අපි මානව සංවර්ධන කටයුතුවලට විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීලා කටයුතු කරනවා


"නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය" යනු නාගරික අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු නාගරික ප්‍රදේශවල නිවාස ගැටලුවට මුහුණදුන් ප්‍රජාවගේ එම නිවාස සහ සමාජීය ගැටලුවලට පිළියම් සපුරන ආයතනයකි. ඔවුන් 2021 වසර සඳහා සහ ඉදිරි වසර කිහිපයක කාලය සඳහා නාගරික වැසියන්ගේ ජීවන තත්ත්වයන් සහ නිවාස අවශ්‍යතා සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි අධ්‍යක්‍ෂ, විශ්‍රාමික මේජර් ‌ෙජනරාල් උදය නානායක්කාර මහතා 'අද'ට සම්බන්ධ කර ගතිමු. 

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ වැඩසටහන් මොනවාද?

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විදිහට අපි මේ වසරේ වැඩ රාශියක් සැලසුම් කර ගෙන තිබෙනවා. අපි වැඩ කරන්නේ මානව සංවර්ධනය සහ භෞතික සංවර්ධනය කියන කාරණයන් පදනම් කර ගෙන.

භෞතික සංවර්ධනය පැත්තෙන් මේ දිනවල ලුනාව නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීම සඳහා පුද්ගලයන් තෝරා ගෙන යනවා. අප්‍රේල් මාසයේ පළමු සතියේදී ලුනාව ගොඩනැගිල්ල විවෘත කිරීමට අපි අදහස් කර ගෙන සිටිනවා. ලුනාව නිවාස ව්‍යාපෘතියේ නිවාස 356ක් තිබෙනවා. ඊට අමතරව වැලිසර නාවුක හමුදා කඳවුරට පිටුපස තිබෙන අක්කර 06ක් ඉඩමක් ලබාගෙන ගම්පහ සංවර්ධන කමිටුවේ අනුමැතියත් ලබාගෙන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිවාස ව්‍යාපෘතියේදීත් දැරිය හැකි මිලකට නිවාස ලබාදීමට තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ. මේ වසර අවසානයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා වසර එකහාමාරකින් එහි කටයුතු සම්පූර්ණයෙන්ම නිම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇත්තටම ඒ ප්‍රදේශය තෝරාගත්තේ විශේෂ හේතුවක් නිසා. අද පුද්ගලයෙකුට කොළඹට ඇවිත් කුලියට හෝ නිවසක් ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් වත්කම අඩුයි. ඒ වගේම තමයි විශාල පිරිසක් කොළඹට තදාසන්න ප්‍රදේශවල ඉඳලා කොළඹට රැකියාවලට, පාසල් අධ්‍යාපනයට, ව්‍යාපාරික කටයුතුවලට එනවා. ඒ එන අයට ළඟපාතින් නවාතැන් පහසුකමක් ලබාදීමේ අරමුණින් තමයි වැලිසර නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. කොළඹට තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයන් පදිංචි කළාම ඔවුන්ට කොළඹටම ඇවිත් හිර වෙලා ඉන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම නිට්ටඹුව ප්‍රදේශයේත් ඉඩමක් අපි මේ වනවිට ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

'මානව සංවර්ධන ව්‍යාපෘති' සිදුවන්නේත් ඔබ අධිකාරිය සතු ජනාවාසවල වෙසෙන පුද්ගලයන්ට පමණද?

මෙහෙමයි, පසුගිය වසරවල අපි මානව සංවර්ධන ව්‍යාපෘති සිදු කළේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සතු ජනාවාසවල සිටින ප්‍රජාව වෙනුවෙන් පමණයි. උදාහරණයක් වශයෙන් අඟුලාන සයුරුපුර, අනුරාධපුර තුරුවිතුරුගම, ගාල්ලේ රත්ගම වැනි නිවාස ව්‍යාපෘතිවල සිටින ජනතාවගේ මානව සංවර්ධන කටයුතු අපි කළා. නමුත් මේ වර්ෂයේදී අපි තීරණය කළා අපට අයත් නැති ජනාවාසවලත් මානව සංවර්ධන කටයුතු කිරීමට. එහිදී අපි සැලසුම් කළා සෑම දිස්ත්‍රික්කයකම මානව සංවර්ධන කටයුතු ආරම්භ කරන්න. ඒ අනුව සියලුම නගර සභාවන් ආවරණය කරමින් අඩු ආදායම්ලාභී ජනාවාසවල මානව සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට අපේක්‍ෂා කරනවා. මේ වනවිට නගර සභාවලින් අප විස්තර ලබාගෙන තිබෙනවා. ඒ අනුව සෑම 2021 වසර සඳහා සෑම නගර සභා බලප්‍රදේශයකින්ම එක් ජනාවාසයක් තෝරාගෙන තිබෙනවා. මේ වනවිට අපේ නිලධාරීන් එම ජනාවාසවල සිද්ධි අධ්‍යයනය සිදු කරනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය, පාසල් නොයන ළමයින් කොපමණද?, රැකියාවක් නොමැති තරුණ තරුණියෝ ඉන්නවාද?, ස්වයං රැකියාවලට කැමති පිරිස් කොපමණද? වැනි දේවල් ඒ සිද්ධි අධ්‍යයනය කරනවා.

එම ප්‍රජාවට සිදු කරන මානව සංවර්ධන වැඩසටහන් කෙබඳුද?

මේ වැඩසටහන් ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන ලෙසයි නම් කරලා තිබෙන්නේ. ස්වශක්ති වැඩසටහන අපි කොටස් හතරක් ඔස්සේ සිදු කරනවා. ඒ 'සෞභාග්‍යා ප්‍රජා ශක්ති', 'සෞභාග්‍යා දිවි වරුණ', 'සෞභාග්‍යා නැණ බල', 'සෞභාග්‍යා සවි බල' කියන ව්‍යාපෘතීන්. 

'සෞභාග්‍යා ප්‍රජා ශක්ති' වැඩසටහන උප වැඩසටහන් හතරක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රජා අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීම, මතින් නිදහස් ජනාවාස ඇති කිරීම, සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. මේ ජනාවාසවල අඩු ආදායම්ලාභීන්ගෙන් විස්තර ලබාගෙන ඒවා විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලීම අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අලුතින් පිහිට වූ ප්‍රජා මූල සංවිධාන හෝ පවතින ප්‍රජා මූල සංවිධානවලට ශක්තියක් වීමටද අප කටයුතු කරනවා. අපේ විශ්ලේෂණවලදී අපි දකිනවා එවැනි ජනාවාසවල බොහෝවිට මතට යොමු වූවන් සිටිනවා. ඒ වගේම අවදානම් මට්ටමේ සිටින දරු දැරියන් ආරක්‍ෂා කර ගැනීමටත් සෞභාග්‍යා ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරනවා.

%සෞභාග්‍යා සවි බල^ කියන්නේ ප්‍රජාවට ස්වයං රැකියා හෝ වෙළෙඳ පොළට පැමිණීමට අවස්ථාව ලබාදෙන වැඩසටහනක්. ගෘහස්ථ ආර්ථිකයන් සවිබල ගැන්වීම සඳහා සුළු පරිමාණ ස්වයං රැකියාවල නිරත වන ප්‍රජාවගේ ඒ ස්වයං රැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම, දැනට ස්වයං රැකියාවල නිරත වන අයට සහ නව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට ණය, සහණාධාර ලබාදීම සහ ඔවුන්ගේ සුළු පරිමාණයේ නිෂ්පාදනයන් සඳහා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කර දීම මෙයින් අප අපේක්‍ෂා කරනවා.

සෞභාග්‍යා දිවි වරුණ වැඩසටහන තුළද අප උපවැඩසටහන් දෙකක් සිදු කරනවා. ඒ බහු ආගමික, බහු සංස්කෘතික වැඩසටහන සහ මනෝ සමාජීය සහයෝගීතා වැඩසටහන. විවිධ ආගමික, ජාතීන්ට අයත් ප්‍රජාවගෙන් සමන්විත මෙම ජනාවාසයන්හි ප්‍රජාව සමාජීය වශයෙන් බැඳීමක් ඇති කරලීම සඳහා විවිධ ආගමික, සංස්කෘතික වැඩසටහන් මෙහිදී සිදු වෙනවා. ඒ තුළින් ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරමින් ආගමික, සංස්කෘතික බැඳියාවක් අපි අපේක්‍ෂා කරනවා. 

'මනෝ සමාජීය සහයෝගීතා' වැඩසටහන යටතේ විවිධ මානසික පීඩාවන්ට පත්ව සිටින ප්‍රජාව සඳහා මානසික උපදේශනයන් සිදු කරමින් ඔවුන්ට ධනාත්මක සිතිවිලි ඇති කිරීම මෙයින් අපි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ඒ උපදේශනයන් මගින් ඔවුන්ව මානසිකව ශක්තිමත් කරමින් නිර්මාණාත්මකව මෙන්ම ධනාත්මක සමාජයක් ගොඩනැගීම අප සිදු කරනවා.

'සෞභාග්‍යා නැණ බල' වැඩසටහන කොටස් තුනකින් සිදු වෙනවා. ළමා හා තරුණ පිරිස් වෙත වැඩසටහන් පැවැත්වීම ඉන් පළමුවැන්න. ළමා හා තරුණ සමාජ පිහිටුවීම, ඔවුන්ට පුස්තකාල පහසුකම් ලබාදීම සහ නායකත්ව පුහුණුව ලබාදීම ඒ තුළින් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහි දෙවැනි වැඩසටහන යටතේ අඩු පහසුකම් මැද ජීවත්වන ජනාවාසයන්හි දරු දැරියන් බහුල වශයෙන් අධ්‍යාපනය ලබන සංවර්ධනය කළ යුතු පාසල් සඳහා අවශ්‍ය පාසල් සම්පත් ලබාදීම සිදු වෙනවා. සෞභාග්‍යා නැණ බල වැඩසටහනේ තුන්වැන්න මේ ජනාවාසවල වෙසෙන තරුණ තරුණියන්ට නිපුණතා පුහුණුව සහ වෘත්තීය පුහුණුව ලබාදීමයි. එහිදී ඔවුන් කැමති ක්ෂේත්‍රයක රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව රජයේ පිළිගත් ආයතන මගින් ලබාදී ඔවුන්ට රැකියා අවස්ථා විවර කර දීමද මෙයින් සිදු වනවා.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති දැක්ම යටතේ තමයි මේ ව්‍යාපෘති සිදුවන්නේ. මේ වර්ෂයේදී අපට මානව සංවර්ධණ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී තිබෙනවා.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වන්නේ, අනෙක් නිවාස සංවර්ධන ආයතනවලට වඩා වෙනස් අයුරකින්?

ඔව්. නාගරික ජනාවාස අධිකාරිය ලෙස අපි මානව සංවර්ධන කටයුතුවලට විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීලා කටයුතු කරනවා. මොකද නිවාස ඉදිකිරීම හෝ නිවාස සංවර්ධනයට රජයේ ආයතන රැසක් තිබෙනවා. නමුත් අපි වැඩි වශයෙන් ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මානව සංවර්ධන කටයුතුවලට. මොකද මේ නිවාසවල සිටින අඩු ආදායම්ලාභී පවුල් නොයෙක් නොයෙක් සාමාජීය ගැටලුවලට මුහුණුදුන් සහ ඒ මැද ජීවත් වන අය නිසා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුර වැනි දේවල්වලින් ඔවුන්ව ගලවා ගැනීමට අපි විශාල වෙහෙසක් ගන්නවා.

එවැනි මානව සංවර්ධන වැඩසටහන්වලින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවාද?

මෙහෙමයි, මේ වැඩසටහන්වලින් 100%ක ප්‍රතිඵලයක් ලැබෙනවා කියන්න බැහැ. නමුත් 70%කට වැඩි ප්‍රතිඵලයක් අප මේ වනතෙක් කරලා තිබෙන මානව සංවර්ධන ව්‍යාපෘතිවලින් අත් විඳලා තිබෙනවා. අපේ වැඩසටහන්වලදි අපි ප්‍රජාව සමග මිත්‍රශීලීව කටයුතු කරනවා. ඒ නිසා බොහෝ විට ඔවුන් සමග කටයුතු කිරීමට ඉතා පහසුයි. මේ කාර්යයට අපගේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා, සභාපතිතුමා සම්පත් සුබසිංහ මැතිතුමාත් මේ කටයුතු සිදු කරන්නට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.

ඔබ ආයතනයේ ඉදිරි වර්ෂවලට නියමිත සැලසුම් මොනවාද?

ඉදිරි වසරවලත් මානව සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය පැත්තෙන් අපගේ වැඩසටහන් දිගින් දිගටම සිදු වෙනවා. ඒ වගේම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වසරකට නිවාස දහස බැගින් 2024 වනවිට නිවාස හාරදහසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටිනවා.



Recommended Articles