26 වෙනිදා ඇතිවුණ බල සූදුව තවමත් ඉවරයක් කර ගන්න බැරිවෙලා තිබෙනවා. දවසින් දවස දේශපාලන අර්බුදය උග්‍ර අතට හැරෙමින් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට ගන්න ක්‍රියාමාර්ග ඉතාම තීරණාත්මක වෙලා තිබෙනවා. ජනතාව වගේම අනෙක් දේශපාලන පක්ෂත් අපි ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශාල අවධානයකින් ඉන්නේ.”  එය අනුමත කළ අනුර මෙසේ  කීවේය

  ”අපිට සමීප පිරිස්, මහින්ද විරෝධී පිරිස්, මහින්දට සහාය පළකරන පිරිස් මේ හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් අය කියනවා මේක ඒ අයගේ ප්‍රශ්නයක් අපි පැත්තකට වෙලා ඉන්න  ඕනෑ කියාලා. රාජපක්ෂවාදීන් අපිට ලොකු ප්‍රහාරයක් දෙන්න උත්සාහ කරනවා. එජාපයේ පිරිස් අපේ සහාය ගන්න බලාගෙන ඉන්නවා. මෛත්‍රී මහින්ද රනිල් බල සූදුව පරාජය කරන්න  ඕනෑ. මේ කළු සල්ලි එහාට මෙහාට වීසි කරලා ආණ්ඩු හදන ඒවට අපි සහාය දෙන්න  ඕන නැහැ. නමුත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි. වමේ ව්‍යාපාර කවදාවත් කුමන්ත්‍රණවලින් බලය ගැනීම ප්‍රතික්ෂේප කරනවා.” ‍

මේ වගේ අවස්ථාවකදී  මන්ත්‍රීවරු විකිණෙන එක පුදුමයක් නෙවෙයි එක අතකට. ඡන්ද කාලේ ජනතාව තමන්ගෙ ඡන්ද ටකරන් සීට් එකට, සාරියට, දේශපාලන පත්වීමට වික්කා. දැන් මන්ත්‍රීලා, මන්ත්‍රීකම විකුණනවා ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න. ඒ නිසා මේ විකිණෙන අයටත්, ගන්න අයටත්, කුමන්ත්‍රණවලින් බලය අල්ලන අයටත් මීට පස්සේ අපි මන්ත්‍රීතුමා, ඇමතිතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා කියලා නොකියා ඉන්න  ඕනෑ. මොකද ඒ තනතුරුවලට තියෙන ගෞරවය දැන් කළු සල්ලිවලට යටවෙලා ඉවරයි.” සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.

”ඒ වගේම මේ කළු සල්ලිවලින් හදන ආණ්ඩු අපි පිළිගත යුතු නැහැ. මහින්දලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත්, රනිල් වික්‍රමසිංහලා කළු සල්ලිවලින් ආණ්ඩු හැදුවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නෙවෙයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවිරෝධීව පත්කරන තනතුරු අපි පිළිගත යුතු නැහැ.” ලාල්කාන්ත පෙන්වා දුන්නේය. ”මේ වෙලාවේ සමහරු අපිට මඩ ගහනවා. කාගෙවත් මඩවලට බයේ අපි අපේ දේශපාලන තීන්දු වෙනස් කරලා නැහැ කවදත්. අපි හැමදාමත් රටේ තීරණාත්මක අවස්ථාවලදී හරියට කෙළින් හිටගත්තා. ඒ වගේම අපි කාටවත් සහාය දෙන්නේ නැහැ කිව්වාම සමහරු ඒක වැරදි විදියට අර්ථකථනය කරගෙන. අපි රනිල්ට මහින්දට අගමැතිකම් ගන්න සහාය නොදුන්නාට මේ කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. පාර්ලිමේන්තුවේදී මේ කුමන්ත්‍රණය පරාජය කරන්න ගේන යෝජනාවකට, විශ්වාසභංගයකට අපි ඡන්දය දෙන්න  ඕනෑ. ඒ වගේම නීතිවිරෝධීව ආණ්ඩුව හදාගෙන අයවැයක් ගෙනාවොත් අයවැය පරාජය කරන්න ඡන්දය දිය යුතුයි.” විජිත හේරත් යෝජනා කළේය. ඒ විතරක් නෙවෙයි. අපි පාර්ලිමේන්තුවේදී වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ කුමන්ත්‍රණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා බලපෑමක් කරන්න විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය කළ යුතුයි. මොකද ජනතාවත් මේ වෙලාවේ ව්‍යාකූල වෙලා ඉන්නේ. ජනතාව දැනුවත් කිරීමේ අයිතිය තිබෙන්නෙත් අපිට. ඒ වගේම අපි මේ කුමන්ත්‍රණයට විරුද්ධව වැඩකරන්න කැමති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සියල්ල හමුවෙලා සාකච්ඡා කරන්න  ඕනෑ.” බිමල් රත්නායක යෝජනා කළේය.

අනුර -  සම්බන්ධන් හමුව

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හමුවීමට තීරණය කළ ජවිපෙ පසුගිය සඳුදා පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය හමු විය. ජවිපෙ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභිකයන් වන ලාල්කාන්ත, බිමල් රත්නායක එදින පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයට ගියහ. එහිදී විපක්ෂනායක

ආර්. සම්බන්ධන් සහ, සුමන්දිරන් මන්ත්‍රීවරයා ජවිපෙ නායකයන් සුහදව පිළිගත්හ. පසුව ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළහ. ‘ මේ වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන් විශාල ලෙස බැටකෑව පක්ෂයක් තමයි ජවිපෙ. ඒ වගේම උතුරේ ජනතාවත් විශාල පීඩාවකට ලක්වෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමෙන්. ඒ නිසා අපිට මේ අවස්ථාවේ එක්ව සටනක් කළ හැකියි.” අනුර දිසානායක කියා සිටියේය. ‘ සිදුවීම වුණාට පස්සේ අපි අපේ ස්ථාවරය කිව්වා. එනිසා මේ ප්‍රශ්නය විසඳගන්න පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි.” විපක්ෂනායක සම්බන්ධන් එක්ව ක්‍රියාමාර්ග ගැනීමට තම සංවිධානය එකඟ බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය නලින්දට ඩිව් කියපු කතාව

පසුගිය හයවැනිදා රාත්‍රියේ විශේෂ රූපවාහිනි සංවාද වැඩසටහනක් සඳහා ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයසිංහ සහභාගි විය. එම වැඩසටහනටම කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකරද සහභාගි විය. වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම ජවිපෙ මන්ත්‍රීවරයා සහ ඩිව් ගුණසේකර අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කතාබහක් ඇති විය. ‘මේ කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ වැඩක්. මේ වෙලාවේ තමයි අපිට 20 වැනි සංශෝධනයේ වැදගත්කම තේරෙන්නේ. ඔබතුමාලා ගෙනාපු 20 වැනි සංශෝධනය සම්මත කළා නම් මේ අර්බුද ඇතිවෙන්නේ නැහැ. තනි මිනිහෙක් බලය පාවිච්චි කරලා මේ වගේ වැඩ කළාම රටම අර්බුදයට යනවා. මම මේක රට ඉස්සරහ කියනවා.” ඩිව් ගුණසේකර වෛද්‍ය නලින්ද ජයතිස්සට කියා සිටියේය.

මේ හදන්නේ මන්ත්‍රීවරු බය කරලා තමන්ගේ පැත්තට බිලීබාගන්න

බදාදා  රාත්‍රිය වනවිට පාර්ලිමේන්තුව විසුරුවීමේ සාකච්ඡාවක් යන බවට තොරතුරු කණින් කොණින් එජාප මෙන්ම ජවිපෙ නායකයන්ටද වාර්තා විය. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ට රජයේ මුද්‍රණාලයෙන් ලැබුණා යැයි කියන තොරතුරක් දුරකථනයට වාර්තා විය. එයින් කියැවුණේ එදින රාත්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක් පැමිණීමට නියමිත බැවින් කිහිප දෙනෙක් රාත්‍රී වැඩමුරයේ රැඳී සිටිය යුතු බව ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු විසින් දන්වා තිබෙන බවයි. ‘ එක ව්‍යවස්ථා විරෝධී වැඩක් කරලා තවත් එකක් කරන්න යන්නේ. පාර්ලිමේන්තුව විසුරුවන්න වගේ හදන්නේ.” විජිත හේරත් අසල සිටි ටිල්වින් සිල්වාට කියා සිටියේය. ‘පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට මේ මොහොතේ ප්‍රතිපාදන නැහැ. පාර්ලිමේන්තුවේ 2/3ක්  ඕනෑ. මේ හදන්නේ මන්ත්‍රීවරු බය කරලා තමන්ගේ පැත්තට බිලීබාගන්න. අනෙක නීතිවිරෝධී අගමැති කෙනෙක්, කැබිනට් මණ්ඩලයක් හදාගෙන ඡන්ද කරන්නේ කොහොමද?” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”මේ කරනවා ඇත්තේ ඊළඟ ඡන්දෙන් දිනන්න බැරිවෙයි කියන මන්ත්‍රීවරු ටික තමන්ගෙ පැත්තට බිලිබාගන්න කරන මගඩියක් වෙන්නත් පුළුවන්” විජිත හේරත් පැවසීය.

බහුතර මතයට මට හිස නමන්න වෙනවා

වහාම කථානායකවරයාව හමුවීමට අවශ්‍ය බවට එක්සත් ජාතික පක්‍ෂය,  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  යන පක්‍ෂ විසින්  ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඔවුන් සමග සාකච්ඡාවක් යොදා ගැනිණි. මේ සඳහා පැමිණි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලා සිටිමින් කථානායකවරයාට ලිපියක්ද භාර දුන්හ.  එමගින් ඔවුන් ඉල්ලා තිබුණේ ජනාධිපතිවරයා විසින් කරන ලද නව පත්වීම් ව්‍යවස්ථා විරෝධී බැවින් ඒවා පිළිනොගන්නා ලෙසය. 

මේ පිළිබඳ කථානායකවරයා සිය ස්ථාවරය පළ කළේද ඉතාමත් තීරණාත්මක දිනයකදීය.  ඒ කථානායක නිල නිවසට ඉතාම නුදුරින් ජනාධිපතිවරයා සහ නව අගමැති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත ජන රැලියක් සංවිධානය කර තිබූ සඳුදාය. 

තමන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනතුරු පිළිගන්නේ පෙර පැවැති පාලන ව්‍යූහය බවට සඳහන් ලිපිය කරු ජයසූරිය සකස් කළේ එදින අලුයම සිටය. කෙසේ වෙතත් කථානායකවරයා එවැනි ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට කනින්කොනින් පැතිර ගිය ආරංචිය නිසාම ඔහුට හිතවත් බොහෝ දෙනෙකු දුරකථනය අමතා පැවසුවේ සවස් භාගයේ පැවැත්වෙන ජන රැලියට විශාල පිරිසක් පැමිණෙනු ඇති බවත්, එම පිරිසගෙන් සහ නිල නිවසට පෙනෙන දුරින් ඉදිකර ඇති වේදිකාවේ සිට කථානායකවරයා අරඹයා ඉතාමත් අමිහිරි ප්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙන බැවින් නිල නිවසින් මගහැර යන ලෙසත්ය. එහෙත් ඔහු ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් රැස්වීමේදී කියවුණු සියලු දේ නිල නිවසට හොඳින් ඇසුණු අතර, තමන් පිළිබඳ එල්ල වූ විවිධ විවේචන සහ කථානායකවරයා නිල නිවසින් පලාගොස් ඇති බවට උද්වේග කර කතා පැවැත්වූ දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ මන්ත්‍රීවරු ජන රැලියේදී  පැවසූදේද හෙතෙම අසා සිටියේ සිනහමුසු මුහුණිනි. 

මේ අතර, පාර්ලිමේන්තුවේ නිල නොවන මට්ටමේ පක්‍ෂ නායක රැස්වීමක් බදාදා පැවැත්වුණේ නව සැසිවාරය ඇරඹෙන එළඹෙන 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය සකස් කර ගැනීම සඳහාය.  සාමාන්‍යයෙන් පක්‍ෂනායක රැස්වීමට නොපැමිණෙන මන්ත්‍රීවරුන් පහළොවක් විස්සක් පමණ එදින දෙපැත්තෙන්ම කැඳවා ගෙනවිත් තිබුණේ පවතින උණුසුම් වාතාවරණය තුළ සූදානම් ශරී‍රයෙන් සිටීමට බව පෙනිණි. දෙපැත්තෙන්ම කැඳවා ගෙනවිත් තිබුණු අමතර චරිත කවදත් උණුසුම් සිද්ධිවලට නම ගිය චරිතය. පාර්ලිමේන්තුවේ නිලධාරීන්ද මේ පිළිබඳ පසුවුණේ දැඩි අවධානයකිනි. දෙපාර්ශ්වය මැදට හිර වූ කථානායකවරයා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයෙකු පැවැත්වූ අපහසුම පක්‍ෂ නායක රැස්වීම එදින පැවැත්වූ බව පැහැදිලි විය.

“ඇයි ඇයි මොකද කියන්නෙ. චන්ඩිකමෙන්ද එන්නෙ. එහෙම නම් චන්ඩිකමෙන්ම බලා ගම්මු.  අපිත් ලෑස්තියි ඕනම දේකට.  ඇයි බයද ඡන්දෙකට. අපි බය නෑ. අපි ලෑස්තියි පාර්ලිමේන්තුවේ ඡන්දෙටත්. මහජනතාවගේ ඡන්දෙටත්.  බලමු කවුද දිනන්නේ කියල” මේ ආදී වශයෙන්  විටින් විට ඇවිළී ගිය උණුසුම් වචන හුවමාරු සමගින් ඇදීගිය පක්‍ෂ නායක රැස්වීමේදී දෙපැත්තම මස් රාත්තලම ඉල්ලා සිටින බව දක්නට විය.  14 වෙනිදා ජනාධිපතිවරයාගේ කැඳවීම් නියෝගය පමණක් කියවා සභාව කල් තබන ලෙස දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පිරිස ඉල්ලා සිටි අතර,  ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ සෙසු පක්‍ෂ නියෝජිතයන්ගේ දැඩි ස්ථාවරය වූයේ 14 වැනිදාම පාර්ලිමේන්තුවේ බහුතරය විමසිය යුතු බවයි.

පක්‍ෂනායක රැස්වීම අවසානයේදී කථානායකවරයා දැඩි තීන්දුවක් ගත්තේය.  “මට මන්ත්‍රීවරු 116 දෙනෙක්ගේ අත්සන් සහිතව ලැබිලා තිබෙන ඉල්ලීම තමයි ජනාධිපතිවරයාගේ නව පත්වීම් ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි නිසා පාර්ලිමේන්තුවේ බහුතර මතයට අනුව අගමැතිවරයා පත්වීමට ඉඩ සැලසිය යුතුයි කියන එක. බහුතර මතයට මට හිස නමන්න වෙනවා.  ඒ අනුව 14 වැනිදා ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරය විමසිය යුතු බවයි මගේ තීරණය.”

ආප්ප බෙදීම

ජනාධිපති සිරිසේන ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් ඊයේ (08දා) අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ආප්ප බෙදන්නට විය. රැස්ව සිටි සියල්ලන්ගේ අවධානය දිනා ගනිමින් මෙම ආප්ප බෙදීම සිදු වූයේ එක්සත් ජාතික පෙරමුණ විසින් ඊයේ සංවිධානය කරන ලද %ජන බලය^ රථ පෙළපාළිය අතරතුරදීය. පෙළපාළියට එක්වූවන් මෙන්ම යන එන ජනතාවද ආප්ප කමින් සතුටු වූයේ %ඩුප්ලිකේට් සිරිසේන^ සමග %සෙල්ෆි^ද ගනිමිනි.



Recommended Articles