රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම හා ඒ සඳහා පවතින වැඩපිළිවෙළ පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් කථිකාවන් ඇතිවෙයි. මෙවරද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කරයි. එවන් තත්ත්වයක් තුළද රැකියා විරහිත උපාධිධාරීන් සක්‍රියව හඬනගමින් සිටියි. ඒ පිළිබඳව කතා කිරීම සඳහා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි අප සමග මෙලෙස එක්වූහ.
රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු 1 වැනිදාට ප්‍රථම රැකියා ලබාදෙන බවට රජය සඳහන් කරනවා. එවන් වාතාවරණයක් තුළත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සක්‍රියව කටයුතු කරනවා. ඒ ඇයි?
ඔව්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලෙස අපි පසුගිය දෙසැම්බර් මාසයේ 10 වැනිදා සිට 29 වැනිදා දක්වා ලංකාවේ පළාත් නවයම ආවරණය වන රැස්වීම් මාලාවක් පැවැත්වූවා. එහි මූලික අරමුණ වුණේ අපි නැවත සංවිධානය වෙලා ආණ්ඩුවට පණිවුඩයක් ලබාදීමයි. රැකියා ලබාදෙන්න වහාම මැදිහත් වෙන්න යන පණිවුඩය ඒ තුළින් අපි ඔවුන්ට ලබාදුන්නා. ඒ රැස්වීම් මාලාව ආරම්භ වනවිටම මහින්ද යාපා ඇමතිවරයා, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම වැනි මැති ඇමතිවරු ගණනාවක් දිගින් දිගට මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඔවුන් කිව්වේ රැකියා ලබාදෙනවා, පාරට බැහැලා කලබල ඇතිකරගන්න එපා කියලයි. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වුණේ තරුණ තරුණියන් තුළ තිබූ දැවෙන ප්‍රශ්න කිහිපයක්ම මැතිවරණ වේදිකාව තුළ සාකච්ඡා කරමින්. ඒ අතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්රශ්නය ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සහ එම කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා ඇතුළත් කළේ ජනවාරි 1 වැනිදා 54,000ක් වූ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා කියලා.
එහෙම මැතිවරණ වේදිකාවල පවා දිගින් දිගටම සාකච්ඡා කරපු කාරණයක්, නැවත මාර්තු 1 වනදා සිදුවෙනවා කියලා සඳහන් කරනවා නම් අපිට දැනෙන්නේ මේවා ප්රවෘත්ති ප්‍රකාශන පමණක් විදිහටයි. මේ ආණ්ඩුව පත්වුණේ පසුගිය ආණ්ඩුව සේම මාධ්‍ය සාකච්ඡා තියමින් කතා කර කර ඉන්න නෙමෙයි, වැඩ කරන්න. වැඩ කරන අපේ විරුවා කියලනේ කිව්වේ. වැඩ කරන අපේ විරුවා ඇතුළු පිරිසත් පරණ ආණ්ඩුවම ගිය මාර්ගයේ ගමන් කරනවාද කියන සැකය අපිට දැන් ඇතිවෙලා තිබෙනවා. ජනවාරි 1 වැනිදා තමයි රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට ඔවුන් සඳහන් කළේ. නමුත් අඩුම තරමේ ඊට ප්රවේශයක්වත් ඔවුන් ගත්තේ නැහැ. ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා මාර්තු 1 වැනිදාට ප්‍රථම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට දැන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කළත්, පසුගිය දෙසැම්බර් 10 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අපිට හමු වුණා. අපි ඔහුට ලිපියක් භාරදුන්නා. සති දෙකක් තුළ ගුරු විභාග සමතුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලුවා. ඒ ගැන කිසි කතාබහක් නැහැ. ජනවාරි 6 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදුන්නා. මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් සමන්ති රණසිංහ මහත්මියට කිව්වා, සතියකින්වත් අපිට මේ ගැන කතා කරන්න සාකච්ඡාවක් දෙන්න කියලා. නමුත් ඒ සාකච්ඡා ප්රවේශයටවත් ඉඩක් ලබා නොදී කටයුතු කරනවා. ජනවාරි 22 අපි කොළඹට එන්න සියල්ල සූදානම් කරලා තිබෙන්නේ. මේ ක්‍රියාමාර්ගය නවත්වන්න තමයි මේ ප්රවෘත්ති ප්‍රකාශ සිදුකරන්නේ.
ඔබ වහන්සේ සඳහන් කරන්නේ මේ ගැන සාකච්ඡා කළාට මේ ආණ්ඩුව තුළ වැඩපිළිවෙළක් නැහැ කියන කාරණයද?
වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. එක් වතාවක ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාම සඳහන් කරනවා අපි සුළුතර ආණ්ඩුවක්, අපිට මුදල් අනුමත කරගන්න ප්‍රශ්න තිබෙනවා, ඒ නිසා මහ මැතිවරණයෙන් පසුව තමයි ඒ ගැන බලන්න වෙන්නේ^ කියලා. ඒ ඇමතිතුමාම පසුව කියනවා මාර්තුවලට ප්‍රථම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවලු. මේ ආණ්ඩුවත් මේ ප්රශ්නය කර ඇරලා මහ මැතිවරණයට යන්නයි සූදානම් වෙන්නේ. අපි එයට ඉඩ තබන්නේ නැහැ. අපි ජනවාරි 22 කොළඹට එනවා. නව ආණ්ඩුවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ඒ ක්‍රියාමාර්ගය නවත්වා සාකච්ඡාවක් ලබාදෙන්න අවස්ථාව තිබෙනවා. පසුගිය විපක්ෂයේ සිටියදී ඔවුන් මේ ප්රශ්නය ගැන කරුණු සහිතව කතා කළා. නමුත් දැන් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා, ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, ජොන්ස්ටන් ඇමතිතුමා, කනක හේරත් ඇමතිතුමා ආදී පිරිසකගේ කාර්යාලවලට, නිවාසවලට උපාධිධාරීන් කැඳවලා අයදුම්පත් පුරවමින් රැකියා දෙන්න නම් කැන්වසින් වරෙල්ලා කියන කාරණය අනියමින් සඳහන් කරමින් ඉන්නවා. මේවා වහාම නතර කළ යුතුයි. මේ ආණ්ඩුවත් පරණ පාරෙම යනවා කියන දේ අපිට පෙනෙන්න තිබෙනවා. එය නිවැරදි කරගන්න. ජනාධිපතිතුමාගේ නම සඳහන් වන පෝරම් එකක් උපාධිධාරීන් අතර සැරිසරමින් තිබෙනවා. එය සිදුකරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්. ජනාධිපතිතුමාට හෝ එතුමාගේ මාධ්‍ය අංශයට වගකීමක් තිබෙනවා මේ කාර්යය ව්‍යාජයි, මේ ක්‍රියාව සිදුකරන අය අත්අඩංගුවට ගන්න කියලා ප්‍රකාශයක් කරන්න. කොතරම් දැනුවත් කළත් තවමත් එයට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ කියන්නේ ජනාධිපතිත් අනියමින් මේ කාර්යයට සම්බන්ධද කියන සැකය උපාධිධාරීන් තුළ ඇතිව තිබෙනවා.
විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රශ්න, මහපොළ ආදී කාරණාවලට යහපත් ප්‍රවේශයක් ගැන, බොහෝ වැඩපිළිවෙළවල් ගැන කතා කරනවා. වර්තමාන පාලනය ක්‍රියාත්මක කරන්න නියමිත මේ ක්‍රමවේදය ගැන විශ්වාසයක් නැද්ද?
අපි සියදෙනෙක් පමණ මේ ගැන කතා කරන්න ගියා. එවිට අමාත්‍යවරු ඇතුළු පිරිස අපිව හොඳින් පිළිගත්තා. ඇතුළට ගත්තා. නමුත් සාකච්ඡා ලබාදුන්නේ නැහැ. මේ සංදර්ශන. මේවා මහ මැතිවරණයෙන් පසුව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක අපේ අත්දැකීම. මේ ඔවුන් හදන්නේ මහජනතාවගේ ප්‍රසාදය දිනාගන්න වැඩ කරලා පෙන්නන්න. තවම වැඩ කරලා පෙන්නලා නැහැ. පාස්පෝට් ඔෆිස් එකට ගියා, ජාතික රෝහලට ගියා, හඬපටවල මෙහෙම අධිකරණය ගැන තිබුණා. එහෙම කතා කියන්න පුළුවන්. ඒ කතාවලට සතුටු වෙන පිරිසක් ඇති. නමුත් සැබෑ ප්‍රශ්න යටපත් වෙලා.
අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් මේ ආණ්ඩුව තවම සිදුකරලා නැහැ. එක පත්වීමේ ලිපියක්වත් රැකියා විරහිත උපාධිධාරීන්ට දීල නැහැනේ. පවුලේ අයව සමාගම් අධ්යක්ෂවරුන්, සහාපතිවරුන් බවට පත්කරගෙන තිබෙනවා. නාට්‍ය සංදර්ශන බලන අය මේ ක්‍රියාවලිය බොහෝම හොඳයි කියලා සතුටු වෙනවා ඇති. අපි ඒ සතුටට බාධා කරන්නේ නැහැ. අපිට සතුටක් නැහැ. මැතිවරණයට පෙර කියූ ලෙසින්ම කටයුතු කරන්න. නැවත රැකියා විරහිත උපාධිධාරීන් කැඳවා සම්මුඛ සාකච්ඡා පවත්වන්න අවශ්‍ය නැහැ. 2018, 2019 කාලවලදී සියලු තොරතුරු එවක ජාතික ප්‍රතිපත්ති ආර්ථික අමාත්‍යාංශයේ පවතිනවා. ප්‍රකාශවලට අපි රැවටෙන්නේ නැහැ. ඇන්දෙන්නෙත් නැහැ. පත්වීම් ලිපි දෙන වැඩපිළිවෙළ කියන්න.
කෙසේ හෝ මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් පනස් හතරදහසක් පමණ සිටිනවා. මේ අර්බුදය හඳුනා නොගත්තොත් ඉදිරියේදිත් මේ තත්ත්වය උදාවෙනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?
මේ ප්රශ්නය විසඳන්න කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළවල් ගණනාවක් අපි සාකච්ඡා කළා. නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට මේ දක්වා සාකච්ඡාවකට යොමු වුණේ නැහැ. රැකියාව අයිතියක් කියන කාරණය ව්‍යවස්ථාවෙන් පිළිගන්න. රැකියා ලබාදෙන කෙටිකාලීන හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න.
සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න. එයට විෂයන් පදනම් කරගනිමින්, ඒ විෂයන් වලට අදාළ ක්ෂේත්රයන් වෙත ලබාදිය යුතුයි. සියලු රජයේ පත්වීම්වලට දේශපාලන අතපෙවීම් නවත්වන්න. මේ ඉල්ලීම් එක්ක අපි ආණ්ඩුත් එක්ක ගනුදෙනු කළා. නමුත් මේ ආණ්ඩුවත් මේ ප්රශ්නය මඟහරිමින් කටයුතු කරනවා. සමස්ත රටේ තරුණ තරුණියන් පාසල්වලින් ඉවත්වන විට, විශ්වවිද්‍යාලවලින් ඉවත් වනවිට ලියාපදිංචි කරන මේ අය ගණනය කරන යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. රැකියා ලබාදීමේදී වසර ගණන් පෝලිම්වල ඉන්න නොදී වාර්ෂිකව, සය මාසිකව, මාසිකව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. එසේ නොවන තාක් අවුරුදු පහෙන් පහට මේ ප්රශ්නය නැවත සිදුවෙමින් තිබෙනවා.
කරුණු විදිහට අපි මේ ගැන කතා කළොත් මහ බැංකුව, අාසියානු සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තා දෙස බලන්න. පසුගිය වසරේදී සමස්ත විරැකියාව සියයට 4.2යි. 2018දී 4.4යි. උසස් පෙළින් ඉහළ විරැකියාව 2017දී 7.1. 2018දී 9.1. ස්ත්‍රීන් අතර විරැකියාව 2011 තිබූ මට්ටමට පැමිණිලා. 2011දී තිබුණේ සියයට 7.1යි. 2018දිත් 7.1යි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් ඇතිකිරීම අවශ්‍යව තිබෙනවා.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලෙස සංගමයක් නිර්මාණය කරගනිමින් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න හැකිද? මේ වනවිටත් එය සාර්ථක කරගෙන නැහැ නේද?
සංගමය කියන්නෙම ප්‍රශ්නයක්නේ. පළාත් නවය එකතු කරන් මේ යන්නේ කැමැත්තෙන් නෙමෙයි. ස්වේච්ඡාවෙන් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙමින් ඉන්නේ. මේ සංගම් පැවතීම ගැන රටක් ලෙස පාලකයන්, ආණ්ඩු, ප්‍රතිපත්ති සම්පාදකයන් ලැජ්ජා විය යුතුයි. පොදුජන උපාධිධාරී සංගමය කියලා සංගමයකුත් මේ ආණ්ඩුව නිර්මාණය කරගෙන තිබෙනවා. පාලන බලය හොබවන පාලක පක්ෂය ලැජ්ජා විය යුතුයි. පාලක පක්ෂයටත් රැකියා විරහිත උපාධිධාරී සංගමයක් තිබෙනවා.
ලැජ්ජා විය යුතුයි. අවසන් රැකියා විරහිත උපාධිධාරියා දක්වා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා නම් අපි අපේ සංගමය විසුරුවා හරිනවා. ආණ්ඩු කැමති මේ ප්‍රශ්නවලින් නඩත්තු වෙන්න. මේ ප්‍රශ්නවලින් යැපෙන්න. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නවලින් නඩත්තු වෙන ආණ්ඩුවක් නෙමෙයි, ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ආණ්ඩුවක්.
නිදුක් මදුෂික