මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යයම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සාපේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුටෙහි උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු බව පැහැදිලි කරුණකි. කාම ලෝකයේ උපරිම ආස්වාදයක් විඳිමින් එදවස එම සතුටහි අවසානය මරණයකින් කෙළවර වන බවත්, අතරමැද ජීවිතයේ ඇති අවිනිෂ්චිතතාවත්, රෝග පෙළීමත්, දිනෙන් දින ශරීරය මහලු වන බවත් පැහැදිලිව පෙනෙන්නට ගත් මෙම විසිනව හැවිරිදි කඩවසම් තරුණයාට එය එසේ නම්, තමන් සතුට යැයි මේ මොහොතේ අත්විඳින දෑ තාවකාලික දෙයක්ම පමණක් වන බවත් අවබෝධ විය. එමෙන්ම තමන් සොයා ගත යුත්තේ මෙම තාවකාලික, සාපේක්‍ෂ සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා සමස්ත තුන්ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස සියල්ල අතහැර එම සතුට සොයාගිය අප මහා බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වය සමග නිර්වාණය නමැති එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එදා බුද්ධකාලීන සමාජයේ සිටි සුපින්වත් බුද්ධ ශ්‍රාවකයන් එම දහම් සාගරයේ කිමිදෙමින් උතුම් වූ නිර්වාණය සාක්‍ෂාත් කර ගත්තේ තවත් අතිවිශාල පිරිසකට අනෙකුත් මාර්ග ඵල සාක්‍ෂාත් කර ගනිමින් ජීවිතයේ නිරපේක්‍ෂ සතුටද ළඟා කරවමිනි. එය එසේ නම් සැබැවින්ම බෞද්ධයන් වන අප මේ මොහොතේ උත්සාහ කරන්නේ තවත් සාපේක්‍ෂ සතුටක් අපේ ජීවිතයට ළං කර ගැනීමටද? නැතහොත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් එම නිරපේක්‍ෂ සතුට ළඟාකර ගැනීමටද? සෑම බදාදාවකම දිගහැරෙන මෙම සෑම මනුෂ්‍ය චරිතයක්ම අවංකවම තම ජීවිතයේ සියලු සාපේක්‍ෂ සතුට අතහැර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ නිර්වාණය නමැති නිරපේක්‍ෂ සතුට වෙනුවෙන් අවබෝධයෙන් හා වීර්ය වඩන ශ්‍රමණයන් වහන්සේලාය.
?කොහොමද ඔබවහන්සේට ධර්මය හමුවෙන්නේ
ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. මොකද අපි කෙළිදෙළෙන් ජීවිතය ගතකරපු පවුලක්. හැම සතියකම වගේ යාළුවොත් එක්ක සාද පැවැත්වුවා. එහෙම නැත්නම් විනෝදසවාරි ගියා. ඒ අතරෙදී තමයි මට එකපාරම මගේ යාළුවෙක් එක්ක කියැවුණේ “මේ ජීවිතේ යථාර්ථය ගැන අපිට කලින් වැටහුණා නම් අපි ළමයි හදන්නෙත් නැහැ. බඳින්නෙත් නැහැ, ඊට වඩා හරයක් ඇති දෙයක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා” කියලා. එතකොට තමයි එයා මෙන්න මේක පොඩ්ඩක් අහල බලන්න කියලා“ධර්මයයි ඔබයි”නමින් “සසර ගනුදෙනු” මාතෘකාව යටතේ පැවැත්වුණු දේශනාවක් මට ලබාදුන්නේ. ඒ දේශනාව ටිකක් අහගෙන යද්දී තමයි මට තේරුණේ එහි යම් සුවිශේෂත්වයක් තියෙනවා කියලා. කොහොම හරි ඒක පෙන්ඩ්‍රයිව් එකක දාගෙන ගිහින් සම්පූර්ණයෙන් අහන්නත් කාලයක් ගතවුණා. පරිගණකය ළඟට ගියාම ඒක ළඟ පොඩි පුතා. රූපවාහිනිය ළඟ ලොකු පුතා. ඉන්පස්සේ තමයි ලැප්ටොප් එකටවත් පෙන්ඩ්‍රයිව් එක ගහලා මොනාහරි බලන්න ඕනි කියල හිතුණේ. එතකොට මට මතක තිබුණේ නැහැ පෙන් ඩ්‍රයිව් එකේ බණක් තිබ්බා කියලා. ඒත් ඒක ගැහුවට පස්සේ තමයි මතක් වුණේ මේකේ ධර්ම දේශනාවක් තියෙනවා කියලා. ඒක ඇහුවම තමයි මට මගේ ජීවිතේ ගැන බයක් දැනෙන්න පටන් ගත්තේ. මේ දුකින් මිදෙන්න ඕනි කියල හිතුණා. ඒ නිසා මාස දෙක තුනක් යද්දිම මට පැවිදි වීමේ අවශ්‍යතාව මතු වුණා. ඒක මම මගේ යාළුවට කිව්වම යාළුවා මට කිව්වේ මට මේ බණ ටික දෙන්න එයා මාස හයක් උත්සාහ කළා කියලයි. අනිච්ච,දුක්ඛ,අනාත්ම යන විග්‍රහයත් කළාලු. මම අහගෙනත් හිටියලු. ඒත් ඒක කවදාවත් අවබෝධ කර ගත්නේ නැතුව මග ඇර ඇර හිටියලු.
?ඒත් ඔබවහන්සේට දරුවන් දෙදෙනෙක් සහ බිරිඳකුත් ඒ අවස්ථාවේ හිටියා
ඔව්. පැවිදි වෙන්න තීරණය කරාට පස්සේ ආපු ඊළඟ ගැටලුව තමයි ඕක. ඒත් මේ දරු පවුල කියන්නේ මට මේ සංසාරේ හම්බ වුණු එකම එක නෙමෙයි. මීට කලින් මට කොච්චර අම්මාවරු, තාත්තාවරු, පුත්තු, දුවලා ඉන්න ඇද්ද ? බිරින්ඳෑවරු කොච්චර ඉන්න ඇද්ද ? ඒ නිසා දරුවෝ ගැනයි,බිරිඳ ගැනයි හිතුණු වෙලාවේ මම හිතුවේ එයාලත් මේ මගට හරවා ගන්නවා කියලයි. එහෙම නැති වුණොත් එයාලට අවශ්‍ය යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරලා මම හෝ තනියෙන් මේ ගමන යනවා කියලයි. මොකද දරුවෝ දෙන්නත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගත්තට රූපවාහිනිය බලබල හෝ ගේම් ගහගහ ඉන්න වෙලාවක මැරුණොත් සතර අපායේ උපදිනවා කියල මට අවබෝධ වෙලා තිබුණා. මටවත් ඒ අවස්ථාවේදී බේරගන්න බැහැ කියල තේරුණා.
?කොහොම වුණත් පවුල තුළ අභ්‍යන්තර දෙදරීමක් අනිවාර්යයෙන් සිදුවෙන්න ඇති
ඔව්. විශාල කැළඹීමක් ඇති වුණා. මොකද මම වෙනදට ගෙදර ගියාම එයාල එක්ක කාලය ගතකරනවා. විනෝද වෙනවා. සතුටු සාමිචියේ යෙදෙනවා. ඒත් දැන් එහෙම නැති නිසා සාදවලට ගියාම බිරිඳ යාළුවෝ ඉස්සරහ මම ඇයට කරන අසාධාරණය ගැන කියන්න පටන් ගත්තා. හැබැයි මං ඒ වෙද්දී උදේ හතරට නැගිටලා බණ ටික අහන්න පටන් අරන්. ආර්යය මෛත්‍රිය වඩල බුද්ධ වන්දනාව කරනවා. ඒ නිසා ඒ තර්ක බිඳින්න අවබෝධයක් මට තිබුණා. මොකද පවුල හදාගත්තේ අපිමයි කියල මට තේරුණා. ඒ හින්දා වැඩට යන්න පාරට බැස්සමත් ෆෝන් එක කනේ ගහගෙන මම බණ ඇහුවා. ඔෆිස් එකේදිත් ඉඩ ලැබෙන හැම අවස්ථාවකම බණ ඇහුවා. ඒක තමයි කළේ. ගෙදර එද්දිත් මග දිගටම කළේ බණ අහන එක. ගෙදරින් ආවට පස්සෙත් පාන්දර එක දෙක වෙනකම්ම කළේ බණ අහන එක. ඒ ආකාරයෙන් තමයි මම යථාර්ථය තේරුම් ගත්තේ. ඒ අනුවයි මට මාව සහ පවුලේ අයවත් සද්ධර්මය අවබෝධය තුළින් පැවිදි වෙන මට්ටමට පත්කරගන්න පුළුවන් වුණේ.
?ඒත් ඊට බලපෑවේ සද්ධර්මය නිසා ලැබූ කල්‍යාණ මිත්‍ර සේවනයක් නේද
ඔව්. උන්වහන්සේත් අද අරිහත්භාවය පූර්ණය කර ගැනීමට මහා වීර්යයක් දරණ උත්තමයෙක්. ඒ නිසා හැමදාම උදේ ඉඳන් හවස් වෙනකම් ධර්ම සාකච්ඡා කරන්න මට ඒ කාලේ අවස්ථාවක් ලැබුණා. ඒ හින්දා ඉරිදා වැඩ කරල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අඟහරුවාදා නිවාඩු දාන්න මම පුරුදු වුණා. හැබැයි එතකොටත් බිරිඳ සහ දරු දෙදෙනා මාව නවත්වන්න කරන උත්සාහය අතහැරියේ නැහැ. ඒ නිසා මාව නවත්තන්න පුළුවන් එකම කෙනා මම ශ්‍රවණය කරන සද්ධර්මය දේශනා කරන ඒ උත්තමයා කියලා ඇය දැන ගත්තා. ඒ නිසා ඇය ඒ උත්තමයාව හම්බ වුණා. ඒත් එදාම තමයි ඇගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙත්. ඒ අනුවයි ඇයට අවබෝධය ලැබෙන්නේ. ඒත් ඇය කිව්වේ දරු දෙදෙනාට අසාධාරණයක් කරන්න එපා කියලයි. අනික අපි ඒ වෙද්දී අපිට අයිති ගෙවල් සහෝදරයන්ට දීලා කුලියට හිටියේ. ඒ හින්දා සද්ධර්මය හමුවෙන්න කලින් අපි සති අන්තයේ කළේ ගෙවල් හොය හොය යන එක. හැබැයි අපි හඹාගෙන යන සිහින ගෙදර අපිට කවදාවත්ම හම්බ වුණේ නැහැ. ඒ වැඩපිළිවෙළම තමයි උන්වහන්සේත් අපිට අරමුණු කරගෙන ධර්ම දේශනාව පටන් ගත්තේ. ඒකම තමයි අපේ අවබෝධයට හේතු වුණෙත්. පොඩි පුතාටත් මේ හින්දා ඒ ධර්ම දේශනාවලට සම්බන්ධවෙන්න උවමනා වුණා. ඒ උත්තමයා උන්වහන්සේට හැකි ආකාරයෙන් සරලව මේ දහම පුතාට කියලා දුන්නා. අවසානයේදී පොඩි පුතා කිව්වා “මමත් අප්පච්චි එක්ක හැමදාම බණ අහන්න එනවා” කියලා. “විභාග පාස් කරගෙන ලෝකේ අල්ලනවට වඩා සද්ධර්මය අවබෝධ කරගන්න එක වටිනවා” කියලා පොඩි පුතාට තේරෙන්න පටන් ගත්තා. ඒ අනුව එයා තමයි මුලින්ම අපේ ගෙදරින් පැවිදි වෙන්න අවසර ඉල්ලුවේ. බිරිඳත් ඒ වෙද්දී ධර්ම මාර්ගයට ඇවිත් හිටියේ. ඒත් ලොකු පුතා ඒ වෙද්දී ඒ මට්ටමට ඇවිත් නැති එක අපිට ප්‍රශ්නයක් වුණා. ඉන්පස්සේ පිළිකා රෝහලේ පැවැති දේශකයාණන් වහන්සේගේ දෙවැනි ධර්ම දේශනාවේදී තමයි ලොකු පුතත් ඒ ධර්මය අවබෝධ කර ගත්තේ. ඒත් එදා අපට ධර්ම දේශනය සඳහා ඉඳගන්න ලැබුණේ අව්ව වැටුණු වැලි මළුවක. සාමාන්‍යයෙන් ඒ වගේ වාතාවරණයකදී නිකම්ම ගැටෙන අපිට ඒක එදා ප්‍රශ්නයක් වුණේ නැහැ. එදා ඒ ධර්ම දේශනයෙන් පස්සේ උන්වහන්සේ මගෙන් ඇහුවේ “මොනවද මේ කරන්නේ..?* කියලයි. හරියට අපිව කාලාන්තරයක් තිස්සේ දන්න කියන කෙනෙක් වගේ. එතකොට තමයි මම මගේ පමාව ගැන උන්වහන්සේට පැහැදිලි කළේ. ඉන්පස්සේ තමයි දේශකයාණන් වහන්සේ ලොකු පුතාට අවබෝධය ලබා දුන්නේ. දරුවව ටික දවසකට උන්වහන්සේ ළඟ නවත්තන්න කියලා ඒ උත්තමයා කිව්වා. ඒ හින්දයි ලොකු පුතාගේ හිත පැහැදෙන්න පටන් ගත්තේ.
?ඒත් ඒ අතහැරීමේදී දුකක් දැනුණේ නැද්ද
නැහැ. අනික අතහරින්න කියල තිබුණෙත් ගෙදර බඩු මුට්ටු ටික විතරයි. මොකද මම එකතු කරපු මහා බඩු ගොඩක් අපේ ගෙදර තිබුණා. ඒකම තමයි අන්තිමට මට හිසරදයක් වුණෙත්. ඒ නිසා අපි ඒවා විකුණන්න තීරණය කළා. අවසානයේදී තොග අවසන් කිරීමේ සේල් වගේ එක බඩුවක් ගනිද්දී තව බඩුවක් නිකම් දෙන මට්ටමින් හෝ මේවා විකුණන්න මට ඕනි වුණා. සමහර බඩු අපි මුදලට විකුණුවා. ඒ මුදල් දහම් මග වඩන කාටහරි ඵල ප්‍රයෝජනයක් තියේවි කියල මට හිතුණා. ඒ නිසා අපි අපේ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුත් ඒ මුදලින් ඉවරයක් කරල ඉතිරිය පූජා කරන්න තීරණය කළා. හැබැයි අපිට ඒ බඩු ටික විකුණන්න ඒ තරම් වෙහෙසක් වෙන්න වුණේ නැහැ. අපේ කාරණාව තේරුම් ගත්තු ඊශ්‍රාලයේ ජීවත්වෙන එක්තරා මහත්මියක් මේ සේරම බඩු ඉල්ලපු මුදලටම ගන්න ඉදිරිපත් වුණා. හැබැයි ඒ මහත්මිය ඒ බඩු ටික ගත්තේ ඇත්තටම ඇයට ඒ බඩු අවශ්‍ය නිසා නෙමෙයි. අපේ මේ ගමනට උදව් කළ යුතු නිසා. මොකද ඇයට ඒ වෙද්දිත් ගෙදර ඕනි තරම් බඩු තිබ්බා. පස්සේ දැනගත්තේ එතුමියත් මේ දහම ශ්‍රවණය කරන අපේ ගමනට ආශීර්වාද කරන අදහසින් ඉදිරිපත්වුණු කෙනෙක් කියලා. මුලින්ම අපේ පවුලෙන් පැවිදි වුණේ බිරිඳ. ඉන් පස්සේ තමයි පොඩි පුතා. ඉන්පස්සේ මම සහ ලොකු පුතා එකටම පැවිදි වුණා. මොකද ලොකු පුතාගේ ඉල්ලීමක් තිබුණා පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ අප්පච්චිත් එක්ක කියලා. ඒ අනුවයි අපි දෙන්නා රුවන්වැලි මහා සෑය අබියසදි පැවිදි වෙන්නේ.
?කොහොම වුණත් සද්ධර්මය සැබෑවටම වැටහෙන්නේ වයසින් මුහුකුරා ගියාම නේද ? පුතාලා දෙන්නට අසාධාරණයක් කළා කියලා හිතෙන්නේ නැද්ද
ඒක සමාජයේ බහුතර මතය පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙකුට තාම මේක නිසියාකාරව වැටහිලා නැහැ. ඒත් මගේ පොඩි පුතා ධර්ම දේශනාව ඇහුවම එහිදී දේශනා කළ අනිච්චතාව තමාට ගළපගෙන හැකි ආකාරයෙන් එය අවබෝධ කර ගත්තා. මොකද සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා නම් අරිහත් තත්ත්වයට පත්වෙන්න ඕනි. තමන් ඉන්නේ මහා දුක් කන්දරාවක කියලා පොඩි පුතාට වැටහුණා. ඒක අපිට කියලා දෙන්න වුණු දෙයක් නෙමෙයි. ඉස්කෝලේ යන එක, ඉන් පස්සේ රස්සාවක් කරන එක, සල්ලි හම්බ කරන එක දුකක් නම් ඇයි නැවතත් ඒ දුක විඳින්නේ කියලා පොඩි පුතාට වැටහුණා. මේ ලෝකේ මොනවා අල්ලන්න ගියත් අවසානයේදී ඒ සියල්ල දාලා මැරෙන්න සිද්ධ වෙනවා නම් මොකක්ද ඒකේ ඇති සතුට කියල ලොකු පුතාටත් තේරෙන්න පටන් ගත්තා. එතකොට ලොකු පුතාට අවුරුදු 14ක් විතර ඇති. ඒ නිසා තමන් ජාත්‍යන්තර පාසලකට ගියත්, ඒවායින් කොච්චර සහතික ගත්තත්, තමන් මැරුණට පස්සේ ඒවායින් වැඩක් නැහැ කියල එයාට තේරුම් ගියා. ඒ නිසා ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය උතුම් කියලා පුතාලට අවබෝධ වුණා. අනෙක වයස අවුරුදු හතේ දරුවෙක් වුණත් සත්පුරුෂ සේවනය ලැබුණට පස්සේ කොයි තරම් ධර්මය අවබෝධ කරගෙන ඉන්නවද කියලා තේරෙන්නේ ඒ පොඩි ස්වාමීන් වහන්සේලා එක්ක කතා කළාමයි. මොකද මමත් දැකලා තියෙනවා අකුරුවත් දන්නේ නැති වයස අවුරුදු හතේ ස්වාමීන් වහන්සේ නමක් වයසින් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ධර්ම කාරණයක් පැහැදිලි කරනවා. ඒකට උන්වහන්සේ උපමා කර ගත්තේ අපි පාවිච්චි කරපු වොෂින් මැෂින් එකක්.&වොෂින් මැෂින් එකෙන් රෙදි හෝදනවා කියල ඔබවහන්සේ දන්න නිසා, ඔබ වහන්සේ ඒක ඔබවහන්සේගේ කැමැත්තට තියෙනවා කියලා හිතෙනවා නේද? වොෂින් මැෂින් එක නැති වුණොත් ඔබවහන්සේ පෙළෙනවා නේද?” කියලා ඒ කුඩා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කළා. එහෙනම් කොහොමද කියන්නේ කුඩා ස්වාමීන් වහන්සේලාට දහම් අවබෝධ වෙලා නැහැ කියලා.
?හැබැයි බුදු දහම කියන්නේ මිනිසුන් බයට පත්කරන දහමක් නෙමෙයි නේද
බුදු දහම අවබෝධ වුණාම සසර ගමනේ ආදීනවය දැනෙනවා. මම අදහස් කළේ ඒ අවබෝධය එක්ක මට සංසාරේ ගැන ඇති වෙච්ච බය ගැන. මොකද මට දැනුණා මම පුරුදු කරගෙන ඉන්නේ අපායේ යන ගතියක් කියලා. මමත් ඒ වෙද්දී සමාජය දුන්නු වටිනාකම්වලට අනුව කාලා, බීලා, ජොලි කරලා, නටල ගයන පරිසරයකටයි අවතීර්ණ වෙලා හිටියේ. ඒ නිසා බිබී ඉන්න වෙලාවක මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා මට අවබෝධ වෙලා තිබුණා. ඒ බියයි මට දැනුණේ. එහෙම නැතුව කවුරුත් මාව බය කළේ නැහැ. අනික මේ සද්ධර්මය අවබෝධ වෙනකම් පවා තිරිසන් ලෝකය කියන්නේ සතර අපායෙන් එකක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒ බයම මට ඇති. මොකද ඉස්සර අපි රූපවාහිනියෙන් %Animal Planet^ බැලුවේ හරිම ආදරයෙන්. ඒත් දැන් තමයි ඒ ආදරයේ යථාර්ථය අවබෝධ වෙලා තියෙන්නේ. අනෙක ගොඩක් මිනිස්සුන්ට අද ඕනි බණ අහන්න මිසක් නිවන් දකින්න නෙමෙයි. මොකද එයාල බයයි එයාලට ඒ ආශ්වාදය විඳින්න හම්බ වෙන්නේ නැහැ කියලා. එයාලා බයයි තමන් එක් රැස් කරපුවා දාලා යන්න වෙයි කියලා. අනික ඒක එහෙම නම් බුදුරජාණන් වහන්සේටත් කියන්න තිබ්බනේ එක්රැස් කරන ගමන් ඉඳල හිටල බණ ටිකකුත් අහන්න කියලා. ඒ නිසයි හිස ගිනි ඇවිළුනු කෙනෙක් ඒ ගිනි නිවාගන්න පාවිච්චි කරන වෙලාවත් නිවන සාක්ෂාත් කර ගන්න පාවිච්චි කරන්න කිව්වේ. අනික ඔහොම කියන ගොඩක් අය කැමැති නැහැ දැන්ම ජීවිතයට සමුදෙන්න. එයාලා හිතන් ඉන්නේ හැමෝම ජීවිතයට සමු දෙන්නේ වයසට ගිහින් කියලයි. ඒ නිසා තමන් ඉපදුණු තමන්ගේ ජාතිය තුළින් නැගෙන ගින්න තාම එයාලට දැනිලා නැහැ. ඒ නිසයි එයාලට මේ ලෝකය ආස්වාදයි වගේ දැනෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට පවා ජාතිය නිසා තමාට පඩිසන් දීමට තිබූ කර්මවලින් ගැලවෙන්න බැරි වුණා.
?බුදුන් වහන්සේ දේශනා කළේ යමක් දැක ප්‍රත්‍යක්ෂ කර ගන්න කියලයි. එහෙනම් ඇයි අපි අද්භූත බලවේග තියෙනවා කියලා විශ්වාස කළ යුත්තේ
මට නම් ඒක අදාළ නැහැ. ඒවා තිබ්බත්, නැතත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මට වැදගත් වෙන්නේ මම. මගේ හිතේ තියෙන කෙලෙස් තමයි මට තියෙන ලොකුම බලවේගය. ලොකුම බලපෑම වගේම ලොකුම බාධකයත් ඒක. ඒ නිසා මගේ අවධානය තියෙන්නෙත් ඒ ගැන. හැබැයි නොපෙනෙන ලෝකය කියන්නේ කොහොමත් භයානක දෙයක්. ඒක පෙනෙන ලෝකයේ භයානකකමට සාපේක්ෂවත් ගළපගන්න පුළුවන්. ඒ නිසා පෙනෙන ලෝකයෙන් මිදෙන්නයි මට මුලින්ම අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක මට මේ මාර්ගයේ යද්දී දැනුණු සුවයෙන් ප්‍රත්‍යක්ෂ වෙලයි තියෙන්නේ. ඒ නිසයි අද මම නොපෙනෙන දේ ගැන දැනගන්න පෙළෙන්නේ නැත්තේ.
?එදා ගත්තු තීරණේ ගැන මොකද හිතෙන්නේ
හුඟක් සතුටින් ඉන්නේ. උදාහරණයක් විදිහට මගේ යාළුවෙක්ට මෑතකදී රෑ දුරකථන ඇමතුමක් දුන්නම ඔහු කිව්වේ දැන් තමයි ගෙදර ආවේ කියලා. එතකොට රෑ දහය හමාරට විතර. උදේ පහමාරට ගෙදරින් පිටවෙච්ච ඔහුට ඒ වෙලාවේ තමයි රෑ කෑම කන්න නිදහස ලැබිලා තියෙන්නේ. තමන්ගේ පවුල නඩත්තු කිරීම වෙනුවෙන් ඔහු මොනතරම් පෙළෙනවද කියල ඒකෙන් ඔප්පු වෙනවා. තමන්ට ඕනි වෙලාවට කෑම ටිකක් කන්න බැරි තත්ත්වයටම ඔහුට ඔහුව අද අහිමි වෙලා. දවස නිමා කරන්න නොහැකි වෙලා. එහෙම බැලුවම මම කොයිතරම් පෙළීමකින් නිදහස්ද?
මාලන් විදානපතිරණ