අපි මැතිවරණය ආරම්භ කළේ ලක්ෂ 65ක පමණ ඡන්ද ප්‍රමාණයක් අතේ තියාගෙන


දිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ශ්වයේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සමග සාකච්ඡාවක නිරතවිය.


ජනාධිපතිවරණයට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයක්. ඔබේ කඳවුරේ සූදානම කෙබඳුද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. මේ නිසාම අපේ ඡන්ද ප්‍රමාණ්‍ය ලක්ෂ 65කට පමණ වැඩි වී තිබෙනවා. ඒ වගේම අපි සන්ධානයක් ලෙස සකස් වන විට ලක්ෂ 70ක පමණ වර්ධනයක් ලබාගෙන තිබෙනවා. පසුගිය කාලයේ උගතුන්ගේ ඡන්ද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. උදාහරණයක් ලෙස නීතිඥවරුන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමියගේ ප්‍රශ්නයේදී වගේ අපිට වැරදුන තැන් අපි තේරුම් ගත යුතුයි. එවැනි සිදුවීම් නිසා නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේ අපිට අහිමි වුණ කණ්ඩායම් සියල්ලම අද වෙනකොට එකතුවෙලා තිබෙනවා. අපි මැතිවරණය ආරම්භ කළේ ලක්ෂ 65ක පමණ ඡන්ද ප්‍රමාණයක් අතේ තියාගෙන. මේ නිසා මැතිවරණය ජයග්‍රහණය කරනවා කියන එක නෙවෙයි ප්‍රශ්නය. ඉදිරි සති දෙක තුළ මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්නේ නැතිව පවත්වාගෙන යාමයි. මොකද අර්බුදයක් ඇතිකරලා ජයග්‍රහණය කරා යාමට උත්සාහ කිරීමයි එක්සත් ජාතික පක්ෂය හැමදාම කළේ.

කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ගන්නට බැරි වෙන බව බොහෝදෙනා පවසනවා. ඔබ ඒ මතය විශ්වාස කරනවාද?

මට හිතෙන විදිහට මේ ඡන්දයේදී ජනතාව අවධානය යොමු කරන්නේ ප්‍රධාන කඳවුරු දෙක ගැන. මොකද ප්‍රධාන කඳවුරු දෙකෙන් එක්කෙනෙක් නොවැරදීම ජයග්‍රහණය කරනවා කියන්න හැමෝම දන්නවා. මේ අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවා. 

විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයාගේ තරුණ ප්‍රජාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. ඔබේ කඳවුර එවැනි කටයුතු වෙනුවෙන් අවධානය යොමුකර තිබෙනවාද?

මේ මොන දේවල් ලියකියවිලි වල දාලා පෙන්නුවත් ප්‍රායෝගික දේශපාලනය රඳා පවතින්නේ කරලා තිබෙන වැඩ ප්‍රමාණය අනුවයි. උදාහරණයක් ලෙස 2015 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියපු දේවල් බොරු බවට පත්වුණානේ. දැන් අපිට විරුද්ධ අය විපක්ෂයේ ඉඳලා ආණ්ඩු බලය ගන්න යනවා නෙවෙයිනේ. අවුරුදු හතර හමාරක් ආණ්ඩුව කළා. මේ කාලය තුළ බ්‍රේස්ලට්, පුංචි කාර් තියා අඩුම ගානේ රැකියාවක්වත් දෙන්න බැරිවුණා. රටේ ආර්ථිකය ගොඩනගන්න බැරිවුණා. අවසානයේදී කිසිම දෙයක් කරගන්න බැරිව රට බංකොලොත් වුණා. ඒක තමයි එයාලගේ ක්‍රියාව. පොතේ සහ වේදිකාවේ කියන කතාන්දර මොනවා වුණත් ප්‍රායෝගිකව සිදුවුණ දේ ඒක. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ උපාධිධාරීන් 12,000කට පමණ රැකියා දුන්නා. රැකියා උත්පාදනය කරන ක්‍රමවේද රටේ ඇති වුණා. කර්මාන්ත ඇති වුණා. විරැකියාව අඩු වුණා. අද වනවිට ඒ සියලු දේවල් කණපිට හැරිලා. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ ආණ්ඩුවේ අවුරුදු හතර හමාරක් හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්. ආණ්ඩුව හරි තැනට ගන්න බැරිවුණ අය දැන් ඇවිත් කතන්දර කියනවා නම් ඒවත් 2015දී හංසයාගේ වේදිකාවේ කියපු කතාන්දරම තමයි. ප්‍රායෝගිකව කරන වැඩපිළිවෙළක් නෙවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලව තුළත් තරුණ රැකියා වෙළෙඳපොළ බිහිකරන එක සම්බන්ධයෙන් නිවැරදිව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ අය කතා කරනවා, නමුත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැහැ. ගෝඨාභය මහත්මයාගේ වෙනස ඔහු කියන දේවල් අඩුයි, නමුත් ප්‍රායෝගිකව ඒ දේවල් කරනවා. එහෙම නැත්නම් කොළඹ වගේ නගරයක් ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන නගරයක් වෙන්නේ නැහැනේ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයාට විරුද්ධව අධිකරණ  කිහිපයක නඩු තිබෙනවා. ඇමරිකාවේ අධිකරණයක පවා නඩුවක් ගොනුකර තිබුණා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ උසාවිවල විභාග වන නඩු ගැන මම කතා කරන්නේ නැහැ. එය කළයුතු දෙයක් නොවෙයි. මෙවර මැතිවරණ සටනට එන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා එක්සත් ජාතික පක්ෂය මුලදීම දැනගත්තා. ඒ නිසා තමයි ආණ්ඩුව ගත්තු ගමන්ම ඇවන්ගාඩ් නඩුව දාලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරකරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සහ ඒ භූමිය සකස් කිරීම ගැන නඩු දාන්න පටන්ගත්තා. දිගින් දිගටම නඩු දාලා ගෝඨාභය මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමයි බලාපොරොත්තුව වුණේ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරයෙක් විදිහට ඉදිරිපත් වන විට පුරවැසිභාවය වැනි කාරණා ගෙනාවෙත් මේ නිසයි.  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ නීති ගෙනාවේ වෙන කිසිදෙයකට නොවෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව හිරකරන්න. දැනට තියෙන නීතිවලින් මොනවා හරි කරලා ගෝඨාභය හිරකරන්න බැලුවා. දෙවැනියට නීති හදලා ඒ තුළ මෙය නතර කරන්න පුළුවන්ද කියලා බැලුවා. මේ කාරණා දෙකම අසාර්ථක වුණ නිසා දැන් මඩ ගහන්න පටන් අරගෙන තියෙනවා. එහෙම කරලත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉස්සරහින් ඉන්නවා.

මේ වන විට ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියල්ලෝම විපක්ෂයට ගොස් සිටිනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි වෙන් වෙන්න අවශ්‍ය නැහැ කියලා මම හැමදාම හිතුවා. එදා පළාත්පාලන මැතිවරණයට වෙන්වෙලා තරග කරද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යෝජනා කළේ ඇමතිකම්වලින් ඉවත් වෙලා ඇවිත් එක කණ්ඩායමක් විදිහට ඉදිමු කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා හැමෝම එකතුවෙමු කියලා යෝජනා කරපු කෙනෙක් මම. මොන සටන කළත් අපි කණ්ඩායම් දෙකක් කියලා මම දැක්කෙ නැහැ. මම දැනගෙන හිටියා කවදාහරි අපි එකතු වෙනවා කියලා. ජයග්‍රහණයට යන්න නම් අපි එකතු වෙන්නම ඕන. අද ඒ වැඩේ ඒ විදිහටම සාර්ථක වෙලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් යහපාලන ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදෙන්න ලොකු ආශිර්වාදයක් වුණා. කැබිනට් එකේ තතාකරලා ලයිස්තු ගතකරලා රාජපක්ෂවරුන්ට නඩු දාන්න ඕන කියලා කිව්වාම අපි ගිහින් ඒවට කතා කළා. ඒ වගේම දේශපාලන පළිගැනීම් කරද්දි අපි ඒවට කතා කළා. ඒ හැමදෙයක් නිසාම අපේ කණ්ඩායම විදිහට අපිට වර්ධනය වෙන්න පහසු වුණා. මේ වගේ සවුත්තු ආණ්ඩුවක් තුළ  අපි ඒ විදිහට හරි අපේ මිනිස්සු ටික රැකගත්තු එක තුළ පොදුජන පෙරමුණ හැදෙන්නත්, අපේ දේශපාලන ගමන ශක්තිමත් වෙන්නත් දෙකටම ආශිර්වාදයක් වුණා. 

නමුත් නිදහස් පක්ෂයේ තවත් පිරිසක් මේ මතයේ නැහැ. ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයාට සහය දක්වනවා?

මම හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වයසත් සමග ඇතිවෙලා තියෙන ගැටලුවක් නිසයි එහෙම වෙලා තියෙන්නේ. වයසට යද්දි අපිටත් එහෙම වෙන්න පුළුවන්. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් ඒකෙ තියෙන ප්‍රතිපත්තිවලට විරුද්ධව හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් එක්සත් ජාතික පක්ෂයට ගියපු වැරැද්ද 2015දී කළා. ඒ වැරැද්ද නිසානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිවෙලා විනාශ වෙලා ගියේ.  2015දී ගත්තු වැරදි තීරණය නිසයි එහෙම වුණේ. දයාසිරි ජයසේකරත් එය වැරදි තීන්දුවක් කියලා කියනවා. 
ස්වාධීන අපේක්ෂකයෙකුට සහය දෙනවා නම් අනාගතයේදී ඒක මොනවා හරි කියන්න පුළුවන්. නමුත් සජිත් ප්‍රේමදාස කියන්නේ තනි අලියෙක්. ඉතින් තනි අලියෙක් රටේ ජනපති කරන්න සහය දෙනවා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙන දෙයක්. රට ගැන හිතනකොට අපේ පෞද්ගලික මතිමතාන්තර පැත්තකට දාලා අපි හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕන. අද බණ්ඩාරනායක මහත්තයා හිටිය නම් එතුමාත් මැතිනියට සාප කරයි.

පොදුජන පෙරමුණේ රැලි වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම හූ කියන්න පටන් ගත්තා. මේ තත්ත්වය තවමත් අවසන් වෙලා නැහැ. මේ ගැන ඔබතුමාලා සාකච්ඡා කළේ නැද්ද?

මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අතර හොඳ අවබෝධයක් තියෙනවා. පක්ෂවල ලේකම්වරු අතරත් හොඳ අවබෝධයක් තියෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන හූවක් නෙවෙයි. මේ තියෙන්නේ මනාප පිළිබඳ ප්‍රශ්න. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාම කුඩා කාලයකදී හදලා රටේ දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් ගත්තු පක්ෂයක්. ඒ ප්‍රමාණය තවත් වැඩි කරගෙන දිනන්න ඕන කියලා හිතනවා මිසක්, මේ කඳවුරට තවත් කවුරුහරි එකතු වෙනවාට විරුද්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් එයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් නෙවෙයි. එයා හංසයා පිළේ කෙනෙක්.

ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය පැවැත්වෙනවා. එහිදී ඔබේ ස්ථාවරය කුමක්ද?

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරලා අපේ කණ්ඩායමෙන් අපි ඉදිරිපත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සමග පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ගන්නවා කියන එක අපිට කිසිම ගැටලුවක් නැහැ. 



Recommended Articles