අපිට අවුරුදු දෙකක සහන කාලයක් දෙන්න


කෝවිඩ් වසංගතයේ බලපෑමත් සමග රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණෙන් යම් යම් භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමාකරන බව මීට වසරකට පමණ පෙරදී රජය සඳහන් කළේය. එලෙස සීමා කළ ඇතැම් භාණ්ඩවල සීමා මෙතෙක් ලිහිල්කර නොමැති අතර, මෙහිදී ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම සංගමය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් අපි ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ශමේන්ද්‍ර ගුණසේකර මහතා සමග සාකච්ඡා කළෙමු.

ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන් ලෙස මේ වන විට පවතින ඔබලාගේ ගැටලුව පිළිබඳව මුලින්ම කතා කළොත්?

කෝවිඩ් වෛසරයේ පැතිරීමත් සමග පසුගිය අප්‍රේල් මාසයේ සිට ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම් බොහොමයක් තාවකාලිකව නතර කළා. ටයිල් සහ සනීපාරක්ෂක උපකරණත් එයට ඇතුළත්ව තිබුණා. එලෙස තාවකාලිකව තහනම් කරලා දැනට අවුරුද්දකට ආසන්න වෙනවා. එම තහනම තවමත් ඉවත් කරලා නැහැ.

ක්ෂේත්‍රය තුළ ටයිල් ආනයනකරුවන් 300 දෙනෙකු පමණ ඉන්නවා. ලංකාව පුරා අපි හරහා හැදුණු බෙදාහැරීමේ ජාලයක් තිබෙනවා. ඒ මොකද දේශීය නිෂ්පාදකයෝ ණය පහසුකමට භාණ්ඩ ලබාදෙන්නේ නැහැ. නමුත් ආනයනයකරුවෝ ණය පහසුකම් ලබාදීලා ගොඩනගපු ජාලයක් තිබෙනවා. නාවල, තිහාරිය, කුරුණෑගල, කළුතර, මහනුවර ආදී මේ සියල්ල ආනයනකරුවෝ හරහා හැදුණු ජාලයක්. ඒ අනුව 50,000කට පමණ සෘජුවම මෙය බලපාලා තිබෙනවා.

සාමාන්‍යයෙන් මාසයකට කන්ටේනර් 1000ක් පමණ අපි විසින් ආනයනය කරනවා. ඒ අනුව ටයිල් කර්මන්තය හරහා බැඳුණු ප්‍රවාහන, ගබඩා කිරීම්, ප්‍රදර්ශන මධ්‍යස්ථාන ආදී සියල්ලටම මෙය බලපාලා තිබෙනවා. මේ සියල්ලම බැලුවොත් ලක්ෂයකට වැඩි පිරිසක් මේ නිසා අසරණවෙලා ඉන්නවා.

රජයට සහය වීමක් විදිහට පළමු මාස 06 අපි විසින්ම වියදම් කරගෙන මේ ප්‍රශ්නය දරාගත්තා. නමුත් මාස 06කට පසුවත් මේ ප්‍රශ්නයට විසඳුමක් නැතිවීම ප්‍රශ්නයක්. පසුගිය පෙබරවාරි මාසයේදී අගමැතිතුමා ගැසට් නිවේදනයක් මගින් ආනයනයට ඉඩ ලබාදුන්නා. නමුත් එදිනම හවස එය අවලංගු කළා. ඒ කියන්නේ කවුරුන් හෝ අදෘශ්‍යමාන හස්තයක් මේ පිටුපස ඉන්නවා කියන දේ පැහැදිලියි.

ඒ වගේම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගිය සතියේ කිව්වා ටයිල් ගෙන්වන්න කැබිනට් අනුමැතිය දුන්නා කියලා. නමුත් තවම ගැසට් එකක් නිකුත් කරලා නැහැ.

දේශීය ටයිල් නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නැති බවද ඔබ කියන්නේ?

ටයිල් කර්මාන්තයේ දේශීය නිෂ්පාදකයන් දෙන්නයි ඉන්නේ. ආනයනකරුවන් වාර්ෂිකව බිලියන 12ක බදු ආදායමක් රජයට ගෙව්වා. මේ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් නිසා රජය මේ වන විට ඒ බිලියන 12ක ආදායම අහිමි කරගෙන තිබෙනවා. ඒ වගේම 300ට වගේ තිබුණු ටයිල් දෙගුණයකින‍් තුන් ගුණයකින් විතර මිල වැඩිවෙලා තිබෙනවා. ඒ කියන්නේ දේශීය ව්‍යාපාරිකයෝ කියල ඉන්න දෙන්නා මේ වෙලාවේ අධික ලාභයක් භුක්ති විඳිනවා. පාරිභෝගිකයාට කිසිම වාසියක් දෙන්නෙ නැහැ. ඒ වගේම පාරිභෝගිකයාගෙන් මුදල් අරගෙන ටයිල් ලබාදෙන්න මාස 03ක කාලයක් ගන්නවා.

මේ ක්ෂේත්‍රය තුළ දේශීය නිෂ්පාදනය 45%ක් සහ ආනයනික නිෂ්පාදන 55%ක් ලෙසයි මෙය පැවතුණේ. ඒ නිසා 45% නිෂ්පාදනයකට සමස්ත ඉල්ලුම සම්පූර්ණ කරන්න බැහැ.

ඒ වගේම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අනුව දේශීය කර්මාන්ත කරන්න කියනවා. නමුත් පුංචි රටක් විදිහට අපේ රටට ගැළපෙන කර්මාන්ත තිබෙනවා, නොගැළපෙන කර්මාන්ත තිබෙනවා.

ටයිල් නිෂ්පාදනය අපේ රටට නුදුසු කර්මාන්තයක් කියා ඔබ කියන්නේ ඇයි?

මොකද අපේ රටේ ප්‍රධාන විදේශ විනියම ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන්. අපේ රටේ වායු දූෂණය වෙලා පරිසරය විනාශ වෙලා තිබුණොත්, සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන්න බැරිවෙනවා. මේ කාලයෙත් පරිසරය ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.

ටයිල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්නේ මැටි. ඒ මැටි තියෙන්නේ කුඹුරු යට. දේශීය නිෂ්පාදකයෝ මැටි ගන්නෙත් ඒ විදිහට. කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පුරන් කුඹුරු යායක මැටි ගන්න සූදානමක් තිබෙනවා කියල අපිට දැනගන්න ලැබුණා. අකුරැස්ස ප්‍රදේ‍ශයේ තේ ඉඩමකත් මැටි කපන්න යනවා. තේ කියන්නෙත් ප්‍රධාන අපනයන භෝගයක්. මේ විදිහට අපේ සංචාරක කර්මාන්තය, අපනයන භෝග මේ සියලු දේ විනාශ කරගෙන, ලොකු පාරිසරික ප්‍රශ්නයක් ඇතිකරගෙන ලංකාවේ ටයිල් නිෂ්පාදනය කරන එක සුදුසුද කියලයි අපි අහන්නේ.

ගෝලීය වශයෙන් ගත්තොත් ටයිල් ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්නේ චීනය සහ ඉන්දියාව. මේ රටවල් සමග තරග කරන්න යුරෝපයටවත් බැහැ. ඒකට හේතුව ඒ රටවල් විශාලයි, ජනගහනය වැඩියි සහ භූමිය තිබෙනවා. මේ නිසා ඒ අයගේ නිෂ්පාදන ධාරිතාවය ඉහළයි. නිෂ්පාදන ධාරිතාවය ඉහළ යද්දි නිෂ්පාදන වියදම අඩු වෙනවා. ඒ වගේම මේ යන්ත්‍රසූත්‍ර දින 365ම ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ සඳහා විශාල ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට බැලුවාම නිෂ්පාදන පිරිවැයෙන් 50෴කට වැඩි දේවල් ආනයනය කරන්න වෙනවා. විදේශ විනිමය ආරක්ෂා කරන්න කියලා දේශීයව නිෂ්පාදන පටන් ගත්තොත් සිදුවෙන්නේ ඒ දේ. ලංකාව වගේ පොඩි රටකට එය ගැළපෙන්නේ නැත්තෙ ඒ නිසයි. අනිත් එක ටයිල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න විශාල මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒක කරන්න අමාරු දෙයක්.

තවත් දෙයක් ලංකාව ආසන්නයේ තිබෙන විශාල රටවල් දෙකක් ටයිල් කර්මාන්තයේදී ඉදිරියෙන්ම ඉන්න නිසා ටයිල් අපනයන වෙළෙඳ පොළක් අපිට හදන්න අමාරුයි. එතකොට අපි ලොකු හානියක් කරගෙන ලෙකු වියදමක් කරලා නිෂ්පාදනාගාර හදන්න වෙන්නේ දේශීය පාරිභෝජනය සඳහා පමණයි. ඒ විදිහට බැලුවොත් මෙය නිශ්ඵල කාර්යයක්.

ටයිල් නොමැතිනම් ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෙසේ බලපායිද?

ඇත්තටම එය විශාල ප්‍රශ්නයක්. මොකද ටයිල් ගන්න බැරි නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදකයෝ දෙදෙනාගේ තිබෙන ටයිල් වර්ග අල්පයි. බොහොම ස්වල්පයක් තිබෙන්නේ. මේ නිසා තෝරාගැනීමක් කරන්න බැහැ. විශාල ප්‍රමාණයේ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම් ආදිය ගත්තොත් ඒවා ඉදිකරන්නේ මුලින් ආකෘති සැලසුම් කරලා. එතැනදී සැලසුම් කරපු ටයිල් වර්ගය දාන්න බැරි උනොත් ඔවුන් අපහසුතාවයට පත්වෙනවා. මේ තත්ත්වය මේ විදිහටම පැවතුණොත් ඉදිරියේදී තවත් විශාල අර්බුදයකට යනවා. මොකද මේ තහනම අද ඉවත් කළත්, ටයිල් ගෙන්වන්න තවත් මාසයට වැඩි කාලයක් ගතවෙනවා.

ඔබලාගේ අර්බුදය සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කළේ නැද්ද?

අපි මේ ගැන රජයත් එක්ක කතා කළා. ආචාර්ය පී.බී ජයසුන්දර මහත්තයත් එක්කත් අපි කතා කළා. ඔවුන් අපිට කියන්නේ විදේශ විනිමය ප්‍රශ්නයක් තිබෙනවා කියලා. නමුත් අපි සීනි වගේ දෙයක් ගත්තොත් සීනි ආනයනකරුවෝ කියනවා ඔවුන්ට මාස 06කට සීනි ගෙන්වන්න අවශ්‍ය නැහැ කියලා. සීනි ගෙන්වන්න මාසෙකට ඩොලර් මිලියන 100ක් වැය වෙනවා. නමුත් අපිට අවුරුද්දටම යන්නේ ඩොලර් මිලියන 60යි. ඒ නිසා විසඳුම්වලට යන්න පුළුවන්.

නමුත් මේ තහනමින් ඊට වඩා ලොකු පාඩුවක් අපි හැමෝටම සිදුවෙනවා. අපි බැංකුවලින් ණය අරගෙන අවුරුදු 05ට 10ට ව්‍යාපාර සැලසුම් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් විශාල විදයම් තිබෙනවා. ණය වාරික ගෙවන්න තිබෙනවා. භාණ්ඩ දුන්නු අයගෙන් ණය ගන්න තිබෙනවා. මේ සියල්ලම හිරවෙලා තියෙන්නේ.

රජය මේ තීරණය ගත්තේ අපිට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවයි. ඒ වගේම රජය එකපාරම කිව්වොත් ලංකාවේ නිෂ්පාදන පටන් ගන්න කියලා එය කරන්න බැහැ. එයට බිලියන 02ක් විතර අවශ්‍ය වෙනවා. ලොකු කාලයක් යනවා. එක්කෝ ලංකාවේ ටයිල් හදන්න හරි, නැතිනම් වෙන කර්මාන්තයකට යන්න හරි අපිට කාලයක් අවශ්‍ය වෙනවා. අපිට අවුරුදු දෙකක සහන කාලයක්වත් දෙන්න කියලයි කියන්නේ. මේ ගැන රජය සහනයක් සලසා දෙයි කියලා අපි තවමත් විශ්වාසයෙන් ඉන්නවා.

ටයිල් නිෂ්පාදනය කරන රටවල්වල පාරිසරි ක හානිය වැඩි වශයෙන් සිදුවෙනවා කියා ඔබ පැවසුවා. ඒගැන පැහැදිලි කළොත්?

ලංකාවට ටයිල් ගෙන්වන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන්. ඒ රටවල්වලට අපි ගිහින් තියෙනවා. ඉන්දියාවේ ටයිල් කර්මාන්ත ශාලා තිබෙන්නේ ගුජරාට් ප්‍රාන්තයේ මොබි නගරයේ. එහි ටයිල් කර්මාන්ත ශාලා 800ක් විතර තිබෙනවා. ඒ ප්‍රදේශය දූවිලි වලින් වැහිලා තියෙන්නේ. කතා කරන්න අමාරු තරම් දූවිලි තිබෙනවා. ලොකු දුමාරයක් තිබෙනවා.

චීනයේ ටයිල් කර්මාන්ත ශාලා තියෙන ප්‍රදේශයේ නිල් අහසක් දකින්න ලැබෙන්නෙම නැහැ. ඒ රටවල්වල කර්මාන්ත ශාලාවලට වෙනම පැත්තක් නම් කරලා තිබෙනවා. එහි කර්මාන්ත විතරමයි තිබෙන්නේ. නමුත් මේ වෙද්දි ඒ රටවල් එම කර්මාන්ත ශාලා වෙනත් රටවල් වලට යොමු කරනවා. මොකද ඔවුන්ට පරිසරය ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා. ලංකාවටත් ටයර් කොම්පැණි එහෙම ආවෙ ඒ නිසා. ඔවුන් හදන්නේ ඔවුන්ගේ පරිසර දූෂණය නතර කරගන්න. ටයිල් කර්මාන්තය කියන්නේ හැම අතින්ම පරිසර දූෂණයක් සිදුවෙන තැනක්. කෘෂිකර්මාන්තය යටතේ සහල් මූලික කරගත්ත රටක් විදිහට මේ ගැන අපිට දෙපාරක් හිතන්න වෙනවා.

මොකද රජය පුරන් කුඹුරු අක්කර 28,000ක් අස්වැද්දීමේ ජාතික ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා. එහෙම තියෙද්දි තවත් කට්ටියක් පුරන් කුඹුරු කපලා ටයිල් හදන්න මැටි ගන්න හදනවා. මේ දෙකම කරන් පුළුවන්ද? අනිත් එක මේ වගේ කුඹුරු විශාල ප්‍රමාණයක් හෑරුවාම ඒ වළවල් වහන්නේ කොහොමද? කඳු කපලා තමයි වහන්න වෙන්නේ.

අවසාන වශයෙන් ඔබේ යෝජනාව කුමක්ද?

මේ රටේ මිනිස්සුන්ට පහසුවෙන් ලබාගන්න පුළුවන් දේ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් නිසා නවත්වන්න එපා කියලයි අපිට කියන්න තියෙන්නේ. මොකද අද කාලේ ගෙදරකට ටයිල් එකක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. මොකද සනීපාරක්ෂක ද්‍රව්‍ය විදිහට ටයිල් පිරිසුදු කරන්න පහසුයි. බැක්ටීරියා නැහැ. පිරිසුදුව තියාගන්න තමයි ටයිල් අල්ලන්නේ. දැන් කාලේ හැමෝම ටයිල් අල්ලන්න උනන්දු වෙන්නේ ඒ නිසයි. මේ වැඩපිළිවෙළ නිසා ඒ දේවල් තමයි අර්බුදයට ලක්වෙන්නේ.



Recommended Articles